
උතුරු ඇමරිකාවේ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ රියැදුරු බලපත්‍ර සහ පුද්ගලික දත්ත අනවසරයෙන් ලබාගැනීමේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් පිළිබඳව කැනඩාවේ පෞද්ගලිකත්ව කොමසාරිස් කාර්යාලය (OPC) සහ එස්.සී.එම්.පී. (RCMP) පොලිසිය දැඩි අවධානයක් යොමු කර තිබේ. මෙම සිදුවීමට මුහුණ දුන් සමාගම සමඟ සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබාගනිමින් පවතින බව බලධාරීන් පවසයි.
ස්වාධීන සයිබර් ආරක්ෂක ජනමාධ්‍යවේදියකු වන බ්‍රයන් ක්රෙබ්ස් විසින් කරන ලද අනාවරණයකට අනුව, ඩාර්ක් වෙබ් අඩවියක උතුරු ඇමරිකානුවන්ගේ ඩිජිටල් රියැදුරු බලපත්‍ර ස්කෑන් පිටපත් මිලියන 150 කට අධික සංඛ්‍යාවක් අලෙවි කිරීමට තබා ඇත. මෙයින් කැනේඩියානු රියැදුරු බලපත්‍ර පමණක් මිලියන 1.1 කට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇති බව වාර්තා වේ.
මෙම දත්ත කාන්දු වීම පිටුපස නිව් ඕර්ලීන්ස් මූලික කරගත් අනන්‍යතා සත්‍යාපන සේවා සපයන IDScan.net ආයතනය පවතින බවට සැකකෙරේ.සැප්තැම්බර් 04 වන දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තම (cloud) පද්ධතියේ ගබඩා කර තිබූ පාරිභෝගික තොරතුරු වෙත අනවසර තෙවැනි පාර්ශ්වයක් ප්‍රවේශ වී ඒවා පිටපත් කර තිබිය හැකි බවයි.සම්පූර්ණ නම්, රියැදුරු බලපත්‍ර අංක සහ රජයේ වෙනත් අනන්‍යතා පත්‍ර අංක මෙලෙස අනතුරට ලක්ව ඇති බව විශ්වාස කෙරේ.
කැනඩාවේ ෆෙඩරල් පෞද්ගලිකත්ව පනතට (PIPEDA) අනුව, පුද්ගලික තොරතුරු ආරක්ෂක උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් පුරවැසියන්ට සැලකිය යුතු හානියක් සිදුවීමේ අවදානමක් ඇත්නම් ආයතන විසින් කොමසාරිස්වරයාට වහාම වාර්තා කළ යුතුය. කෙසේ වෙතත්, කැනේඩියානු පුරවැසියන් කී දෙනෙකුට මෙයින් සැබවින්ම බලපෑම් සිදුවී ඇද්දැයි මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.
ඇමරිකා එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. (FBI) ආයතනය මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, කැනේඩියානු රාජකීය පොලිසිය (RCMP) ද දේශීය හා ජාත්‍යන්තර සයිබර් ආරක්ෂක හවුල්කරුවන් සමඟ එක්ව තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටී. කැනඩාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ පවතින විමර්ශන හේතුවෙන් වැඩිදුර අදහස් දැක්විය නොහැකි බවයි.
මෙම දැවැන්ත දත්ත කාන්දු වීම හේතුවෙන් පුරවැසියන් අනන්‍යතා සොරකම් සහ මූලික මූල්‍ය වංචාවලට ලක්වීමේ දැඩි අවදානමක සිටිති. බැංකු ගිණුම් ආරම්භ කිරීමේදී හෝ ක්‍රෙඩිට් කාඩ් ලබා ගැනීමේදී රියැදුරු බලපත්‍ර ප්‍රධාන අනන්‍යතා සාධකයක් ලෙස භාවිතා කරන බැවින්, සයිබර් ආරක්ෂක විශේෂඥයෝ ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවති.
ඔබේ නමින් අනවසරයෙන් කිසිදු මූල්‍ය ගනුදෙනුවක් හෝ ණයවර පත්‍රයක් විවෘත කර ඇද්දැයි නිරන්තරයෙන් පරීක්ෂා කරන්න.ඔබ අලුතින් ණය හෝ ණයවර පත්‍ර ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු නොවන්නේ නම්, අනවසර ගිණුම් විවෘත වීම වැළැක්වීම සඳහා ඔබේ ණය වාර්තා තාවකාලිකව අගුලු දැමීම (freeze) වඩාත් නුවණට හුරුය.IDScan.net ආයතනය ප්‍රකාශ කර ඇත්තේ බලපෑමට ලක් වූ පාර්ශ්වයන්ට ඍජුවම දැනුම් දී නොමිලේ ණය නිරීක්ෂණ සහ අනන්‍යතා ආරක්ෂණ සේවා ලබා දෙන බවයි.
ආයතන විසින් සංවේදී දත්ත අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් රඳවා තබා ගැනීමෙන් වැළකී, වඩාත් ශක්තිමත් සයිබර් ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු බව විශේෂඥයෝ අවධාරණය කරති. අනාගතයේදී මෙවැනි අවදානම් මඟහරවා ගැනීමට රජයේ නීති පද්ධතීන් ද දැඩි විය යුතුය.


