ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්‍ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රගතිය ජිනිවා සමුළු‍වට.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ඇතුළු දූත පිරිසක් පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියහ. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මූලස්ථානයේ පැවැත්වෙන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 35 වන සැසියට සහභාගි වීම සඳහාය.

මෙම සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේදී ඍජු දායකත්වයක් ලබාදෙන අමාත්‍යාංශ හා ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙරට සිට මාර්ගගත ක්‍රමය ඔස්සේද සහභාගි වෙති.

ශ්‍රී ලංකාව ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියට එළඹෙන්නේ 2016 වර්ෂයේදීය. ඒ අනුව, වසර 10ක් තුළ එම සම්මුතියට අදාළව කටයුතු කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සමාලෝචනය කිරීම එහිදී සිදු කෙරේ. ඒ අනුව, එම සැසිය පසුගිය (14)වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පමණ ආරම්භ විය.

සැසිය ආරම්භ කරමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන ඇති බවයි. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියේ 18 වන සහ 19 වන පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම ඒ බව තහවුරු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ආබාධ සහිත පුද්ගලයකු වන ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට පත් කිරීමත් සමඟ ප්‍රතිපත්ති සම්පාදනයේදී ආබාධ සහිත ප්‍රජාවගේ හඬට සෘජුවම සවන් දීමට අවස්ථාව සැලසෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කරන අයවැය ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බව අවධාරණය කළේය.

ඒ අනුව, 2022 වසරේ පැවති රුපියල් බිලියන 48ක ප්‍රතිපාදනය 2026 වසර වන විට රුපියල් බිලියන 81 දක්වා ඉහළ දමා ඇති බවද සැසිය අමතමින් ප්‍රකාශ කළේය.

රටේ යටිතල පහසුකම්වල පවතින ප්‍රවේශවීමේ බාධා හඳුනා ගැනීම සඳහා ජාතික ප්‍රවේශ විගණනයක් (National Accessibility Audit) ආරම්භ කර ඇති බවත්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා පහසුකම් සහිත පතුල පහත් බස් රථ 104ක් සේවයේ යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බවත්, රියදුරන්ට සහ සහායකයන්ට සංඥා භාෂා පුහුණුව ලබාදීමටද සැලසුම් කර ඇති බවත් සඳහන් කරන ලදී.

තවද, 2025 මාර්තු මාසයේදී ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය පිහිටුවන ලද අතර, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර ගනිමින් පවතින බවද අමාත්‍ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේය.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, එය මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද සඳහන් කළේය. “සංඥා භාෂා පනත” කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today