චීනය, යුරෝපා සංගමය, සහ ඉන්දියාව ඇතුළු රටවල් රැසකට අමෙරිකාවෙන් නව තීරුබදු

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන වෙළෙඳ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් අමෙරිකාව විසින් නව තීරුබදු මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවනු ලබන මෙම නව බදු මගින් චීනය, යුරෝපා සංගමය සහ තවත් කලාප 12ක් ඇතුළු අමෙරිකාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවන් රැසකට බලපෑම් එල්ල වනු ඇති.

ජනාධිපති ට්‍රම්ප් විසින් මීට පෙර ප්‍රකාශයට පත් කළ ‘ලිබරේෂන් ඩේ’ (Liberation Day) තීරුබදු නීති විරෝධී බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව, පසුගිය මාර්තු මාසයේදී අනෙකුත් රටවල වෙළෙඳ පිළිවෙත් පිළිබඳව ධවල මන්දිරය සිදු කළ විමර්ශනයකින් පසුව මෙම පියවර ගෙන තිබෙනවා.

මෙම නව බදු යටතේ වැඩිම අනුපාතය වන “40% දක්වා” තීරුබදු පැනවීමකට චීනය මුහුණ දෙන අතර, වියට්නාමයට 35% දක්වාත්, අනෙකුත් රටවලට 20% හෝ 25% වශයෙනුත් තීරුබදු පනවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් එකඟ වී ඇති තීරුබදු සීමාවන් හේතුවෙන් මෙම ඇතැම් අනුපාතයන් යම් ප්‍රමාණයකින් අඩු වනු ඇති බවද සඳහන්. මෙම “301 වගන්තිය” යටතේ සිදු කළ විමර්ශනවලට ලක් වූ ආර්ථිකයන් අතරට චීනය, යුරෝපා සංගමය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය, තායිලන්තය, කොරියාව, වියට්නාමය, තායිවානය, බංග්ලාදේශය, ජපානය සහ ඉන්දියාව ඇතුළත්.

විදේශීය රජයන්ගේ ක්‍රියාකලාපයන් සහ ප්‍රතිපත්ති මගින් අමෙරිකානු ව්‍යාපාර, කම්කරුවන් සහ පාරිභෝගිකයින්ට අසාධාරණ බලපෑමක් සිදු වන්නේද යන්න මෙම 301 වගන්තියේ විමර්ශන මගින් ආවරණය කෙරෙනවා.

අමෙරිකානු නිෂ්පාදන ක්ෂේත්‍රය ඉහළ නැංවීමට සහ රැකියා උත්පාදනය කිරීමට මෙම ප්‍රතිපත්තිය ඉවහල් වන බව පවසමින් ජනාධිපති ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය තුළ දිගින් දිගටම තීරුබදු පැනවීමට කටයුතු කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …