
ලෝක ක්රිකට් ඉතිහාසයේ පළමු වරට පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වය එකම කණ්ඩායමකට ක්රීඩා කරන නව අත්හදා බැලීමක් ලෙස ලොව ප්රථම ටෙස්ට්20 (Test Twenty) ක්රිකට් තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ශ්රී ලංකාවේ සත්කාරකත්වයෙන් නොවැම්බර් 14 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ එස්එස්සී (SSC) ක්රීඩාංගණයේදී මෙම ඓතිහාසික තරගාවලිය සංවිධානය කොට තිබේ.
සමානාත්මතා රීතිය යටතේ පිරිමි සහ කාන්තා අංශ දෙකම ඒකාබද්ධ කරමින් ඉදිරිපත් කරන මෙම ටෙස්ට්20 ආකෘතිය, ක්රිකට් ක්රීඩාවේ සිව්වැනි ආකෘතිය ලෙස සංවිධායකයන් විසින් හඳුන්වා දී ඇත. එක් දිනක් තුළ ඕවර 80ක තරගයක් පැවැත්වීම මෙම ආකෘතියේ විශේෂ ලක්ෂණයකි. එහිදී දිවා කාලයේදී රතු පන්දුව සහ රාත්රී කාලයේදී සුදු පන්දුව යන දෙකම භාවිත කෙරේ.
තරග රීතිවලට අනුව, එක් තරගයකදී ඕවර 80ක් ක්රියාත්මක වන අතර පළමු ඕවර 40 දිවා කාලයේදී රතු පන්දුවෙන් සහ සුදු ඇඳුමින් ක්රීඩා කරනු ලබයි. ඉතිරි ඕවර 40 විදුලි ආලෝකය යටතේ සුදු පන්දුවෙන් සහ වර්ණ ඇඳුමින් ක්රීඩා කිරීම සිදු කෙරේ. තරග ආරම්භයේදී කාසියේ වාසිය මඟින් පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම තීරණය කරන අතර, එහිදී පළමුව පිටියට පිවිසෙන්නේ කණ්ඩායමේ පිරිමි පිලද නැතහොත් කාන්තා පිලද යන්නද එම අවස්ථාවේදීම ප්රකාශයට පත් කෙරේ.
මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා කණ්ඩායම් වෙන වෙනම ක්රීඩා කළද, ඔවුන් ලබාගන්නා ලකුණු ඒකාබද්ධ කර කණ්ඩායමේ අවසන් ලකුණු එකතුව තීරණය කෙරේ. අනතුරුව තරගයේ දෙපිලේම පිරිමි සහ කාන්තා කණ්ඩායම් ලබාගන්නා මුළු ලකුණු එකට එකතු කර ජයග්රාහී කණ්ඩායම තීරණය කරනු ලබයි. ඒ අනුව, කණ්ඩායමක පිරිමි සහ කාන්තා අංශ දෙකටම අවසන් ජයග්රහණය සඳහා සමාන දායකත්වයක් ලබාදීමට අවස්ථාව හිමිවේ.
ලොව පුරා සිටින වයස අවුරුදු 13ත් 21ත් අතර යොවුන් ක්රිකට් ක්රීඩක ක්රීඩිකාවන් 160 දෙනෙකු මෙම ටෙස්ට්20 ක්රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතය. මහාද්වීප හතරක් නියෝජනය වන පරිදි කණ්ඩායම් හතරකට බෙදා තරගාවලිය පවත්වනු ලබයි. එක් කණ්ඩායමකට පිරිමි ක්රීඩකයන් 20ක් සහ කාන්තා ක්රීඩිකාවන් 20ක් ඇතුළත්ව මුළු ක්රීඩකයන් 40 දෙනෙකු අයත් වේ.
පසුගිය දින 300ක කාලය තුළ මහාද්වීප පහකින් යොවුන් ක්රිකට් ක්රීඩක ක්රීඩිකාවන් දහස් ගණනක් තේරීම් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත. තරගාවලියට එක්වන අවසන් ක්රීඩක ක්රීඩිකාවන් 160 දෙනාගේ නාම ලේඛනය මෙම මාස අගභාගයේදී පැවැත්වෙන ක්රීඩක කෙටුම්පත් (Draft) ක්රියාවලියේදී නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමට සංවිධායකයින් සැලසුම් කර තිබේ.
ටෙස්ට්20 ක්රිකට් තරගාවලියේ නිර්මාතෘ, ඉන්දියානු ක්රීඩා ව්යවසායක ගෞරව් බහිර්වානි මහතා සඳහන් කළේ ශ්රී ලංකාවේ ජනතාව ක්රිකට් ක්රීඩාව කෙරෙහි දක්වන දැඩි උනන්දුව සහ ශ්රී ලංකාවේ පවතින ශක්තිමත් පාසල් ක්රිකට් සංස්කෘතිය හේතුවෙන් ප්රථම තරගාවලියේ සත්කාරකත්වය ශ්රී ලංකාවට ලබාදීමට තීරණය කළ බවයි.
ශ්රී ලංකාව මෙම තරගාවලිය පැවැත්වීමට සුදුසුම ස්ථානය බව පැවසූ බහිර්වානි මහතා, ශ්රී ලංකාවේ පාසල් ක්රිකට් තරග නැරඹීමට පවා ක්රීඩාංගණ පිරී ඉතිරී යන ආකාරයත්, ජනතාව යොවුන් ක්රීඩකයන්ට දක්වන ආදරය ලොව වෙනත් කිසිදු රටක දැකිය නොහැකි බවත් වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ව්යාපෘතිය සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදීම පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් ආයතනයට සහ එස්එස්සී (SSC) පරිපාලනයටද ඒ මහතා සිය ස්තූතිය පිරිනමන ලදී.
ටෙස්ට්20 තරගාවලිය නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන අලංකාර සමාරම්භක උත්සවයකින් ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වෙන අතර, නොවැම්බර් 30 වැනිදා අමතර දිනයක් (Reserve day) ලෙස වෙන්කර ඇත.


