අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව විප්‍රවාසී ශ්‍රී ලාංකික ප්‍රජාවටම තමන්ගේ සමාජ සේවාව තුලින් සමාජ සත්කාරයක් කල චරිතයක් එක්ක . උන් වහන්සේගේ සුවිශේෂී තාවය වන්නේ ජාති ආගම් , කුල බේදයකින් තොරව ටොරොන්ටෝ සහ අවට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට උන් වහන්සේ කරන සාමාජීය කාර්යභාරය මිල කල නොහැකි නිසයි . බෞද්ධ යතිවරයාණන් වහන්සේලා සම්ප්‍රදායිකව කරන ශාසනික කටයුතුවලින් ඔබ්බට ගොස් සුවිසල් සමාජීය වගකීමක් උර මත දරා සිටියත් සරල බවින් පිරි, ජවය පිරුණු උන් වහන්සේ අතින් හැදූ තේ එකක් නොබිව් අයෙක් ටොරොන්ටෝවේ නැති තරම්. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත් මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.


ලාංකික සිහලයින්ට සිංහල බෞද්ධ කියනා වටිනාකම ලැබුනෙ අතීතයේ අප රටේ වැඩ විසූ ජාතිය ආගම වෙනුවෙන් තම දිවි කැපකළ ස්වාමීන්වහන්සේලා විසින් ලංකාව මෙතැනට ගෙන ඒම සඳහා දායක වූ අති මහත් සේවාව නිසයි. එම කැප කිරීම් හේතුවෙන් සෑම චීවරයකටම බලයක්, වටිනාකමක් උරුම වී තිබෙනවා. ඓතිහාසික සන්ධර්භය සලකා බැලීමේදීත් අපිට සාක්ෂි තිබෙනවා රජවරු පවා තීන්දු තීරණ ගැනීමේදී, සංඝයා වහන්සේගේ උපදෙස්වලට ඇහුම්කන් දුන් බව. එකල බහුතරයක් ස්වාමීන්වහන්සේලා, සිවුරේ බලය තහවුරු කරගත්තෙත්, ආරක්ෂා කර ගත්තෙත් තමාගේ සීලවන්ත පැවැත්ම හරහා.
නමුත් වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ කලාතුරකින් අවස්ථාවලදී අපට දක්නට ලැබෙන්නේ ස්වාමීන් වහන්සේලා විසින් එම බලය ඉල්ලා සිටින්නේ පැවැත්ම පසෙකට දමා සිවුර දැරීම මත පමණක්ව බව. ඇත්තටම, එය එක්තරා විදියක චීවරය අවභාවිතාවක් ලෙස සැලකීමටත් පුළුවන්. අනිවාර්යයෙන්ම චීවරයේ බලය සහ වටිනාකම උපයා ගත යුතු දෙයක් නේද?
අප විද්‍යුත් පුවත්පත වන “Srilancan” හි මෙම මස චරිතාපදානයට ප්රස්තුතය වන්නේ මිසිසාගා නගරයේ ජීවත්වන අප කවුරුත් දන්නා හඳුනන ගෞරවනීය ස්වාමීන්වහන්සේ නමක්. මා ඉහතින් සඳහන් කරන ලද ආකාරයට තමාගේ කහ චීවරය වරප්‍රසාදයක්, එහෙමත් නැත්නම් උරුමයක් ලෙස සලකා එම බලය අනිසි ලෙස පාවිච්චි නොකළ හේතුවෙන් උන්වහන්සේ කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයේ දායක දායිකාවන් මෙන්ම බොහෝ ජනී ජනයාගේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. උන්වහන්සේ එම ගෞරවය උපයා ගත්තේ තමාගේ හැදියාවෙන්, පැවැත්මෙන්, ධර්මයෙන්, කරුණාවෙන් මෙන්ම මෛත්‍රියෙන්. ඔබ දැනටමත් සැක කල පරිදි, මම මේ කතා කරන්න යන්නෙ Mississauga West End බෞද්ධ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන පුජ්‍ය කුළුගම්මන ස්වාමීන්වහන්සේ පිළිබඳව. විශාල සමාජ මෙහෙවරක් කරනා ගෞරවනීය අප ස්වාමීන්වහන්සේ පිළිබඳව බොහෝ මාධ්‍යවල ලිපි ලියැවී ඇති බව මම දන්නවා. නමුත් මගේ අරමුණ වෙනස්ම කෝණයකින් උන්වන්සේගේ දෙස බැලීමට. උන්වහන්සේගේ පැවැත්මෙන් අප සමාජයට කියනා පණිවිඩය කුමක්ද, උන්වහන්සේගෙන් ලෞකික අපට ලබා ගත හැකි ආදර්ශ මොනවාද යන කරුණු පිළිබඳවයි මම වඩාත් උත්සුක වන්නේ. මෙම ලිපිය සඳහා මම උන්වහන්සේ සම්බන්ධ කර ගත්තෙ දුරකථනය හරහා.

උන්වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කලා ඉපැදුනු ගම සහ පවුලේ අය පිළිබඳව කෙටි විස්තරයක් කරමින් කථාව ආරම්භ කරන ලෙසට.”මම ඉපදුනේ මහනුවර කුළුගම්මන කියන කුඩා ගමේ. අම්මා අප්පච්චි හැරුනහම, අපේ පවුලේ දරුවෝ දහ දෙනෙක්. පිරිමි ළමයින් 8 දෙනෙක් සහ ගැහැණු ළමයින් දෙන්නෙක්. ඉන් දෙදෙනෙක් සහ අම්මා අප්පච්චිත් දැනට මිය පරලොව ගිහින්. මම ගමේ ජීවත් උනේ අවුරුදු 11 ½ ක් විතර. ඒ කාලය වෙනකල් විතරයි මම ගමේ පාසැලට ගියේ. ඊට පස්සෙ මහණ උනා” උන්වන්සේගේ සන්සුන් හඬින් කතාව ආරම්භ කළා.
එදා, ඔබ වහන්සේ පැවිදි දිවියට ඒමට පාදක වුයේ දෙමාපියන්ගේ බලපෑමද, ඔබ වහන්සේගේ කැමැත්තද?
“පැවිදිවීම සම්පුර්ණයෙන්ම සිදු වුයේ මගේම තනි කැමැත්තට. මට පැවිදිවීමට ආසාව ඇති උනේ අවුරුදු 7 දී පමණ. හැම තිස්සෙම පන්සල් යනවා, බුද්ධ පුජාව අරන් යනවා, පොඩි ළමයි එක්ක පන්සල් ගිහින් දන්න තරමින් ගාථා කියනවා. වන්දනා ගමන් ගිය වෙලාවල්වල අපි පන්සල්වල නැවතුනාම, මට ඕන උනා ඒ පන්සල්වල නවතින්න. අම්මයි අප්පච්චියි මාව බලෙන් තමයි ගෙදර එක්කරන් ගියේ. අපේ ගමේ පන්සලේ හාමුදුරුවරු එක්කත් මම හරිම ආසාවෙන් කතා බහ කලේ. මගේ දෙමාපියන් මම මහණ වෙනවට කැමති උනේම නැහැ. නමුත්, මමත් මගේ අදහස අත් නොහැර, දිගින් දිගටම දෙමාපියන්ට ඇවටිලි කල නිසා, දෙමාපියන් මාව මහනුවර පොත්ගුල් විහාරස්ථානයට කැඳවා ගෙන ගියා. ඇත්තටම, මම ඒ පන්සලට යන්න ඉස්සර එහි නායක යටිරාවණ නාරද නායක හාමුදුරුවො අප්පච්චිට කියලා තිබුනා, අපේ පවුලේ සිටි අවුරුදු 10-15 ත් අතර පිරිමි දරුවන්ගේ කේන්දර අරගෙන එන ලෙසට. හාමුදුරුවො කේන්දර 5 ම බලලා මගේ කේන්දරය තමයි තෝරාගෙන තිබුනෙ. ඇත්තටම, මට විතරයි මහණ වෙන්න උවමනාව තිබුනෙත්. 1967 වර්ෂයේදී සිදුවූ ඒ සංසිද්ධිය තමයි මගේ ශ්‍රමණ දිවියේ ආරම්භය”, උන්වන්සේ අතීතය පිලිබඳ කෙටි විවරණයක් කළා.
ඔබ වහන්සේගේ පැවිදි දිවියේ ආරම්භය සහ පැවිදි දිවිය පිලිබඳ විස්තරයක් අප පාඨකයින්ට කියන්න පුළුවන්ද?
“මම මහණ වූ මහනුවර පොත්ගුල් විහාරස්ථානයේ මට ඉන්න ලැබුනෙ අවුරුද්දක් විතර. මමත් එක්ක තවත් ළමයි 5 ස් දෙනෙක් මහණ උනා. නායක හාමුදුරුවො අපි හතර දෙනෙක් මහරගම මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්වහන්සේගේ ධර්මායතනයට යැව්වා. 1968 ඉඳලා 1975 දක්වාම මම ධර්මායතනයේ අධ්‍යාපනය ලැබුවා, ඒ අධ්‍යාපනය හමාර වීමත් සමඟම, මගේ ජීවිතයට ඉතාමත් වැදගත් පුද්ගලයින් දෙදෙනෙකුගේ වියෝවට මුහුණ දීමට මට සිදු උනා. 59 වැනි වියේ පසුවූ මගේ අප්පච්චි 1975 නොවැම්බර් මාසයේ හෘදයාබාදයක් හේතුවෙන් අභාවප්‍රාප්ත උනා. 59 වැනි වියේම පසුවූ මා මහණ කල පොත්ගුල් විහාරයේ යටිරාවණ නාරද නායක හාමුදුරුවො එම වසරේම දෙසැම්බර් මාසයේ හෘදයාබාදයකින් අපවත් උනා”, ස්වාමීන්වහන්සේ එම දුක්බර අතීතය මා සමඟ බෙදා ගත්තා.
උන්වහසේට එම කරුණු කාරනා හේතු කරගෙන නැවතත් නුවර පොත්ගුල් විහාරයට ගොස් පන්සල බලා කියා ගැනීමේ භාරදුර කාර්ය්යට මුහුණ දීමට සිදු වුයේ අධ්‍යාපනයත් අතරමඟ නතර කරමිනුයි. එවකට පන්සලේ වැඩ සිටි යටිනුවර සුමන හාමුදුරුවොත් අනුරාධපුර බුද්ධශ්රාවක ධර්ම පීඨයේ අධ්‍යාපනය ලබමිනුයි සිටියේ. ඒ හේතුවෙන් අප ධම්මාවාස හිමියන්ට, 1986 දක්වා වසර 11 ක්, කැනඩාවට පැමිණෙන තුරු පන්සලේ කටයුතු භාරව සිටීමට සිදු වුවා.
ලංකාවේදී ඔබ වහන්සේ කළ සමාජ මෙහෙවරයන් ගැන යමක් කියන්න පුලුවන්ද?
“අද කැනඩාවේ සිට කරනු ලබන පරිත්‍යාග කිරීමට එදා අපට අවකාශ තිබුනෙ නැහැ. දායකයින් උනත් ඔවුනගේ අග හිඟකම් මැද අපිට හැකි පමණින් කලයුතු දේවලට උදව් උපකාර කළා. මගේ සහෝදර ස්වාමීන්වහන්සේ කෙනෙක් හිටියා ධම්මවිජය කියලා. උන්වහන්සේ තරුණ කණ්ඩායමක් හදාගෙන තිබුනා සමාජ සේවාවන් සඳහා. මමත් ඉන් එක් සාමාජිකයෙක්. අපේ බොහොම සේවාවන් කෙරුණේ නුවර ආරෝග්‍යශාලාව පසුබිම් කරගෙන. වරක්, වතුර ටැංකිය හදලා දුන්නා, ක්ෂය රෝග වාට්ටුවට සති පතාම කිරි දාන දුන්නා”, උන්වහන්සේ පැවසුවේ ඉතාමත් තෘප්තියෙන්.


නැවතත් මම ධම්මාවාස හිමියන් ප්‍රශ්න කළා, “ඔබ වහන්සේට කැනඩාවට පැමිණීමට හේතුවූ කාරනා මොනවාද?
නායක හාමුදුරුවො ක්ෂණිකවම පිළිතුරු දුන්නා, “ඇත්තටම, ඒක අහම්බයක්. මම මැලේසියාව, තායිලන්තය, සිංගප්පුරුව වැනි රටවලට ගිය අවස්ථාවල හිතුනා, කිසි දිනක ලංකාව හැර යන්නෙ නැහැ කියලා. මට ඒ රටවලදී පුදුමාකාර තනිකමක් දැනුනා. පිටරට කියන්නෙ පුරුදු වටපිටාවේදී, තමන් දන්නා කියනා අයගෙන් ලැබෙනා ආදරණීයකම නොමැති හිස් තැනක් ලෙසටයි මට හැඟුනෙ. කවදාවත් පිටරටකට යන්නෙ නැහැ කියලා ස්ථීරවම තීරනය කරන්න තරම් පිට රටවල් මට එපා උනා. නමුත් දෛවය මගේ කැමැත්තට ඉඩ දුන්නෙ නැහැ. Scarborough පන්සලේ හිටපු මඩවල පුන්නජී හාමුදුරුවො ලංකාවේ ධර්මායතනයේ හිටපු කාලෙ බරපතල ලෙස අසනීප වූ අවස්ථාවක, මම තමයි උන්වහන්සේට සාත්තු සප්පායම් කලේ. ඒ බැඳීම හේතුවෙන්, පසු කාලෙක කැනඩාවට වැඩිය උන්වහන්සේ, මට කැනඩාවට වඩින ලෙස ආරාධනා කළා. එයට මගේ අකමැත්ත ප්‍රකාශ කලත්, පුන්නජී හාමුදුරුවො උත්සාහය අත නොහැර වීසා ලබා ගැනීමට උත්සාහ කළා. ඒත් මගේ වාසනාවට විසා අනුමත උනේ නැහැ. නැවතත් වසරකට පමණ පසුව, පුන්නජී ස්වාමීන් වහන්සේ ගත් උත්සාහය නිසා මට ඉතා පහසුවෙන් වීසා ලැබුනා. ඒ විදියටයි මම කැනඩාවේ Scarborough පන්සලට ආවෙ”, ස්වාමීන් වහන්සේ සිනහව මුසුව පැවසුවා.
ස්වාමීන්වහන්සේ කැනඩාවට පැමිණි පසු අද දක්වා ගමන ගැන අප පාඨකයින්ට කෙටි විස්තරයක් කරන්න පුලුවන්ද?
මුලින්ම මම ආවෙ ටොරොන්ටෝ මහා විහාරයට. එතැන කාලයක් ඉද්දි හැගී ගිය දෙයක් තමයි, බටහිර ටොරොන්ටෝවේ ප්‍රදේශවලට පන්සලක අවශ්‍යතාවය. ඒ වගේම ඒකට මේ ප්‍රදේශයේ දායකයින්ගෙන් ඉල්ලීමකුත් තිබුනා. 1992, ගෞරවනීය පුන්නජී සහ මුදිත ස්වාමීන්වහන්සේලාත්, මමත් Mississauga Square One ප්‍රදේශයේ Apartment එකක පන්සලක් ආරම්භ කිරීමට දායකයින් ඉඩ සලසා දුන්නා. එදා හිටියෙ ඉතාමත් සීමිත දායක පිරිසක්. එනමුත්, ඔවුන් ගෙවල් කුලිය, බිල් ගෙවීම වගේම අපේ දාන වේලත් සරිකර දුන්නා. කැනඩාවට පැමිණෙන පිරිසත් එන්න එන්නම වැඩි වෙද්දි, තවත් ඉඩකඩ තියෙන තැනක අවශ්‍යතාවය මතු උනා. ඒ වගේම පන්සලට ආධාර කරන අයත් වැඩි උනා. විවිධ ආකාරයෙන් මුදල් රැස් කිරීම් මගිනුත් යම් මුදලක් එකතු කර ගැනීමේ අවස්ථාව ලැබුනා. මාස 15ක කාලයක් Apartment එකේ හිටපු අපි, Dixie Mall එක ළඟ පරණ ගෙයක් ඉතාමත් සාධාරණ මුදලකට මිලදී ගෙන එතැන අවුරුදු 14ක් පන්සල පවත්වාගෙන ගියා. එතැන පන්සලක් ගොඩ නැගීමට නගර සභාවෙන් අනුමැතිය නොලැබුණු හේතුවෙන්, 2011 වසරේදී, අද අප පන්සල පවත්වාගෙන යන ස්ථානයේ ඉඩම මිලට ගෙන අළුත් පන්සල ගොඩ නැගුවා. ඊටත් වසර කිහිපයකට පසුව, යාබද ඉඩම මිලදී ගෙන සමාධි පිළිමය සහ චෛත්‍යය ගොඩ නැගුවා”, භාරදුර සමාජ මෙහෙවරයක් වන විහාරස්ථානයක් ගොඩ නැංවීමේ කාර්යයය ඉතා කෙටි වාක්‍ය කිහිපයකින් උන්වහන්සේ නිම කළා.
කැනේඩියානු ආගමනය, අද ඔබ වහන්සේට දනවන්නේ සන්තුෂ්ඨියක්ද, එහෙම නැත්නම් පසුතැවීමක්ද?
මම කැනඩාවට ඇවිත් දැනට අවුරුදු 40ක් වෙනවා. අද එම පැමිණීම ගැන මට කිසිම පසුතැවිල්ලක් නැහැ. ඇත්තටම, කැනඩාවට පැමිණීම හේතුවෙන් මට විශාල සමාජ මෙහෙවරක් කිරීමේ අවස්ථාව ලැබුනා, විශේෂයෙන්ම මගේ මව්බිමට. ලංකාවේ හිටියා නම් මට ඒ අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මට කැනේඩියානු ආගමනය ගෙන දෙන්නේ තෘප්තියක් මෙන්ම සතුටක්,” අවංකවම උන්වහන්සේ පිළිතුරු දුන්නා.


ස්වාමීන්වහන්සේ මොකද හිතන්නෙ දරුවන් ඉතා කුඩා කාලයේ මහණ කිරීම ගැන? පොදු සමාජය ඒ පිලිබඳ විවිධ අදහස් දරනවා. කුඩා කල මහණ වූ හිමි නමකට, තම ජීවිතය සිවුර තුලින් සෙවීම හේතුවෙන් ශීලයට, ධර්මයට තම දිවිය නැඹුරු කල හැකිද?
ධම්මාවාස හිමියන් නැවතත් කතාව පටන් ගත්තෙ ස්ථීරසාර හඬින්, “සමහර විට දෙමාපියන්ගේ කැමැත්තෙන් මහණ කලත්, ඒ දරුවන්ට චීවරය පිහිටනවා. මම විශ්වාස කරනවා, සීලවන්ත පැවිදි කමකට සංසාර පුරුද්දක් තිබිය යුතුයි කියලා. ඇත්තටම, දරුවෙක් කුඩා කාලයේ මහණ කිරීමයි වටින්නෙ. එම දරුවාට කුඩා කල සිටම විනය, ධර්ම කාරනා කියාදී හැඩගැස්වීම කල හැකියි. නමුත් එම වයස පසු වුවාට පසුව එම පුහුණුව ලබා දීම ඉතා අපහසුයි. අර කතාවක් තියෙනවනෙ කුඩා පැලයක් අවශ්‍ය විදියට නවා කියා හැඩ ගැස්වුවාට, මෝරපු ගහපු අතු නවන්න ගියොත් කැඩෙනවා කියලා”, සත්තකින්ම, උන්වහන්සේගේ එම වචනවල විශාල ගැඹුරු අරුතක් තියෙනවා නේද?
ඔබ වහන්සේගේ දාන පාරමිතාව පිළිබඳව මුළු කැණඩාවම දන්නවා. නමුත් මම කැමතියි ඒ ගැන ඔබවහන්සේගෙන්ම දැන ගන්න. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට නම් උන්වහන්සේට කැමැත්තක් තිබුනෙම නැහැ. නමුත් අප පුවත්පතේ අරමුණ, එවැනි මෙහෙවරයන් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයටත් ඒවාට සහභාගිවීමේ අවස්ථාව සලසා දීම, එම දානයට අප පාඨකයින් උනන්දු කිරීම මෙන්ම දීමනාව කියනා උසස් කර්තව්‍යයෙන් සමාජයට සිදුවන සේවාව පිලිබඳ දැනුවත් කිරීම. ඒ නිසා මම උන්වහන්සේට ඒ ගැන පවසන ලෙස උදක්ම ඉල්ලා සිටියා,
“මා පෞද්ගලික මට්ටමින් කරනා ශිෂ්‍යත්ව 14 ක් තියෙනවා. වසර කිහිපයකට පමණ පෙර පේරාදෙණියෙන් එක දරුවෙක් වෛද්‍යවරයෙක් ලෙස එලියට ආවා. තවත් දරුවෙක් ලඟදි රුහුණු විශ්ව විද්‍යාලයෙන් වෛද්‍යවරයෙක් ලෙස එලියට ආවා. ඒ දරුවන්ගෙන් වැඩි හරියක් ඉන්නේ මහියංගනයේ දෙහිඅත්ත කණ්ඩියේ. එය ඉතාමත් දරිද්‍රතාවයෙන් පෙලෙන, දක්ෂ දරුවන් ඉන්නා ගමක්. එම මුදල දරුවා අධ්‍යාපනය දරන පසුබිම අනුව වෙනස් වෙනවා. කුඩා දරුවෙකුට රුපියල් 5000 සිට විශ්ව විද්‍යාල සිසුවෙකුට රුපියල් 35,000 දක්වා වෙනස් වෙනවා. ඒ වගේම ගෙවල් 5 ක් හදලා දීලා තියෙනවා. මගේ 65 වැනි උපන් දිනයටත් ගෙයක් හදලා දුන්නා. ළඟදී හදලා දුන්නු ගෙදර පවුලේ දරුවන් 7 දෙනෙක්. දෙමාපියන් දෙන්නා සමඟ ඔවුන් ජීවත් උනේ පුංචි කුඩා මඩුවක. ඒක අපේ කාමරයකටත් වඩා කුඩායි”.
පන්සලට යන එන අපට නිතර දක්නට ලැබෙනා දෙයක් තමයි, ලංකාවට යැවීමට සුදානම් කර ඇති බඩු පෙට්ටි. තමාගේ ධාර්මික සහ විහාරස්ථානයේ කටයුතුවලට පමණක් සීමා නොවී, තමා ඉපදුනු රටට ඔබ වහන්සේ කරන්නෙ අපරිමිත සේවයක්. මේ ගැනත් යමක් සඳහන් කරන්න පුලුවන්ද? “ඔව් ඒ පෙට්ටි යවන්නෙ දහම් පාසැල් සිසුන්, විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලා, දායකයින් සැමගේම දායකත්වයෙන්. බොහෝ විට අපි යවන්නෙ දෙහිඅත්ත කණ්ඩියේ පාසැල්වල දරුවන් සඳහා පාසැල් උපකරණ”, මා සැමවිටම විමතියට පත් වුයේ උන්වහන්සේගේ කෙටි ප්‍රතිචාර.


දෙහිඅත්ත කණ්ඩියටම වැඩිපුර උදව් කිරීමේ හේතුවක් තියෙනවද?
“ඇත්තටම, එහි වාසය කරන බොහෝ දරුවන්ට තියෙන්නෙ ඇඳුම් දෙකයි, එකක් පාසැලට සහ අනික ගෙදරට. සෙරෙප්පූ දෙකක් නැහැ කකුලට දාන්න, අතිශයෙන්ම ශෝචනීය තත්වයකයි දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සිදුව ඇත්තේ. දහම් පාසැලේ ළමයින් 240 ක් විතර ඉන්නවා. මම ලංකාවට ගියාමත් ඒ දරුවො බලන්න ගිහින් කෑම වේලක්, තෑගි බෝග එහෙමත් දීලයි එන්නෙ. එම තෑග්ග එම දරුවන්ටත්, දෙමාපියන්ටත් මහමෙරක්. සාමාන්‍යයෙන් ලක්ෂ පහක මුදලක් පමණ ඒ සඳහා වැයවෙනවා.
වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරස්ථානය පවත්වාගෙන යන ඉතා ජනප්‍රිය දහම් පාසැලේ අද දරුවන් 350 කට වැඩි පිරිසක් ඉන්නා බව මම දන්නවා. ඒ ගැන ඔබ වහන්සේට යමක් සඳහන් කරන්න පුලුවන්ද?
1992 පන්සල පටන් ගත්තායින් පසුව, 1993 අවුරුද්දේ, ළමයි 8 දෙනෙකුගෙන් ආරම්භ කල මෙම දහම් පාසලේ අදට දරුවන් 350 ක් පමණ ඉන්නවා. දරුවන්ට “ප්‍රඥාව” නම්වූ ජීවන මගට සැබවින්ම ඇවැසි ආර්යය අෂ්ටාංගික මාර්ගය වැනි ගැඹුරු ශික්ෂයනයන් දෙන මෙම දහම් පාසැල 1994 ඉඳලම කරගෙන යන්නෙ ආචාර්ය සරණපාල ස්වාමීන් වහන්සේගේ මුලිකත්වයෙන්. ඒ වගේම, විශාල කැපවීමක් කරන ගුරුවරුන් සංඛාව 30ක් පමණ මෙම දහම් පාසැලේ සේවය කරනවා. එයාලා සමහරක් මේ දහම් පාසලින්ම අධ්‍යාපනය ලබලා, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා අද Canadian රජයේ පොදු පාසැල්වල ගුරුවරුන් හැටියට සේවය කරන අය. විශේෂම දේ තමයි මේ දහම් පාසල පවත්වා ගෙන යන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒකට විෂය නිර්දේශය හැදුවෙ ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මැතිනිය. එතුමිය මෙරටට ගැලපෙන ලෙස එය සකස් කලේ පන්සලේ ස්වාමීන්වහන්සේලා සමගත් අදහස් හුවමාරු කරගැනීමෙන් පසුව”.


ඔබ වහන්සේ ඉතාමත් වටිනා සහ ධාර්මික ගෝල ස්වාමීන් වහන්සේලා කිහිප නමකට උගන්වා, ආගමික පුරුදු පුහුණු කිරීම් කර තිබෙනවා. ඔබ වහන්සේ කැමති නම් ඒ විශාල අභියෝගය ගැනත් යමක් කිව හැකියි.
ඔව්, ගිහි ගෙදරක සිටිනා සෑම දරුවෙකුටම ඔවුනට ආවේනික චරිත ලක්ෂණ තියෙනවා වගේම, පන්සලේ හාමුදුරුවරුන්ටත් තියෙන්නෙ එයාලටම විශේෂ වූ ගතිගුණ. අළුතින් පංසලට පැමිණෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් උනත්, ඉතා ඉක්මනින් අවබෝධ කරගන්න මම උත්සාහ ගන්නවා. ඉන්පසුවයි, එම චරිතාංගයන්ට ගැලපෙනසේ එම හිමියන් සමඟ ගනුදෙනු කරන්නෙ. මම කිසිම අවස්ථාවක එයාලට ප්‍රබල තර්ක විතර්ක වලට යන්න දෙන්නෙ නැහැ. ඒ ගැන මම තදින් ඉන්නෙ. ඒක නිසා ඇතුලත ඝට්ටන නැතිව පවත්වා ගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. පක්ෂ දේශපාලනය සම්බන්ධවවත් මගේ ප්‍රතිපත්තිය ඒකයි. අපි සැමටම අපි අදහන දේශපාලන මතවාද තියෙන්න පුළුවන් උනත්, එයාලා ඒවාට ලංකාවට උදව් කරන එකෙත් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ පිලිබඳව පන්සල තුල කතා කිරීම මම කිසිසේත්ම අනුමත කරන්නෙ නැහැ. පන්සල කියන්නෙ පොදු ස්ථානයක්, දායකයින් විහාරස්ථානයට පැමිණෙන්නේ යම්කිසි අධ්‍යාත්මික ශාන්තියක්, සැනසිල්ලක් සොයාගෙන. ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ප්‍රශ්නවලට ගැටුම් ඇති කරගැනීම එයට විශාල බාධාවක්. නමුත් මම කිසිදිනක කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට ‘මෙය කල යුතුයි’ වැනි අණ කිරීම් කරන්නෙත් නැහැ. පොඩ්ඩක් ගිහින් උදව් කරන්න කිව්වට, යමක් තදින් කියා කරවා ගැනීමක් කරන්නෙ නැහැ. නමුත් එයාලා බොහෝ විට අවශ්‍ය තැනදී, ඒ දේ කරනවා”, උන්වහන්සේ පැවසුවේ ස්ථීරසාරව මෙන්ම අනෙක් විහාරවාසී හිමිවරු ගැන ආඩම්බරයෙන්.
නිතර පන්සලට යන එන කෙනෙක් ලෙස ඔබවහන්සේ වළඳන දානය පිළිබඳව මට විශාල දැනුමක් තියෙනවා. ලෞකික සැප සම්පත් මධ්‍යයේ අත්හැරීම නම්වූ පාරමිතාව පිළිබඳව ඔබවහන්සේට තිබෙනාවූ අධිෂ්ඨාන ශක්තිය, ශික්ෂණය පිළිබඳව අප පාඨකයින්ට යමක් සඳහන් කරන්න
“මගේ ජීවිතය හැඩ ගස්වා ගත්තෙ මහරගම ධර්මායතනයෙන්. භික්ෂු මධ්‍යස්ථානයේ නීති රීති ඉතාම තදයි. උදේ 4.30ට නැගිටින්න ඕන. සෑම කර්තව්‍යක්ම සිදු කල යුත්තේ වෙලාවට. ඒ ජීවිතය හරිම දුෂ්කරව එදා දැනුනත්, අද මගේ පැවැත්මට ඉන් ලැබෙනා පන්නරය ගැන මම ඉතාමත් තෘප්තිමත්. මම පුංචි කාලෙ ඉඳලම කෑම පස්සෙ දුවපු දරුවෙක් නෙවෙයි. ලැබෙන ඕනෑම දෙයකින් මට සතුටු වෙන්න පුළුවන්. අපි අහලා තියෙනවනෙ වතුර උගුරු 5 ක් 6 ක් බීමට ආමාශය ඉතිරි කර ආහාර ගැනීම නවත්වන්න කියලා. ඒ වගේමයි, ආහාර වැඩිපුර ගත්විට අපේ මොළය හරියට වැඩ කරන්නෙ නැහැ. ඊට අමතරව, අඩුවෙන් ආහාර ගත්තම, ඇඟට දැනෙන සැහැල්ලුව අප්‍රමානයි”, ඉතා ගැඹුරු අරුතක් ඇති එම පිළිතුර ඉතා සරලයි.
ආහාර සුලභ, දියුණු රටක ජීවත්වන අපිට බොහෝ රෝගාබාධ වලට හේතුව අධික පෝෂණයයි. උන්වහන්සේ පසක් කරගත් එම චර්යාව ගිහියන් වන අපටත් ලබා දෙන්නෙ කෙතරම් ආදර්ශයක්ද? මගේ ආකල්පයට අනුව, උන්වහන්සේට තමාගේ ධාර්මික සහ සීලමය ප්‍රතිපත්තිය රැක ගැනීම ලංකාවේදීට වඩා කැනඩාවේදී පහසුවෙන්න ඇති. ස්වාමීන්වහන්සේට මෙන්ම කැනඩාවට පැමිණි අප සැමටමත් අත්හැරීමට කැනේඩියානු සියල්ලෙන් සපිරි පරිසරය හේතු සාධක වුවා මෙන්ම ආශීර්වාදයක්. අත්හැරීම කියන්නෙ යමක් තිබෙනා අයට පමණක් කල හැකි දෙයක් බව අද අප අත්දැකීමෙන් දන්නා දෙයක්.
වනාන්තරයක් මැද තිබෙනා ආරණ්‍ය සේනාසනයක වැඩ නොවසනා ඔබ වහන්සේට සිල් රැකීමට සිදුව ඇත්තේ ලෞකික අප සමඟ. සෝවාන් ඵලය නොලැබූ ඔබ වහන්සේට එම ලෞකික නිෂේධාත්මකයන්ට මුහුණදී තමාවත්, පන්සලත්, අනෙක් ස්වාමීන්වහන්සේලාත් ආරක්ෂා කරගැනීමට ශක්තිය දහිරිය ලැබුනේ කෙලෙසද?
“සබ්බ පාපස්ස අකරනං නම්වූ ගාථා ඛණ්ඩයෙන් කියැවෙන්නේ, ’ සියළු පාපකර්මයන්ගෙන් වැළකීමත්, යහපත් ක්‍රියාවන් කිරීමත්, සිත දමනය කරගෙන ජීවත්වීමත්’ කියන එක. ඒ ටික පමණයි කරන්න තියෙන්නෙ. මට නැවතත් කියන්න තියෙන්නෙ, මහරගම භික්ෂු මධ්‍යස්ථානයෙන් ලැබුණු ඉතා විධිවත් පුහුණුවයි මගේ හික්මීම පතුලෙ තියෙන්නෙ කියලා”.


ලංකාවේ අප සුලභව දක්නා දර්ශනයක් තමයි, නායක ස්වාමීන්වහන්සේ ධර්ම කටයුතුවලට පමණක් සීමාවී පොඩි ස්වාමීන්වහන්සේලා ලවා පන්සලේ වැඩ කරවා ගැනීම. නමුත් මිසිසාගා පන්සලේ ඇත්තේ එයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ භූමිකාවක්. ඔබ වහන්සේ විහාරවාසී අනෙක් ස්වාමීන්වහන්සේලා මෙන්ම පොඩි ස්වාමීන්වහන්සේලාත් පන්සලේ ධර්ම කටයුතුවලට මෙන්ම පුහුණුවීමට මඟ සලසා, නිවසක මවකගෙන් සිදුවන ආකාරයේ සේවාවක් ඔබවහන්සේගේ දෑතින්ම සිදු කරනවා. එහි අරමුණ අපට පැහැදිලි කර දෙන්න පුළුවන්ද?
ඇත්තටම එම ස්වාමීන් වහන්සේලා බොහෝ වැඩපලට උදව් පදව් කරනවා. ඊට අමතරව, මම අවුරුදු ගණනාවක් දන්නා කියනා දායකයින් නිසාත් අප අතර අන්යාවබෝධය තියෙන නිසාත් සමහර වෙලාවට ඒ ගනුදෙනුව මම කරන එක මට වගේම දායකයින්ටත් පහසුයි. අනික තරුණ ස්වාමීන් වහන්සේලාටත් ධර්ම පුහුණුව අත්‍යාවශ්‍යයිනෙ”, උන්වහන්සේ පැවසුවේ පීතු සෙනෙහසක් පෙරදැරි කරගත් අරමුණින්. අපිත් ඉතිං පන්සල් දුවන්නෙ හාමුදුරුවො අතින්ම හදාපු තේ එක බොන්නනේ.
කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයට වෙලාවට වැඩ කිරීමේ පුරුද්දට ඇත්තේ ඉතාමත් අවම ගෞරවයක්. නමුත්, ඔබ වහන්සේ වෙස්ට් එන්ඩ් විහාරස්ථාන පරිශ්රමය තුල වෙලාවට වැඩ කිරීම පිළිබඳව ඉතාමත් තද ප්‍රතිපත්තියක් පිළිපදිනවා. අප පාඨකයින්ට මෙන්ම ඔබ දායකයින්ටත් ඒ පිළිබඳව පැහැදිලි කල හැකිද?
“මේක මම කැනඩාවේදී පටන් ගත් පුරුද්දක් නෙවෙයි. අනික් හැම පුරුද්දක්ම වගේම වෙලාවට වැඩ කිරීමත් මහරගම ධර්මායතනයෙන් මට ලැබූ ශික්ෂණයක්. උදේට ඇහැරීම, දානය වැළඳීම, බුදුන් වැඳීම මෙන්ම සියලුම කර්තව්‍යයන් නියමිත වෙලාවට කිරීමට අපිට අනිවාර්යය නීති පනවා තිබුනා. වෙලාව එහෙ මෙහෙ උනොත් තද දඬුවම් ලැබෙනවා. අදටත් කැනඩාවේ ජීවත්වන මට යම් තැනකට යාමට අවශ්‍ය නම්, එතැනට වේලාසනින් යෑමේ පුරුද්දක් තියෙනවා. ඒ නිසා මට කැනේඩියානු ජීවිතයට හැඩ ගැහෙන්න ඉතා පහසු උනා”.
වෙලාවට වැඩ කිරීම තුලින් උන්වහන්සේ අප ශ්‍රීලාංකික සමාජයට දෙනු ලබන්නේ ප්‍රබල පණිවිඩයක්. කැනඩාව වැනි රටකට පැමිණ තම පැවැත්ම තහවුරු කර ගැනීමට නම් කැනේඩියානු සමාජයේ සුභවාදී දේ අනුගමනය කල යුතුයි කියනා ධර්මය තරයේ උන්වහන්සේ අවබෝධ කරගෙන තිබෙනවා.


කිසිවෙකුට තදින් කතා නොකර, සැර වැර නොකර, කිසිදා නොකිපී විහාරස්ථානයේ කටයුතු ඉතාමත් විනයානුකුලව, පිරිසිදුව සහ පිළිවෙලට ඔබ වහන්සේ පවත්වාගෙන යන ආකාරය පිළිබඳව අපට යමක් කිව හැකිද?
“මම හිතන්නෙ, දෙමාපියෙක් උනත් දරුවෙකුට දඬුවම් කරනවාට වඩා තමා ආදර්ශයෙන් පිහිටා සිටීමෙන් එම දරුවා නිවැරදි දේ කිරීමට ඉගෙන ගන්නවා කියලයි. ඒකයි මම කරන්න උත්සාහ කරන්නෙත්. විශේෂයෙන්ම අළුත් පරම්පරාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පරිස්සමින් සිදු කලයුතු දෙයක්. ඊටත් වඩා ඉවසීම මෙම සියළු දේ සාක්ෂාත් කර ගැනීමට අත්‍යාවශ්‍ය බව මේ දිවි ගමනේදී මා ඉගෙන ගත් දෙයක්”, පුරුදු නිවුණු හඬිනුයි උන්වහන්සේ හඬ අවදි කලේ
මිසිසාගා විහාරස්ථානය කියන්නෙ ආගමික ස්ථානයකට එහා ගිය ප්‍රජා මධ්‍යස්ථානයක්. ඉන් ඔබ වහන්සේ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු මොනවාද?
“මගේ බලාපොරොත්තුව වෙන්නෙ, බෞද්ධයින්ට පමණක් අප විහාරස්ථානය සීමා නොකොට අනික් ජාතීන්ටත් හැකි සෑම උපකාරයක් කිරීමට. එය ඉතාමත් අසීරු කාර්යයක් නමුත්, එම සේවාව ඉතා වැදගත් කියලයි මම හිතන්නේ”, සියල්ල කෙටි වාක්‍යයකට උන්වහන්සේ ගොනු කළා.
අපවත්වී වදාල ගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ වරක කියලා තියෙනවා “අප ගෞතම බුදුරදුන් බණ කිව්වෙ බෞද්ධයින්ට නොවේ මනුෂ්‍යයින්ට” කියලා. එය සනාථ කරමින් වෙන්න ඇති අපේ නායක හාමුදුරුවොත් ජාති ආගම් භේද නොසලකා සැමට පිහිට වන්නේ.
ලොකු කුඩා, ඇති නැති, උගත් නුගත් සියල්ලටම ඔබ වහන්සේ බෙදන්නේ එකම හැන්දකින්. ඩොලර් දහස් ගණනින් වියදම් කරනා දායකයාටත්, පන්සලට පැමිණ කෑම ටිකක් බෙදාගෙන යන, අඩු පාඩුවක් පිරිමසාගෙන යන දායකයාටත් ඔබ සලකන්නේ එකම විදියට. මෙය ඉතාමත් අසීරුවෙන් උපයාගත යුතු ගුණාංගයක්. එම ගුණාංගය පුරුදු පුහුණු කිරීමට පසුබිම්වන හේතු මොනවාද?
“ඕනෑම සමාජයක ඇති නැති කොට්ඨාශ දෙකම ඉන්නවා. ඒ වගේම හැකි නොහැකි අයත් ඉන්නවා. පන්සලකින් හෝ ඕනෑම ආගමික ස්ථානයකින් සිදුවිය යුත්තේ සියල්ලන්ටම සමානව සැලකීම. ඒ සැමට කිසිම වෙනසක් අත් නොවිඳ ආගමික ස්ථානයකට පැමිණිය හැකි පසුබිමක් තියෙන්න ඕන. අනික් පැත්තෙන් බැලුවහම, ආගමික ස්ථානයක පැවැත්මටත් සියළුම දායකයින් අත්‍යාවශ්‍යයි. සම්පත්ධාරියෙක් වනුයේ මුදල් පමණක් ඇති කෙනෙක් නෙවෙයි”.
මම කැමතියි ඔබ වහන්සේගේ ලෞකික සහ ලෝකෝත්තර අරමුණු ගැන දැනගන්න?
“ඇත්තටම මේ කෙටි ජීවිතයේදී, මිනිසුනට හැකි පමණ උදව් පදව් කිරීමටයි මම කැමති. විශේෂයෙන්ම කැනඩාවට අලුතින් එන අයට. මම හැමදාම උදව්වක් කලේ කිසිම දෙයක් බලාපොරොත්තුව නොවුනත්, මම අත්දැකපු දේ තමයි, බහුතරයක් අයගේ කෘතඥශීලී බව. තමාට හැකියාවක් ලැබුණු විගස නැවත පන්සලට පැමිණ තමාට හැකි පමණින් උදව් කිරීමට එයාලා උත්සාහ කරනවා. එමෙන්ම, සසර කෙටි කරගැනීම තමයි මගේ ලෝකෝත්තර අරමුණ”.


මම ඇහුවොත්, පන්සලේ අනාගතය පිළිබඳව ඔබවහන්සේගේ බලාපොරොත්තු?
මම හිතන්නෙ අපේ පන්සල ඉදිරියට පවත්වාගෙන යන්න ඉතාමත් පහසුයි කියලා. තව අවුරුද්දකින් අලුත් සංඝාවාසයේ වැඩ කටයුතුත් අවසන් වේවි. අපේ පන්සල කියන්නෙ, විහාර ගෙයක්, බෝධියක්, සමාධි පිළිමයක්, සංඝාවාසයකින් පරිපුර්ණ වූ ආගමික ස්ථානයක්. පන්සලේ උකස් වාරිකයට උනත් පසුබිම සකස් වෙලා තියෙන්නෙ. එම නිසා අනාගත පරපුරට තියෙන්නෙ ධාර්මික කටයුතු කිරීම පමණයි. අමාරුම කාර්යය වන්නේ විවිධ ගති පැවතුම් ඇති දායකයින් සමඟ ගනුදෙනු කිරීමයි. අනික් සෑම ගති ලක්ෂණවලට වඩා ඉවසීම නම් වූ ප්‍රබලම ගුණාංගය නොතිබුනා නම් මට අද මේ ගමන එන්න ලැබෙන්නෙ නැහැ. ඉතාමත් ඉවසීමෙන්, කැපකිරීමෙන් සහ ධෛර්යයෙන් මේ ආපු ගමන වෙහෙසකර වුවත්, විහාරස්ථානයක් ගොඩ නැගීමේ පුන්‍යකර්මය සිතට ගෙන දෙන්නේ ශාන්තියක් සහ තෘප්තියක්”, උන්වහන්සේ ඒ තෘප්තිය සුසුමකින්ම පිටකර හැරියා.
අවසාන වශයෙන් ඔබ වහන්සේට පරමාදර්ශී වූ චරිත පිළිබඳව අප පාඨකයින් සමඟ කරුණු බෙදා හදා ගන්න පුළුවන්
“මුලින්ම මගේ දෙමාපියන් සිහිපත් කරන්න ඕන. ඉන්පසුව, මගේ ජීවිතේ මුල්ම ගුරුවරුන් වූ යටිරාවණ නාරද නායක ස්වාමීන්වහන්සේ, මහරගම ධර්මායතනයේ මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්වහන්සේ, අම්පිටියේ රාහුල ස්වාමීන්වහන්සේ සිහිපත් කල යුතුමයි. මේ ස්වාමීන් වහන්සේලා ප්‍රධානම වුවත්, මට බොහොමයක් ගුරුවර ස්වාමීන් වහන්සේලා සිටියා. කැනඩාවට පැමිණිදා සිට Scarborough පන්සලේ ස්වාමීන්වහන්සේලා ඇතුළු මට උදව් පදව් කල අය අනන්තයි, අප්‍රමානයි. ඒ නිසා මම නම් සඳහන් කරන්න කැමති නැහැ. නමුත් පරලෝ සැපත් ඇලෝයි පෙරේරා මහතාගේ නම නොකියාම බැහැ. මා පැමිණි මේ දීර්ඝ දුෂ්කර ගමනේ, එතුමා නොහිටියා නම්, මගේ ජීවිතය මීටත් වඩා දුෂ්කරතාවයන්ට, බාධකවලට මුහුණ දෙන්න තිබුනා. එතුමා කියන්නෙ සකලවිධ ජනතාවටම උපකාර කල උතුමෙක්”.
පන්සලේ දුරකථනය කියන්නෙ දවස තිස්සෙම නොනවත්වා නාද වන දෙයක්. නමුත්, ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුගේ දුරකථන පණිවිඩයකට පිළිතුරු දෙන උන්වහන්සේ, දානෙ වෙලාවක හරි වැරදුනොත්, හැකි ඉක්මනින් නැවත කතා කිරීමෙන් පෙන්නන්නෙ අනිකාට දක්වන සැලකීම සහ ගරුත්වයයි. අනිකාගේ කාලයට දෙන වටිනාකමයි. තමාගේ සුඛ විහරණය අනෙකා වෙනුවෙන් පරිත්‍යාග කිරීම කියන්නෙත් දානයක්.
උන්වහන්සේ සමඟ පැයකට ආසන්න කාලයක දුරකථන සංවාදයකින් පසුව, සමු දීමට කාලය එළඹිලා තිබෙනවා. ඇත්තටම, චරිතාපදානයක් සඳහා කල දුරකථන සංවාදයකින් මගේ දෑස් තෙත්වූ පළමු වර මෙයයි. උන්වහන්සේගේ කටහඬ මට ඇසුනාට වඩා දැනුනා. එය අසීමිත ඉවසීමකින්, ධෛර්යයකින්, හික්මීමකින් කටයුතු කරනා මවකගේ භූමිකාවටත්, හද ගැස්මටත් වඩා සංවේදීයි, සංකීර්ණයි.
ගෞතම බුදු රජාණන් වහන්සේට අප තුල ඇති අසීමිත සෙනෙහස හේතුවෙන්, උන්වහන්සේට බොහෝ ලෞකික අපි ලබා දෙන්නේ සාහිත්‍යමය වටිනාකමක් පමණයි. භාග්‍යවතුන් වහන්සේ අපෙන් ඉල්ලා සිටි ධර්මය, දර්ශනය පිළිපැදීම වෙනුවට, උන්වහන්සේට මල් පහන් පුජා කිරීම වැනි ආමිස පුජාවන්ට වඩා ප්රමුඛත්වයත් සහ රුචිකත්වයක් ලබා දෙන්නේ ඒ නිසයි. ඒ හේතුව නිසයි අපිට දුර්වල මනුෂ්‍යත්වයෙන් උසස් තත්වයකට යාම අදටත් ඉතා අපහසු කර්තව්‍යයක් වී තිබෙන්නෙ. නමුත් අපේ නායක ධම්මාවාස හිමියන් අපිට ආදර්ශයෙන් පෙන්වා දෙන්නෙ ව්‍යාජ සාටෝප ගති පැවතුම්වලින්, හිස උදුම්මවා ගත් දැන උගත්කම්වලින් බැහැරව වඩාත් හරවත් සරල ජීවන දැක්මකින් ජීවිතය පවත්වා ගෙන යන ආකාරයයි. ඒ වගේම, උන්වහන්සේගේ සරලකම අප විහාරස්ථානයට ගෙන දෙන්නෙ අපුර්වතම ආදර්ශයක්. ධර්මය ගැඹුරට අවබෝධය වීමත් සමඟම සරලවීම ගෞතම බුදුන්වහන්සේගේ ජීවිත පැවැත්මෙන් අපට පෙන්වා දී තිබෙනවා. අපේ නායක ස්වාමීන් වහන්සේත් ඉතා භක්ති පුර්වකව සැදී පැහැදී එම මඟ අනුගමනය කරනා බවයි අපට පෙනෙන්නේ.
අප Missisaauga West End විහාරස්ථානයේ නායක ගෞරවනීය කුළුගම්මන ධම්මාවාස හිමියන්ගේ ලෞකික සහ ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් ඉටු වේවා මෙන්ම උන්වහන්සේත්, අප විහාරස්ථානයත් චිරාත් කාලයක් වැජඹේවා යනුවෙන් අප පුවත්පත වන “Srilancan” වෙනුවෙන් ආශීර්වාද කරමින් මගේ ලිපිය මින් අවසන් කරනා බවයි.
සංවාද සටහන – අසෝකා ජයලත්
සේයාරූ – ජනක මොහාන් මුහුණු පොත් පිටුවෙන්
https://www.facebook.com/jack.mohan.1848




