ශ්‍රී ලංකාව තුල නම ගිය අපරාධ කල්ලි 58ක්.ගෙවුණු මාස 02ට වෙඩි තැබීම් 17 ක්.

ශ්‍රී ලංකාව තුල අපරාධ කල්ලි 58ක් සහ එම කල්ලිවල සාමාජිකයන් 1400 දෙනකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

පළමු මට්ටම, දෙවැනි මට්ටම සහ තෙවැනි මට්ටම වශයෙන් බුද්ධි අංශ විසින් එම අපරාධකරුවන් හඳුනාගෙන ඇති බවත් එම කණ්ඩායම්වල ගෝඩ් ෆාදර්ලා මේ වන විට ක්‍රියාත්මක වන්නේ විදේශයන්වල සිට බවත් වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

2024 වසරේ වෙඩි තැබීම් 75ක් සහ කපා කොටා දැමීම් 18ක් විදේශගතව සිට මෙරට ක්‍රියාත්මක කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් 2025 වසරේදී එම ගණන මේ වන විට වෙඩි තැබීම් 17ක් සහ කපා කොටා දැමීම් 05ක් බවත් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරයි.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කරනු ලැබුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව පත්වනු ලැබීය.

මෙසේ විදේශගතව සිට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු අපරාධකරුවන්ට ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන 199ක්, නිල් නිවේදන 90ක් සහ කහ නිවේදන 04ක් නිකුත් කර ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා එහිදී පැවසීය.

මෙම අපරාධකරුවන් මෙරටට ලබාගැනීමට ජාත්‍යන්තර සහාය නොඅඩුව ලැබී තිබෙන බවත් පසුගිය දිනවල විදේශගතව සිටි අපරාධකරුවන් 19 දෙනකු මෙරටට රැගෙන ඒමට හැකියාව ලැබී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මේ තත්ත්වය මත මෙරට අපරාධවල නිරත අසල්වැසි රාජ්‍යවලට අපරාධකරුවන් පැන යාම සීමා කිරීමට හැකි බවද කීවේය.

ගෝනවල සුනිල්, ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටා, බැද්දෙගානේ සංජීව වැනි පාතාල අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය නොමදව තිබුණු බවද කියා සිටියේය. ඒ අතර සිටි ඇතැම් අපරාධකරුවන් ශ්‍රී ලංකා පොලීසියට උප සේවා නිලධාරීන් ලෙස බඳවාගෙන තිබුණු බවද ඔහු අවධාරණය කළේය.

සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය අහිමිවී ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය. මේ නිසා ඔවුන්ට රට තුළ සිය කටයුතු අනුගාමිකයන් හැර වෙන අයගේ සහායෙන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවද වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේය. ඒ නිසා ඔවුන් විදේශගතව සිටින බවද ඔහු පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියා සඳහා ඝෘජුව හෝ වක්‍රව පොලීසියේ හෝ ත්‍රිවිධ හමුදාවේ සේවයේ නිරත නිලධාරින්ගේ ආරක්ෂාව ලැබිල තියෙන බව මෙන්ම ඒ බව හඳුනාගෙන ඇති බවද වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේය. එවැනි පුද්ගලයන් හඳුනා ගැනීමේ විශේෂ වැඩ පිළිවෙළක් ඇති බවද ඔහු පැවසීය. සක්‍රිය සේවයේ නිරතව සිටියදී අපරාධවලට සම්බන්ධ වූ පොලීසියේ දෙදෙනකු සහ යුද හමුදාවේ එක් සාමාජිකයකුද හමුදා සේවයෙන් ඉවත්ව සිටින යුද හමුදා සාමාජිකයන් 07 දෙනකුද ගුවන් හමුදාවේ 01 අයකුද පසුගිය කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

“සංවිධානාත්මක අපරාධ කල්ලි අතර විශාල ලෙස ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. කප්පම් ගැටුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්. මෙතැන දේශපාලනයකුත් සම්බන්ධයි. සංවිධානාත්මක අපරාධ කල්ලිවල පැවැත්මට විවිධ මට්ටමේ දේශපාලන සම්බන්ධකම් පැවතුනා. “ යැයි මෙම මාධ්‍ය හමුවේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පැවසීය.

“අපරාධ කල්ලි මෙහෙයවන්නේ රටින් පිට. අසල්වාසී රාජ්‍යවල ඉඳගෙන කරන්නේ. රජය රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග රැගෙන හැම පහසුකම් ලබාදීල තියෙනවා. ඒ රාජ්‍යන්වලින් සැකකරුවන් රැගෙන විත් නීතිය ඉදිරියට ගේන්න. මැද පෙරදිග රටෙත් සැකකරුවන් 09 ක් ගෙනාව. ඉන්දියාවෙන් 04ක් රැගෙන ආවා. රටින් පිට සිටියත් නෛතික ක්‍රියාවලිය ඔස්සේ ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරනවා.“ යැදි රවී සෙනෙවිරත්ත මහතා කීය.

“ඒ ක්‍රියාදාමය හොඳින් සිදුවේගෙන යද්දී. පාතාලය මැඬලීමේ කටයුතු කරගෙන යද්දී සමහර අවස්ථාවලදී යම් යම් බාධා කිරීම් සිදුවෙනවා. සංවිධානාත්මක පුද්ගලයන්ගේ මැදිහත්වීම් දක්නට තිබෙනවා. දූෂිත දේශපාලන කණ්ඩායම් නිසා තමයි එයාලගේ පැවැත්ම තියෙන්නේ. “ යැයිද රවී සෙනෙවිරත්ත මහතා අවධාරණය කළේය.

කෙටි කලක් තුළ අවි පුහුණුව ලබා හමුදාවෙන් පලාගිය තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට සහ පොලීසියට හැකියාව පවතින බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

සක්‍රිය සේවයේ සිටින හමුදා සෙබළුන්ද අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පත්වනවා දැයි මෙහිදී මාධ්‍යවේදීහු විමසූහ. ඊට පිළිතුරු ලෙස ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ, ආර්ථික අපහසුතා හා මතුකුඩුවලට ඇබ්බැහිවීම වැනි හේතූන් මත අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන සෙබළුන් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. ඒ අනුව එම සෙබළුන් හඳුනාගෙන ඔවුන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මේ අතර ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.ඒ අනුව ආරක්ෂක ලේකම්  එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා එම නියෝගය කර තිබුණා .දැනට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති සියලු ත්‍රිවිධ හමුදා සෙබලුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බවයි වාර්ථා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *