සුනාමියට වසර 20යි.

මුළු මහත් ලොවක් අඳුරු කරමින් හිත්පිත් නැති සයුරු රළට, ජීවිත දහස් ගණනාවක් බිලි වී පසුගිය 26 වැනිදාට වසර 20කි.දිනය 2004 දෙසැම්බර් 26 වැනි දා වේලාව උදෑසන 6 යි විනාඩි 58ට උතුරු සුමාත්‍රා දූපත් සමීපයේ ගැඹුරු මුහුදේ මැග්නිටියුඩ් 9.1ක ප්‍රබල භූ කම්පාවක් සිදු විය.නත්තලට පසු ඉරිදා දිනයේ විවේකීව ගතකළ කිසිවෙකුත් නොදැන සිටි මහා ව්‍යසනයක ආරම්භය එයයි.විනාඩි කිහිපයකින් ත්‍රිකුණාමලයෙන් මුහුද ගොඩගලන බවට තොරතුරු ලැබුණි.

භූමිකම්පාවෙන් පැය දෙකකට පසුව හරියටම උදේ 9 යි 26 ට පැයට කිලෝමීටර් 800ක වේගයෙන් පැමිණි මුහුදු රළ ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් රටට ඇතුළු විය.මිනිස් ඉතිහාසයේ අප අත්දුටු දැවැන්තම ස්වාභාවික ව්‍යසනය ආසියානු කලාපයේ රටවල් 14ක ජීවිත දෙලක්ෂ විසි හත්දහස් අටසිය අනූ අටක් අහිමි කළේ තත්පර කිහිපයකිනි.

2006 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දා ‘ජාතික සුරක්ෂිත දිනය’ ලෙස ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කර ඇත. ඒ 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගිනි.

සුනාමි (Tsunami) යනු ජපන් වචනයකි. ජපන් භාෂාවෙන් සූ (Tsu) යනුවෙන් හඳුන්වන්නේ වරායයි. තරංගය, නාමී (Nami) යනුවෙන් හඳුන්වයි. මේ අනුව වරාය තරංගය යන අරුත සුනාමි යන්නෙහි ගැබ්ව ඇත. භූකම්පන මෘදු තරංගයක් (Seismis Sea Wave) ලෙස ද සුනාමිය හැඳින්විය හැකිය. මේ අනුව උදම් රළ (Tidal Wave) යනුවෙන් සුනාමිය හැඳින්වීම වැරැදිය. සුනාමිය, උදම් රළ යනුවෙන් අර්ථ දක්වන්නේ මුහුද ගොඩගැලීම, දැවැන්ත රළ ආදිය සැලකිල්ලට ගනිමිනි. ඈත මුහුදේ ඇති වන උසින් අඩු රළ වරායට හෙවත් වෙරළට පැමිණෙන විට වරායේ පටු ස්වභාවය නිසා උසින් වැඩි වීම සිදුවේ. දිගින් වැඩි, උසින් අඩු ගැඹුරු මුහුදේදී සුළු වශයෙන් දැකිය හැකි තරංග විශේෂයක් ලෙසද සුනාමි තරංග හඳුන්වයි. එයට අමතරව සාගරයේ ජල කඳ ක්ෂණිකව කැළඹීමකට ලක්ව සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දිය රැල්ලක් හෝ රළ කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග, සුනාමි තරංග ලෙසද හඳුන්වයි. ප්‍රමාණවත් ජල ස්කන්ධයක් සහිත නොගැඹුරු දියේ වැඩි ප්‍රබලත්වයක් ඇති වීම තුළින් සුනාමි තරංග නිර්මාණය විය හැකිය.

සුනාමි තත්ත්වයක් ඇති වීමට බලපාන ප්‍රධානතම කරුණු 4ක් ඇත. සාගර පතුලේ ඇති වන භූමිකම්පාවක්, විශාල වශයෙන් සිදුවන නාය යෑමක්, මුහුද යට ගිනිකඳු පිපිරීමකින් ඇති වන ලාවා නිකුත් වීමක්, උල්කාපාත හෝ හිමකඳු සාගරයට කඩා වැටීමක් වැනි අවස්ථාවකදී සුනාමි තත්ත්වයක් ඇති විය හැකිය. සුනාමි තත්ත්වයන් වැඩි වශයෙන් ඇති වන්නේ මුහුද යට ඇතිවන භූමිකම්පා හේතුවෙනි.1958දී ඇලස්කාවේ, ලිතියාවේ කඳු න්‍යාය යෑමකින් සුනාමි තත්ත්වයක් ඇති වී තිබේ.

මෙයට වසර කෝටි 10කට පමණ පෙර දැවැන්ත ග්‍රහකයක් කඩාවැටීමෙන් ඩයිනෝසරයන් වැනසුණු බව ද විද්‍යාඥයන්ගේ මතයයි.සුනාමි තරංගයක වේගය බොහෝ විට තීරණය වන්නේ මුහුදු පතුලේ ස්වභාවය අනුවය. මුහුදු පතුලේ බෑවුම වැඩි වන විට තරංගයේ වේගයද වැඩිය. බෑවුම අඩු අවස්ථාවලදී සුනාමි රළ ගමන් කරන්නේ සෙමින්ය. එවන් අවස්ථාවල වෙරළබඩ ජනයාට රට තුළට දිව යෑමට අවස්ථාව උදා වේ. මුහුදු පතුලේ බෑවුම වැඩි ස්ථානයන්හි සුනාමි රළ වේගයෙන් වෙරළට කඩාවදින නිසා සිදුවන විනාශයද අතිමහත්ය.

පළමු සුනාමි තරංගය වෙරළට කඩාවැදී ඊළඟ තරංගය පැමිණීමට පෙර මුහුදු ජලය පසුබෑම හෙවත් ආපසු ගලායෑම සිදුවේ. මෙසේ සිදුවන්නේ සුනාමි තරංග දෙකක් අතර දුර ඉතා අධික නිසාය. එයට හේතු වන්නේ සුනාමි තරංගයේ නිම්න කොටසයි. ගොඩබිම දෙසට පළමුව පැමිණෙන සුනාමි තරංගය නිම්නයක් නම් වෙරලාශ්‍රිත ජලය අඩු වී දියේ ගිලී පවතින ප්‍රදේශ නිරාවරණය විය හැකිය.එවිට වෙරළ ආසන්නයේ සිටින අයකුට මුහුද පසුපසට ගමන් කරන අයුරු දැකිය හැකිය. වෙරළ ආශ්‍රිත මුහුදු පතුල නොගැඹුරු නම් මෙසේ මුහුද පසුපසට යෑම මීටර් සිය ගණනක් විය හැකිය. එවිට වෙරළ ආසන්නයේ ජනයා කළයුතු වන්නේ උස් බිම් ප්‍රදේශයකට පලායෑම හෝ උස ගොඩනැඟිල්ලක ඉහළම මාලයට නැඟීමයි. නමුත් වෙරළාසන්න ජනතාව කුතුහලයෙන් මුහුදට පැමිණ මාළු, ජලජ පැළෑටි හා වෙනත් දෑ එකතු කරමින් සිටී. සුනාමි තරංගයේ ශීර්ෂ කොටස හේතුවෙන් ඊළඟට පැමිණෙන විශාල ජලකඳ පිළිබඳව අවබෝධයක් නොමැති මෙම ජනතාව මේ නිසාම විශාල වශයෙන් සුනාමියේ ගොදුරු බවට පත් වේ.

 ඉන්දු තලය උඩින් බුරුම තලය ලිස්සා යෑම හේතුවෙන් 2004 වසරේ සුනාමි තත්ත්වය ඇති වී තිබේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල මෙම භූමිකම්පාව ඇති විය. මෙම ලිස්සා යෑමේදී භූතලය මීටර් 30ක් පමණ ඉහළට එසවී ඇත. එයින් පෘථිවිය සිය කක්ෂය වටා භ්‍රමණය වීමට ද ප්‍රබල බලපෑමක් ඇතිව තිබේ. මේ බව තහවුරු වී ඇත්තේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් කරන ලද අධ්‍යයනයකිනි. මේ හේතුවෙන් පෘථිවිය අඟහරු ග්‍රහයා දෙසට මඳක් තල්ලු වී ගොස් ඇත. ඒ නිසාම පෘථිවිය කක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන කාලය මයික්‍රෝ තත්ත්පර 03කින් වෙනස් වී ඇත. මේ නිසා පෘථිවිය කාලගුණික වෙනස්කම් රැසකට මුහුණ පා තිබේ. සුමාත්‍රා දූපත්ද මීටර් 100කින් නිරිත දිගට තල්ලු වී තිබේ. කොරල්පර ඇතුළු වෙරළ පාරසරික පද්ධති රැසක් වෙනස් වී ඇත. සුනාමී තත්ත්වයන් 80%ක් ම ඇති වන්නේ පැසිෆික් සාගරයේය.

කෙසේ වෙතත්, රට මැද විශාල ජල ගනත්වයක් සහිත විලක වුවත් සුනාමි තත්ත්වයක් ඇති විය හැකිය.

2004 සුනාමියෙන් රටවල් 14කට හානි සිදු විය. මෙය රිච්ටර් මාපකයේ 9.3ක් ලෙසින් සටහන් විය. මෙයින් වැඩි ම ජීවිත හානි සිදුවූයේ ඉන්දුනීසියාවටය. එම රටේ මිනිසුන් 237,071ක් මියගිය අතර 113,937ක් අතුරුදන් විය. දෙවන වැඩි ම විනාශය සිදුවූයේ ශ්‍රී ලංකාවටය. ලංකාවේ මිනිසුන් 30,957ක් මියගිය අතර 4,698ක් අතුරුදන් විය.

ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 16,389කි. එහි 5,554ක් අතුරුදන් වී තිබේ. තායිලන්තයේ 5,393ක් මියගිය අතර 2,994ක් අතුරුදන් විය. මාලදිවයිනේ 82 ක් මියගොස් 26 දෙනෙක් අතුරුදන් වූ අතර මැලේසියාවේ 68 දෙනකු මියගොස් තිබේ. මියන්මාරයේ 61 දෙනෙක්ද බංග්ලාදේශයේ 02 දෙනෙක්ද, කෙන්යාවේ 01 අයෙක්ද මියගොස් තිබේ.

මෙයින් ශ්‍රී ලංකාවේ අම්පාර, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි මිනිසුන් 30,957ක් මිය ගොස් 4,698ක් අතුරුදන් විය. තුවාල ලැබූ පිරිස 21,441කි. ළමයින් 3,954කට මව හෝ පියා අහිමි වූ අතර ළමයින් 979කට මව හා පියා යන දෙදෙනාම අහිමි විය. සුනාමියෙන් දිවයින පුරා නිවාස 41,000ක් සම්පූර්ණයෙන් ම විනාශ වූ අතර 29,500ක් නිවාස අර්ධ වශයෙන් හානියට පත්විය. අවතැන් වූ සංඛ්‍යාව 80,000ක් විය. පාසල් 152ක් හා පාලම් 10ක් විනාශයට පත්විය.

දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 160ක් විනාශ වූ අතර කිලෝමීටර් 7,000ක් පමණ විදුලි රැහැන් විනාශයට පත්විය. මෙම විදුලි රැහැන්වල වටිනාකම රුපියල් බිලියන 12කි. ඔරු, බෝට්ටු 15,300ක් විනාශයට පත්වූ අතර විනාශ වූ මාදැල්වල වටිනාකම රුපියල් දස ලක්ෂ ගණනකි. සුනාමි ව්‍යසනය හේතුවෙන් රුපියල් 5,000 රජයේ දීමනාව පමණක් 234,000කට ලබාදී ඇත. ධීවර, සංචාරක මෙන් ම වෙරළ ආශ්‍රිත සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත රැසක් විනාශයට පත් වූ අතර එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 25කට අධිකය. බෞද්ධ විහාරස්ථාන 79ක් විනාශයට පත්විය. ඒ ගාල්ල 32ක්, මාතර 22ක්, හම්බන්තොට 14ක්, කළුතර 5ක්, කොළඹ 3ක්, ගම්පහ 1ක් හා ත්‍රිකුණාමලයේ 2ක් වශයෙනි.

මෙයින් වැඩි ම විහාරස්ථාන සංඛ්‍යාවක් විනාශයට පත්ව තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේය. එයින් විහාරස්ථාන 14ක් බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි දේවස්ථාන, සුරුවම්, කෝවිල් හා හින්දු දේවස්ථාන ද විශාල වශයෙන් විනාශයට පත්විය.

සුනාමි ව්‍යසනයෙන් එක ම ස්ථානයේ විශාල පිරිසක් මියගියේ ගාල්ල, පැරෑලියේදීය. ඒ කොළඹ සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ සිටි මගීන්ය. පෙ.ව. 6:55ට කොළඹ-කොටුවෙන් ගමන් ආරම්භ කළ අංක 8050 දුම්රියේ ගමන් කළ පිරිස නිශ්චිතවම කිව නොහැකි බව එකල දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. නමුත් එහි ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් 1,700ක් පමණද ප්‍රවේශපත්‍ර ලබානොගත් මගීන් නොදන්නා ප්‍රමාණයක් ද සිට තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මතය විය.

මෙයින් දුම්රිය මැදිරි 08ක සිටි මගීන් 1,700කට අධික ප්‍රමාණයක් මිය ගොස් තිබූ අතර 100කට පමණ තුවාල සිදුවිය. යම් පිරිසක් දිවිගලවා ගැනීමටද සමත්ව ඇත. දුම්රිය එදින පෙ.ව. 9:30 පමණ වන විට තෙල්වත්ත, පැරෑලිය අසල ප්‍රදේශයේ ගමන් කරමින් තිබියදී අනතුරට ලක්විය.

මුහුදු රළ මීටර් 7.5ක් 08ක් පමණ උසින් යුක්තව පැමිණ වේගයෙන් දුම්රියේ ගැටී ඇත. දුම්රියේ එම්-02 වර්ගයේ අශ්වබල 1425කින් යුත් එන්ජිමත් මැදිරිත් විසිවී තිබුණේ ගිනිපෙට්ටි මෙනි.

මෙම දුම්රියේ දුම්රිය නියාමකවරයා ලෙස එදින කටයුතු කරන ලද්දේ කරුණාතිලක වනිගරත්න මහතාය. ඔහු දිවිගලවා ගැනීමට සමත් විය. පළමු රළ පහර දුම්රියේ ගැටී ඒ වටා ගිය බව ත් දෙවැනි රළ පහරට සම්පූර්ණයෙන් ම දුම්රිය විනාශ වූ බව ත් ඔහු ප්‍රකාශ කර තිබිණි. දෙවන රළ පහර එද්දී තමා දුම්රියට ගොඩ වූ බව ත් දුම්රිය පෙරළුණු පසුව කවුලුවකින් එළියට පැමිණි බව ත් ඔහු ප්‍රකාශකර තිබිණි. පළමු රළ පැමිණීමේදී දුම්රිය නතර කළ බව ත් එසේ කළේ මුහුදු රළ ගැටුණද දුම්රිය නිරුපද්‍රිතව පීලි මත තිබේවී යැයි සිතා බව ත් අනතුර සම්බන්ධයෙන් පසුව පැවති පරීක්ෂණයේදී දුම්රිය නියාමකවරයා ප්‍රකාශ කර තිබිණි. ලෝක ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධ අනතුරකදී වැඩි ම පිරිසක් මියගොස් ඇත්තේ මෙම දුම්රිය අනතුරෙනි. එය 2004 ශ්‍රී ලංකා සුනාමි දුම්රිය ව්‍යසනය නමින් හඳුන්වයි. මෙම දුම්රිය අනතුරු වර්ගය නම්කර ඇත්තේ ‘සුනාමි රළ දුම්රියක ගැටීම’ යනුවෙනි. මීට පෙර දුම්රියක් හා සම්බන්ධව වැඩි ම මරණ ගණන වාර්තා වී ඇත්තේ 1981 ජුනි 6 වන දින ඉන්දියාවේ සිදුවූ බිහාර දුම්රිය අනතුරයි. මෙම අනතුරින් මියගිය ගණන 800කි.

සුනාමි ව්‍යසනය සිදු වූයේ, නත්තල් දිනට එනම් දෙසැම්බර් 25 වන දිනට පසු දිනය. බ්‍රිතාන්‍ය ඇතුළු බොහෝ ක්‍රිස්තියානි රටවල් නත්තල් දිනට පසු දිනය, එනම් 26 වන දිනය හඳුන්වන්නේ ‘බොක්සිං ඩේ’ යනුවෙනි. නත්තල් සතුට විඳගැනීමට නොහැකි ආර්ථික අපහසුතා ඇති අයට ලබා දීම සඳහා නත්තල් දිනයේ භාවිත කර ඉතිරි වන දෑ පෙට්ටිවලට අසුරා ඊට පසු දින තෑගි දීම සිදුකරයි. තෑගි පෙට්ටි ලබාදෙන දිනය, තෑගි පෙට්ටි විවෘත කරන දිනය නිසාම Boxing Day යන අරුත පටබැඳී ඇත. Boxing Day හිත හොඳ දිනය, පිරිනැමීමේ දිනය මෙන් ම ශාන්ත පීතර දිනය ලෙස හඳුන්වන අවස්ථා ද ඇත.

Boxing Day ජනතා සතුට වෙනුවෙන් විවිධ ක්‍රීඩා තරග සංවිධානය කිරීමද සිදු කරයි. අමෙරිකා එක්සත් ජනපදයේ මැන්චෙස්ටර් නිව්කාස්ට්ල් පාපන්දු සටන, ස්විට්සර්ලන්තයේ ස්පෙන්ග්ලර් අයිස් හොකී තරගාවලිය මෙන් ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ටෙස්ට් ක්‍රිකට් තරගය ආදිය ආරම්භ කරන්නේ ද Boxing Day වෙනුවෙන් දෙසැම්බර් 26 වන දිනය.

2004 Boxing Day දිනයට ම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයද යෙදී තිබිණි. Boxing Day දිනයේ ක්‍රිස්තු භක්තිකයන් තෑගි ලබා දෙන අතර පොහොය දිනයේ බෞද්ධයන් වැඩිපුර දන්දෙයි. 2004 දෙසැම්බර් 26 වැනි දින සුනාමි ව්‍යසනය, Boxing Day මෙන් ම පොහොය දිනයේදී ම සිදු වීම දෛවයේ සරදමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *