නුඹ කොහිද අද

හිරු දිලෙයි නිල් අහසේ
නමුදු එය කළුවරකි
වසන්තය එබෙයි දොරින් දොර
නමුදු එය සිසිරයකි
සොඳුරු සිතුවමක් මැවේ හද තුල
මිහිරියාවක් දැනේ වසනට
දුරයි නුඹ ඉන්නා තැන
නෑසෙන නොදකින තරමට
වැළපෙයි හදවතක් නුඹ නොමැතිව
කවියකට දිරිය දුන්
පදවැලට ශක්තිය දුන්
සොඳුරු කවියාණෙනි
නොදනිමි නුඹ කොහිද අද
කුමුදු රත්නවීර
ටොරොන්ටෝ නගරය
තනි තරුවේ

තනි තරුවේ …. පෝදා මල් සුපිපුණු
සඳුට හොරෙන් හිඳ තනි රකිනා
නිල් දිය අහසේ …. සඳ කන් වතුරේ
තාලයකට රැඟුමන් රඟනා
අඳුර නසා රෑ කල නිල් අහසේ
ලොවක් එළිය කරනා
සඳු අද්දර හිඳ නෙතඟින් බලනා
රුවට සඳුත් රැදුනා
මුවගේ රැඳෙනා සිනා කැළුම් කැල
රුවට රුවේ දිලෙනා
නොකී රහස් බස් නෙතඟින් දෙඩුවා
හදට සිසිල කැන්දා
රුවන් හරිස්චන්ද්ර
Toronto – Canada
රණවිරු මල

උපන් වීම රණ බිමකි එහි මැරුණෙ රණවිරු මලකි
ලොවෙන් ගිලිහුණු පණකි නමුත් නොමැරුණු කෙනෙකි
විහින් නොමැරුණු සෙයකි ඔවුන් මැරුවේ පණකි
කඩින් කඩ වෙඩි රැළකි බුදුන් ළඟ තව මලකි
බුදුන් නැති රුදු ලොවකි එහි සොඳින් කළ පිළිරුවකි
මලින් පිදු පුදසුනකි ඒ මැදින් රණවිරු රුවකි
අදින් පසු මට නොහැකි වදන් ගොළු වූ මුවකි
ඔබෙන් ලද්දේ පණකි මට බුදුන් වූ සෙයකි
කුසල හාමුදුරුවෝ
Brampton – Canada
මගේ රන් කඳ

නන්දා මගේ රන් කඳ පෙම හද රන්දා
වින්දා සියලු දුක් ගැරහුම් නව නින්දා
අන්දා කසී සළු කර මාල ද බන්දා
කැන්දා යන නැකත කවදා දැයි මන්දා
බැන්දේ සෙනෙහෙ දුටු සඳ දොළ ළඟ ලන්දේ
නැන්දේ ඇයිද නෑනගෙ පෙම් සිත බින්දේ
වින්දේ සිහින දකිමින් තුන්යම නින්දේ
වැන්දේ බුදුන් පේවී වැඩ සිටි කන්දේ
දර්ශනි රූපසිංහ
Hamilton – Canada


