කැනඩාවේ කවි සිතුවිලි

අම්මා

බිහි කර ලොවට කිරි කර ගත ලේ       බින්දු

සිහිනෙන් පවා ළඟ හිඳ ලය දුක්         සින්දු

ලෙහි රැඳී මුදු ගුණය නිරතුරු වත       රැන්දු

මිහි පිට දෙවිවරුන්ටයි කවි අම           බින්දු

උරමත හොවා සිහි කර මව් ගුණය      සෙට

තරණය කළ සයුර සිය පන දෙවැනි     කොට

පෙර බෝ සත් සිරිත සිහියට නගා          තුට

පුරවමු සියලු හදවත් මව් ගුණෙන්        සෙට

සුන් කර අලස ගති යුතුකම් ඇත          නෑර

ලංකර අපට දියුණුව වෙත යන             පාර

පෙන් වූ හැම විටම එඩිතර ගති            සුර

ගෙන්ගෙට බුදුනි ඔබටයි මේ           උපහාර

දස මස කුස දරා විඳ දුක් නැති        නිම්මා

හිස අත ගගා ඔවදන් බස් දී           පෙම්මා

රස මසවුළු කවා අප දැඩිකළ          අම්මා

සසරින් මිදී වේවා සම්බුදු                සම්මා

කුසුම් කාරියවසම් 

Markham , Canada

වල ගැහුණු කම්මුල් මතක

මං එරන්දී යැයි කියා 

කියන විට ඔබ හිනැහිලා 

වල ගැහුණු කම්මුල්  මතක අතරින් 

අතීතෙට මං දිවගියා 

මතක මිටියාවත් පුරා 

පළමු පෙම සක්මන් කලා 

තියෙනවද දන්නෑ  අදත් 

කෙටූ නම් ඩෙස්ක් එක පුරා 

බස්  එකේ  මුල්ලට වෙලා 

තැනූ වැලි මාළිග පුරා 

හීන ගුලිවී ඈත පාවී 

ගියේ අපි නොසිතූ යුරා 

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

අහිමි සෙනෙහස  

 

අහිමි සෙනෙහස සවන් පත් මත කොඳුරනා තිස් තුන් පැයේ

නිදන සිතිවිලි අතර සහසක් අවදි වූ පැතුමන්            තියේ

දකින සිහිනද මනස කළඹයි ශෝක ගී දසතින්         වැයේ

ඉපිද මියැදෙන සුසුම් දහරින් සතපවමි හැඟුමන්       ළයේ

සුමුදු පියකරු තඹරු සහසක් හිනැහුනා නිල් දිය          පුරා

පසෙක රතැඟිලි පටල පෝරුව මත සිටියෙ කුසුමිය      දරා

කෙලෙස හදවත වාවගමි උණු කඳුළු පිබිඳුනි නෙතු      ඉරා 

 ඉපිද මතුභව එනු මැනවි සෙනෙහසිනි මාගේ ලොව    කරා  

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

කෙටි කවි තුනක් 

Hillman minx – 1954

අපේ ගෙදර කාර් දෙකක් තිබුනා          හිල්මන් 

මගුල් හයර් වලට එදා ගත්තෙම          හිල්මන් 

අනුරපුරේ කතරගමට ගියේම              හිල්මන් 

කඩුගන්නා කන්ද නැග්ගා නියමෙට       හිල්මන්


Volkswagen Beetle – 1953

“ඉබ්බා” කාර් කියල තමයි කව්රුත් මේකට       කියන්නෙ

ජර්මනියේ හදපු එකකි   Radiator  නැතිව         එන්නෙ

කාන්තාරෙ යන්න තමයි මුලදී එලියට                දමන්නෙ

Beetle  කියනව මේකට ඇංජිම පසුපස          තියෙන්නෙ

“මොරිස් එයිට්” – Morris 8 1948

අපේ ගෙදර ප‍ලමු කාරෙකේ         කතන්දරේ

අසනු මැනවි “මොරිස් එයිට්” එකකි සුමිතුරේ

හෝදල පිරිසිදු කෙරුවේ මම        නිරන්තරේ

සී.ඊ. දොලහයි හතලිහ ඒකෙ      නොම්මරේ

සිසිල් මාන්නප්පෙරුම 

Brampton Canada

හමුවීම පතා

මට වැරදියට හිතී

ඔබට හරියට හිතී

සිනාසී දිනූ ආදරය

අද දක්වා ඇවිත්

හැරවුම් ලක්ෂයට 

මා මෙතෙක් කළ කී දෑ 

තවම ආසයි කියන්නට 

ඔබේ බැල්මට 

සිනා කැල්මට වශී වී 

ඔබ තුරුල්ලේ සිට

ආදරේ මට කියා දුන් 

එක දෙයක්

ඇත මට බෙදා ගන්නට 

තවම ළතැවෙමි

අකුරු ගළපමි

දවස ඒවිද තාම නොදනිමි

වාරු නැති හිත

වාරු කරදී

හිත හදන්නට දෙන්න ශක්තිය

කවි සිතට ඔබෙ 

පෙම්බැන්ද මට

දෙන්න අවසර පද හොයන්නට..

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

අප්පච්චි

අද තෙක් ආවා මේ ගමන

ඔබ දුන් හයියෙන්…….

මට හැකිවෙයිද බැරිවෙයිද නොදනිමි

යන්නට ඉදිරියට නොදුන්නොත් ඔබ සුරත

කදු වැටි සමතලා කොට

තනා දුන් නිවස

දොර ඇර තිබූ

සිංහ ගල්ලෙන

හිරු ඔබ විය සැරට පායන

එහෙයින් පිබිදුනි අප

කොද කැකුළුවක සිට සුපිපි වන මල් සේ

රෑට ඔබ සදු විය

මහ සැඩ රශ්මිය පළවා හරින

ඝන සීතල වුව මුන නොගස්වන

රෝ දුකින් සිරුර පෙලනා නමුත්

සිහ රදෙකු සේ හැසිරිණි

මිනිස් වග වෙත වග ඵල නොකියන

මිනිස් වග වලසුන් අතර

හීන්දෑරී උස මිනිසෙකු වූ ඔබ

සිහින් බද සහිත පහන් කනුවක් සේ

පාර පෙන්වීය

අප හැමෝටම

චන්ද්‍රරත්න බණ්ඩාර

Toronto, Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *