ට්‍රම්ප් පරදී, ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අල්ලයි.නෙතන්යාහුටත් අගමැතිධූරය අහිමිවන ලකුණු.

අමෙරිකානු මධ්‍යකාලීන මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය කොන්ග්‍රසයේ සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය තහවුරු කර ගනිමින් දැවැන්ත ජයග්‍රහණ අත්කරගෙන ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන ක්‍රමවේදය සහ ප්‍රතිපත්ති කෙරෙහි එල්ල වූ දැවැන්ත ජනතා විරෝධය මෙම මැතිවරණ ප්‍රතිඵල හරහා මනාව පෙන්නුම් කෙරේ.

සාම්ප්‍රදායිකව රිපබ්ලිකන් පක්ෂයේ බලකොටු ලෙස සැලකුණු ටෙක්සාස්, කැන්සාස් සහ අයෝවා වැනි ප්‍රාන්තවල පවා ජයග්‍රහණ අත්කර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. ආර්ථික අර්බුද, ජීවන වියදම ඉහළ යාම මෙන්ම පෙබරවාරි මාසයේදී ඉරානයට එරෙහිව දියත් කළ යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම යන කාරණා සම්බන්ධයෙන් ජනතාව දැඩි කලකිරීමකින් පසුවීම මෙම ඡන්ද ප්‍රතිඵල සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේය.

කැන්සාස් ප්‍රාන්තයේ පැවති සෙනෙට් සභා මැතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ඇඩම් හැමිල්ටන් (Adam Hamilton) ජයග්‍රහණය කළ අතර, එය මහා අවපාත සමයෙන් පසු එනම් සියවසකට ආසන්න කාලයකට පසු එරටින් ඩිමොක්‍රටික් අපේක්ෂකයෙකු සෙනෙට් ආසනයක් දිනාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වේ. එසේම, ටෙක්සාස් ප්‍රාන්තයේදී ඩිමොක්‍රටික් ප්‍රාන්ත නියෝජිත ජේම්ස් තලාරිකෝ (James Talarico), රිපබ්ලිකන් Attorney General කෙන් පැක්ස්ටන් පරාජය කරමින් දශක ගණනාවකට පසු ඩිමොක්‍රටික් පක්ෂයට සෙනෙට් ආසනයක් හිමිකර දුන්නේය.

දකුණු කැරොලිනා ප්‍රාන්තයෙන් ද ඩිමොක්‍රටික් අපේක්ෂිකා ඇනි ඇන්ඩෲස් ජයග්‍රහණය කළ අතර, මේ හරහා ඩිමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් සෙනෙට් ආසන හයක් වෙන්කරවා ගැනීමට සමත්විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන බහුතරය ද හිමිකර ගැනීමට ඔවුන් සමත්ව ඇත.

අමෙරිකාවේ තීරණාත්මක මධ්‍යකාලීන මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති සම්පූර්ණ ප්‍රතිඵල අනුව, අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්වී ඇති අතර, සෙනෙට් සභාව යළි අත්පත් කර ගැනීමේ සටනේදී ද ඔවුන් ඓතිහාසික ජයග්‍රහණ අත්කර ගනිමින් සිටී.

මේ අතර මැතිවරණ රාත්‍රියේදී සිය පළමු අදහස් දැක්වීම සිදු කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ,’මම ඡන්ද පත්‍රිකාවේ සිටියේ නැහැ, මම සිටියා නම් අපිට අතිවිශාල ජයක් හිමිවෙනවා! මේ කරුණ කෙරෙහි අවධානය යොමු කිරීම ගැන ස්තූතියි,’ යනුවෙනි.

මැතිවරණ ප්‍රතිඵල පක්ෂයට අවාසිදායක ලෙස හැඩගැහෙමින් පවතින පසුබිමක් තුළ, තමා පෞද්ගලිකව මැතිවරණ සටනේ නොසිටි බව පෙන්වා දීම හරහා මැතිවරණ පරාජයේ වගකීමෙන් මඳක් බැහැර වීමට ඔහු උත්සාහ කර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර අමෙරිකානු කොංග්‍රසයේ බලය ඩිමොක්‍රටික් පක්ෂය අතට පත්වීමේ පසුබිමක, තමන් විරුද්ධ වන නීති සම්පාදනයන් අවහිර කිරීම සඳහා ජනාධිපති ධුරයේ නිෂේධ බලය (Veto Power) භාවිත කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.’VETO’ යන වචනය සඳහන් රතු පැහැති තොප්පියක් දක්වමින් ට්‍රම්ප් මෙම පණිවිඩය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Fox News වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඩිමොක්‍රටික් පක්ෂය තමන් එකඟ නොවන පනත් ඉදිරිපත් කළහොත් ඒවා නිෂේධ කිරීමට පියවර ගන්නා බවයි.දිගින් දිගටම පනත් නිෂේධ කිරීමට සිදුවුවහොත් අවසානයේ ඩිමොක්‍රටික් පක්ෂයට තමන් සමග සාකච්ඡා මේසයට පැමිණීමට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.කෙසේ වෙතත්, මැතිවරණයෙන් පසුව ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකු දැනටමත් තමන් සම්බන්ධ කරගෙන ඇති බව ට්‍රම්ප් අනාවරණය කර තිබෙනවා.ඒ අනුව, දෙපාර්ශ්වය අතර ඉදිරි දේශපාලන එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වීමේ හැකියාවක් පවතින බවයි ඔහුගේ ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ.

මේ අතර මැතිවරණයෙන් කිසිදු ප්‍රධාන සන්ධානයකට බහුතර බලයක් හිමි නොවීමත් සමඟ ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා අර්බුදයකට ලක්ව තිබේ.

ඊශ්‍රායල මැතිවරණ ප්‍රතිඵල පසුගිය (03 වැනිදා) දිනයේදී නිල වශයෙන් සහතික කිරීමට නියමිතව තිබුණද, ප්‍රධාන දේශපාලන සන්ධාන දෙකටම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් නව රජයක් පිහිටුවීමේ සාකච්ඡා තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.ඔක්තෝබර් 27 වැනිදා පැවති මැතිවරණයේ ප්‍රතිඵල අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් දක්ෂිණාංශික සන්ධානයට පාර්ලිමේන්තු ආසන 53ක් හිමිව තිබේ.

එමෙන්ම, හිටපු හමුදා ප්‍රධානී ගාඩි අයිසන්කොට්ගේ නායකත්වයෙන් යුත් සියොන්වාදී විපක්ෂ සන්ධානයට ආසන 48ක් හිමිව ඇත.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන ක්නෙසෙට් (Knesset) හි මුළු ආසන සංඛ්‍යාව 120ක් වන අතර, රජයක් පිහිටුවීම සඳහා අවම වශයෙන් ආසන 61ක බහුතරයක් අවශ්‍ය වේ.ඉතිරි ආසන 19 අරාබි නායකත්වයෙන් යුත් දේශපාලන ලැයිස්තු දෙකක් වන ඒකාබද්ධ ලැයිස්තුව (Joint List) සහ රාම් (Ra’am – United Arab List) අතර බෙදී ගොස් තිබේ.

මෙම ප්‍රතිඵල හමුවේ ප්‍රධාන සන්ධාන දෙකටම තනිව රජයක් පිහිටුවීමේ හැකියාව අහිමි වී ඇති අතර, ඉදිරි දේශපාලන සාකච්ඡාවලදී කුඩා පක්ෂවල සහාය තීරණාත්මක සාධකයක් වනු ඇත.ඒ අනුව, නෙතන්යාහුගේ දේශපාලන අනාගතය මෙන්ම ඊශ්‍රායලයේ මීළඟ රජයේ නායකත්වය කවුරුන් සතු වේද යන්න පිළිබඳවද දැඩි අවිනිශ්චිතතාවක් නිර්මාණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …