IMF එකෙන් ඉවත්වනවාද? තවම තීරණයක් නෑ – ඇමති නලින්ද.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් වීම සඳහා රජය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පසුගිය (29 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පුරෝකථනයන් සාර්ථක ගෙන ගෙන ඇතත් තවත් පුරෝකථනයන් සඳහා වූ ඉලක්ක තවමත් සපුරා ගෙන නොමැති බවය.

කෙසේ වෙතත් ලෝකයේ පවතින තත්ත්වයන්, ආර්ථක තත්ත්වයන් සියල්ල සලකා බලා අවශ්‍ය මොහොත තීන්දුවක් ගත හැකි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගියදා පැවැති වැඩසටහනකදී එළැඹෙන 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ශ්‍රී ලංකාව ඉවත් වීමට නියමිත බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත්ව ජනතාව සඳහා තවත් සහන ලබා දීමට රජය අපේක්ෂා කරන බවය.

කෙසේ නමුත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ සම්බන්ධව සිදුකළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා ස්ථීර තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්ය.

“එහෙම ස්ථීර තීරණයක් නෑ. සමහර පුරෝකථනයන් සාර්ථක කරගෙන තියෙනවා සමහර පුරෝකථනයන්, ඒ ඉලක්කයන් තවමත් අපි සපුරාගෙන නෑ අතරමැද තත්ත්වයේ තියෙන්නේ තව මාස කිහිපයක් පවතිනවා ලබන අවුරුද්දෙත් මාස කිහිපයක් පවතිනවා. ලෝකයේ තත්ත්වය, ආර්ථිකයේ තත්ත්වය සියල්ල සලකා බලලා තමයි ඒ මොහොතේදී තීන්දුවක් ගන්න වෙන්නේ” 

මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කිරීමට කටයුතු කරන බවත් ජනමත විචාරණයකට යාමට බලාපොරොත්තු නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.මෙම පනත් කෙටුම්පත පිළිබඳව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණි.

ඒ අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් තවත් වගන්ති විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණි.කෙසේ නමුත් පනත් කෙටුම්පතේ 17 වන වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලැබිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබුණි.

මේ සම්බන්ධව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන 8 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන බවත් පසුව ඡන්ද විමසීමක් ද සිදුවන බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“ඕනෑම පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ ඒ ව්‍යවස්ථාවේ හැටියට එය සම්මත කරගන්න පුළුවන් අවස්ථාව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවට දැනුම්දෙන්නේ. මේකේ තුනෙන් දෙකක් අවශ්‍ය වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරන්න පුළුවන්. ඒ අනුව ඔක්තෝබර් 8 වැනිදා මේ විවාදය පැවැත්වෙනවා විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා ඒ අනුව තුනෙන් දෙකක් අවශ්‍ය වගන්ති පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කරගන්න පුළුවන් ජනමත විචාරණයකට යන්න බලාපොරොත්තුවක් නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …