හිස බරයි මම යන්නෙ කොහොමද ඔබව සොහොනේ රඳවලා
පෙති පරව එකිනෙකින් මැලවී අරලියාවෝ ගිලිහිලා
නිති වැතිර මග සදයි පාවඩ දුක් සුසුම්පද මුමුණලා
පති යුවති සේ මා ළඟින් රැඳි ඔබ සුසානේ තනිවෙලා
හති වැටුණු නෙත් රතුව ගියමුත් කඳුලු උල්පත වියළිලා
හිස්තැනක් වූ අඳුරු දිවියට මල් නෙලාගෙන අමුණලා
ලස්සනක් කර දුන්නෙ නුඹමයි සුවඳ සෙනෙහෙන් නහවලා
ඇස්වහක් වැද අහිංසකවූ කැදැල්ලට ගිණි ඇවිළිලා
රස්නයක් නැති හුස්ම පිටකර ඇයි ගියේ දුර නොපෙනිලා
කුස පිරෙන්නට නොමැත මව්කිරි සිඟිත්තිගෙ ඇස් රතුවෙලා
සොය සොයා ඈ මවගෙ උණුහුම හඬා පපුවම බරකලා
බැස ගියේ කිම යළි නොඑන්නට මසිත් අහසම රිදවලා
හිස බරයි තව යන්නෙ කොහොමද ඔබව සොහොනේ නවතලා…
දුමින්ද අබේසේකර
https://dumindasanchare.blogspot.com
අහිතකර හාද්ද
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල
හිතෙන ඔයාව
දවසේ අනවශ්යයම මොහොතෙදිත්
හිතට එන කරුමෙ
හැබෑටම
කියනවකො වදේ
ඔහේ මොකද්ද මට කවපු ඉනාව
තාමත් මං ඇලෙන්නෙම
ඔය ඇස් වල හිනාවට
ඒ වුනාට,
ඩන්හිල් දුම ඒ තරම් රස බව
ඇත්තමයි මං දැනන් හිටියෙ නෑ
ඔයා මගෙ දෙතොල් පෙති
ඉඹින තුරාවට
ඔයා දන්නව නේද ?
මං ඉන්නෙ දුම් නොබොන කලාපෙක
අන්න ඒ නිසයි
මට අමතක නොවෙන්නෙම
ඒ නිකොටින් සුවඳ හාද්ද
මට තාම මතකයි
ඒ ගොම කොළ පාට
බාච්චු කමීසය
තැන තැන විසිරිල තිබුනෙ
කහ පාටින් මල් රටාවට
නවත්තපු තැනින්
ආයෙමත් පටන් ගන්න
කවදාවත්ම බැරි උනාට
ඔයා විඳවන්නම ඕනෙ මං වගේම
ගලන්නම ඕන තැනකදි
හිරවුනාම
දැනෙන වේදනාව
ශානිකා ශෂිප්‍රියා ( සොඳුරු සඳවතී )
https://kavisandalla.blogspot.com
රජයේ වැඩ බිම
උදේ නො එති
දවල්ට එති
පොතේ ලියති
අට ම දාති
කහට ගසති
බුලත් හපති
බීඩි උරති
රේස් දමති
ඕමි බලති
කයිය ගසති
දෙකක් දමති
කාලා නිදති
හවස නාති
ගෙදර දුවති
පිකට් කරති
පඩි ඉල්ලති
මංජුල ශ්‍රීනාත් පෙරේරා ( තට්ටයාගේ කොලම )
https://thattayagekolama.blogspot.com
අප අතර හිස්තැනකි..
හුදෙකලාවට ලෝභයෙනි සිත
හමා යන සුළං රැලකට තෘෂ්ණාවයෙනි
නේක ඇමතුම්ය විටින් විට
දුරබණුව විනිවිදින පණිවුඩය
සවන් පත් හෙමි හෙමින් සූරණ
ආදරය දැවටූ සංශයේ කටු අතුය
බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
කිලෝ ගණනින් මෙගා ගණනට
හැරෙන කෙටි (නො)වන පණිවුඩ
ගිගා ගණනක නොරිස්සුම පිරවුන
දෙපා අවසඟ කරන රෝස පෙති මාංචු ය
වානේ වලටත් වඩා ඝනකම්ය රිදවුම් ය
හිත බරින් පුරවනා සීතලම හාදු ය
එකින් එක පතුල් අස බිඳ වැටෙන සිහින ය
නොපෙනෙනා පවුරක්ය ඉදිවෙන
කොන්ක්‍රීට් බිත්තියක් වුවත් පරදන
ප්‍රේමය ය කිය කියා හිනැහෙන
සියොත් හදවත සෙමෙන් වළලන
මහේෂ් රත්නායක
රස රහස
දිලි දිලී දිලෙමි මම , නුබ ගැබක එක්තරා
සැලි සැලී සැලෙමි ඉම , සිළුව වී තුන්තරා
වෙලි වෙලී දැවෙන පෙම , බලා උන් ගත නුරා
බැලි බැලී රසය කිම , මිහිරි මී පැණි උරා
මේඝයක ඉමක වූ බලා සිටිනා වැස්ස
වේදයක ලියා නැත වෙලා සිටිනා පවස
නාදයක පාව ආ මුලා කරනා පිණිස
පාදයක තවම ඇත සලිත කරනා රහස
මන්ජි
https://kadadasikole.blogspot.com
වියපත් වෙසඟන
රෑ තවම තරුණයි සල්ලාල දෙනෙතට
නුරා ගිනි නැවිලේද සුරා සොඬ ඇසකට
තරබාරු මුදලාලි සයිමන් නැතත් අද පැයකට
නාට්ටාමි පිටකින් ගත්තු පන්සීය වටී මට ගමකට
පාට වැඩි කියුටෙක්ස් රැළි ඇඟිලි කැත වහන්ට
වයසට සැලෙන තොල් ලිප්ස්ටික් ලා මකා ගන්ට
එල්ලෙන පයෝදර ඉහළට කර එල්ලගන්ට
පේමන්ට් බලාගෙන අඩන තන පුඩුව පේන්නට
කඩල ගොට්ටක් අරගෙන යන්නත් හිතයි දෝණිට
අහුඋනොත් ඒකත් ගනියි මහ එකා බයිටට
සන්තෝසම් මුදල් දෙන ලියන මහතැන් ආවට
දුන්නෙත් නෑ කාසි උන්ගෙත් පර්ස් බර නෑ ඕසෙට
දිගු දෑස් කෝල බැල්මන් නැතත් කම් නෑ මෙතැනට
ඕනෑ ගුලක් විතරයි අසංවර ලිඟුවට
ආටා එකත් කදිමයි ලිහිල් සළු ගලවන්ට
සිලික් ඇතිරිලි සුදු රෙදි ලැබෙයි මළගම දාට
නාඩියා නාඩිරත්න