
මහ ඇතා, කාවන්තිස්ස අවාසනාවන්ත ලෙස මියගියේය. ඒ සමඟ මේ රටේ වන අලින් පිළිබඳ විශාල සංවාද ගණනාවක් නිර්මාණය වී තිබේ. එයින් සමහරක් නිසි පශු වෛද්‍ය ප්‍රතිකාර නොකිරීම හෝ නොසැලකිල්ල පිළිබඳ චෝදනාවන්ගෙන් ගහනය. එය වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සීමා නොවී පරිසර අමාත්‍යවරයා දක්වාද, සමහර තැනක සමස්ත රජය දක්වාද දිගුව තිබේ.
කාවන්තිස්සගේ මරණයට අමතරව, ඊට පෙර නොසැලකිල්ල හා වැරදි තීරණ හේතුවෙන් මියගිය සියඹලන්ගමුවේ මහ ඇතා, මහේශාඛ්‍ය, දසේ, භාතිය ඇතුළු අලිඇතුන් පිළිබඳ සිදුවීම් රැසක් පවතින තත්ත්වයක් යටතේ දෙපාර්තමේන්තුව වෙත චෝදනා එල්ල වීම අපේක්ෂා කළ හැක්කකි. අනෙක් අතට අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ, සීමිත මානව හා භෞතික සම්පත් මැද, වන අලින්ගෙන් සිදු වන සිය ජීවිත හා දේපළ හානි නිසා වේදනාවට හා කෝපයට පත්ව සිටින ජනයා වෙතින් එල්ල වන පීඩනයන් මැද, විවිධ ජාවාරම්වල නිරත වන අපරාධකරුවන් වෙතින් එල්ල වන අභියෝග මධ්‍යයේ එම දෙපාර්තමේන්තුව මුහුණ දෙන අභියෝගයද සුළුපටු නොවේ. මේ කෙටි ලිපියේ අරමුණ මේ චෝදනා සහ පිළිතුරු බැඳීම්වලට එහා ගොස් මෙරට අලි – මිනිස් ගැටුම සම්බන්ධයෙන් අවධානයට ලක් විය යුතු කාරණා කිහිපයක් කෙටියෙන් සාකච්ඡා කිරීමයි.
අද බොහෝ විට අප අතර පවත්නා රොමාන්තික අදහසක් වන්නේ මෙරට අලි-මිනිස් ගැටුම අලුත් හෝ මෑතකාලීන සංසිද්ධියක් බවයි. එහෙත් සැබවින්ම එය එසේ නොවේ. නොක්ස්, බල්දියස්, රොබෙයිරෝ වැන්නන් විසින්17 සහ 18 සියවස්වල රචිත ලේඛනවල වනඅලින් හා ගම්වැසියන් අතර වූ ගැටුම් පිළිබඳ පැහැදිලිව දක්වා ඇති අතර, අලිඇතුන්ගෙන් වගා ආරක්ෂා කිරීමට ගොවීන් විඳින දුක ගැන කියවෙන ජන කවි රාශියක් ජනවහරේ පවතී. නිදහසින් පසු යුගය දෙස බැලීමේදීද අලි-මිනිස් ගැටුම් හා එයින් දෙපාර්ශ්වයටම වූ හානි පිළිබඳ වාර්තා සුලභය. එකී සංඛ්‍යාලේඛන වඩාත් නිවැරදිව වාර්තා වීම ඇරඹුණු 1980-90 දශක දෙස බැලීමේදී පෙනී යන්නේ මේ ගැටුමින් වාර්ෂිකව දෙපාර්ශ්වයට වූ හානි (වාර්ෂික අලි මරණ 80-90ක් පමණ හා මිනිස් මරණ 30-40ක් පමණ) යම් තාක් දුරකට ස්ථිතිකව පැවති බවයි. එහෙත් 2009න් පසු මේ සංඛ්‍යාවල ශීඝ්‍ර වර්ධනයක් හඳුනාගත හැකිය. 2010දී මේ අගයන් දෙකම එක්වරම ඊට පෙර නොවූ-විරූ අගයකට පත් විය. එතැන් සිට එය වසරින් වසර වැඩි වෙමින් 2023 වන විට වන අලි මරණ 480 හා මිනිස් මරණ 170 ඉක්මවා යමින් ලෝකයේ අලි-මිනිස් ගැටුමින් වැඩියෙන්ම අලි මිය යන රට හා දෙවැනියට වැඩියෙන්ම මිනිසුන් මියයන රට බවට ශ්‍රී ලංකාව පත් විය. මේ අනුව ඵෙතිහාසිකවම පැවති අලි-මිනිස් ගැටුමේ නව පරිච්ඡේදයක් 2009න් පසු ඇරඹුණු බව අපට පිළිගැනීමට සිදු වේ.
මේ නව වර්ධනය සලකුණු වන්නේ යුද්ධය අවසන් වීම හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා පරිමාණ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වීම මඟිනි. යුද ගැටුම්වල බලපෑම එල්ල වී තිබුණු උතුරු, නැඟෙනහිර, උතුරුමැද හා වයඹ පළාත්වල එතෙක් නිදහස් ප්‍රවේශයට සීමා පැනවී තිබූ ඉඩම් මහා පරිමාණයෙන් කිසිදු සැලසුම්සහගත බවකින් තොරව විවිධ මිනිස් ක්‍රියාකාරකම් සඳහා නිදහස් කිරීම සිදු වූ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන ගහනයෙන් 15%ක පමණ ප්‍රමාණයක් කිසිදු පාරිසරික බලපෑමක් නොසලකා විනාශ කර දමනු ලැබිණි. වනාන්තර, ගොවිබිම්, සංවර්ධන ව්‍යාපෘති මේ සියල්ල සඳහා තීරණාත්මක වන්නේ සීමිත සම්පතක් වන භූමියයි. නිසි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති හා පාරිසරික බලපෑම් පිළිබඳ නිසි අධ්‍යනයකින් තොරව එකී භූමිය හිතුමතේ භාවිත කිරීමට යෑමේ එක් ප්‍රතිඵලය වූයේ අලි-මිනිස් ගැටුමේ ශීඝ්‍ර වර්ධනයයි.
ශ්‍රී ලංකාවේ සමස්ත භූමියෙන් 82%කම මිනිස්සු වෙසෙති. මිනිස් වාසයක් නැති බිම් පවතින්නේ 18%ක් පමණි. මෙරට සමස්ත භූමියෙන් 62%කම වන අලින් වාසය කරන අතර, වන අලි නැති භූමිය 38%කි. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ අපගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ වනඅලින් මිනිසුන් ජීවත් නොවන පෙදෙස්වලට සීමා කිරීමයි. එහෙත් මෙරට භූමියෙන් 62%ක පැතිරී සිටින සත්ත්ව ගහනයක් 18%ක භූමියකට සීමා කිරීම කළ නොහැක්කක් බව මේ ප්‍රතිශත දෙස බලන ඕනෑ කෙනකුට පෙනී යනු ඇත.
අද මෙරට භූමියෙන් 44%ක් මිනිසා හා වනඅලි හවුලේ භුක්ති විඳිති. අලි-මිනිස් ගැටුම උග්‍රතම බිම බවට පත්ව ඇත්තේ මේ භූමියයි. මෙකී උභතෝකෝටිකයේ සැබෑ ස්වරූපය අවබෝධ කරගැනීමට නම් මෙරට වන අලින් හා මිනිසා අතර භූමි පරිහරණයේ සැබෑ ස්වරූපය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
ඉතිහාසය පුරා මෙරට ජනයා සිය භූමිය අලින් හා හවුලේ බෙදාහදාගෙන තිබේ. කන්න දෙකක් අතර කාලයේ වගාබිම අලින් විසින් භුක්ති විඳීම මෙරට ජනයා ගැටලුවක් ලෙස සැලකුවේ නැත. වනාන්තරය සහ ජනාවාස හා ගොවිබිම් අතර පැවති විවෘත තණබිම් මේ දෙපිරිස විසින්ම තම-තමන්ගේ පරිභෝජනය සඳහා හවුලේ භාවිත කළහ. එනිසා දෙපිරිස අතර ගැටුම් අවම මට්ටමක පවත්වා ගැනීමට හැකි විය. එහෙත් ගැටුම් තීව්ර වූයේ මිනිස් ක්‍රියාකාරකම් වනාන්තරය තුළට පැතිරවීමට අමතරව විවිධ ව්‍යාපෘති සදහා තණබිම් ලෙස පැවති ඉඩම් අත්පත් කරගැනීමත් සමඟය. අද වන විට තණබිම් අහිමිවූ ගව පාලනයේ යෙදෙන පිරිස් සිය ගවයින් වනාන්තරය තුළට යොමු කරන අතර වනාන්තරය තුළ පිහිටි සීමිත තෘණභූමි පවා වනඅලින්ට අහිමිව තිබේ. මිනිසා විසින් කලින් පැවති සහයෝගි පැවැත්ම බිඳදැමීමත් සමඟ උග්‍ර ආහාර හා ජල හිඟයට මුහුණදෙන වන අලින් ගොවිබිම් හා ගම්මාන වෙත වඩ වඩා පැමිණෙමින් දෙපාර්ශ්වය ගැටුම තීව්රවීම වැළැක්විය හැක්කක් නොවේ.
අනෙක් අතට වනාන්තරයේ මිනිස් ක්‍රියාකාරකම් මෙපමණකින් හෝ සීමා වී වනාන්තරය ආරක්ෂා වී ඇත්තේ වනඅලින් හේතුවෙනි. (මෙරට වනාන්තර ආශ්‍රිතව විවිධ ජාවාරම්වල නිරත වන සියල්ලන්ගේ ප්‍රධානතම සතුරා වනඅලින් බවට පත්ව ඇත්තේ එබැවිනි). මේ අනුව වනාන්තරයේ ප්‍රධානතම ආරක්ෂකයා වී ඇත්තේ වනඅලින්ය. එමෙන්ම වනඅලි මෙරට වනාන්තරවල ජෛව විවිධත්වය ආරක්ෂා කරන ප්‍රධානතම සාධකයකි. පරිසර විද්‍යාවේ මෙවැනි ජීවී විශේෂ හඳුන්වන්නේ මුල්ගල් විශේෂයක් යනුවෙනි. එවැන්නකු නැති වුව හොත් සමස්ත පද්ධතිය බිඳවැටෙයි.
කාලයක් තිස්සේ අප විසින් විශ්වාස කළ (අදද සමහරු විශ්වාස කරන) කරුණක් වන්නේ ස්වභාවධර්මය මිනිසා විසින් ජය ගත යුතු බවයි. අපගේ බටහිර යටත්විජිත උරුමයක් ලෙස මෙරට මුල්බැසගත් මේ අදහස 18 වැනි සියවසේ සිට 20 වැනි සියවස මැදභාගය වන තුරුම ස්වභාවධර්මය සමඟ ගනුදෙනු කළ ආකාරය තීරණය කරන ලදි. වන අලියා පලිබෝධකයකු ලෙස සලකා විනාශ කිරීම සිදු කරනු ලැබූයේ මේ අනුවය. වනාන්තරය යනු මුදා නොගත් කලාපයක් ලෙස සලකමින්, එය මිනිස් ක්රියාකාරකමින් යටපත් කිරීම මිනිසාගේ ප්රගමනයේ මූලික කොන්දේසියක් ලෙස දකින ලදි. එහෙත් 20 වැනි සියවසේ දෙවැනි භාගය වන විට මේ අදහස් පද්ධතිය අභියෝගයට ලක් වූ අතර, අද වන විට යථාර්ථයක් ලෙස අප ඉදිරියේ දිගහැරෙමින් ඇති දේශගුණ විපර්යාස හා පාරිසරික ඛේදවාචක ඉදිරියේ මිනිසාගේ සීමාව සලකුණුව තිබේ. ඒ අනුව ස්වභාවධර්මයේ තීරකයා හා එය පාලනය කරන්නාගේ සිට මිනිසා ස්වභාවධර්මයේ කොටසක් ලෙස පිළිගනිමින් සමස්ත ජෛව පද්ධතිමය පැවැත්ම සුරක්ෂිත කිරීමේ හා ස්වභාවධර්මය සමඟ සහයෝගි පැවැත්මක් වෙත මාරු වීම තවත් එක් විකල්පයක් නොව මිනිස් වර්ගයා ඉදිරියේ ඇති එකම මඟ බවට පත්ව තිබේ.
අලි-ඇතුන් යනු මෙරට ජනයාගේ සංස්කෘතික හර පද්ධතියේ අංගයක්ද වෙයි. මෙරට බෞද්ධ විශ්වාස පද්ධතිය තුළ අලි-ඇතුන් අන් සියලු සතුන්ට වඩා විශේෂ වෙයි. එහි සමහර තැනක සමහර අලි-ඇතුන් ස්ථානගතව ඇත්තේ මිනිසාටත් ඉහළ තැනකය. බුද්ධත්වයට පාරමිතා පුරන දස බෝසතුන් අතර (තිස්ස හා සුමංගල නමින් බුදු වන) පාරිලෙය්‍ය ඇතා සහ නාලාගිරි ඇතා සිටිති. ඇද වැටී පණ අදිමින් සිටින අලි අසලට වී ගිනි මද්දහනේ පිරිත් කියන ගැමියන් අදද අපි දකිමු. “මගෙ පුතේ උඹ බුදු වෙනවා” යනුවෙන් අලි-ඇතුන්ට පවසන අම්මලා අප දැක තිබේ. මියගිය විට පාංශුකූලය දී මතක වස්ත්‍ර පූජා කරනු ලබන එකම සත්ත්වයා හස්තියාය. දුටුගැමුණු රජු සිය අවසන් සටනේදී කඩොල් ඇතු අමතා ලංකා රාජ්‍යයෙන් ඔහු පුදන බවට පැවසූ බව මහාවංසය, චූලවංසය මෙන්ම සද්ධර්මාලංකාරයද පවසයි. මේ ප්‍රකාශයේ තීව්‍රතාව අපට දැනෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයෙන් පුදනු ලැබූ අන් වස්තූන් වන්නේ දන්ත ධාතුව සහ ශ්‍රී මහා බෝධිය යන්න සමඟ සලකා බැලීමේදීය. එනිසා අලි-ඇතුන් යනු මෙරට බෞද්ධ හෘදයසාක්ෂියේ ගැඹුරින් තැන්පත් වූ වස්තුවකි.
මෙලෙස බලන කල අලි-ඇතුන් යනු මෙරට තුළ සංකීර්ණ ප්රපංචයකි. ඔහු තවත් එක් වන සතෙක් නොවේ. විටෙක ඔහු අප සමඟ එකම භුමියක් හා සම්පත් සඳහා සටන් වදින්නෙකි. තවත් විටෙක ඔහු වනාන්තර පද්ධතියේ සහ එහි සමස්ත ජෛව විවිධත්වයේ ආරක්ෂකයාය. තවත් විටෙක ඔහු මතු බුදු වන බෝසත් කෙනෙකි. එබැවින් මේ සංකීර්ණ ප්රපංචය හා ගනුදෙනු කිරීමේදී මේ සංකීර්ණත්වය අපට මඟහැර යා නොහැකිය. අද ඉතිරිව සිටින අග්බෝ, වාසල, මහානාම, කාශ්‍යප, සුරනිමල, සුමේධ, සූර්යා, මහාසේන, දීඝාභය, ගජබාහු, වන්නියාන් වැනි ඇතුන් ඇතුළු සමස්ත අලි-ඇත් පරපුර ආරක්ෂා කරගැනීමේ මඟ වැටී ඇත්තේ මේ සංකීර්ණත්වය මත පදනම්වූ දැනුවත් මැදිහත් වීමක් ඇසුරේ පමණි.


