
අධ්යාපන ප්රතිසංස්කරණ ඉල්ලා පැරිස් නුවර සිසුන් පිරිසක් ආරම්භ කළ සාමකාමී විරෝධතාව අතරතුර සිදුවු වාහන හා දේපළ ගිනි තැබීම් සහ කඩසාප්පු කොල්ලකෑම් හේතුවෙන් මධ්යම පැරීසියේ පළාත් කිහිපයකට සහ තවත් නගර රැසකට රාත්රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට එරට රජය පියවර ගෙන තිබේ. පොලීසිය නිවේදනය කර ඇත්තේ රාත්රී 11.00ට සිට අලුයම 6.00 දක්වා ඇඳිරි නීතිය ක්රියාත්මක වන බවය. පැරිස් අගනුවර සහ ප්රචණ්ඩ ක්රියා පැතිරී ගිය තවත් නගර කිහිපයක මහජන ඒකරාශීවීම් සහ රැස්වීම් තහනම් කර ඇති අතර, තරුණ තරුණියන්ගේ ගමනාගමනයට ද සීමා පනවා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. සාමකාමී විරෝධතාව පසුපස ප්රචණ්ඩකාරී සිදුවීම් සහ සංවිධානාත්මකව කඩසාප්පු ගිනි තැබීම් සහ කොල්ලකෑම් සිදුවී ඇතැයි තහවුරු වූ බව එරට අභ්යන්තර කටයුතු ඇමැති ලෝරන්ට් නුනේස් ප්රකාශ කර තිබේ.
පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා පැරිස් නුවර අඩු පහසුකම් සහිත උසස් පාසලක සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවට පසුව වෘත්තිය සමිති සහ තවත් කණ්ඩායම් රැසක් එක්වීමෙන් පිරිස් බලය ඉහළ ගිය බවත්, විරෝධතා පාලනය කිරීමේ සැලසුමක් නොතිබූ බැවින් හදිසියේ හටගත් ප්රචණ්ඩකාරි සිදුවීම්වලදී ඇතැම් නගරවල පාලනය ගිලිහී ගිය බව ප්රංශ පොලීසිය පිළිගෙන ඇතැයි විදෙස් මාධ්ය සඳහන් කරයි. ප්රචණ්ඩකාරී සිදුවීම්වලට මුල් වූ පුද්ගලයන් 2,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් නිලධාරින් දහසකට වැඩි පිරිසක් කලහකාරීන් සමඟ ගැටුම් ඇතිවීමෙන් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මේ අතර ජාත්යන්තරයේ දැඩි අවධානයට ලක්වූ ප්රංශයේ විරෝධතා රැල්ල අසල්වාසී ඉතාලියට සහ බෙල්ජියමට ද පැතිරී ගොස් ඇති අතර, ඉතාලියේ මිලාන් නුවර සහ බෙල්ජියමේ බ්රසල්ස් නුවර සිදුවූ ප්රචණ්ඩ ක්රියා බරපතළ මුහුණුවරක් ගත් බව විදෙස් මාධ්ය වාර්තා කරයි. දුර්වල මහජන සේවා සහ ජිවන වියදම ඉහළ යෑම මුල් කරමින් ඉතාලියේ සහ බෙල්ජියමේ අතිවිශාල ජනතාවක් වීදි බැස විරෝධතාවල නිරත වෙද්දී මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් පිරිසක් කඩසාප්පුවලට ගිනිතැබීම සහ කොල්ලකෑම හේතුවෙන් නගර පුරා ප්රචණ්ඩත්වය පැතිරී ගිය බව වාර්තා වේ.
ඉතාලියේ මිලාන්, බොලොඤ්ඤා හා ටියුරින් ඇතුළු නගර ගණනාවක කැරලි මර්දන පොලීසිය සහ කලහකාරින් අතර ගැටුම් සිදුවී ඇති අතර, බෙල්ජියමේ බ්රසල්ස් නගරයේදී තරුණ විරෝධතාකරුවන් කඩසාප්පු හා මෝටර් රථ ගිනි තබමින් ප්රචණ්ඩකාරි ලෙස හැසිරුණු බව විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරයි.
පසුගිය සෙනසුරාදා ඉතාලියේ නගර රැසක සිදුවූ ගැටුම් සහ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් බාලවයස්කරුවන් 12 දෙනකු ඇතුළුව පුද්ගලයන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට පසුදින මිලාන් නගරයේ හටගත් ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 197 දෙනකුගෙන් 43 දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි වාර්තා වේ. බෙල්ජියමේ බ්රසල්ස් හා ලියේජ් නගරවලදී ප්රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූවන් 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතා දැක්වීමට ජනතාවට අයිතියක් තිබුණද නගර යුධ පිටි බවට පත් කිරීමට අයිතියක් නොමැති බව කියමින් ඉතාලියේ අගමැතිනිය ජෝර්ජියා මෙලොනි ප්රචණ්ඩත්වය හෙළා දකිමින් ප්රකාශයක් ද නිකුත් කර ඇති අතර, ඊයේ රජයේ හදිසි රැස්වීමක් ද කැඳවා තිබූ බව වාර්තා වේ. බෙල්ජියමේ අභ්යන්තර කටයුතු ඇමැති බර්නාඩ් ක්වින්ටින් ප්රකාශ කර ඇත්තේ එම සිදුවීම් සාමාන්ය විරෝධතාවකට වඩා ඔබ්බට ගොස් ඇති බවය. ඉතාලියේ සිදුවූ ගැටුම්වලදී පොලීස් නිලධාරීන් 141 දෙනකු තුවාල ලබා ඇති බවත්, මිලාන් නගරයේ කඩසාප්පුවලට සිදුවූ හානිය යුරෝ ලක්ෂ 5කට අධික බවත් වාර්තා වේ. ප්රචණ්ඩත්වය සඳහා විරෝධතාව පලිහක් කරගන්නා කණ්ඩායම්වලින් වෙන්වන ලෙස බොලොඤ්ඤා නගරාධිපතිනිය මැටියෝ ලෙපෝරේ නගරයේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.


