
කැනඩාවේ මේ වනවිට තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වන සුදුසුකම් ලත් පුද්ගලයන් ලක්ෂ 2ක් දක්වා 2027 වසර අවසන් වනවිට ස්ථිර පදිංචියට (Permanent Residency) ඇතුළත් කර ගැනීමට එරට රජය සැලසුම් කර තිබෙනවා.
2026 ෆෙඩරල් අයවැය සහ 2027–2029 ආගමන මට්ටම් සැලැස්ම යටතේ හඳුන්වා දී ඇති මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ කැනඩාවේ දැනටමත් ජීවත් වන ශ්‍රමිකයන් රඳවා ගැනීම සහ දිගුකාලීනව පවතින ආගමන අයදුම්පත් පසුබෑම අවම කිරීමයි.
කැනඩාවේ ආගමන, සරණාගත හා පුරවැසිභාවය පිළිබඳ දෙපාර්තමේන්තුව (IRCC) සඳහන් කරන්නේ මෙම වැඩපිළිවෙළ ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව, පළමු කාණ්ඩය යටතේ ශ්‍රමිකයන් ලක්ෂයක් දක්වා පිරිසකට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ස්ථිර පදිංචිය ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. ඒ සඳහා ප්‍රාදේශීය ශ්‍රම වෙළෙඳපොළේ අවශ්‍යතා සපුරාලිය හැකි පුද්ගලයන් හඳුනා ගැනීමට පළාත් සහ ප්‍රාදේශීය පාලන ආයතන සමඟ කටයුතු කිරීමට ද රජය සැලසුම් කර තිබෙනවා.
Provincial Nominee Program ඇතුළු තෝරාගත් ආගමන මාර්ග යටතේ සුදුසුකම් ලබන අය මෙන්ම Atlantic Immigration Program, Start-up Visa Program, Agri-Food Pilot සහ Home Care Worker වැඩසටහන් යටතේ දැනටමත් අයදුම් කර ඇති ඇතැම් පිරිස් ද මේ සඳහා සලකා බැලීමට නියමිතයි.
ඉතිරි ස්ථාන ලක්ෂය මානුෂීය සහ පවුල් සම්බන්ධ කරුණු මත ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. වසර කිහිපයක් තිස්සේ තීරණ අපේක්ෂාවෙන් සිටින ඇතැම් අයදුම්කරුවන් ද ඊට ඇතුළත්.
මානුෂීය සහ සානුකම්පිත හේතු මත අයදුම් කළ සුදුසුකම් ලත් පුද්ගලයන්, යුක්රේන සහ හොංකොං සම්බන්ධ ඇතැම් ආගමන වැඩසටහන්වල අයදුම්කරුවන් මෙන්ම පවුල් නැවත එක් කිරීමේ කාණ්ඩ යටතේ අයදුම් කළ පිරිස් ද එම අවස්ථාවට ඇතුළත් වනවා.
මේ අතර, 2027 සිට 2029 දක්වා සෑම වසරකම ස්ථිර පදිංචිකරුවන් 380,000ක් සහ නව තාවකාලික පදිංචිකරුවන් 370,000ක් කැනඩාවට ඇතුළත් කර ගැනීමට ද රජය ඉලක්ක කර තිබෙනවා.නව වැඩපිළිවෙළ යටතේ ලබාදෙන ස්ථිර පදිංචි අවස්ථා එම වාර්ෂික ඉලක්කවලට අමතරව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, කැනඩාවේ සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන්ට ස්වයංක්‍රීයව ස්ථිර පදිංචිය හිමිවන බවක් මෙම නිවේදනයෙන් අදහස් වන්නේ නැහැ. අදාළ ආගමන වැඩසටහන්වල සුදුසුකම් සපුරාලීම අනිවාර්ය වන අතර, මෙම වැඩපිළිවෙළ ප්‍රධාන වශයෙන් කැනඩාවේ දැනටමත් පදිංචිව සිටින පුද්ගලයන් ඉලක්ක කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වසර හතරක කාලයක් තුළ කැනේඩියානු ඩොලර් මිලියන 302.3ක මුදලක් වෙන් කිරීමට ද රජය යෝජනා කර තිබෙනවා.


