සිංහල කෙටිකතාව- තේ,ජීවන කතන්දර- පොකට් කාරයාට ගන්නට බැරි වූ ආදරය, පරිවර්තිත කෙටිකතාව- මනමාලයා

සිංහල කෙටිකතාව

තේ

සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුලට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කරගෙන ඇති.

කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුනා. කිරිපාට හා දත් දෙකක් මතුවුනා. පීරිසිය උඩ කිරි කෝපි ඇබින්දක් ඉහිරුනා. තෙත සර්වියට් එක පීරිසිය උඩ වැතිරිලා කෑදරකමෙන් කෝපි බිංදු ටික ලෙවකෑව.

කණ්නාඩි කෑල්ල සුසීමට විරිත්තුවා. ලා රෝසපාට ලිප් ග්ලොස් කූර තොල් දෙක වටේ දෙපාරක් එහෙමෙහෙ ගියා. උඩ පැනපු කොණ්ඩ කැරලි කන්පෙති පිටිපස්සෙ හැංගුනා.

තේ බන්දේසිය වඩාගන්නකොට යාන්තම් තේ කෝපි එහෙමෙහෙට කැලැත්තුනාට බිඳක්වත් නොඉහිරවාගන්න තරමට සුසීමා පරෙස්සම් සහගතයි. කෝපි සුවඳට වඩා සැරට දැනෙන්නෙ තේ සුවඳ. ඉස්සරහට ඇවිදන් යනකොට ඉහල ඇදෙන උණුහුම් දුමාරය පිටිපස්සට නැමෙනවා. මී මැස්සියෙක් වගේ කොරිඩෝව දිගේ කලබලෙන් දිවිල්ලේ අතරමැද දැනෙන ඒ උණුහුමට සුසීමා කැමතියි.

‘අද තේ පරක්කුයි’ භාෂිනී මිස් පුරුදු විදියට හීනි ඇහිබැම දෙක එකට යාකරගෙන නොරිස්සුම් හඬින් කියද්දි ආකාශ් මහත්තය රතුපාට ලැප්ටොප් එක උඩින් ඔළුව උස්සල බලනව. “භාෂිනී අක්කි මනුස්සයෙක්ට කම්ප්ලිමෙන්ට් එකක් දුන්න දවසට ඉර බටහිරින් පායයි.”. ඒක අහල හැමෝම හිනාවෙනව. දබරැඟිල්ල උරුක්කරල රැවුම් මූණක් හදන්න යන අතරෙ භාෂිනී මිස්ටත් හිනා යනව.

සුසීමා ආකාශ්ගෙ මේසෙ වම් පැත්තෙන් තේ කෝප්පෙ තියල පීරිසියෙන් වහනව. ආකාශ් පුරුදු විදියට වම් අත කරකවල සුසීමගෙ ඇඟිලි දෙකක් අල්ලට හිර කරගන්නෙ ස්ක්‍රීන් එකෙන් ඇස් දෙක තත්පරේකටවත් එහාමෙහා කරන්නෙ නැතුවයි. ඊට පස්සෙ රතු පාට බාග රාමුවක් දාපු කණ්නාඩිය දකුණු අතින් චුට්ටක් පාත් කරල ඇහැක් ගහනවා. 

“ම්ම්ම්හ්” මේසෙ අයිනක ගොඩගහල තිබුන ටොෆි චොකලට් කෝප්පෙකින් කිරි පාට රවුම් චොකලට් දෙකක් සුසීමගෙ අත ගාවට තල්ලු වෙනව. 

‘ආ… සුසීමා, මෙයා අද අලුතෙන් ආවෙ.’

ආකාශ් අකුරකවත් ගස්සන්නෙ නැතිව රොබෝ කටහඬකින් කියනවා. තඹ කොණ්ඩාකාරියක් සුසීමා දිහා බලලා කට කොණක් ඇදකලා. පණ කළඳක් නැති බළල් ඇස් දෙකක්.

“මිස්ට මොන්වද ගේන්නෙ?”

“ග්‍රීන් ටී තියනවද?” 

“අරං එන්නම්.” 

සුසීමා හිස් බන්දේසිය අරගෙන, කොරිඩෝව දිගේ තාලෙට අඩි තියනකොට සාක්කුව පතුලෙ තියෙන චොකලට්ටු දෙක උඩ පනිනවා.

අවුරුද්දකට විතර කලින් හිටියා මින්ට් සුවඳ තේ බොන, කූරු කරාබු දාන මිස් කෙනෙක්. සුසීමාට මින්ට් සුවඳ අපුලයි. කොල පාට කියන්නෙ තේවලට ගැලපෙන්නෙම නැති පාටක්.

සුසීමා තේ බොන්නෙ ලා දුඹුරුපාට මග් එකක. ආකාශ්ගෙ මේසෙ දිගේ තල්ලු වෙලා ආපු හතරැස් කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙන් එලියට ආපු මග් එකක. ඉක්මනින් තේ උගුරක් බීපු සුසීමා බන්දේසියේ හරි මැදින් ග්‍රීන් ටී එක තියාගෙන තාලයක් නැති කලබල පියවරවලින් ඉස්සරහට දුවගෙන යනවා.

ආකාශ් තඹ කොණ්ඩාකාරියගෙ පුටුව ඉහළින් නැමිලා කතාකරමින් ඉන්නේ පරිඝණක තිරේට එබීගෙන. සුසීමා තේ කෝප්පෙ මේසෙ උඩින් තියනකොට පීරිසිය කෝප්පෙ ගැටිලා ‘ක්ලන්-ක්ලන්ක්’ හඬක් නික්මුනා. ආකාශ් පරිඝනක තිරේ දිහා බලාගෙනම, සුළු ගැස්සීමක්වත් නැතිව අල්ලාගෙන උන්නු අහස් නිල් පාට නියපොතු ඇති සිහින් දිගු ඇඟිලි දෙක මුදාහැරියා.

සුසීමා හිස් කෝප්ප පුරවාපු බන්දේසිය වඩාගෙන කොරිඩෝවට පාවුනා. හිස් කෝප්ප, තේ, කෝපි පුරවාපු කෝප්පවලට වඩා බරට දැනුනා. 

සුසීමා ලා දුඹුරුපාට මග් එක අතට ගන්නකොට තේ එක ඇල් වතුර තරමටම හීතල වෙලා. ඉඟුරු සුවඳක් දැනුනෙත් නෑ.

යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී ).

බස්සීගේ නවාතැන බ්ලොග් අඩවිය https://bassigenawathana.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .

ජීවන කතන්දර

පොකට් කාරයාට ගන්නට බැරි වූ ආදරය

තට්ටු තිස් අටක් ඉහළට ගිය වෘත්තීය ජීවිතය ආයිමත් බිම් මට්ටමකට ගෙනල්ල තනියෙන් කොන්ත්‍රාත් කරන්න හිතන  මිනිස්සු ඉන්නවා මේ මං  වගේ. අබුද්දස්ස කාලේ ආවම මොනා කරනවද කියල කාටවත් කියන්න බෑ . පිට්ටු බම්බු ගොඩනැගිල්ලේ පිළිසකර වැඩ  ඉවර වේගෙන යද්දී  මට දිගටම ඒ වගේ රස්සාවක් කරන්න බෑ වගේ හිතුනා. තමන්ට ඕනි විදිහට වැඩ කරන්න තමන්ගේ වැඩක් පටන් ගන්න ඕනි කියල හිතුනා සුපුරුදු දෙවැනි වතාවට .

එත් මේක බිස්නස් මයින්ඩඩ් නැති මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක්  නෙවෙයි. රෝල ගෙනියන්න නොදන්නා කම හින්දා  ගෙදර ගෑනිගේ රත්තරන් බඩුටික බැංකුවට සින්න වෙලා ඉල්ලන්න පුළුවන් හැම තැනින්ම ණය අරන් අලුත් කොන්ත්‍රාත් ව්යාපාරෙත් ඇණ  ගත්තම කාගේ පිහිටද?

ආර්ථිකේ හොම්බෙන් යද්දී තමයි මම  අයියා මග පෙන්නපු රස්සාවක් කරන්න සිංහලේ  ගියේ. ඒ යනකොට ගෙදර පිච්චිය නෑ . ගෙදර උන්දැගේ රස්සාව නැතිවුනේ පොඩි එකා බලාගන්න  ගෙදර හිටපු කාලේ නිවාඩු වැඩ්පුර අරගෙන. ඇය උපාධි හා ප්‍රශ්චාත් උපාධි  සහතික සේරම පොඩි එකාගේ තොටිල්ලේ අතුරලා ගෙදරම ඉන්ට තීරණය කරපු  කාලේ .   බිරින්දෑ  හා දරුවා නැන්දා මාම ළඟ තියල තමයි මම සිංහලේ ගියේ . ඒක තරමක් හොඳ පඩියක් ගෙවන රස්සාවක්.

පළවෙනි පඩිය ගත්තයි කියමුකෝ. ඉඩෝරයට පොද වැස්සක් සේ  කාලෙකින් සල්ලි ටිකක් අතට ලැබුනා. තව  දවස් හතරක නිවාඩුවකුත්  හම්බුනා.බලන්ගොඩ ඉඳන් කඩුවෙලට වහනෙකින් ඇවිත් එතන ඉඳන් බස් එකේ. කිරිබත්ගොඩ යන බට්ට වෑන් එකක ඔලුව පාත් කරගෙන හිටගෙන ඉන්නවා.

කසාද බැන්දයින් පස්සේ ගෙදරින් දුරස්වෙලා සති කීපයක් ඉන්ට උන පලවෙනි වතාව තමයි තව ඩින්ගකින්  නිමා වෙන්න තිබ්බේ.

ණය තුරුස් වලින් කාටසක් ගෙවලා රත්තරන් බඩු  ටිකක්  බේරාගෙන පොඩි එකාට අලුත් ඇඳුම් ටිකක් අරන් දෙන්න අපි දෙන්නා හෙට ෂොපින් යන හැටි මැවිලා පෙනෙනවා.

එහෙම හිතනකොට මගේ හිතට ආවේ  කලිසන් සාක්කුවේ තියෙන බර ලියුම් කවරේ අතගාලා බලන්න ඕනි කියල පොඩි ආශාවක්.

අත සාක්කුව පුරා ගියා . ම්හු . කවරය අහු උන් නෑ. හිත හිරි වැටිලා ගියා . කහඹිලියා ගෑවිච්ච ගොබිලෙක් වගේ කමිස සාක්කු, කලිසම් සාක්කු ඔක්කොම අවුස්සා අවස්සා බලදී තෙරපිලා කුදුගහිලා හිටපු වැන්මේට්ලාට මල පැනලා. ඒත්  මගේ සියොළඟ ගිනි අරං .

දැන් මොකද කරන්නේ !මගේ හඬ පිටවෙන්නෙත් නෑ .

‘බස් එක නවත්තන්ඩෝ  මගේ පඩි පැකට් එකට  ගහලෝ! .

බට්ටා වෑන්  එක ඉද්ද ගැහුවා සේ නතර වුනා.
බලන්න බලන්න හැමතැනම බලන්න. කවුද සැක ?
කවුරු සැක කරන්නද මට පෙන්නේ මගේ වගේම අසරණ උණු මුණු ගොඩක්.

පස්සේ බැරිම තැන . අතේ බෑග් එකත්  එල්ලගෙන  මම පරාජිත මුහුණින් වෑන් කට්ටෙන් බැහැලා කඩුවෙල පාලමෙන් එගොඩ වුනා . මම වාහනෙන් බැස්ස තැන. දුට රසකැවිලි ගත්තු තැන හැම තැනම හෙව්වා.  ලියුම් කවරේ වටිලාවත් තියෙනවද කියලා.

 පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ ගියා . මට දැන් මැවිලා පෙන්නේ පොඩි එකීගේ හා බිරිඳගේ මුණු.
අනේ කොච්චර ආශාවෙන් බලාගෙන ඉන්නවා ඇත්ද මං  එකනකන්. අතේ සල්ලි ටිකක් තියාගෙන ඉතිරිය බ්‍රිෆ් කෙස් එකට දාගන්න හිතුන්  නැත්තේ ඇයි ? නරක වෙලාව.
ගෙදර යන්නත් බැරි නොගිහිනුත් බැරිව  උකටලීව  පැයක් විතර  කඩුවෙල ටව්මේ  වාත වෙච්ච මම කළුවර වෙනකොට තවත් බට්ටා වැන්  එකක නැගලා නයා මැරිච්ච අහිගුන්ටිකයා වගේ ගෙදරට ගෑටුවා .

මම යනකොටත් පොඩි එකියි අම්මයි ගේට්ටුව බදාගෙන . මම හිනා වෙන්න මහන්සි උනා. කෙලි පැටික්කිව  වඩා ගත්තා. බිරිඳගේ අතට ගමන් මල්ල දුන්නා .
මොකද අසනීපෙන්ද ඇය  මා දිහා ආදරෙන් බලන ගමන් ඇහැව්වා . මම මොකුත් නොකියා හිටියා.
තේ එක හම්බුනා . ඇඟ හෝදගන්න සාලුව කරට වැටුනා. අලුත් රස්සාවේ විස්තරේ මොකුත් අහන්නෙම නැතිව ටික වෙලාවක් ගෙවුනා. මම ටිකක් වගේ විඩා  නිවා ගත්තට පස්සේ ඇය ඇහුවා.

‘ ඇත්ත කියන්න මොකක්ද වෙච්ච කරදරේ. ඒ රස්සාවත් දාලා ආවද ?

නෑ මොකුත් නෑ . දුරක් ආ නිසා මහන්සියි . මම බොරුවක් කියමින් ඈව  මග ඇරියා . මාමණ්ඩි හොයාගෙන ගිහින් රට තොටයි දේශපාලනෙයි කතා කරා. මම හිටියේ රොබෝවෙක් වගේ.

තව තවත් කළුවර උනා . පොඩි එකී නිදා ගත්තා .

දැන්නම් මට ඇත්ත කියන්න ඇය ඇවිටිලි කළා
‘ඔය මුනේ ඇස්වල වෙනස මට හංගන්න පුළුවන් කියලා හිතෙනවද?’

බැරිම තැන මම කට ඇරියා

‘පඩි පැකට් එක කඩුවෙලදී පොකට් ගහලා’  .

//ඕක පරෙස්සම් කරගෙන එන්න බැරිද ? අනේ දෙයියනේ අපි දැන් ණය ටික ගෙවන්නේ කොහොමද ? ඔයානම් පුදුම මනුස්සයෙක් තමයි. මටනම් තවත් මෙහෙම ඉවසන්න බෑ // ඇය  එහෙම කියාවි කියලා මට හිතුනා. ඒ මුහුණ දිහා දුක්මුසු විදිහට මම බලා ගෙනහිටියා. ඇය කඳුළු සැලුවානම් මම අඬන්න ඉඩ තිබුනා.

ඒත්  ඇය  එහෙම කිසිම දෙයක් කිව්වේ නෑ . හඬා වැටුනෙත් නෑ .

‘අයියෝ ඕක කියන්න බැරුවද මෙච්චර  තෙපර බබා හිටියේ. මම හිතුවේ මොකක් හරි ලොකු දෙයක් වෙලා කියලා’  එහෙම කියපු  ඇය  හිනාවෙලා මගේ ලඟට ආවා.

 ඒ හිනාවේ  ලියවෙලා තිබ්බේ පොකට් කාරයාට ගන්නට බැරි වූ ආදරයේ කතාව

තිලකසිරි ඒකනායක

තිලකසිත බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

https://thilakasitha.blogspot.com

පරිවර්තිත කෙටිකතාව

මනමාලයා

ඔහු නමින් දාසි විය. එවැනි පටු උස් හිසක්, පිටතට නෙරූ දෑසක්, මහත ගෙලක් සහ මස් පිඬු පිරුණු සිරුරක් තිබුණු තවත් විරූපී අයෙකු ඒ ප්‍රදේශයේ කොතැනක වත් නොවිණි. දෙවියන් විසින් ඔහුට චතුර බිනීමක් ලබාදී තිබුණේද නැත. ඔහු කුඩා දරුවෙකු මෙන් තතනමින් ගොත ගැසුවේ ය. ඔහුගේ වයසත් අභිරහසක් විය. එය වයස විස්සත් පනහත් අතර ඕනෑම ගණනක් වන්නට ඉඩ තිබිණි. ඔහු ජීවත් වූයේ ගම්මානය කෙළවර වූ පාරක තිබුණු නිවෙසක යි. ඒ නිවසේ හිමිකරුට දාසිගේ තිබුණු නෑකම ගම්වැසියන් අතර නිතරම විවාදයට බඳුන් වූ කරුණක් විය. දාසි නිවසේ හිමිකරුගේ බාල සහෝදරයෙකු බව ඇතැමුන් විශ්වාස කළ අතර තවත් අය කීවේ දාසි ඒ නිවැසියන් විසින් හදා වඩාගත් අනාථයෙකු බවයි. සැබෑ විස්තරය මින් කවරක් වූවත් එය දාසි වෙතින් නම් පැහැදිලිව විමසා ගැනීමට ක්‍රමයක් තිබුණේ නැත. ඊට හේතුව මා පෙර කී පරිදි දාසිට තම වයස වත් හරියාකාරව කියාගනු නොහැකිවීමයි. වයස අසනු ලැබුවොත් ඊට පිළිතුරු ලෙස එක් දිනෙක ඔහු වයස අවුරුදු සීයයි කියනු ඇති අතර ඊළඟ දිනයේදී වයස අවුරුදු පහයි යැයි කියනු ඇත. ඔහු විසූ නිවසින් ලැබුණු ආහාර සහ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඔහුගේම ක්‍රමයකට එහි වැසියන්ට සේවය කළේ ය. ඔහු හැම දවසකම මධ්‍යහ්නය වන තුරු ළිඳෙන් දිය ගෙන ඒමත්, දර පැලීමත්, වත්ත කෙටීමත් සිදු කළේ ය.

හැම හවස් වරුවකම දාසි නිවසින් පිටතට ගියේය. ඔහු පිටත් වූ සැණින් ඔහුට උසුළු විසුළු කරමින් කුඩා ළමයින් රංචුවක් ඔහු පසුපස වැටීම සාමාන්‍ය සිද්ධියක් විය. මඟ යන එන්නන් සහ වෙළෙන්දන් පවා මෙලෙස ඔහුට කෙරෙන සමච්චලයට එක් විය. දාසි යන මඟ මන්තාපම් ලෙස නම් ලද නිවසක ඉදිරි ආලින්දයේ එක්තරා කණ්ඩායමක් දිනපතා එක් රැස් විය. මොවුන් අතීතයේ තමන්ගේ පලදායී කාලයේදී ප්‍රයෝජනවත් රැකියාවන් කළ වයසක මිනිසුන් පිරිසකි. දැන් ඔවුන්ට දවස පුරාම නියැලෙන්නට කිසිම රාජකාරියක් නොවිණි. ඔවුහු නිරතුරුව කුමක් හෝ විශේෂ සිදුවීමක් හෝ ඕපාදූපයක් සෙවීමට වෙහෙසුනහ. මේ නිසා දාසිගේ පැමිණීම ඔවුන්ට ගෙන ආවේ මහත් සතුටකි. ඔහු ඇස ගැටුණු මොහොතේම “ඒයි, උඹ මනමාලියෙක් හොයා ගත්තාද?” යැයි ඇසීම ඔවුන්ගේ පුරුද්දක් විය. මේ ප්‍රශ්නය දාසි ඔවුන් වෙත අනිවාර්යයෙන් ගෙන්වා ගැනීමට හේතු වූයේ ඔහු ද තමන්ගේ විවාහය ගැන ගැඹුරින් සහ උනන්දුවෙන් කල්පනා කළ බැවිනි. ඔහු ඔවුන් වෙත පැමිණ ඇන තබා ගත් විට “මංගල්ල වලට නියමිත කාලේ ඉවර වේගෙන යන්නේ කොල්ලෝ, ඉක්මන් කරන්න වෙයි” වැනි දෙයක් ඔවුහු කියති.

“ඔව්, ඔව්,” දාසි එවිට පිළිතුරු දෙයි. “මම ස්වාමි හම්බවෙන්න යන්නේ. එයා පොරොන්දු වුණා අද මේක විසඳලා දෙනවා කියලා.”

“අද?”

“ඔව් අද රෑට මම බඳිනවා. එයාලා එහෙම කිව්වා.”

“කවුද?”

“මගේ මාමා…”

“කවුද උඹේ මාමා?”

“මගේ අයියා තමයි මගේ මාමා. මම ඉන්නේ එයාගේ ගෙදර, මම වතුර අදින්නේ එයාගේ ළිඳෙන්. මේ බලන්න මගේ අත්දෙක, ඔක්කොම හම ගිහින් තියෙන්නේ…” මෙසේ කියා ඔහු තම දෑත් විදහා දෙඅත්ල පායි. ඔවුහු ඔහුගේ දෑත අල්ලා මෙසේ කියති. “අත් දෙක ලෑලි වගේ ගනකම් වෙලා! පවු මේ මිනිහා, මේක හරියන්නේ නැහැ, ඉක්මණින් මේක නතර කරගන්න නම් උඹ කසාද බඳින්න ඕන..”

මෙය අසා දාසිගේ දෑස් දීප්තිමත් වී, ඔහුගේ දෙතොල සතුටු සිනාවකින් මෑත් වන්නේ එක් විශාල දතක් පෙන්වමිනි. අවට හැමකෙනෙකුම මේ සිනාවට එකතු වෙද්දී ඔහු වැනෙමින් පැද්දෙමින් තව තවත් සිනා වේ.

ඉනික්බිති ඊළඟ ප්‍රශ්නය මතු වේ. “කෝ උඹේ මනමාලි?”

“එයා ඉන්නවා.. මදුරාසියේ.. මදුරාසියේ…”

“එයා කොයි වගේද?”

“එයාගේ ඇස් මේ වගේ,” දාසි තමන් ඉදිරිපස අවකාශයේ විශාල කවයක් අඳියි.

“එයාගේ හම මොන පාට ද?”

“සුදු ම සුදුයි.”

“එයාට දිග කොණ්ඩයක් තියෙනවද?”

දාසි කඩා හැලෙන කෙහෙරැළි තම දෑතින් පෙන්වයි.

“එයා ලස්සන ද?”

“ඔව්, ඔව්, එයා ලස්සනයි.”

දාසි තම දෑතින් මුහුණ වසාගෙන, තමන් ඉදිරිපස පිරිස දෙස හොරැහින් බලමින් “ඔව්, ඔව්, මමත් එයාට කැමතියි” යැයි ලජ්ජාවෙන් කියයි.

“උඹට ඉතින් කසාද බඳින්න සල්ලි තියෙනවාද?”

“එයාලා මට රුපියල් තුන්දාහක් දෙන්න ඕන,” දාසි පිළිතුරු දෙයි.

“ඔය කියන්නේ එයාගේ පඩිය එකතුවෙලා තියෙනවා කියන එක.”අසල සිටින කෙනෙක් මෙය පැහැදිලි කරති.

ඔහු ආපිට නිවසට ගිය විට මෙතෙක් වෙලාවක් කොහි සිටියේද අසනු ලදුව “මගේ කසාදෙ” යැයි ඔහු පිළිතුරු දෙයි. ඉනික්බිති ඔහු මඩුවට ගොස් ඔහු සතු වූ එකම වස්තුව වූ පැදුර මත වාඩි වී මහා රැයේ දී රාත්‍රී අහාරය ගැනීමට අඬගසන තුරු ඔහු මෙතැනම හිඳ තම කසාදය ගැන කල්පනා කරමින් සිටියි. ඔහු බත්, මාළු විශාල ප්‍රමාණයක් ආහාරයට ගත් නිසා ඔහුට කෑම ලැබුණේ අන්තිමට යි. අන් අය ආහාර ගෙන අවසන් වීමට පෙර ඔහුට කෑමට අඬගැසීම අනවශ්‍ය අවදානමක් ලෙස නිවැසියෝ සැලකුවෝය. කෑමෙන් පසු ඔහු විශාල කල්දේරම් පුරවා දිය ගෙනවිත් කුස්සියේත් කෑම කාමරයේත් පොළොව සෝදයි. ඉනික්බිති තම පැදුර වෙත ගොස් නිදාගන්නා දාසි පාන්දර නැවත පිබිද දිය ගෙන ඒමට ළිඳ වෙත යයි.

ගණන් කිරීමට පවා අපහසු වසර ගණනාවක් තිස්සේ මේ සියල්ල මෙලෙසම සිදුවෙමින් තිබිණි. දාසි ගේ ජීවිතයේ පවා එක්තරා ආකාරයක තානයක් සහ රිද්මයක් විය. ඔහු කිසිවක් පසුපස එළවූයේ නැත, කිසි කෙනෙකුගේ කටයුතුවලට ඇඟිලි ගැසුවේ නැත. ඔහුට කිසිවෙකු කතා නොකළේ නම් ඔහු කතා කළේ නැත. තමන් විහිලුවට ලක්වෙන බව වටහා ගත්තේ නැත. ඔහු හැම කෙනෙකුටම එක ලෙසම බැරෑරුම් ව සැලකුවේය. ගම්මානයේ පාසල් දරුවන් ඔහුට විසුළු කරමින් පසුපස දිව යද්දී ඔහු ඒ බව දුටු බවට වත් ලකුණක් පෙන්වූයේ නැත. ඔහුට කුළු හරකෙකු තරමට ශක්තිය තිබුණු බවට සැකයක් නැතත් මිහිතලය තරමට දරාගනීමක් ද තිබිණි. ඔහු කිසි දෙයකින් කරදරයට පත්වූ බවක් පෙනුණේ නැත.

මතක ඇති කාලයක පටන් තුන්වන වීදියේ හිස් ව තිබුණු කුඩා නිවසේ ‘කුලියට දීමට තිබේ’ යයි සඳහන් දැන්වීම හදිසියේම අතුරුදන් විය. වෙනදාට ගමට පුවත්පත් සහ ලිපි පමණක් ගෙන එන දුම්රිය එක් දිනක උදෑසන ගමට මදුරාසියේ සිට සිනමා නිළියක් රැගෙන විත් තිබිණි. බාමිණි බායි නම් තරුණ කාන්තාවක් වූ ඇය අලංකාර සිනාවෙන්ද, සේද සහ වත්සුණු වලින්ද සැරසී සිටියාය. ඈ පෙර කී කුඩා නිවසේ පදිංචි වූවා ය.

වැඩි කලක් ගත වන්නට මත්තෙන් ගම්වැසියෝ ඇය ගැන සියලුම තොරතුරු සොයා ගත් හ. ඈ මල්ගුඩියේ විසූ ප්‍රසිද්ධ සංගීතඥයෙකු ගෙන් එම ශාස්ත්‍රය ඉගෙනුම පිණිස පැමිණ තිබුණු අතර ටික කලක් එහි විසුමට අපේක්ෂා කළ බව ආරංචි විය. ඈ සමඟ ඇගේ මහලු මවද ඒ නිවසේ විසුවාය. හැම දිනකම මේ කාන්තාව පාන්දරින්ම පිට ව ගොස් මධ්‍යහ්නයේදී පෙරළා පැමිණෙන බවත්, හවස තුන වන තුරු නිදා ගන්නා බවත්, ඉනික්බිති හවස පහට ට්‍රන්ක් පාර ඔස්සේ ඇවිදීමට යන බවත් ආදී තොරතුරු ගම්වැසියෝ දැන සිටියහ.

දිනක් මන්තාපම් හිදී ඔවුහු දාසි ට මෙසේ කීහ.

“දාසි අන්න උඹේ මනමාලි ඇවිත්.”

“කෝ?” දාසි ඇසුවේය. කලබල වී සිටි ඔහු තම සතුටත්, උද්වේගයත් පිට කිරීමට මහන්සි වන බවක් පෙනුණි. ඔහු වටා රැස්ව සිටි පිරිස බොහොම බැරෑරුම් ලෙස විස්තර කියන්නට වූහ.

“උඹ දන්නවා නේද අර එහා පාරේ තියෙන ගෙදර, අර පුංචි ගෙදර?”

“ඔව්, ඔව්”

“ඒකෙ එයා ඉන්නේ. එයා හැමදාම හවස පහට එළියට යනවා. උඹට ට්‍රිචි පාරට ගියානම් බලාගන්න තිබුණා.”

දාසි ලජ්ජාවෙන් හිස නමාගෙන සිටියේය. නමුත් ඔවුන් ඔහුව උසි ගැන්වූ තරම නිසාම අන්තිමේදී ඔහු ට්‍රන්ක් පාරට ගොස් පාර අද්දර ගසක සෙවනකට වී ඇන තබාගෙන බලා සිටියේය. ඒ වෙද්දී වෙලාව හවස දෙකට වත් වී නොතිබුණු බැවින් ඔහුට හවස හය වනතුරු බලා සිටින්නට විය. ඔහුගේ මුහුණට හිරු එළිය කෙළින්ම වැටී තිබිණි. ඔහු ගසේ කඳට හේත්තු වී කල්පනා කරමින් පසු විය. දූවිලි අවුස්සමින් මෝටර් රථ කිහිපයක් ද, ගෙජ්ජි සොලවමින් ගොනුන් බැඳි කරත්ත කිහිපයක්ද ගම්වැසියන් කීපදෙනෙක්ද ඔහුව පසු කර ඒ මේ අත ගිය මුත් දාසි ඒ කිසිවක් දුටුවේ නැත. ඔහු පාර දෙස බලාගත්වනම පසුවිය. ටික වෙලාවකට පසු ඈ එනු පෙනුණි. ඇගේ දසුනින් දාසිගේ උගුර වේලී ගියේ ය. ඔහුගේ නළල පුපුරු ගසන්නට වූ අතර සිරුර දාඩියෙන් තෙත් විය. ඔහු ඒ තරම් සුන්දර දසුනක් මුළු ජීවිතය පුරාම දැක තිබුණේ නැත. ඇගේ සුන්දරත්වයෙන් සහ තාරුණ්‍යයෙන් ඔහුගේ දෑස් නිලංකාර විය. ඔහුගේ සිත අවුල් වී, කැළඹී තිබිණි. වහා වහා උන් තැනින් නැගිට ගත් ඔහු හැකි තරම් වේගයෙන් ගෙදර දිව ආවේය. මඩුවේ තම පැදුරට වැටුණු ඔහු කෙතරම් කල්පනාවේ නිමග්න ව සිටියේද යත් රෑ කෑමට අඬ ගසනු ලදුවත් ඔහු නැගිට්ටේ නැත.

හාම්පුතා මඩුව වෙත පැමිණ ඔහුගේ සිරුර සෙලවීය. “උඹට මොකද වෙලා තියෙන්නේ?” ඔහු විමසුවේය.

“මගේ කසාදෙ… එයා ඇවිත්. එයා හොඳයි.”

“ගිහින් කෑම කාලා උඹේ වැඩ කරපන් මෝඩයා.” හාම්පුතා කීවේය.

ඊළඟ හවස් වරුවේ ත් දාසි ට්‍රන්ක් පාර වෙත ගියේය. නොබෝ දිනකින් මෙය දිනපතා සිදුවෙන පුරුද්දක් බවට පත් වීය. එසේ යන හැම දිනකම ඔහුගේ නිර්භීතකම වැඩි විය. අන්තිමේදී ඈ දෙස බැලීමට හැකි තරමට ඔහුට එඩි ලැබුණු දිනයක් උදා විය. ඈ ඔහු ව පසු කර යද්දී ඔහුගේ මුහුණ සැහැල්ලු වී සිනාවක් පාන්නට ඔහුගේ දෙතොල මෑත් විය. නමුත් වෙන කල්පනාවක පසු වූ තරුණිය මේ බව දුටුවේ නැත. ඈ නැවතත් නිවස වෙත පැමිණෙන තුරු බලා සිටි ඔහු ඒ වෙද්දී බිම් කළුවර වැටෙමින් තිබුණද, ඈ ඉවත බලා සිටියද, ඒ ගැන නොතකා යළි වරක් ඈ සමඟ සිනාසෙන්නට උත්සාහ කළේ ය. ප්‍රීතියෙන් විකසිත වූ මුහුණෙන් ඔහු ඈ පසුපස ගියේ ය. ඈ ගේට්ටුව විවර කර ඇවිද ගොස් ඇගේ නිවස වෙත පිවිසුණාය. මඳක් තාවර වූ ඔහු ඈ පසුපසින් නිවසට ඇතුලු වී, දොරකඩ පිවිසුම් ආලින්දයේ විදුලි ලාම්පුව යට සිටගත්තේ ය. තරුණියගේ මව මුළුතැන්ගෙයින් පිටව එද්දී ඔහු ව දැක “කවුද උඹ?” යැයි ඇසුවා ය.

දාසි ඇය දෙස බලා සිනාසෙනු දැක ඈ බියපත් වූවා ය.

“බාමා, කවුද මේ සාලේ මිනිහෙක් ඉන්නේ?” ඈ කෑ ගැසුවා ය.

බාමිණි බායි තම කාමරයෙන් පිටතට පැමිණ, “උඹ කවුද?” කියා දාසිගෙන් ඇසුවාය.

ඇගේ දසුනින් දාසි දිය වී ගියේ ය. ඒ වෙද්දී යම් කුඩා ප්‍රකාශණ හැකියාවක් ඔහු සතුව ඉතිරිව තිබුණේ නම් මේ මොහොතේ ඔහුට එයද අහිමි විය. ඇසි පිය ගසමින්, කෙළ ගිලිමින් සිටි ඔහුගෙන් දිස් වූයේ හුස්ම සිරවෙන මිනිසෙකුගේ පෙනුමකි. ඔහුගේ දෑස ප්‍රේමයෙන් දැල්වී තිබිණි. දෙතොල සිනාසෙන්නට වෙර දරමින් පසුවිය. ඉතා අපහසුවෙන් ඔහු මෙසේ කීවේය.

“මගේ මනමාලි .. මනමාලි, ඔයා මනමාලි”

“මොකක්ද උඹ කියන්නේ?”

“ඔයා මගේ මනමාලි,” ඔහු නැවතත් කියා ඈට මඳක් සමීප විය.

ඈ භීතියෙන් පසුපසට පැන ඔහුට අතුල් පහරක් එල්ල කළා ය. ඉනික්බිති ඇයත් ඇගේ මවත් මහා හඬින් කෑ ගැසූ තරමට අසල්වැසියෝ සහ මඟ යන එන්නෝ දිව ආහ. කිසිවෙකු විසින් පොලීසියේ උප පරීක්ෂකවරයා කැඳවා එන ලදී. අන්තිමේදී දාසි ව පොලීසියට රැගෙන ගිය නමුත් මන්තාපම් හි සාමාජිකයෝ තමන්ගේ ඇඳුරුම්කම් පාවිච්චි කර එදින රාත්‍රියේම ඔහු ව නිදහස් කර ගත් හ. නිදහස් වූ පසු ඔහු ආපිට තම නිවසට ගොස් පැදුරට වැටුණේ ය. ඒ හවස්වරුවේ දී ඔහුට විවිධ පුද්ගලයන්ගෙන් පහර වැදී තිබුණත් ඔහුට ඒවා දැනුණේ වත්, මතක තිබුණේ වත් නැත. ඔහුගේ ආත්මය එරෙහි වෙමින් තිබුණේ තම මුහුණට ලැබුණු අතුල් පහරට යි. ඔවුහු ඔහුට කෑමට හඬ ගසද්දී ඔහු නැගිටීම ප්‍රතික්ෂේප කළේ ය.

“ගිහින් කෑම කාපන් දාසි, උඹ මටත් අවනම්බු කරනවා. මින්පස්සේ එළියට එහෙම බහිනවා නෙමෙයි!” ඔහුගේ හාම්පුතා ඔහු වෙත ගොස් අණ කළේ ය.

නමුත් දාසි නැගිටීම ප්‍රතික්‍ෂ්ප කරමින් පසුවිය.

“යන්න. මම කන්නේ නැහැ” කී ඔහු පැදුරේ ගුලි වී බිත්තිය වෙත හැරුණේ ය.

නමුත් අවාසනාවට මීට පසු දිනයේදී දාසි නිවසින් එළියට බැස්සේ ප්‍රථමික පාසලේ දරුවන් දිවා විවේකයට පිටතට එද්දීම යි. මොවුන් හැම දෙනාටම පෙර දිනයේදී වූ සිදුවීම ආරංචි වී තිබිණි. දාසි ව වට කරගත් ඔවුහු “ආ! මනමාලයා!” කියමින් කෑගසන්නට වූහ. ඔහු ආපසු හැරී ඔවුන් දෙස බලද්දී ඔහුගේ දෑස කඳුලින් පිරී තිබිණි. “යන්න, යන්න, මට කරදර කරන්න එපා..” ඔහු අසරණ ලෙස ඔවුන්ගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියේ ය.

“ආ මනමාලයා තාම අඬනවා, ඇයි මනමාලි ඊයේ මෙයාට ගහලානේ,” එක කොලුවෙක් කීවේය. මෙය ඇසූ දාසි යක්ෂාවේශ විය. ඔහු එම කොලුවා වෙත පැන ඔහු ව කොලරයෙන් අල්ලා ඔසවා රැස්ව සිටි පිරිස වෙත වීසි කළේය. ඉනික්බිති ඔහු තම දෑත දෙපසට වනන්නට වූ අතර ඔහුට කිට්ටු වන්නට ආ හැමකෙනෙකුටම ඒවායෙන් පහර වැදිණි. පාසල වෙත දිව ගිය දාසි එහි මේස පුටු කඩා බිඳ දමන්නට විය. ඔහුව පරක් කරගැනීමට උත්සාහ කළ ගුරුවරු හතර දෙනෙකුට ඔහු පහර දුන් අතර එතැනින් දිව යද්දීත් ඔහුට මුණගැසුණු හැම කෙනෙකුටම පහර දුන්නේ ය. කඩ සාප්පු වලට වැදී බඩු මුට්ටු ඒ මේ අත වීසි කළ ඔහු එක තැනකින් තව තැනකට පැන්නේ දිවියෙකු ලෙසිනි, ගම පුරා සැනෙකින් දිව ගියේ කුණාටුවක් ලෙසිනි.

වහා වහා අවට වූ ගේට්ටු වැසිණි. කිහිපදෙනෙකු දාසි ව හඹා ගිය අතර වැඩි දෙනෙකු තෝරාගෙන තිබුණේ සැඟවීමයි.වැඩි වෙලාවක් යන්නට මත්තෙන් පොලිස් නිලධාරීන් පැමිණ දාසි ව යටත් කරගන්නා ලදී.

ඒ රාත්‍රිය දාසි පොලිස් කූඩුවේ ගත කළ අතර පසු දිනයේදී ඔහුව මානසික රෝහලට යවන ලදී. මුලදී ඔහුව පාලනය කිරීම පහසු වූයේ නැත. සති කීපයක් යනතුරු ඔහු ව කුටියක වෙන් කර තැබිණි. මේ කාලයේදී ප්‍රධාන ගේට්ටුව අසලට ගොස් පාර දෙස බලන්නට අවසර ඉල්ලා දාසි දොස්තරගෙන් බැගෑපත් වී තිබුණු අතර යහපත් ලෙස හැසිරුනොත් ඊට අවස්තාව දෙන බවට දොස්තර පොරොන්දු වී ය. මේ පාරිතෝෂිකය දාසිට කෙතරම් වැදගත් වී ද යත් ඔහු සතියක්ම හැම දෙනාගේ උපදෙස් පිලිපැද්දේය. මේ නිසා ඔහු ව සේවකයෙක් සමඟ ප්‍රධාන ගේට්ටුව වෙත යවන ලදී. ඒ මුළු පැය ම ඔහු එහි රැඳී තමන්ගේ මනමාලිය ඒ දැයි මඟ බලමින් පාර දෙස බලා සිට තිබිණි.

Translation of the short story Dasi the Bridegroom by R. K Narayan

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක

Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

http://hotchocolatedays.blogspot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *