පස්වරක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ ජූඩෝ ශූර ටෙඩි රිනර් ප්‍රංශ ජනාධිපතිවරණයට

ප්‍රංශයේ පස්වරක් ඔලිම්පික් රන් පදක්කම් දිනාගත් ලෝක ප්‍රකට ජූඩෝ ශූර ටෙඩි රිනර් එළඹෙන ප්‍රංශ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙනවා.37 හැවිරිදි ටෙඩි රිනර්ගේ මෙම අනපේක්ෂිත තීරණය ප්‍රංශ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.2027 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති ඔහු, මීට පෙර කිසිදු දේශපාලන තනතුරක් හොබවා නොමැති අතර, දේශපාලන අත්දැකීම් ද නොමැති අයෙකු බව සඳහන්.

කෙසේ වෙතත්, ප්‍රංශයේ ජනප්‍රියතම ක්‍රීඩකයින් අතර ඉහළ ස්ථානයක් හිමිකරගෙන සිටින ටෙඩි රිනර්, ඔලිම්පික් රන් පදක්කම් පහකට අමතරව ලෝක ජූඩෝ ශූරතා 11ක් ද දිනාගෙන තිබෙනවා.සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරමින් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ වීඩියෝව මිලියන 28කට අධික පිරිසක් නරඹා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, අදාළ වීඩියෝව නිකුත් කර පැය 24ක් ඇතුළත සිදුකළ මත විමසුමකදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 22ක් තමන් ඔහුට ඡන්දය ලබාදිය හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රංශයේ පවතින දේශපාලන ක්‍රමවේදය විවේචනය කරමින් ජනාධිපතිවරණ සටනට පිවිස ඇති රිනර්, තමන් වාමාංශික හෝ දක්ෂිණාංශික දේශපාලනය නියෝජනය නොකරන බව අවධාරණය කර තිබෙනවා.රට එක්සත් කිරීම සහ ජනතාවගේ ගැටලු විසඳීම සිය ප්‍රධාන අරමුණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් ජීවන වියදම ඉහළ යාම, රාජ්‍ය ණය බර සහ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් ඔහු සිය අවධානය යොමු කර තිබෙනවා.

ප්‍රංශයේ මව්වරුන් සහ පියවරුන් තම දරුවන්ගේ අනාගතය පිළිබඳව බියෙන් පසුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, එවැනි ගැටලු නොසලකා හැරීම සුදුසු නොවන බවත් රිනර් ප්‍රකාශ කර ඇති බව සඳහන්.කෙසේ වෙතත්, රිනර්ගේ ජනප්‍රියත්වය මැතිවරණ ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගත හැකිද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිතතාවක් පවතිනවා.විශේෂයෙන් විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ, අධ්‍යාපනය, ආර්ථිකය සහ ජාත්‍යන්තර සබඳතා වැනි ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය තවදුරටත් පැහැදිලි විය යුතු බව දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …