‘ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි’ – මහ බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය විවිධ කම්පන මධ්‍යයේ වුවද, 2026 වසරේ පළමු භාගයේ දී ස්ථායීව පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම, බැංකු සහ මුදල් සමාගම්වල ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා ස්වාරක්ෂක අඛණ්ඩව ප්‍රමාණවත් පරිදි පැවතීම සහ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය වැඩිදියුණු වීම ඒ සඳහා හේතු වී ඇතැයි සඳහන් කෙරේ.

ශ්‍රී මහ බැංකුව 2026 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවිරණය නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

දේශීය සාර්ව මූල්‍ය තත්ත්වයන් ස්ථායීව පැවතිය ද ගෝලීය අවිනිශ්චිතතාවන් තීව්‍ර වීම හේතුවෙන් දේශීය ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වීමේ අවදානම ඉහළ ගිය බව එහි දැක්වේ. සලකා බැලෙන කාලසීමාව තුළ දී ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම, රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් වැඩිදියුණු වීම සහ මූල්‍ය අංශයේ ශක්තිමත් කාර්යසාධනය මූල්‍ය පද්ධති ස්ථායීතාව සඳහා සහාය වී ඇතැයි සඳහන් කෙරේ.

මෙම වර්ධනයන් මගින් බාහිර අවිනිශ්චිතතාවන් හමුවේ ශක්තිමත් ආරක්ෂාවක් සැපයූ අතර, එය මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථායීතාවට ද සහාය වූ බව මහ බැංකුව පෙන්වා දෙයි. කෙසේ වුවද, බාහිර පරිසරය අභියෝගාත්මකව පැවතුණි. භූදේශපාලනික ආතතීන් උත්සන්න වීම, ගෝලීය උද්ධමන පීඩන යළි ඉහළ යෑම, බලශක්ති සහ වෙළෙඳ භාණ්ඩ මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම, වෙළෙඳ කටයුතු බිඳවැටීම්, දේශගුණය ආශ්‍රිත අවදානම් ඉහළ යෑම සහ දැඩි ගෝලීය මූල්‍ය තත්ත්වයන් මගින් දේශීය ආර්ථිකය කෙරෙහි අඛණ්ඩව බලපෑම් ඇති විය. ශ්‍රී ලංකාව වෙළෙඳාම, සංචාරක ඉපැයීම්, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්, ප්‍රාග්ධන ප්‍රවාහ, බාහිර මූල්‍යකරණ තත්ත්වයන් සහ විනිමය අනුපාතිකයේ වෙනස් වීම වැනි සාධක මත සැලකිය යුතු ලෙස රඳා පැවතීම හේතුවෙන් අහිතකර බාහිර වෙනස්වීම්වලට විශේෂයෙන්ම නිරාවරණය වී පැවතුණි.

දේශීය තත්ත්වයන් සලකා බැලීමේ දී, විශේෂයෙන් වාහන මූල්‍යකරණය සහ රන් ඇපකර මත ලබා දෙන ණය ඇතුළු කුටුම්බ ණය වර්ධනය වීම හේතුවෙන් පෞද්ගලික අංශයේ ණය පරතරය අඛණ්ඩව පුළුල් වූ අතර, එමගින් පද්ධතිමය අවදානම් ගොඩනැගීමට ඇති හැකියාව පෙන්නුම් කෙරිණි. තවද, මූල්‍ය අංශය, රාජ්‍ය අංශය වෙත නිරාවරණය වීම අඩු වුව ද, එය තවදුරටත් සැලකිය යුතු මට්ටමක පැවතීම මගින් මූල්‍ය අංශය සහ රාජ්‍ය අංශය අතර තවදුරටත් පවතින සැලකිය යුතු සහසම්බන්ධය අවධාරණය විය.

ඉහළ යන කුටුම්බ අංශයේ ණයගැතිභාවය, ඇපකර මත ලබා දෙන ණය ඉහළ යන අතරම එම ඇපකරවල වටිනාකම උච්චාවචනය වීම, දේපළ මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම සහ උද්ධමන පීඩන හේතුවෙන් මතු වෙමින් පවතින අවදානම් තවදුරටත් ඉස්මතු විය. මෙම තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන්, ආර්ථිකය තුළ අවදානම් ගොඩනැගීම පාලනය කිරීමේ අරමුණින්, මහ බැංකුව 2026 වසරේ මැයි මාසයේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවූ අතර, වාහන සහ රන් ඇපකර මත ලබා දෙන ණය සඳහා වන වටිනාකම මත ණය අනුපාතික සීමාවන් ඇතුළුව සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී.

මෙම කාලසීමාව තුළ දේශීය මූල්‍ය වෙළෙඳපොළ බොහෝ දුරට ස්ථායීව පැවති අතර මූල්‍ය ආතති දර්ශකය සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පැවතුණි.

සලකා බලන කාලපරිච්ඡේදය තුළ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම, ශක්තිමත් ලාභදායීත්වය සහ ප්‍රමාණවත් ප්‍රාග්ධන සහ ද්‍රවශීල ස්වාරක්ෂක මගින් ලද සහාය හේතුවෙන් මූල්‍ය ආයතන සමස්තයක් වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කළේය. පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ශක්තිමත් වීම හේතුවෙන් බැංකු අංශයේ ණය සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර පරිභෝජනය, වෙළෙඳාම, මූල්‍ය සේවා, ඉදිකිරීම් සහ අක් වෙරළ යන අංශ වෙත ණය ලබාදීම් කැපී පෙනෙන ලෙස වර්ධනය වීම දක්නට ලැබුණි.

වාහන මූල්‍යකරණය සහ රන් ඇපකර මත ලබා දෙන ණය සඳහා පැවති ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් මුදල් සමාගම් අංශය තුළ සැලකිය යුතු ණය වර්ධනයක් වාර්තා විය.

2026 වසරේ පළමු භාගය තුළ දී, කුටුම්බ සහ ආයතනික යන අංශ දෙක සඳහා ලබා දුන් ණය ඉහළ ගියේය. කුටුම්බ අංශයේ ණය වර්ධනය ඉහළ මට්ටමක පැවතිය ද, එම කාලසීමාව අවසානයේ දී එහි සුළු මන්දගාමී වීමක් දක්නට ලැබුණු බව දැක්වේ.

මූල්‍ය ස්ථායීතාව සඳහා වන ඉදිරි දැක්ම බොහෝ දුරට ධනාත්මකව පවතින අතර ඒ සඳහා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ඉදිරියට ගෙන යෑම සහ විචක්ෂණශීලී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යන කරුණු අඛණ්ඩව සිදුකිරීම අත්‍යවශ්‍ය බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …