ඇමරිකාව සමඟ ඇති වූ වෙළඳ සාකච්ඡා බිඳ වැටේ -“අහිතකර ගිවිසුමකින්” කැනඩාව ඉවත් වන බව අගමැති කාර්නි පවසයි.

කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි (Mark Carney) ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇති කර ගැනීමට ගිය “අහිතකර ගිවිසුමෙන්” කැනඩාව ඉවත් වන බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 50% ක තීරුබදු වලට ප්‍රතිචාර වශයෙන් වානේ සහ කිරි නිෂ්පාදන වැනි කර්මාන්ත සඳහා ඩොලරයට ඩොලරය” (dollar-for-dollar) සාපේක්ෂව සමාන තීරුබදු පැනවීමට කැනඩාව කටයුතු කරන බව ඔහු තහවුරු කළේය.

මෙම තීරුබදු පැනවීම නිසා කැනේඩියානුවන්ට යම් අමතර පිරිවැයක් දැරීමට සිදුවන නමුත්, ඇමරිකානු පියවරට එරෙහිව මෙවැනි පියවරක් ගැනීම අත්‍යවශ්‍ය බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. ඔවුන් ඉදිරිපත් කළ දේ අපට පිළිගත නොහැකි අතර, ඔවුන් ඉල්ලූ දේ අප ලබා දෙන්නේද නැත” යනුවෙන් ඔටාවා හි පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේය.

පසුගිය වසර පුරා දෙරට අතර සාකච්ඡා පැවැත්වුණු අතර මෑත දිනවලදී ඒවා වේගවත් විය. කැනඩා පාර්ශවය සාධාරණ එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වූ නමුත් ඇමරිකාවේ ස්ථාවරය විශ්වාසදායක නොවන බව ඔවුන්ට පෙනී ගොස් ඇත. ඇමරිකා එක්සත් ජනපදය සාකච්ඡා ඇදගෙන යමින් වැඩි යමක් ඉල්ලා ඉතා අඩු දෙයක් ලබා දුන්” බව අගමැති කාර්නි පැවසීය.

සිකුරාදා රාත්‍රියේ කැනඩාව සිය සාකච්ඡා කණ්ඩායම නැවත ඔටාවා වෙත කැඳවූයේ ඇමරිකානු පාර්ශවය අවසන් මොහොතේ ඉදිරිපත් කළ වෙනස්කම් අසාධාරණ සහ ආර්ථිකමය වශයෙන් අහිතකර වූ බැවිනි. කෙසේ වෙතත්, ඇමරිකානු වෙළඳ නියෝජිත ජේමීසන් ග්‍රීර් (Jamieson Greer) චෝදනා කරන්නේ මීට පෙර එකඟ වූ කොන්දේසි මත ගිවිසුම අවසන් කිරීම කැනඩාව විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

මේ අතර, කොන්සර්වේටිව් පක්ෂයේ නායක පියරේ පොයිලිව්රේ (Pierre Poilievre) මෙම තීරුබදු පැනවීම පිළිබඳව සිය කනගාටුව පළ කරමින් කියා සිටියේ කැනේඩියානුවන්ගේ රැකියා සහ ව්‍යාපාර ආරක්ෂා කිරීමට සියලු දෙනා එක්ව නැගී සිටිය යුතු බවයි. බ්‍රිටිෂ් කොලොම්බියා හි මහ ඇමති ඩේවිඩ් ඊබි (David Eby) දැඩි ප්‍රතිපත්තියකට පක්ෂව අදහස් දැක්වූ අතර, ඔන්ටේරියෝ හි මහ ඇමති ඩග් ෆෝර්ඩ් (Doug Ford) ද “ඩොලරයට ඩොලරය” ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් ඇල්බර්ටා හි මහ ඇමතිනී ඩැනියෙල් ස්මිත් (Danielle Smith) මෙම ප්‍රතිප්‍රහාරාත්මක තීරුබදු ක්‍රමයට සිය විරෝධය පළ කරමින් කියා සිටියේ ඉන් පීඩාවට පත්වන ව්‍යාපාර සඳහා ෆෙඩරල් රජය සහන සැලසිය යුතු බවයි.

අර්බුදය හමුවේ ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා අගමැති කාර්නි ප්‍රාන්ත මහ ඇමතිවරුන් හමුවීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today