
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග මහතා දිවයිනට පැමිණීමේ දී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය පිළිබඳව Turkish Airlines ආයතනය සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
පසුගිය (15)වැනිදා දිනයේ දී මෙම සිදුවීම සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ Turkish Airlines ආයතනයේ නියෝජිතයින් පිරිසක් අතර පැවති හමුවේදී අදාළ ආයතනයේ නිලධාරීන් මෙලෙස සිය කනගාටුව පළ කර ඇත.
මෙහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශන කටයුතු සිදුකිරීමට හා එම හානිය පිළිබඳව නිසි ඇගයීමක් සිදුකරන ලෙස අදාළ හානිය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් තීරණය විය.
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ ඔසවා තබමින් හෙල්ලයෙන් ලොවක් ජයගත් රුමේෂ් තරංග හංගේරියාවේදී පැවති වර්ල්ඩ් ඇත්ලටික් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියෙන් පසුව පසුගිය (15)වැනිදා අලුයම යළි දිවයිනට පැමිණියේය.
කෙසේ වෙතත් ඔහු තරග සඳහා භාවිත කළ හෙල්ල පහම ගුවන් යානයේදී සම්පූර්ණයෙන්ම කැඩීගොස් තිබීම කාගෙත් අවධානයට ලක්වුණි.රුමේෂ් තරංග තරග සඳහා රැගෙන ගිය හෙල්ල 5ම ගුවන් යානයේදී සම්පූර්ණයෙන්ම කැඩීගොස් තිබුණි.ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව වාර්තා වුණි.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට පසු ලෝකයේ සුපිරි මලල ක්‍රීඩා තරු සහභාගී වූ ප්‍රධාන තරගාවලිය ලෙස සැලකෙන අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියේ දී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රුමේෂ් රන් පදක්කම දිනාගැනීමට සමත්වුණි.
පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටි ක්‍රීඩකයින් 8දෙනා අතරට වත්මන් ඔලිම්පික් ශූරයා වන පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්, වත්මන් ලෝක ශූරයා වන ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබෑගෝහි කෙශෝර්න් වෝල්කෝට්, දෙවරක් ලෝක ශූරතාව දිනා ඇති ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් සහ පසුගිය සමය පුරා ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටි යුරෝපානු ශූරයාවන ජර්මනියේ ජුලියන් වෙබර්ද ඇතුළත්ව සිටියේය.
ශ්‍රි ලංකා සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග එම ඉසව්වට එක්වුණේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරයා සහ ඩයමන්ඩ් ලීග් ශූරයා මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩකයා ලෙසය.
එම ඉසව්වේ පළමු උත්සාහයේදී රුමේෂ් තරංගට දැක්වීමට හැකිවූයේ මීටර 75.89ක දක්ෂතාවක් පමණය.පළමු වටය අවසන් වනවිට ජුලියන් වෙබර් තරගයේ පෙරමුණ ගනිද්දී, ඇන්ඩර්සන් පීටර්ස් දෙවන ස්ථානයේ පසුවූ අතර රුමේෂ් පසුවූයේ පස්වන ස්ථානයේය.
දෙවන වටයේදී ඇන්ඩර්සන් පීටර්ස්, ජුලියන් වෙබර්ව අබිබවා ගිය අතර එම වටයේදී මීටර 85.69ක දක්ෂතාවක් දැක්වූ රුමේෂ් තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.වටයෙන් වටයට සිය දක්ෂතාව ඉහළ නංවාගත් රුමේෂ් තරංග තුන්වන වටයේදී මීටර 87.11ක දක්ෂතාවක් දක්වමින් ඉසව්වේ පෙරමුණ හිමිකර ගැනීමට සමත්වුණි.
රුමේෂ් තරංග එම ඉසව්වේ සිව්වන සහ අවසන් අවස්ථාවේදී මීටර 91.09ක දැවැන්ත විසිකිරීමක් සිදුකළේ, වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී තමාව අබිබවා යාමට හැකි කිසිවෙකුත් නොමැති බව නැවත නැවතත් තහවුරු කරමිනි.
ඒ අනුව පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරයා සහ ඩයමන්ඩ් ලීග් ශූරයාවන රුමේෂ් තරංග වර්ල්ඩ් අල්ටිමේට් ශූරයා ලෙසත් කිරුළු පැළදීමට සමත්වුණි.එම ජයග්‍රහණය වෙනුවෙන් රුමේෂ්ට අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් හිමිවූ අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5කට ආසන්නය.


