
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් (ආරක්ෂක දෙපාර්තමේන්තුව ‘යුද දෙපාර්තමේන්තුව’ ලෙස නැවත නම් කළ පසු යුද ලේකම්) පීට් හෙග්සෙත්ට (Pete Hegseth) එරෙහිව ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් වීමත් සමඟ වොෂින්ටන් දේශපාලන කරළිය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. රිපබ්ලිකන් පක්ෂයේම කොන්ග්රස් මන්ත්‍රී තෝමස් මැසි (Thomas Massie) විසින් ඉදිරිපත් කරන ලද මෙම දෝෂාභියෝග යෝජනාව මඟින් හෙග්සෙත් මහතාට එරෙහිව බරපතල චෝදනා 8ක් එල්ල කර ඇත. එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම, ඉරානය සහ වෙනෙසුවෙලාව සමඟ නීති විරෝධී ලෙස යුද වැදීම සහ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු රැසක් මෙම චෝදනා පත්‍රයට ඇතුළත් වේ.
1876 වසරේදී අල්ලස් චෝදනා මත දෝෂාභියෝගයට ලක්වූ විලියම් බෙල්නැප්ට (William Belknap) පසුව ඇමෙරිකානු හමුදා ප්‍රධානියෙකු මෙලෙස දෝෂාභියෝග ක්‍රියාවලියකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.
තෝමස් මැසි මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග පත්‍රයට අයිතම 8ක් ඇතුළත් වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් විදේශීය හමුදා මෙහෙයුම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත බලතල ඉක්මවා යාම සම්බන්ධයෙන් එල්ල වී තිබේ.
දෝෂාභියෝගයේ ප්‍රධාන අයිතම හතරක්ම වෙන්වී ඇත්තේ ඉරානයට එරෙහිව සිදුකළ හමුදා මෙහෙයුම් සඳහාය. 1973 එක්සත් ජනපද බලතල පනත (War Powers Resolution) උල්ලංඝනය කරමින් කොන්ග්රස් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව යුද වැදීම, ජූනි මාසයේදී කොන්ග්රස් මණ්ඩලයේ ද්විත්ව මණ්ඩල විසින් සම්මත කරන ලද යෝජනාව නොසලකා හැරීම සහ මැයි 1 වනදායින් අවසන් වූ දින 60 සීමාවෙන් පසුවද නීති විරෝධී ලෙස හමුදා ක්‍රියාමාර්ග පවත්වාගෙන යාම මීට ඇතුළත්ය.
මීට අමතරව, ඉරාන යුද්ධයේ පළමු දිනයේදී සිදුවූ මිනාබ් (Minab) පාසල් ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු සිවිල් වැසියන් 156 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්ද හෙග්සෙත්ට චෝදනා එල්ල වී ඇත. ආරක්ෂක දෙපාර්තමේන්තුව නැවත නාමකරණය කරමින් හෙග්සෙත් ප්‍රකාශ කළේ “උපරිම ප්‍රහාරාත්මක බලය මිස මන්දගාමී නීතිමය භාවය නොවේ; දේශපාලනික නිවැරදි භාවයට වඩා ප්‍රචණ්ඩකාරී ප්‍රතිඵල” (Maximum lethality, not tepid legality) යන ප්‍රතිපත්තිය තමා අනුගමනය කරන බවයි.
දෙවන චෝදනා කාණ්ඩය වෙනෙසුවෙලාවට එරෙහිව සිදුකළ මෙහෙයුම් සම්බන්ධයෙන් එල්ල වී ඇත. 2025 ජනවාරි මාසයේදී කරාකස් නුවරදී වෙනෙසුවෙලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් (Cilia Flores) පැහැරගෙන යාම කොන්ග්රස් අනුමැතියකින් තොරව සිදුකළ යුද ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත.
එමෙන්ම 2025 සැප්තැම්බර් සිට කැරබියන් සහ නැගෙනහිර පැසිෆික් මුහුදේ බෝට්ටු 69කට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 243 දෙනෙකු අධිකරණ බලයෙන් පිටත ඝාතනය කිරීම (extrajudicial killings) සහ අනතුරට පත්වූ නාවිකයන්ට උපකාර නොකර නැවත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්ද හෙග්සෙත්ට චෝදනා එල්ල වේ.
යේමනයේ හූති ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට අනුව, හදිසි තර්ජනයක් නොමැති බව දැන දැනම සිවිල් වැසියන් 224 දෙනෙකුට මරණය කැඳවූ ප්‍රහාර එල්ල කර ඇත. මීට අදාළව කාන්දු වූ Signal චැට් සංවාද මඟින් හදිසි තර්ජනයක් නොමැති බව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිගෙන තිබූ බව අනාවරණය වී ඇත.
හමුදා මෙහෙයුම්වලට අමතරව එල්ල වූ එකම දේශපාලනික චෝදනාව වන්නේ සෙනෙට් මන්ත්‍රී මාක් කෙලී (Mark Kelly) ඇතුළු ඩිමොක්රටික් මන්ත්‍රීවරුන්ට හමුදාවට නීති විරෝධී නියෝග ප්‍රතික්ෂේප කළ හැකි බව ප්‍රකාශ කිරීම නිසා රාජ්‍ය ද්‍රෝහී චෝදනා එල්ල කර නඩු පවරන බවට තර්ජනය කිරීමයි.
මෙම දෝෂාභියෝග චෝදනා හමුවේ පීට් හෙග්සෙත් මහතා දැඩි සහ අභියෝගාත්මක ස්ථාවරයක පසුවේ. ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ මෙය “විකාරයක් සහ දේශපාලනික රඟපෑමක්” (a farce and a stunt) බවයි. තමා මෙහෙයවූ සියලු හමුදා මෙහෙයුම් නීත්‍යානුකූල බවත්, ප්‍රතිපත්තිමය මතභේද දෝෂාභියෝග සඳහා පදනම් කරගත නොහැකි බවත් ඔහු අවධාරණය කළේය. “ඔවුන් අපේ රණවිරුවන්ට එරෙහිව පැමිණීමට උත්සාහ කරන්නේ නම්, ඔවුන්ට මා හරහා පැමිණීමට සිදුවනු ඇත” යනුවෙන් හෙග්සෙත් ප්‍රකාශ කළේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද හෙග්සෙත් වෙනුවෙන් සෘජුව පෙනී සිටින අතර, දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කළ රිපබ්ලිකන් මන්ත්‍රී තෝමස් මැසි “සම්පූර්ණ පරාජිතයෙකු” (stone-cold loser) ලෙස හඳුන්වා දෙමින් හෙග්සෙත් තවදුරටත් එම ධුරයේ රඳවා තබන බව ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝගයක් ආරම්භ කිරීමේ සම්පූර්ණ බලය හිමිවන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටයි (House of Representatives). නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සරල බහුතරයකින් දෝෂාභියෝගය සම්මත වුවහොත්, එම චෝදනා විභාග කර තීන්දුව ලබාදීමේ බලය සෙනෙට් මණ්ඩලයට (Senate) හිමිවේ.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්රටික් පක්ෂ නායක හකීම් ජෙෆ්රීස් (Hakeem Jeffries) දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර ඇති බැවින්, රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලැබුණහොත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී මෙම යෝජනාව සම්මත වීමේ වැඩි ඉඩකඩක් පවතී.
කෙසේ වෙතත්, සෙනෙට් මණ්ඩලයේදී ආරක්ෂක ලේකම්වරයා ධුරයෙන් ඉවත් කිරීමට නම් තුනෙන් දෙකක (2/3) විශිෂ්ට බහුතරයක් (ඡන්ද 67ක්) අවශ්‍ය වේ. වර්තමානයේ සෙනෙට් මණ්ඩලයේ ආසන 100න් 53ක්ම රිපබ්ලිකන් පක්ෂය සතුව පවතින බැවින්, සෙනෙට් මණ්ඩලය හමුවේ හෙග්සෙත් වරදකරු කර ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතී. එම නිසා මෙම දෝෂාභියෝගය ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ තවත් දැවැන්ත නීතිමය සහ දේශපාලනික සංග්‍රාමයක ආරම්භය පමනක් වනු ඇත.


