
කොළඹ මාලිගාවල හෝ කාර්යාලවල එකතු වී කුමන්ත්රණ කර මේ ආණ්ඩුව පෙරළීමට හිතන්න එපා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.‘අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි’ ජනරැලි මාලාවේ නිකවැරටිය හා ඉබ්බාගමුව ජන රැලි අමතමින් පසුගිය(11)වැනිදා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
ඇතැම් අය මාධ්ය සාකච්ඡා පවත්වමින් ආණ්ඩුව එළවන්න, පෙරළන්න ඕනේ කියමින් මාධ්ය සාකච්ඡා තබමින් අඬන බව පැවසූ ජනාධිපතිවරයා, අපේ ශක්තිය තියෙන්නේ ජනතාව ළඟ බැවින් ආණ්ඩුව එළවීම පහසු නැති බවත් කියා සිටියේය.
මහජන දේපොළ සොරකම් කර ලොව කොතැන සැඟව සිටියත් මෙරටට ගෙන එන බවත් සෑම පළාතකටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමක් ස්ථාපිත කරන බව කී ජනාධිපතිවරයා, නීතිය සැමට ක්රියාත්මක වන විට ඊට එරෙහි වන්නේ මෙතෙක් නීතියට යටත් නොවූ අය බවත් පැවසුවේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ශාඛා 23ක් රටපුරා ස්ථාපිත කිරීමට අය-වැයෙන් මුදල් වෙන්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.මහජන දේපොළ නාස්ති කරමින් රටක් හදන්න බැරි බව පවසන ජනාධිපතිවරයා වංචනිකයන්ට සහ දූෂිතයන්ට දඬුවම් ලබාදිය යුතු බව අවධාරණය කරයි.
හොරකම් කිරීමේදී සීමාවක් නොතිබුණා මෙන්ම හොරු අල්ලන එකෙත් සීමාවක් නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.ඉතිරි අවුරුදු තුනේ මෙන්ම ඊළඟ වාරයෙත් හොරු අල්ලන බව සඳහන් කරන ජනාධිපතිවරයා, සොරකම් කර ලෝකේ කොහේ හැංගිලා සිටියත් ඒ අය අල්ලාගෙන එන බවද අවධාරණය කළේය.
වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර රටක් සෑදීම අවශ්ය බව පෙන්වා දෙන ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව රටේ ජනතාවගේ මුදල් සතයක්වත් නාස්ති නොකරන බවටත් චංචා නොකරන බවටත් සහතික වන බවද සඳහන් කරයි.ජනාධිපතිවරයා එසේ ප්රකාශ කළේ අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි ජන රැලි මාලාවේ නිකවැරටිය මහා ජනරැලිය අමතමිනි..
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“අපි ආණ්ඩුව හදලා අවුරුදු දෙකක් වෙනවා. මේ ආණ්ඩු හැදුවේ මේ රටේ ජනතාව. මීට කලින් හැමදාම ආණ්ඩුව හැදුවේ ජනතාවගේ ඡන්දයෙන් වුණත් ඒ ඡන්දය දුන්නේ එක්කෝ මාධ්ය විසින් පුම්බා විශාල ප්රචාරයක් හදපු නායකයන්ට, පරම්පරාවෙන් පරම්පරාවට ආපු නායකයන්ගෙන්, මැරයෝ දාලා ජනතාව බය කළ නායකයන්ගෙන්, සල්ලි බෙදලා වැඩිම සල්ලි බෙදපු අයගෙන් තමයි ආණ්ඩු හදලා තියෙන්නේ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි මැරබලය, පවුල් බලය, මුදල් බලය හෝ මාධ්ය බලය, නැතුව ජනතාව එකතු වෙලා ආණ්ඩුවක් හැදුවේ. ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.
දැන් අපි රට හදනවා. එහිදී පළමුවෙන්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගත යුතුයි. ගොඩනැඟිල්ල ශක්තිමත් වෙන්න නම් අත්තිවාරම ශක්තිමත්ව ගොඩනැඟිය යුතුයි. අපේ රටේ අත්තිවාරම දිරලා තිබුණේ. මේ ගොඩනැඟිල්ල ශක්තිමත් කුලුනු හතරක් මත රැඳී තිබෙන්නේ. එක කුලුනක් තමයි නීතිය විධානයේ ආධිපත්යය. දෙක තමයි වංචාව, දූෂණය, නාස්තියෙන් තොර රාජ්ය සේවයක් සහ පාලනයක් ඇති කිරීම. තුන්වැන්න ශක්තිමත් විදේශ සබඳතා. හතර තමයි, නැවත යුද්ධ ඇති නොවන ජාතිවාදයෙන් තොර රටක් ගොඩනැඟීම.
අපි එනකොට මේ කරුණු සියල්ල බිඳ වැටිලා තිබුණේ. ඒ නිසා අපිට මේ සියල්ල ශක්තිමත් ලෙස ගොඩනඟන්න අවශ්ය වුණා. නීතියේ විධානයේ ආධිපත්යය බිඳ වැටිලා තිබුණා. අපි ඒක නැවත ශක්තිමත් කරන්න විශාල වියදමක් දරලා තියෙනවා. පොලීසිය හදන්න ඕන. ඒ සඳහා නිලධාරීන් බඳවා ගන්නවා. අවශ්ය උපකරණ ලබා දෙනවා. ගොඩනැඟිලි හදනවා. ඒ වෙනුවෙන් ශක්තිමත් නීතිපති දෙපාර්තමේන්තුවක් අවශ්යයි. සුදුසු නිලධාරීන් බඳවාගත යුතුයි. අවශ්ය පහසුකම් ලබාදිය යුතුයි. නඩු දාලා විතරක් හරියන්නෙ නැහැ. ඒ සඳහා හොඳ අධිකරණ පද්ධතියක් අවශ්යයි. විනිසුරුවරුන්ට හොඳ වැටුපක් ගෙවන්න ඕනේ. කාර්ය මණ්ඩලය ශක්තිමත් කරන්න ඕන. වැරදිකරුවන් වුණාම, ඔවුන් යොමු කරන්න, පුනරුත්ථාපනය කරන්න බන්ධනාගාර අවශ්යයි. ඒ වෙනුවෙන් අපිට විශාල වැය බරක් දරන්න සිදුවෙනවා. ඒ ඇයි? ඒ තරමටම නීතියේ විධානයේ ආධිපත්යය වැදගත් නිසා. තම තමන්ට හිතුමනාපෙට නීතිය ක්රියාත්මක කරන්න අවශ්ය නම්, ඒකට පොලීසියක්, නීතිපති දෙපාර්තමේන්තුවක්, අධිකරණයක් අවශ්ය වන්නේ නෑ. රටේ අනාගතය වෙනුවෙන් නීතිය තහවුරු වූ රටක් ගොඩනැඟිය යුතුයි.
ඉස්සර ගම්වල හිටියා නීතියේ විධානයට යටත් නොවන කෙනෙක්. එයා වැලිගොඩ දානවා, කසිප්පු පෙරනවා, ගස් කපනවා, නීතියට පටහැණිව කටයුතු කරනවා. පොලීසිය එයාට අතවත් තියන්නෙ නෑ. අපි හදන්නේ ඕනම කෙනෙක් නීතියට යටත් වෙන රටක්. පළාත් පාලන ආයතනයක සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී, ජනාධිපති, ජනාධිපතිගේ නෝනා, මේ තනතුරු හොරකමට ලැබෙන ලයිසන් එකක් නෙවෙයි. ජනාධිපතිගේ පුතා කියන්නේ හොරකමට ලයිසන් එකක් නෙවෙයි.
රටේ මහා පරිමාණ හොරකම් සිද්ධ වෙනවා. හැබැයි පොල්ගෙඩි අටක් හොරකම් කරපු දරුවා හිරේ යනවා. ඇයි? නීතිය සුවිශේෂව කටයුතු කරනවා. එක කණ්ඩායමකට නීතියෙන් රැකවරණය ලැබෙනවා. අනිත් අයට නීතියෙන් දඬුවම් ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම නීතියක් ස්ථාපිත වෙච්ච රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපේ ප්රධානම අභියෝගය මොකක්ද? අපේ ප්රධානම අභියෝගය තරාතිරම නොබලා සෑම දෙනාටම සමාන ලෙස නීතිය ක්රියාත්මක කිරීම තමයි ජාතික ජන බලවේගය ස්ථාපිත කිරීමේ අරමුණ.
අපේ අරමුණ සැම කෙනාටම නීතිය එක ලෙස ක්රියාත්මක වෙන රටක් නිර්මාණය කිරීමයි. නීතිය නවලා වැඩ කරන්න බැහැ. නීතිය සැමට සමානව ක්රියාත්මක වන රටක් හදන එක ලේසි නැහැ. නීතිය සාධාරණව ක්රියාත්මක කරන්න හදනකොට පැරණි නීතියෙන් රැකවරණය ලබපු අය, එයින් ආරක්ෂාව ලබපු අය පාරට බහිනවා, ආණ්ඩුව එළවන්න ඕන කියනවා. එයාලට නීතිය සමානව ක්රියාත්මක රටක ජීවත් වෙලා පුරුදු නැහැ. නීතිය සැමට සමානව ක්රියාත්මක කරනකොට ඒකට විරුද්ධ වෙන්නේ නීතිය නොසලකා වැඩ කරපු අය, නීතිය නොසලකා වංචා දූෂණය කරපු අය, අපරාධ කරපු අය. සමහර අය හිතාගෙන හිටියා නීතිය ඒගොල්ලෝ ගාවට ළං වෙන්නේ නෑ කියලා. නීතිය වනාහි මකුළු දැලක්, ඒකට අහුවෙන්නෙ පොඩි පොඩි කෘමි සත්තු විතරයි. ලොකු ලොකු සත්තු මකුළු දැල කඩාගෙන යනවා. එහෙම තමයි ඒ අය හිතාගෙන හිටියේ. එහෙම තමයි මේ රට තිබුණේ. ඒත් අද අපි ඔප්පු කර තිබෙනවා ඒ හැමෝටම නීතිය අදාළයි කියලා. නීතියට ළඟා වෙන්න බැරි තැනක් නැහැ, බැරි පුද්ගලයෙක් නැහැ කියලා. ඒ නිසා අද බන්ධනාගාර ප්රවෘත්ති කියලා වෙනම ප්රවෘත්ති ශීර්ෂයක් හදන්න වෙලා තියෙනවා. ඒ තරමටම නීතිය ක්රියාත්මක වෙනවා.
ඊළඟට අපිට වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර රටක් හදන්න අවශ්යයි. අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් මේ රටේ ජනතාවගේ මුදල් සතයක්වත් නාස්ති කරන්නෙත් නැහැ, වංචා කරන්නෙත් නෑ කියලා මං ඔබට සහතික වෙනවා. පළමු වතාවට තමයි එහෙම ආණ්ඩුවක් පත් වෙන්නේ. ඉස්සර ඒගොල්ලො දෙපැත්තෙ ඉඳගෙන හොරකම් කළා. දෙගොල්ල ෂේප් එකේ හොරකම් කරගෙන ගියා. ඒක හොරා පොලිස් සෙල්ලම වගේ. දැන් ඒ සෙල්ලම ඉවරයි. දැන් ඇත්තටම පොලීසිය ඇවිල්ලා. ඒ නිසා දැන් හොරු, අපරාධකාරයෝ, දූෂිතයෝ අහුවෙනවා. මම මීට අවුරුදු හය හතකට කලිනුත් කිව්වා කවදාවත් දූෂිතයෙක් දූෂිතයකුට දඬුවම් දෙන්නෙ නෑ කියලා. දූෂිතයකුට දඬුවම් දෙන්න නම් අදූෂිතයෙක් එන්නම ඕන. ඒ තමයි ජාතික ජන බලවේගය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දැන් තියෙන්නේ කොළඹ විතරයි. අපි දැන් බජට් එකෙන් සල්ලි වෙන් කරනවා, රට පුරා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ශාඛා විසිතුනක් පටන් ගන්න. මහජන දේපොළ නාස්ති කරමින් රටක් හදන්න බැහැ. ඒක නතර කරන්නම ඕනේ. වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දෙන්නම ඕන. අපි ඇවිල්ලා අවුරුද්දක් විතර යනකල් කෝ ෆයිල් කියලා ඇහුවා. දැන් කියනවා හොරු අල්ලන එකේ සීමාවක් තියා ගන්නලු. හොරකම් කරනකොට සීමාවක් තිබ්බේ නෑ. ඒ නිසා අල්ලන එකෙත් සීමාවක් නෑ. අපි සීමාවක් නැතුව අල්ලනවා. තව අවුරුදු තුනක් තියෙනවා. අවුරුදු තුනේමත් අල්ලනවා. ඊළඟ වාරෙත් අල්ලනවා. කාටවත් හොරකම් කරලා ලෝකෙ කොහෙවත් හැංගිලා ඉන්න බෑ. අපි ඒගොල්ලන්වත් අල්ලගෙන එනවා එනවාමයි.
තුන්වැනි කාරණාව තමයි ශක්තිමත් විදේශ සබඳතා. රටකට ශක්තිමත් විදේශ සබඳතා අවශ්යයි. අපි යුද තාක්ෂණයෙන් පිමි පැනපු රටක් නෙවෙයි. ඒ නිසා අපිට වෙන රටවල යුද ගැටුම්වලට සම්බන්ධ වෙන්න බැහැ. යුද ගැටුම්වලට සම්බන්ධ නොවන නොබැඳි පිළිවෙතකයි අපි කටයුතු කරන්නේ. දැන් අෙමරිකාව හා ඉරානය අතර යුද ගැටුමක් තිබෙනවා. අපිට මේකට මැදිහත් වෙන්න බැහැ. අෙමරිකාව යුද ගුවන් යානා ගණනාවක් ලංකාවේ ගොඩ බාන්න ඇහුවම අපි බෑ කිව්වා. ඉරානයේ යුද නැව් ලංකාවට එන්න ඇහුවමත් අපි බෑ කිව්වා. ඒ වගේම මානුෂීයව සහය දිය යුතු අවස්ථාවල අපි ඒ සහය ලබාදෙනවා. ඉරාන නැව පිළිබඳ ප්රශ්නයේදී ජාත්යන්තර වශයෙන් ප්රශංසාවට ලක්වෙන තීරණයක් ගන්න අපි සමත් වුණා. ඒ වගේම තමයි අපි අපේ ගුවන අපේ ගොඩබිම අපේ මුහුද කිසිසේත්ම අපේ අසල්වැසියා වන ඉන්දියාවට තර්ජනයක් වන ආකාරයට භාවිත කරන්න දෙන්නෙත් නැහැ. අපි ඉන්දියාව සමඟ හොඳ විදෙස් සබඳතාවක් පවත්වාගෙන යනවා. ඉන්දියානු මධ්යම ආණ්ඩුව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පිළිඅරන් තිෙයනවා කච්චතිව් දූපත අයිති ලංකාවට කියලා. මේ විදිහට ලෝකයේ බොහෝ රටවල් සමඟ මිත්රශීලී සහ නොබැඳි ප්රතිපත්තියක් අනුගමනය කරමින් අපි කටයුතු කරනවා. එය මේ රට හැදීමේ තුන්වැනි පියවරයි.
ඒ වගේම අපිට ජාතික සමගිය අවශ්යයි. යුද්ධය නිසා දකුණේ වගේම උතුරේත් වටිනා තරුණ ජීවිත, දේපොළ අහිමි වුණා. යුද්ධ තියෙන රටවල් ලෝකයේ ඉස්සරහට යන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු දෙනා මේ රටේ ඉපදෙන, ජීවත්වන සහ පස්වන අපේ සහෝදර ජනතාව. දශක ගණනක් අපේ රටේ දේශපාලනය වුණේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා එකිනෙකාට එරෙහිව උසිගන්වලා ඡන්දය අරන් පාර්ලිමේන්තුවට ඇවිත් එකතු වෙලා හොරකම් කරපු එක. ජාතික ජන බලවේගයේ අවුරුදු දෙක ඇතුළත ජාතිවාදී හෝ ආගම්වාදී කිසිදු ගැටුමක් වාර්තා වුණේ නැහැ. යළි කිසිසේත්ම ජාතිවාදයට ඉඩ නොදෙන ආණ්ඩුවක් අපි නිර්මාණය කර තිබෙනවා.
රටේ සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කරන්න ශක්තිමත් රාජ්ය සේවයක් අවශ්යයි. ලෝකයේ දියුණු වූ සෑම රටකම රාජ්ය සේවය විශාල වැඩකොටසක් කර තිබෙනවා. 2026 අය-වැයෙන් කුඩා වැව් සහ ඇළවේලි සෑදීමට මිලියන 35,000ක් වෙන් කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ණය ගන්නේ නැතුව, රජයේ බදු මුදල්වලින්ම එකවර අධිවේගී මාර්ග 3ක වැඩ ආරම්භ කරනවා. ගලගෙදර සිට රඹුක්කන දක්වා, කුරුණෑගල, ගලේවෙල හරහා දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ මේ නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා අධිවේගී මාර්ගය ඉදි කරනවා. මේවා ඉදිකරන්නේ දේශීය අරමුදල්වලින්. එදා එක අධිවේගී මාර්ගයක්වත් හැදුවේ නැහැ ණය ගන්නේ නැතිව. මේවා සැලසුම් කරන්න ඕන සහ මෙහෙයවන්න ඕන රාජ්ය නිලධාරීන්. ඒ නිසා අපි රාජ්ය නිලධාරී යන්ත්රණය ශක්තිමත් කළ යුතුයි.
අපේ පළමු අය-වැය ලේඛනයෙන්ම රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. 2027 ජනවාරි මාසයේදීත් වැටුප් වැඩි වෙනවා. ගුරුවරයකුගේ වැටුප රු. 65,000 දක්වාත්, ආරම්භක වෛද්යවරයකුගේ වැටුප රු. 94,000 දක්වාත් ඉහළ යනවා.
දේශපාලන පත්වීම් වෙනුවට විභාග සහ සම්මුඛ පරීක්ෂණ මඟින් ග්රාම නිලධාරීන්, ගුරුවරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු එක් ලක්ෂ විසි එක්දහසක් අලුතින් රාජ්ය සේවයට බඳවා ගන්නවා. ග්රාම නිලධාරී දීමනා, පිරිවෙන් දීමනා සහ ගුරු විද්යාල අභ්යාසලාභී දීමනා වැඩි කරනවා.
අපි ලබන ජනවාරි සිට නව අධ්යාපන ප්රතිසංස්කරණ ආරම්භ කරනවා. සෑම ද්විතීයික පාසලකටම ස්මාර්ට් පන්ති කාමර සහ පරිගණක පහසුකම් සඳහා වසර 3කට බිලියන 96ක් වෙන් කරනවා. දරුවන්ට වදයක් නොවෙන, මවුපියන්ට බරක් නොවෙන අධ්යාපනයක් හදනවා.
පවුල් 10,000කට එක සුවතා මධ්යස්ථානය බැගින් ස්ථාපිත කරනවා. දියවැඩියාව, ප්රෙෂර්, කොලෙස්ටරෝල් වැනි බෝනොවන රෝග පාලනයට විශේෂ වැඩපිළිවෙළක් හදනවා. රජයේ රෝහලකට ගිහින් හෘද සැත්කමක් කර ගන්න මාස 07,08ක් ඉන්න ඕන. හෘද රෝගය හඳුනාගෙන මාසයක් තුළ සැත්කම කළ හැකි අන්දමින් අවශ්ය උපකරණ අපි ලබා දෙනවා. අවශ්ය ඇම්බියුලන්ස් රථ සහ කැත් ලැබ් පහසුකම් ලබා දෙනවා. මේ අන්දමින් අපි දියුණු සෞඛ්ය සේවාවක් රට තුළ ස්ථාපිත කරනවා.
අපේ ආණ්ඩුව බලයට ඇවිත් මත්ද්රව්ය තුරන් කිරීමේ වැඩසටහන ආරම්භ කළා. අපි මේ වසර දෙකට හෙරොයින් කිලෝ 3,511ක්, අයිස් කිලෝ 6,206ක්, කොකේන් කිලෝ 308ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ව්යසනය නතර කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව පමණයි. අපි පාතාලය මර්දනය වෙනුවෙන් විශාල වැඩකොටසක් දියත් කර තිබෙනවා. අපි ටී-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 139ක්, රිවෝලර් 104ක් අත්අඩංගුවට ගෙන තියෙනවා. පාතාලයට සහ කුඩු ජාවාරමට තිබුණු දේශපාලන හා රාජ්ය රැකවරණය සම්පූර්ණයෙන්ම අහෝසි කළා. කුඩු සල්ලිවලින් මාධ්ය, යූටියුබ් චැනල්, වෙබ්සයිට් සහ උද්ඝෝෂණවලට සල්ලි පොම්ප කරමින් ආණ්ඩුවට ගහන්න හැදුවත්, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ ව්යසනය මුළුමනින්ම තුරන් කරනවා.
කඩාවැටුණු, ලෝකයෙන් කොන්වූ, ණය වූ රට අද ප්රජාතන්ත්රවාදය, සාමය, සංචාරක කර්මාන්තය සහ දූෂණය අවම කිරීම අතින් ලෝකයේ ඉදිරියෙන්ම තියෙන සුබවාදී රටක් බවට පත්වෙලා තියෙනවා.
කොළඹ මාලිගාවල හෝ කාර්යාලවල එකතු වෙලා කුමන්ත්රණ කරලා මේ ආණ්ඩුව පෙරළන්න හිතන්නවත් එපා. අපේ ශක්තිය තියෙන්නේ ජනතාව ළඟ. නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කරන අය-වැය ලේඛනයෙන් රට හදන ඉදිරි සංවර්ධන උපායමාර්ගය ඉදිරිපත් කරනවා.
අපේ ස්වාමීන්වහන්සේලා, මවුලවිතුමන්ලා, පියතුමන්ලා, අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන් සියලු දෙනාටම එකතු වෙලා මේ රට ලෝකයේ සංවර්ධිතම රට බවට පරිවර්තනය කරමු.”
මෙම අවස්ථාවේදී නායක හිමිවරු, මැති ඇමැතිවරු ද අදහස් දැක්වූහ.


