සිංහල කෙටිකතාව

නාරිකා රථය
වින්සන්ට් ලංකාතිලක කැලිඩස්කෝපය අතට ගෙන එය තමන් ගේ ඇසට ලං කලේය. ඔහු විවිධාකාර රූ රටා දුටුවේය. ඇසිපිය හෙලන මොහොතකදී ඔහුගේ දෙනෙත් නිලංකාර කරමින් කැලිඩස්කෝපය තුල විදුළි කොටන විට ඇති වන රටා මතු විය. ඉන්පසු ඇති වූයේ අඳුරකි. සුළු වේලාවකින් පසුව යළිත් ආලෝකය පැතිරුනේය. දැන් ගාමිනී ඒකනායක ඔහුගේ දෙනෙත් අභියසය. ගාමිණී ඒකනායක ඔහුට හමු වූයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේය. කොට තරමක් මහත ගාමිණී ඒකනායක ඉපදුනේ මාතර ප්‍රදේශයේ දුෂ්කර ගමකය. ඉතා අසීරුවෙන් ඉගෙනුම ලැබූ ඔහු මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ඉන්ජිනේරු උපාධිය ලැබුවේය.
ඔහුගේ බිරිඳ මල්ලිකා හින්ඳගොඩ ගේ ආරම්භයද ගාමිණී ඒකනායක ගේ මෙනී. දුගී බව , කුල පීඩනය වැනි සාධක නිසා මල්ලිකා හින්ඳගොඩ ගේ පාසල් කාලය ප්‍රිය ජනක එකක් නොවීය. එහෙත් බාධක මැද නිදහස් අධ්‍යාපනය නිසා හිස එසවූ මල්ලිකා වෛද්‍ය පීඨයට ඇතුලත් වූවාය.
මල්ලිකා රූමත් නැත. ඇය කළු පාටය. දත් මඳක් බොල්ලෑය. ඇය රජ රට ප්‍රදේශයේ කර්කෂ හේන් ගොවිතැනේ යෙදෙන අව්වට පිච්චී ගිය ගෙවිළියක් වැනිය. එහෙත් වෘත්තියෙන් ඇය දොස්තරවරියකි. ඒ නිසා ඇයව කසාද බැඳීමට ගාමිණී පැකිලුනේ නැත
ලංකාවේ ටික කලක් සේවය කිරීමෙන් පසු ගාමිණී සහ මල්ලිකා තම දියණියන් දෙදෙනා සමග නවසීලන්තයට සංක්‍රමණය වූහ. නවසීලන්තයට පැමිනීමෙන් පසු මල්ලිකා මලී කියා තම නම වෙනස් කර ගත්තේ නවසීලන්ත – ශ්‍රී ලංකා සමාජයට ගැලපෙන ලෙසටය. එහෙත් තම බිරිඳ නවසීලන්ත – ශ්‍රී ලංකා උසස් වෘත්තීය සමාජයේදී කොන් වන අයුරු ගාමිනී දුටුවේය. තම මිතුරන් වූ ඩැනී , රත්නසූරිය, අපොන්සු යනාදීන් ගේ බිරින් දෑවරු රූමත් ය. ඔවුන් ඉගෙන ගෙන ඇත්තේ කොලඹ ලේඩීස් කොලීජියේ සහ කොලඹ බිශොප් විද්‍යාලයේය. ඔවුන් ගේ සම් බටර් පැහැතිය. කෙස් පර්ම් කොට ඇත. ඔවුන් අසලින් යන විට ආකර්ෂණීය සුවඳ විළවුන් සුවඳක් ගාමිණීට දැනුනේය. තම බිරිඳ අධ්‍යාපනය ලැබුවේ ගමේ ඉස්කෝලයකය. ඇය ඔවුන් අතර අතරමං වී ඇති සෙයක් ගාමිණීට දැනුනේය.
තම බිරිඳ වූ මලී ඔවුන් අතර ඉඳගෙන සංවාදයේ යෙදෙන විට විශාල වෙනසක් ගාමිනී දුටුවේය. තම මිතුරන් ගේ සහකාරියන් කොලඹ ඉහල පැලැන්තියේය. කුඩා කාලයේ සිට ඉංග්‍රීසී කතා බහේ යෙදීම නිසා ඔවුන් එදිනෙදා ජීවිතයේ සෑම අත්දැකීමක්ම වතුර මෙන් ගලා යන සේ ඉංග්‍රීසියෙන් කියති. එහෙත් ගාමිනී ගේ බිරිඳට හැක්කේ රෝගීන් සමග වෛද්‍ය සංවාදයේදී යෙදෙන විට භාවිතා කරන ඉංග්‍රීසිය. ඊට අමතරව ඇයට සිංහලෙන් සිතා එය ඉංග්‍රීසියට පෙරලා සෙමෙන් කතා කල හැකිය. එහෙත් ඇයගේ ඉංග්‍රීසි උච්චාරණය දෝශ සහිතය. ඇතැම් විට ඇයගේ කතාව තුල ව්‍යාකරණ දෝෂ බහුලය. ඒ නිසා අනෙක් කාන්තාවන් ඉංග්‍රීසියෙන් සංවාදය කරන විට මලී ඒකනායක අතරින් පතර සිංහල වචන දමමින් සිංග්ලිෂ් වලින් කතා කලාය.
තම මිතුරන් ගේ මනස්කාන්ත බිරින් දෑවරුන් අතරට වී තම බිරිඳ සංවාදයේ යෙදෙන විට ගාමිණීට බලවත් හීනමානයක් දැනුනි. ඔවුන් රූමතියෝ වෙති. එසේම ඔවුන් ගේ ඉහල පන්තිය මුහුණු වලින් පෙනේ. අලංකාර පක්ෂියන් අතර සිටින කාක්කියක් ලෙස ගාමිනීට මලීව පෙනුනේය. ඇය මෙහෙකාරියක් මෙනි. ඉන්දිවරී විසින් පුතා බලා ගැනීම සඳහා තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකාවක් ලෙස නම් කොට ගෙන්වා ගෙන සිටින ආයා වුවද මලීට වඩා දැකුම්කළුය.
ඒ හැර තම බිරිඳ අපිරිසිදු බව ගාමිණී දන්නේය. ඇයගේ කිහිළි වලින් දාඩිය ගඳ එයි. බොල්ලෑ වූ දත් අතර කහ පැහැති කාරමක් බැඳී තිබේ. ඇයගේ මුඛයෙන් තුණ පහ මිශ්‍රිත පල් ගඳක් එයි. මේ බව ඇයට කීමට ගාමිණීට ධෛර්යයක් නොමැත. ඇය සමග ලිංගිකව එකතු වීමට පවා ඔහුට ආශාවක් නොමැත. ඇය රාත්‍රියට ගොරවන්නීය. එසේම බොහෝ විට කට දෙපසින් කුණු කෙළ වැගිරේ.
වරක් ගාමිණීට මධ්‍යම රාත්රියේදී ඇහැරුනි. ඔහු කුඩා මේස ලාම්පුව දල්වා තම බිරිඳ දෙස බැලුවේය. ඇය ගොරවමින් නිදාගෙන සිටියාය. දෙකම්මුල් වල මුඛයෙන් ගැලූ ඛෙටය තැවරී තිබේ. ඇය කෙරෙන් එදින රාත්‍රියේ කෑ පරිප්පු හොද්දේ සුවඳද දාහඩිය මිශ්‍රිත සුවඳක්ද ඔහුට දැනුනේය. ගාමිණී මේස ලාම්පුව නිවා අන්ධකාරයේම වැසිකිලියට ගියේය. කොමොඩය මත හිඳ ගත් ඔහුගේ මතකයට ආවේ අපොන්සුගේ බිරිඳය. ඇය රූමත් ය. ඇයගේ සම සිනිදුය. දෙතොල් නා දළු මෙන් රත් පැහැතිය. පිම්බුනු ඇයගේ පපු ප්‍රදේශය දෙස ගාමිනී හොරැහින් බලා තිබේ. වරක් සාදයකදී කොට සායක් ඇඳ සිටි අපොන්සුගේ බිරිඳගේ කළවා ප්‍රදේශය ඔහු දුටුවේය.
ගාමිණී තදින් හුස්මක් ගත්තේය. ඔහුගේ පුරුෂ ලිංගයට රුධිරය ගලා ගෙන එයි. කොමොඩය මත සිටි ගාමිණී සරම තුලට අත යවා තම ශිශ්නය අතට ගත්තේය. තම මිත්‍ර අපොන්සුගේ බිරිඳගේ දේහය මතක් කර ගනිමින් ඔහු තම ශිශ්නය පිරි මැද්දේය.
අපොන්සුගේ බිරිඳ ඇඳ මත වාඩිවූවාය. ඇයගේ හිර බ්‍රෙසියරය අතරින් එලියට ඒමට දඟලන පයෝදර ඔහු දුටුවේය. ඔහු ඉතා මුදුව ඇයගේ පයෝදර අතගෑවේය. ඉන් පසුතම මුව ඇයගේ මුව අසලට ගෙන ඇයගේ රත් මහත දෙතොල් ඉරුවේය. ගාමිණී ඇයගේ දෙතොල් උරන ගමන් ඇයගේ සුමුදු බඩවත තම දකුණු අතින් පිරිමැද්දේය. සුදු මුදු ස්පර්ශයක් ඔහුට දැනුනි. ඔහු අත තවත් පහලට ගෙන ගියේය. මුඩු ඇයගේ වසා රොදේ කෙස් කටු ඔහුගේ අතේ ඇනුනි. ඉන් ඔහු අමුතු ප්රබෝධයක් ලැබුවේය. ඒ අතර ඔහු ඇයගේ පියයුරු ලෙවකෑවේය. ගාමිණී අපොන්සුගේ බිරිඳ ගේ පෑන්ටිය රළු ලෙස ඇද ගලවා දැමුවේය. ඒ සමගම ඇය තම කළවා පළල් කලාය. තම ශිශ්නය ඇයගේ පුෂ්පය අසලට ලං කරත්ම ඔහුට ධාතු පහ විය.
ගාමිණී තද හුස්මක් ගත්තේය. අතේ තැවරී තිබෙන ශුක්‍ර ධාතු ඔහු සරමේ පිහිදා ගත්තේය. ඉන් පසු ශබ්ද නඟා කොමඩ් එක ෆ්ලෂ් කොට වැසිකිලියෙන් එලියට ඇවිත් ඉදිමුණු අජූත මෘත ශරීරයක් වන් බිරිඳට මඳක් ඈත්ව නිදා ගත්තේය.
මෙම සිදුවීමෙන් පසු ගාමිණී බොහෝ රෑ වී නින් දට යාමට පුරුදු විය. රෑ කෑමෙන් පසු ඉක්කාවක් අරින ඔහුගේ බිරිඳ මලී ඇඳට ගොස් මලාක් මෙන් නිදන්නීය. ඒ අතර පරිගණකය තිබෙන කුඩා කාමරයට වැදෙන ගාමිණී කාමරයේ දොර වසා පරිගණකය ක්‍රියාත්මක කොට කාම වෙබ් අඩවි වලට යයි. ඔහු ආශා කරන්නේ සුදු කෙට්ටු මනා ඇඟ පසඟ තිබෙන කාන්තාවන්ටය. කාම වෙබ් අඩවි වල දර්ශන බලමින් ඔහු ස්වයං වින්දනයේ යෙදෙයි. දෙතුන් වතාවක් ස්වයං වින්දනයේ යෙදීමෙන් පසු ඔහු නිදන කාමරයට විත් නිදා ගනියි.
ඔවුන් ගේ බාල දියණිය අර්චනා ලංකාව හැර එන විට සාමාන්‍ය පෙළ නිම කොට සිටියාය. නවසීලන්තයට ඒමෙන් පසු ඇය නවසීලන්ත සංස්කෘතියට ඉක්මනින් හැඩ ගැසුනාය. ඒ සමගම ඇයට තම දෙමාපියන් ගේ අවිදග්ධ ශ්‍රී ලාංකික ග්‍රාමීය හැසිරීම් පිලිකුල් වූවාය. මේ නිසා ඇය දෙමාපියන් සමග කතා කලේ අවශ්‍ය විටකදී පමණි. තම වැඩිමහළු සොහොයුරියද මවගේ ආරෙට යමින් අර්චනා නිතර පවසන පරිදි “ගොඩේ” හැසිරීම් පෙන්වන නිසා ඇය තම වැඩිමහළු සොහොයුරිය වූ උමායා කෙරෙන් ද ඈත් වූවාය
යොවුන් වියට ඒමත් සමගම අර්චනා සංස්කෘතික ඝට්ටනයකට ලක් වූවාය. තම දෙමාපියන් නවසීලන්තයේ වාසය කරමින් නවීන දියුණු සමාජය සමග කායිකව ජීවත් වෙමින් මානසිකව මාතරටත් එහා දුෂ්කර ගම්මානයේ ජීවත් වීම ඇයට ප්‍රෙහේලිකාවකි. තවද තම ලිංගික දිශානතියේ අමුත්තක් අර්චනා පසක් කළාය. තරුණයන්ට වඩා ඇය ආකර්ශණය වූයේ තරුණියන්ටය. අර්චනා බොහෝ විට ආශ්‍රය කලේ සුදු තරුණියන් සහ පොෂ් ඉන්දියානු තරුණියන් ය. සමහර දින වල ඇය ඔවුන් ගේ නිවෙස් වල රාත්‍රිය ගත කලාය. අවුරුදු විසි පහක් වූවද තම දියණියට පෙම්වතෙකු නොසිටීම ගැන මලී ආඩම්බර වූවාය. මලී අර්චනා ගේ කේන්දරය ලංකාවට යවා තම නැගනියගේ මාර්ගයෙන් මනාලයන් සෙවීම නිබඳව කළාය.
වරක් අර්චනා ගේ කාමරයට ගිය ගාමිණීට ඇයගේ පොතක් ඇතුලේ තිබී චායාරූප කීපයක් හමු විය. එම චායාරූප වල අර්චනා සුදු තරුණියක් වැළඳගෙන සිටින්නීය. එම ඡායාරූප තමන් රාත්‍රී කාලයේ රහසින් බලන කාම වෙබ් අඩවි වල සිටින රූප වලට සමානය. ගාමිණී ගේ ඉහ මොළ රත් විය. ඔහු ඡායාරූපය ගෙන මලී වෙත ගියේය.
දෙමාපියන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අර්චනා නොසැලී තමා “ගේ ” එනම් සමරිසි දිශානතියට යොමුවූ අයෙකු බවත් තමන්ට කැරොල් කියා සුදු නවසීලන්ත තරුණියක් සිටින බවත් කීවාය. එදින ඔවුන් ගේ නිවස මළ ගෙයක් මෙන් නිසල විය. ගාමිණී සහ මලී අර්චනා පිලිබද රහස ශ්‍රී ලාංකිකයන් ගෙන් වසන් කිරීම සඳහා සෑම උත්සහයක්ම දැරුවෝය. දියණිය පිලිබඳ රහස කොයි මොහොතේ හෝ ශ්‍රී ලාංකික ප්‍රජාව දැනගනු ඇතැයි බියක් ඔවුන් දෙදෙනාටම තිබුනි.
වින්සන්ට් ලංකාතිලකට කැලිඩස්කෝපය තුලින් පෙනුනේ අර්චනා සහ කැරොල් ය. ඔවුන් දෙදෙනා ප්රේමාලිංඟනයක වෙලී සිටියෝය. නාරිකා රථය වින්සන්ට් ලංකාතිලකට සිහිපත් විය. අර්චනා තම දුඹුරු පැහැති නිරුවත් සිරුර කැරොල් ගේ සුදු ශරීරය මත තබා ඇතිල්ලීම කළාය. කැරොල් ඇයගේ චූචුක මුඛයට ගත්තාය. ඉන් පසු ඔවුන් දෙදෙනා දෙපසට හැරී දෙපා විහිදා කතුරු ස්ථාපිතය වෙත ගියහ. ඔවුන් දෙදෙනා ඉතා මුදුව දීර්ඝව හුස්ම ගනිමින් තම පුෂ්පයන් පිරිමදින්නට වූහ. වින්සන්ට් ලංකාතිලක කැලිඩස්කෝපයෙන් තම ඇස ඉවතට ගත්තේය. ඒ සැනින් අර්චනා සහ කැරොල් නොපෙනී ගියහ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර

චුටි උක්කුන් අයියා
අපේ ගම් තුලානේ ඉපදෙන හැම කොලු පැට්ටාටම ගෙදරට වෙනම නමක් තිබුනේය. උක්කුන්, චුටි උක්කුන්, මහතුන්, රාජා, රාජු, නිලමේ, චුටියා හා චුටා ඒ වගේ කිහිපයකි. සමහර ගෙවල්වල ලොකු චුටාද , චුටි චුටාද කියා දෙන්නෙක් සිටියෝය.
ගැහැණු ළමයින් බොහෝ විට නෝනලාය. ලොකු නෝනා, මද්දුම නොනා, චුටි නෝනා . ගෙදරින් පිටතදී අර ගෙදර නෝනි මේ ගෙදර නෝනි වශයෙනි.
අපේ ලොකු අක්කා විතරක් මට කතා කරන්නේ උක්කුන් කියලාය. ඒ නමින් මා ඇමතුවේ ඇය පමණක්මය.ඒකත් හරි පුදුම වැඩක් ය. අනිත් අක්කලාද අයියාද පුංචි අම්මලාද මට කතා කලේ චුටි උක්කුන් කියලාය.
අයියාගේ යාලුවොද අක්කලාගේ යාලුවෝද කවුරුත් මට චුටි උක්කුන් කියදදී මට අමුතුම ගැම්මක් ඇති වුනේය. එය මටම හරි හුරතල් හිතෙන නමකි.
ඒත් මේ ආමන්ත්‍රණය මගේ නොසතුටට හේතු වුන වේලාවක්ද තිබුණි. ඒ අපේ පුංචි අම්මාගේ දුලා පුතාලා චුටි උක්කුන් අයියා කියා මට කතා කරද්දීය. අපේ නංගී පොඩි කාලයේ මට බබා බබා කියමින් හිට එක සැරේම චුටි උක්කුන් කියා කිරි දත් පාන්නට පටන් ගනිද්දී මම උපක්රමශීලීව ඇයට පොඩි අයියා කියන වචනය ඉගැන්වීමි. ඇති යන්තම් අපේ නංගීනම් මට චුටි උක්කුන් කියන්නට එන්නේ නැත.
මගේ හිතේ පැල පදියම් වී තිබු අදහස නම් මේ චුටි උක්කුන් කියන නම නිපදවා තියෙන්නේ ලොකු උන්ට මා ඇමතීමට මිස පොඩි උන්ට මා ඇමතීමට නොවේ කියලාය.
සාපෙ ලියලා ගෙදර ඉන්නා කාලේ පුංචි අම්මාගේ නංගී පාසලින් එක්කරගෙන පුංචි අම්මගේ කන්තෝරුවට ඇරලන දවස් කීපයක කොන්තරත්තුවක් මට පැවරී තිබිණි. පිටට නොපෙන්නුවාට මම මේ වැඩය බාර ගත්තේ හරි සන්තොශයකිනි. බාලිකා ඉස්කෝලයක් ඇරෙන වෙලාවට එතනට යන්නට හේතුවක් නිකම්ම ලැබී තිබෙයි.
හතරේ පන්තියේ සිටි පුංචි අම්මාගේ නංගී එක්කරගෙන යන්නට ඇවිත් ගේට්ටුව ළඟ ඉදිද්දී ඈතින් එන ළදරියන් අතරේ මා දකින නංගී දුවවිත් මගේ අතේ එල්ලෙයි.ඊළඟට ඇය පුංචි අම්මාගේ කන්තෝරුවට ගෙන ගොස් ඇරලන මම අපේ කොලු නඩය සමග එකතු වෙමි.
මේ වැඩේ මම හරි සන්තෝෂයකින් දවස් තුනක්ම කලෙමි . එත් හතර වෙනි දවසේ මට නංගී හොයා ගන්නට බැරි විය. බාලොලියන් අතරේ බටු ඇටයක් තරම් වන කටකාර දඟකාර පුංචි කෙල්ල කොහෙන්දෝ එක පාර මතු උනේ ‘ චුටි උක්කුන් අයියා මම මෙහෙ’ කියාගෙනය.
ලොකු පන්තිවල කෙල්ලන් ගොඩක් මැද්දේ චුටි උක්කුන් අයියා කියා මට කතාකළ දාට පහුවදා සිට මම පුංචි අම්මාගේ නංගී ඇරලන කොන්ත්‍රාත් එකෙන් කර ඇරියෙමි..
තවත් කාලයක් යද්දී අපේ අක්කලාට ළමයින් එකා දෙන්නා ලබෙද්දී මා චුටික්කුන් මාමා බවට පත් විය. අක්කලා මට චුටික්කුන් කියා අමතද්දී හිතේ පිරෙන සන්තෝෂය පොඩි උන් චුටික්කුන් මාමා කියා කියද්දී තිබුනේ නැති බව ඇත්තය. ඒත් එව්වා එහෙම්මම සිදු විය. කොහේ හෝ ඉඳන් ගමට ආ වෙලාවක ලෙමන් පෆ් පැකට්ටුවක්ද අරගෙන අක්කලා ගෙදර යද්දී පොඩි උන් දෙන්නා ‘ චුටික්කුන් මාමා එනෝ; චුටි උක්කුන් මාමා එනෝ ‘ කියා ගම දෙවනත් කරමින් ගල් පඩි පෙළ දිගේ පෙරලි පෙරලී ආවා මතකය.
කාලයත් සමග මම ඔය වචනයට පුරුදු වුනෙමි. නිකම්ම උක්කුන්ද, චුටික්කුන්ද , චුටික්කුන් අයියාද චුටික්කුන් මාමාද වුනු මම ඔය කොයි ආමන්ත්රණයට වුනත් නොසැලී සිටියෙමි.
එත් මේවා මෙතැනින් කෙලවර වෙන පාටක් නැත. දැන් දවස් දෙක තුනකට කලින් අම්මාට කතා කරද්දී අසන්නට ලැබුණු පණිවිඩයකින් කියවුනේ කාලයකට ඉස්සර ‘චුටික්කුන් මාමා එනෝ’ කියාගෙන ගල් පඩි පෙලේ දුව ආ අක්කාගේ දුව මවක් වෙන්නට යන සුබාරන්චියයි.
අම්මා සමග සන්තෝෂය පල කරමින් කතා කරා උනාට මගේ හිත ආයිමත් පත්තු වෙන්නට පටන් ගෙන තිබේ. ඒ තව මාස කීපයකින් මා චුටික්කුන් සීයා වෙන හැටි මතක් වීම නිසාය.
ලෝක රස්තියාදුකාරයා

බස් එක එන්නට විනාඩි හතළිහක් තියෙනවා. සාක්කුවේ තිබු නෙල්ලි ගෙඩි ටික ඉවර වෙලා. නෙල කඩල ගොට්ටක් ගන්න සල්ලි මදි. අලුත් සරුවත් කාරයෙක් ඇවිල්ලා . ලබන සතියේ සල්ලි ඉතිරි කරගෙන එකක් ගන්ඩ ඕනි . නෙල්ලි කෑවාට පස්සේ තොලකට සුදු වෙලා කට හිරිවැටිලා. මේ වෙලාවට ඇල්වතුර ටිකක් බිව්වම පුදුම ප්‍රනීත රහක් දැනෙනවා. කිරිහලට පිටිපස්සේ ලොකු වතුර ටැංකියට හයි කරලා තිබ්බ ටැප් එකෙන් වතුර ටිකක් බිව්වේ ඒක මතක් වෙලා .කිව්වත් වගේ තියෙන රහ. මරේ මාරු. වතුර කරාමය ගාව එළවලු කෑලි කුණු වෙමින් තිබුනා. වැඩිපුරම ගඳ එන්නේ ගෝවා කොළවලිනුයි කුණු රාබු වලිනුයි. ඒත් අර ලංකාවේ උසම කරපන්ටයින් ගස් ටිකත් ඇඹරෙන තරමට එන විසේකාර හුළඟට මොන ගඳක් වත් ඉතිරිවෙලා තියෙන් නෑ. ඈතින් ඈතට ඇදගෙන ගිහිල්ලා කන්දෙන් පල්ලහට ඌසික්ක කරනවා. ඉඳා තියා ගනිල්ලා හූඌ හූඌ කියල සද්දෙකුත් එක්කම.
සරුවත් කාරයා ගෝනියක දාපු ලී කුඩු අස්සේ තිබිලා අයිස් කුට්ටිය එලියට අරගෙන මන්න පිහියෙන් අයිනට පහරක් දුන්න. වෙන්වූ අයිස් පළුව අතින් ලිස්සා බිමට වැටෙන්නට නොදී වැර වෑයමෙන් අල්ලා ගන්නවා . මේ අල්ල පනල්ලේ පුංචි පුංචි අයිස් කැලි විසි වෙලා තාර පාරට වැටෙනවා. ඒවා දිය වෙනකන් බලා ඉන්න එකත් හරි අපුරු වැඩක්. කවුරුවත් දැක්කේ නැත්නම් සුටුස් ගල අරන් පුංචි අයිස් කැටයක් කටේ දා ගන්න උනත් තිබ්බා. සමහර වැස්ස දවස් වල ලොකු අයිස් කැට වැටෙනවා.
අතේ තියාගෙනම පිහියෙන් කුඩු කර ගත්ත අපිරිසිදු අයිස් කැට ටික සලං බලං ගාල තුන්කාලේ වීදුරුවලට හරි සද්දෙන් අත හරිනවා. ඒක තමයි ඇඩ් එක. ඇඩ් එක වගේ නෙවෙයි වීදුරුවක් එහෙම බිඳිලා පලච්චිනම්.
දැන් වෙලාව දෙක හමාරයි ඉස්කොලේ ඇරිලා පැයයි . ගමට යන බස් එක එන්න තවත් පැය බාගයක් තියෙනවා. එතකං එක තැන ඉන්න බැරි එකනේ වැඩේ. සමහර කොල්ලෝ නම් රංචු ගැහිලා බස්ස්ටෑන්ඩ් එකේ ලොකු කයිවාරු. මේ සමාගමෙන් හීන් සැරේ මග ඇරලා හුදෙකලාවේ ඇවිදින්න කැමති කෙනෙකුට කොච්චරනම් බලන්න දේවල් තියෙනවද. පොළ පාර දිගේ ටිකක් ඇවිදලා අලුතින් දාපු පුස්තකාලේ බලල එනවද. නැත්නම් පාර දිගේ උඩට ගිහිලා රීගල් එකේ එන්න තියෙන චිත්‍රපටිවල කමින් කෑලි පින්තුර ටික බලල එනවද. ඒත් එක දවසක් එතෙන්ට යන්න ගිහින් දොඩම්වත්තේ චුට එලවගත්ත හැටි මතකයි. මල්ලිලා මේ පින්තුර බලන්නවත් එන්න එපා මේක ඇඩම්ස් ඔල්ලි ෂෝ එකක්.
ඔහොම හිත හිතා ඉන්නකොට පී ඩබ්ලිව් ඩී එක ගාව මහා සෙනගක් වට වෙලා මොකක්දෝ බලනවා. විදුලි වේගෙන් එතෙන්ට ගියාමනේ දැක්කේ . මෙන්න බොලේ දේශකයෙක් . කොන්ඩේ පිට මැද්දට කඩා වැටිලා. පිටි පස්සට පීරලා තෙල් ගාලා. හරියට අර කවියක හිටිය ලෙව්කේ මැතිදු වගේ. ලොකු හම් බෑග් දෙකක් ට්‍රන්ක පෙට්ටියක් බිම තියලා අමුතු අමුතු ගැජමැටික් එක එක එළියට ගන්නවා. වෙනිවැල් වගේ වැල් ජාති , වේලාපු මුල් කෑලි. දේව රුපයක් සුදු රෙද්දක් උඩ තියලා තිබ්බා. ඒකට ඔන්න මල් මාලේකුත් දැම්මා. වටේම චුටි චුටි වේවැල් පෙට්ටි වල නොයෙක් බෙහෙත් ජාති. කහපාට රතු පාට කුප්පි. කොළ කුඩු කරලා පුංචි පොලිතීන් පැකට් වල දාලා. එක පෙට්ටියක තිබ්බා ලස්සන බෝල බෝල ගල්. ගඟකින් අහුලා ගත්තා වගේ, පුස්කොල පොතකුත් තිබ්බා.තව කුරුළු බිත්තර වගේ මොනවදොත් තිබ්බා. මේවා පිළිවෙලකට කාටත් පේන්න තැන තැන තියෙන අතරෙත් කොණ්ඩකාරයා කට තියාගෙන ඉන්නේ නෑ. සෙනග ගෙන්නා ගන්න කතා කරනවා . වැඩිහිටි ප්‍රශ්නවලට විසඳුම් දෙනවලු ලඟට එන්නලු. ඔන්න හිටපු ගමන් ගාථා කියනවා. හඬ හරි තීව්රයි. යාර දෙතුන්සීයක් ඈතට ඇහෙනවා. මුකරි කයිවාරු කාරයෙක්.
ඔන්න දේව රූපෙට එහෙම වැඳලා කියලා කාරිය ඇඳගෙන හිටි බාල පොප්ලින් වලට වඩිපුර නිල් දාලා හෝදපු, මැදපු නැති නැෂනල් සුට් එකත් හරිගස්ස ගස්සා පිරිස දිහා බැලුවා හරි ආඩම්බරෙන්.
පී ඩබ් ඩී එකේ වැඩ කරන ගෑණු පිරිමි, ඩෙලිකා වැන් රියදුරෝ ලොතරැයි කුඩුවේ මනුස්සයා. තව මහා ගොඩක් ගෑණු පිරිමි කොල්ලෝ කුරුට්ටෝ. ඉස්සරහින්ම මේ සිද්දිය ඉස්පිල්ලක් ඇළපිල්ලක් නැතිව හිතේ රැකෝඩ් කරමින් හිටි කොලුගැටයා .
කොන්ඩකාරයා රල් බුරුල් එහෙම ඇරලා බොහොම කරුණාවෙන් මෙහෙම කිව්වා.
මේ මම කියන කතා උස මහත් වෙචච උදවියට තමයි අදාළ වෙන්නේ. මම බෙහෙත් විකුනනවා සාස්තරත් කියනවා.
ඉසේ ඉඳන් කකුලේ සුලැඟිල්ලට එනකන් හැමදේම ගැන කතා කරන්න වෙනවා.
කරුණා කරලා ඔය පොඩි ළමයි මෙතනින් යන්න. එහෙම කියනකොටම පොඩි එකාට තේරුණා මේකත් ඇඩම්ස් ඔන්ලි මොකක් හරි වෙන්නැති කියලා. ලොකුහිටියො ටික එතන හිටිය පොඩිහිටියන්ට එතනින් ඈතට යන්න ඉඩ හදලා දුන්නා. අතින් පයින් ඇස්වලින් හැමෝම කිව්වේ පොඩි එවුන් මෙතෙන්ට ඕනි නෑ කියලා.
ඔන්න එතනින් මග ඇරිලා පාර දිගේ ටිකක් උඩහට ගියාට ආයිමත් කොණ්ඩයාගේ දේශනාව අහන්නමයි පොඩි එකාට හිත. අර බිත්තර වගේ ගල් වලින් මොන බෙහෙත්ද හදන්නේ. මේ යකා ගාව තියෙන මුල් ගොඩ.
කල්පනා කර කර කල්පනා කර කර දන්නෙම නැතිව පොඩි තැන ආයිමත් තෙල් බෙහෙත් සස්තරකාර කොණ්ඩයා ළඟ. ලොකුහිටියන්ගේ කකුල් අස්සෙන් රිංගල රවුමේ ඇතුළටත් ගිහිල්ල අහගෙන ඉන්නවා මෙලෝ සිහියක් නැතිව.
කොණ්ඩයා ඒ වෙනකොට කුප්පියක් අතේ තියාගෙන දත් කැක්කුමට දාන බින්දු දෙකේ බෙහෙතක් ගැන කියවනවා. ගෙදර ගිහිල්ල තමන්ගේ නෝනා හරි මහත්තයා ලඟට මුණ ලං කොරන්න පුළුවන් හොඳ හුස්මක් අරගන්න ඕනිනම් මේකෙන් බින්දුවක් වතුරට දාල දියකරලා ගල් ගල් ගල් කියල කට හෝදලා දාලා .. . කියනකොටම වට වෙලා හිටිය මිනිස් පොදියේ ඉස්සරහින්ම හිටි උද්යෝගිමත් ශ්රාවකයා වන පොඩි එකා කොණ්ඩයාගේ ඇස්වලට මාට්ටු උනා .
කොණ්ඩයාට නහුතෙට කේන්ති ගියා. මෙතන ඉන්න වැඩිහිටි තමුන්නැහෙලටවත් තේරෙන් නැද්ද මේ පොඩි උන් මෙතෙන්ට ගෙන් නැතිව ඉන්න ඕනි කියලා?. ඔය ළමයට මම කියන එක තේරෙන් නැද්ද.? යනවද යන්න මෙතනින් මට පවු නොදී. මම නරක වචන පාවිච්චි කරන්න කැමති නෑ .
මේ කතාව ඉවර උනාම පොඩි එකා ස්වෙච්චාවෙන්ම් එතනින් පිටමන් වෙලා ඈතට ගියා.
පාරෙන් අනිත් පැත්තේ පත්තර කඩේ වවුල් කොකුවලින් එල්ලාලා තියෙන පත්තර ඉස්සි ඉස්සි කියවන්න හදනවා. දවස. වනිතා විත්ති . දිනමිණ. නවයුගය.
ඒ එක්කම අනිත් පැත්තේ කොණ්ඩයා වටකරගෙන ඉන්න මිනිස් පොදිය දිහා ඉරිසියාවෙන් බලනවා. හරියට පැණි වරකාවක් තනියම කන කොලු රැලක් දිහා බලන්නා වගේ.
ඔන්න එක පාරටම සෙනග ගොඩෙන් මහා හිනා හඬක් මතු වුනා. කොණ්ඩයා ඉල ඇදෙන කතාවක් කියල වගෙයි. හිනා හඬ මිනිස්සුන්ගේ ඔලු උඩින්, වාහාන උඩින් ඇවිත් ගොස නගනවා.
මොන තරම් තහංචි පනවලා තිබ්බත් සබාව මේ තරම් රසවත් වෙන වෙලාවේ තමන් එතන සිටිය යුතුමයි කියා තරයේ සිතා ගත් පොඩි එකා කල්පනාවකින් තොරවම ගිහිල්ලා අර සබාවේ මිනිස් පොදිය අතරට රිංගනවා. ඒත් කොණ්ඩයාගෙන් මුවාවෙලා ඉන්නට පරිස්සම් වෙනවා. උස මහත මිනිස් කකුල් අතරේ නිල්පාට කොට කලිසමක් ඇඳගෙන හිටිය පොඩි එකාගේ කකුල් දෙක කොණ්ඩයාගේ ඇස ගැහෙන්නේ ඔහු පිරිස හිනා ගස්වමින් වටයක් ඇවිදිද්දී.
එක්ෂණයකින් කතාව නවත්තපු කොණ්ඩයා පොඩි එකාට ඉස්සරහින් හිටිය වැඩිහිටියා අහකට තල්ලු කරලා පොඩි එකාගේ අතින් අල්ල ගන්නවා.
පොඩි එකා දුවන්න හදනවා.
‘බයවෙන්න එපා ළමය එන්න. මෙතනින් හිටගන්න’.
දැන් ඔන්න සාස්තරකාර තෙල් බෙහෙත් වෙළෙන්දාගේ වේදිකාවේ කුප්පි බෙහෙත් මලු දේව රුප මදිවාට දැන් ඉස්කෝලේ කොල්ලෙකුත් ඉන්නවා.
පුතා දැන් දෙපාරක් මම එලවලාත් ආයෙම ආවනේ. කමක් නෑ. මම වැඩිහිටියන්ට බෙහෙත් දෙනවා විතරක් නෙවෙයි මට සාස්තර කියන්නත් පුළුවන්. ඔහු කරුණාවන්ත හඬක් මවාගෙන කියවයි.
මම මේ ලඟදි බදුල්ලේ උසාවියේ නඩුවකට ගියා මගේ නෙවෙයි නඩුව තිබ්බේ නෑදෑයෙකුගේ . මම නිකන් බලන්න ගියා. ඔන්න නඩු කාරයා විඩෙන් විදේ මගේ දිහා බලනවා. පස්සේ නඩුව ඉවර උනාම රාලහාමි කෙනෙක් මට ඇවිත් කියනවා නඩුකාර උන්නාසේ මාව හම්බ වෙන්න කැමැත්තෙන් ඉන්නවලු. දෙයි හාමුදුරුවනේ මගේ කකුල් දෙක වෙව්ලනවා. පොලිස් ජීප් එකේම නැගලා ගියා නඩුකාර බංගලාවට . මම එනකන් උන්නැහේ ඉස්තෝප්පුවට වෙලා බලන් ඉන්නවා . මම බයෙන් බයෙන් වාහනෙන් බහිනකොටම . ‘බය වෙන්න එපා මම අවුරුදු ගානක් ඔබතුමාව හෙව්වා’ කියාපි.
එතකොටම මට එක පාරටම ඒ මුණ මතක් වුනා.
ඊට අවුරුදු තිහකට විතර ඉස්සර නඩුකාර උන්නාන්සේ චුටිකාලේ මෙන්න මේ ළමය විතර කාලේ උන්නැහේගේ අම්මත් එක්ක පාරේ යනවා දැකල මම පොඩ්ඩක් කතා කරා . ඇස්වහක් කටවහක් නෑ මම මේ ළමය ගැන පොඩි අනාවැකියක් කියන්නද?
අනේ ඒ ආඩම්බරයක් උද්දච්චකමක් නැති අම්මයි ළමයයි මගේ ගාවට ආවම මම කිව්වේ මොකක්ද දන්නවද?
මේ ළමය පින්වන්තයි. ලොකුම උගතෙක් වෙනවා . කවදාහරි දවසක නඩුකාර උන්නාන්සේ කෙනෙක් වෙනවා වෙනවාමයි.
ඉතින් ඒ ළමය තමයි අර නඩුකාර බංගලාවට මාව කැඳවලා තෑගී බෝග දීල සත්කාර කරේ.
දැන් මේ ළමයටත් මම කියන්නද නොවරදින අනාවැකියක්.
හැමෝගෙම ඇස් පොඩි එකා දිහාට දික් උනා. පොඩි එකාටත් ආඩම්බර හිතුනා.
‘මේ ළමය නොම්මර එකේ කපටියෙක් . පොත් කාරයෙක් . කවදාහරි ලෝක රස්තියාදුකාරයෙක් වෙනවා. වෙනවාමයි.
මේ උසුළු විසුළු කිරීමක්ද සහතිකෙන්ම කියූ දෙයක්දැයි විපිළිසර වෙලා හිටපු ජනතාව ඉන් පස්සේ බුලත් කසට පිරිච්ච දත්, බෝල්ලෑ දත්, දත් හැලුණු හිල් ඔලින් යුක්ත වූ කටවල්වලින් හැක හැක ගගා හිනා වෙන්න පටන් ගත්තා
පොඩි එකා එදා ඉඳන් හිතා ගත්තේ තෙල් බෙහෙත්කාර සාස්තරකාරයාටයි එදා හිනාවෙච්චි කාට කාටත් පාඩමක් උගන්වන්නත් එක්ක අර අනාවැකිය බොරු කරනවා කියලා.
ඒත් දැන් පොඩි එකා නෙවෙයි,තලත්තෑනියෙක් වෙලා ඉන්න මේ මනුස්සයා ලෝක කපටියෙක් කියල කවුරුත් දන්නවා. තව මේ අවුරුද්දේ පොතක් ලියලා පොත් කාරයෙක් වෙන්ටත් ඒ මදිවාට ලබන අවුරුද්දේ ලෝක රස්තියාදුවක් පටන් ගන්නත් හිතාන ඉන්නවා.
කවද්ද අප්පේ සාස්තර කාරයෝ කියපුවා බොරු උනේ ?
තිලකසිරි ඒකනායක – තිලකසිත බ්ලොග් අඩවියෙන්
http://thilakasitha.blogspot.com/ *අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව

බිරිඳ
මගේ උරැහිස මත තැබූ අතක ස්පර්ශයෙන් තිගැස්සුණු මම හැරී බැලුවෙමි. මුහුණේ ලජ්ජාභරිත ඉරියව්වක් රැඳුණු, උසැති, ශක්තිමත්, දැවැන්ත සීක් ජාතිකයෙක් මා පිටුපසින් සිටගෙන සිටියේය.
අප එකිනෙකාගේ නෙත් එකට ගැටෙත්ම ‘මට සමාවෙන්න සර්’ යැයි ඔහු මුමුණා කීවේය.
ඔහු දුටු මොහොතේම මගේ බිය අතුරුදන් විය. නැතිනම්, කඳුකරයේ පිහිටි ලෝනාවාලා නම් වූ මේ කුඩා නගරයේ පාලුවට ගිය වීදිවල, මෙතරම් රෑ බෝ වූ වෙලාවක මේ ආකාරයෙන් අමුත්තෙකු මුණගැසීම නිර්භීතම හදවතක් ඇත්තෙකු තුළ පවා වෙව්ලුමක් ජනිත කරවන අත්දැකීමකි.
‘ඒකට කමක් නෑ සහෝදරයා. මොකක්ද වුවමනාව?’ මම සිනහවකින් යුතුව පැවසීමි.
‘නෑ මොකුත් නෑ….මේ…. මේ… ’ යි කියමින් මොහොතකට පැකිලුණු හෙතෙම ඊළඟ මොහොතේ ලජ්ජාශීලී එහෙත් නිර්භය කටහඬකින් මගෙන් මෙසේ විමසීය:
‘සර්ට ඉංග්‍රීසි පුළුවන්ද කියලා මං ඇහුවොත් සර් මට සමා වෙනවද ?’.
මම හඬ නගා සිනාසීමි. ‘ඔව් මට ටිකක් පුළුවන්. ඇයි? ’
‘මං හිතුවා සර්ට ඉංග්‍රීසි පුළුවන් ඇති කියලා.’ ඔහු සතුටින් උද්දාම විය. ‘ඔබතුමාගේ අතේ තියන ඔය ලියුම් කවරෙ උඩ ලියලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් කියලා ලයිට් කණුවෙ එළියෙන් දැක්කාම මං හිතුවා එහෙම. ඒකයි මං සර්ට කරදර කරන්න තරම් එඩිතර වුණේ. ’
‘මගේ ඉංග්‍රීසි දැනුම ගැන ඔහේට තියෙන ප්‍රශ්නෙ මොකක්ද, ඒකත් මේ යක්කු ගස් යන වෙලාවේ? ’ මම විමසුවෙමි.
‘සර්ට කරදරයක් නැත්නම් මට ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ලියුමක් කියවලා දෙන්න පුළුවන්ද? ’
‘කොයි වෙලාවටද? ’
‘සර්ට පුළුවන් ඕනෑම වෙලාවක,’ ඔහු විනීත ලෙස පිළිතුරු දුන්නද ඔහුගේ මුළු මුහුණම එකම එක වාක්‍යයක් පමණක් ලියූ විවෘත පොතක් බඳු විය. ඒ වාක්‍යය ඉතාමත් පහසුවෙන් තේරුම් ගැනීමට මට හැකිවිය: ‘දැන්ම කියවලා දෙන්න’ .
‘ලියුම මොකක් ගැනද? ’ මම විමසුවෙමි.
‘ඉංග්‍රීසි දන්නෙ නැතුව මං කොහොමද ඒක දන්නේ? ඒකනේ මට සර්ගේ උදව් ඕනෑ. ’ ඔහු හිනැහුණේය.
මට කුතුහලයක් ඇති විය. මෙය කුමක් ගැන විය හැකිද?
‘මේ දැන්ම ඕක කියවන්න ඕනෑද? ’
‘දැන්ම ලියුම කියවන එක අපහසු නැද්ද ? ’ පැකිළෙන සුළු හඬින් ඔහු කීවද ලියුමේ අන්තර්ගතය කිසිම පමාවකින් තොරව තමාට අනාවරණය වන්නට යන්නේය යන සිතිවිල්ලෙන් හටගත් ප්‍රීතියෙන් ඔහුගේ මුහුණ ප්රභාවත් වන සැටි දකින්නට මට පුළුවන් විය.
‘මං මේ ලියුම තැපැල් කරන්න තැපැල් කන්තෝරුවට යන ගමන්. එතැනට ගිහින් ඔය ලියුම කියවමුද ? ’ මම යෝජනා කළෙමි.
ඔහුගේ දැඩි උනන්දුවෙන් යුතු පිළිතුර වූයේ ‘බොහෝම ස්තූතියි, බොහෝම බොහෝම ස්තූතියි, සර්’ යන්නයි. අපි ගමන ඇරඹුවෙමු.
තැපැල් කන්තෝරුව තෙක් වූ පර්ලොම් දෙකක දුර ගෙවුණේ නිහඬතාවෙනි. ඔහු ගැඹුරු කල්පනාවක් නිමග්නව හුන් අතර මා කල්පනා කළේ මේ සියල්ලේ තේරුම කුමක්ද යන්න ගැනය. නිශ්චිතවම, එය රැකියාවක් හෝ ඒ හා සමාන කිසිවක් විය නොහැකිය. එසේ විණි නම් ඔහු මගේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දෙන්නේය. එසේනම් මේ කුමක් ගැන විය හැකිද? නිශ්චිතවම මෙය පෙම් පළහිලව්වක්ද විය නොහැකිය. එසේ වී නම් පෙම්පත ලියැවෙනුයේ මේ මිනිසාට කියවා තේරුම් ගතහැකි භාෂාවකිනි. එහෙත් මේ කාරණයට කිසියම් පෞද්ගලික දෙයක් සම්බන්ධ වී නොතිබිණි නම් ඔහු මෙතරම් කෝලයට පත්වන්නේත්, ලජ්ජාශීලී වන්නේත්, ලියුමෙහි අන්තර්ගතය හැකි ඉක්මනින් ගැන දැනගැනීමේ මැඬලිය නොහැකි ආශාවකින් පෙළෙන්නේත් ඇයි ?
තැපැල් කාර්යාලයට පැමිණි විට එළියෙහි වූ බංකුවක් පෙන්වූ මම ‘අපි අතන වාඩි වෙමු දැයි’ ඇසුවෙමි.
‘එතැන එතරම් එළියක් නැතිවෙයි සර්. අර පාරෙන් එහා පැත්තෙ තියෙන කෑම කඩේ වාඩි වෙන එක වඩා හොඳ නැද්ද ?’
ලියුම තැපැල් කළ මම ඔහු පසුපසින් පාර මාරු වීමි. උඩින් විදුලි බුබුලක් දැල්වෙන මේසයක අපි වාඩි වීමු. අත දිගු කළ මම ලියුම ඉල්ලා සිටියෙමි. එය මා අතට දෙන අතර නැවතත් හෙතෙම කෝල ගතියටත් ලජ්ජාවටත් පත් වූයේය.
‘මං සර්ට හරි කරදරයක් තමයි කරන්නේ. ’
‘නෑ. මනුස්සයෝ එහෙම එකක් නෑ. ’ මම ලිපිය ඔහු අතින් ගනිමින් පැවසුවෙමි.
ලියුම කියවන අතර විටින් විට මගේ දෙනෙත ඔහුගේ මුහුණ දෙසට යොමු විය. ඔහු ගිජු ලෙස දෑස දල්වා ගෙන මා දෙස බලා ගත් වනම සිටියේය.
ලිපිය කියවා හමාර කළ මම ඔහු දෙස බලා සිනාසුණෙමි.
‘මොකක්ද කියලා තියෙන්නේ සර් ? ’ ඔහු චින්තාපර ස්වභාවයෙන් විමසීය.
‘ඔහේගෙ නම කර්තර් සිං ද? ’
‘ඔව් සර්.’
‘මේ ලියුමෙ තියෙන කාරණා ඔහේ ගැනමද ?’
සිහින් හඬින් ඔහු ‘ඔව්, ඔව්’ යැයි කීවේය.
‘එහෙනම් ඔහේ කසාද බඳින්නයි යන්නේ.’
‘ඒගොල්ලො ලියලා තියෙන්නේ වැඩේ හරියනවා කියලද? ’ අසමින් ඔහු නැගී සිටියේ උද්දාමයෙනි.
‘වාඩි වෙන්න සර්දාර්ජී, කරුණාකරලා වාඩි වෙන්න.’ මම සිනාසෙමින් කීවෙමි. ‘ඒගොල්ලො හා කියලා කියලා තිබුණත් දැන් පිටත් වෙන්න කෝච්චියක් නෑනේ. ඒ නිසා වාඩි වෙන්න.’
විලියෙන් රතු වූ හෙතෙම හිඳගත්තේය. එවැනි දැවැන්ත මිනිසෙකු තුළ දක්නට ලැබුණු උනන්දුවේ සහ කෝලබවේ සම්මිශ්‍රණය පුදුම සහගත විය.
‘මේ බලන්න සර්දාර්ජී, ’ මම කතා කළෙමි. ‘මේ ලියුම ශ්රද්ධානන්ද් අනාථ කාන්තා නිවාසෙන් ඇවිත් තියෙන්නේ.’ ඒ ගොල්ලො කියනවා මේ වෙලාවේ ඔහේගේ ලියුමෙ තිබුණු අවශ්‍යතාවලට ගැලපෙන තරුණ කාන්තාවක් ඒ ආයතනයේ නෑ කියලා. ඒ අය ඔහේගේ ඉල්ලුම්පත්‍රය තියාගෙන ඉඳලා ඔහේට ගැලපෙන කෙනෙක් හම්බ වුණොත් ලියලා දන්වනවා කියලා තියෙනවා. ඒ අතරෙ පුළුවන්නම් ඇවිත් ඒගොල්ලන්ගෙ මැනේජර්ව හම්බ වෙන්න කියලත් කියලා තියෙනවා. ’
‘හ්ම්ම්, ’යැයි කියූ ඔහු නිහඬ විය.
‘මේ මොකක් ගැනද කියන්නේ සර්දාර්ජී ?’ මම විමසුවෙමි.
‘ඒක කතා කරන්න තරම් දෙයක් නෙවෙයි සර්,’ බලාපොරොත්තු කඩවූ හඬකින් යුතුව ඔහු පිළිතුරු දුන්නේය.
‘ඒ වුණත් ?’
‘ඒක මෙහෙමයි…. ’ කියා ඔහු කතාව ඇරඹුවද වහා මාතෘකාව වෙනස් කළේය.
‘මම දැනටමත් ඔබතුමාගෙ කාලෙ හුඟක් නාස්ති කළා සර්. මගේ මේ නොවටිනා කරදර ගැන කියලා තවත් කාලෙ නාස්ති කරන්නේ මොකටද? ’ වේදනාවක සේයාවක් ඔහුගේ මුහුණේ දකින්නට ලැබිණි.
මෙතරම් ජවසම්පන්න මිනිසෙකුගේ මුහුණෙහි ඇතිවූ මේ දුකෙහි සේයාවට මා කැමති වූයේ නොවේ. මගේ හදවත දයාවෙන් පිරී ගියේය. මම ඉතා මෘදු ලෙස ඔහුගේ අත උඩින් මගේ අත තැබීමි.
‘සර්දාර්ජී, මගෙ කාලෙ නාස්ති වෙනවා කියලා එකක් කොහෙත්ම නෑ. එහෙම නෙවෙයි. ඔහේට පොඩි හරි උදව්වක් කරන්න ලැබෙනවා නම් මං ඒක ලොකු දෙයක් හැටියට සලකනවා.’
ඔහු මා දෙස බැලුවේය. මාගේ අනුකම්පාව දැනුණු ඔහු යාන්තමින් සිනාසුණේය.
‘මම මෙහෙ ශාන්ත පීතර බාලිකා විද්‍යාලෙ ඩ්‍රැයිවර් කෙනෙක් විදියට වැඩ කරනවා. සුදු නෝනලා තමයි විද්‍යාලෙ පාලනය කරන්නේ. ඉංග්‍රීසි ගෑනු ළමයිනුයි පාර්සි ගෑනු ළමයිනුයි තමයි ඉගෙන ගන්නේ. ලොකු සුදු නෝනා හැමදාම මගෙන් අහනවා ‘ඇයි උඹ උඹේ පවුල මෙහෙ එක්කරන් එන්නෙ නැත්තෙ ? කියලා.’
‘එහෙනම් තමුසෙ කසාද බැඳලා ? ’ මම විමතියෙන් යුතුව විමසුවෙමි.
‘ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ සර්,’ ඔහු කීවේ කටුක ලෙසය.
මම තවතවත් වික්ෂිප්තභාවයට පත්වීමි. මේ මුළු කතාවේම කිසියම් අසාමාන්‍ය දෙයක් ගැප්ව තිබේ.
‘මට තේරෙනවා. එහෙනම් ඒ අය තවම දන්නෙ නෑ ඔහේ කසාද බැඳලා නෑ කියලා. ඒකද කාරණේ ?’ මම අසත්‍යයක් පවසන ස්වරයෙන් ඇසීමි.
‘ඒ අය දැනගත්තා නම් මට එක මිනිත්තුවක්වත් ගෑනු ඉස්කෝලෙක වැඩ කරන්න දෙනවද? ’ ඔහු හඬ නගා සිනාසෙමින් ඇසුවේය.
මමද හඬ නගා සිනාසුණෙමි. ‘සර්දාර්ජී, ඔහෙත් හරිම කපටි කෛරාටිකයෙක් තමයි. ඔය එළියට පේන්න ඉන්න සරළ අවංක කෙනා නෙවෙයි. ’
‘මං මොකද කරන්නේ සර් ? මුළු ජීවිතේම කරදරවලින් පිරිලා නොවැ.’
නිමේෂ කිහිපයක් නිහඬබවින් යුතුව ගෙවී ගියේය. ඉන් අනතුරුව ඔහු සිය කතාව කියන්නට විය.
‘මාව හමුදා සේවයෙන් නිදහස් කරපුවම මට රස්සාවක් තිබුණෙ නෑ. අපේ රෙජිමේන්තුවෙ කැප්ටන් ජැක්සන් මහත්තයා මට හරි කැමතියි. හොඳ රස්සාවක් කරන්න තරම් මං ඉගෙන ගෙන නෑ. හැබැයි ජැක්සන් මහත්තයා දැනගෙන හිටියා මම හොඳ ඩ්‍රැයිවර් කෙනෙක් කියලා. ඒ වෙනකොට මේ ඉස්කෝලෙට ඩ්‍රැයිවර් කෙනෙක් උවමනා කරලයි තිබුණේ. මහත්තයා මේක දැනගෙන ලොකු නෝනට මාව රෙකමදාරු කළා. සුදුසුකම් දෙකක් තියෙනවා නම් මාව ගන්නවට ලොකු නෝනා විරුද්ධ වෙලා නෑ. පළමුවැනි එක මට හොඳ චරිතයක් තියෙන්න ඕනෑ. දෙවැනි කොන්දේසිය මං කසාද බැඳලා තියෙන්න ඕනෑ.
‘ලොකු නෝනව හම්බ වෙන්න ගිය ජැක්සන් සහාබ් ආපහු ආවේ බොහොම විනෝදෙන්. එහෙම ඇවිත් මහ හයියෙන් හිනාවෙලා, මගේ පිටට තට්ටු කරලා කිව්වා “ මේ බලනවා කර්තර් සිං මං තමුසෙව කසාද බැඳපු මිනිහෙක් කළා !” කියලා.
‘ජැක්සන් මහත්තයට පිස්සු හැදිලද ? එහෙම කියලා තමයි ටික වෙලාවක් යනකං පෙනුණේ. මං බොහොම විනීත විදියට කිව්වා: “අනේ කැප්ටන් සර් කවුද අපි වගේ දුප්පතුන්ව කසාද බන්දලා දෙන්නේ? ” කියලා.
“මේ දැන් මං තමුසෙව බන්දලා දුන්නා” කියලා ආපහු කියපු මහත්තයා මහා හයියෙන් හිනා වුණා.
‘මට මහත්තයගෙ විනෝදෙ තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ මහත්තයා මට පැහැදිලි කරලා දුන්නා ලොකු නෝනා හොයන සුදුසුකම් දෙකම මට තියෙනවා කියලා මහත්තයා මට රස්සාව අරගෙන දුන්නු බව. ඒ කියන්නෙ මගේ චරිතෙ බොහොම හොඳයි කියලත්, මං කසාද බැඳපු මිනිහෙක් කියලත්. පහුවදා ඉඳන්ම මම එතැන වැඩ කරන්න පටන් ගත්තා.
‘මං එතැන වැඩට ගිහින් දැන් අවුරුද්දක් වුණා. සුදු නෝනා හැම තිස්සෙම කියනවා මට පවුල එක්කරන් එන්න කියලා එයාට බලන්න. මං එක එක බොරු හේතු කියලා ඒ දවස කල් දැම්මා. ඒත් දැන් ඒක කරන්නත් අමාරුයි. මෙතැන දිගටම රස්සාව තියාගන්න ඕනෑ නම් මං කොහෙන් හරි පවුලක් අරන් එන්න ඕනෑ. ඒ වුණාට මං මේ පළාතට ආගන්තුකයෙක්. ඉතින් මං කොහෙන්ද පවුලක් හොයන්නේ ? ’ මුහුණ විකෘති කරගනිමින් සිනාවක් පෑ ඔහු දිගටම කතා කරන්නට විය:
‘මේ ළඟදී දවසක අහම්බෙන් වගේ මට කරුණාවන්ත මහත්තයෙක් මුණ ගැහුණා. ඒ මහත්තයගෙ නම කර්සන්දාස්ජී. බොම්බායේ තියෙන බිරිඳක් හොයාගන්න පුළුවන් ආයතන දෙක තුනක් ගැන ඒ මහත්තයා විස්තර කිව්වා. මං වෙනුවෙන් ඒ තැන්වලට ලියුම් කීපෙකුත් ඒ මහත්තයා හදලා දුන්නා . කර්සන්දාස්ජී මහත්තයා ඊයෙ යන්න ගියා. අද මේ ලියුම ලැබුණා. ඒ වුණාට සර් කියන හැටියට ඒ ලියුමෙ තියෙන්නෙත් කඩවෙච්ච බලාපොරොත්තුවක් විතරයි ! ’ ඔහු සුසුමක් පිට කළේය.
‘ඒ වුණාට කර්තර් සිං මොකටද බලාපොරොත්තු නැති කරගන්නේ ? ඔහේ මේ පළාතට ආගන්තුකයෙක් වුණාට පන්ජාබ්වලට අමුත්තෙක් නෙවෙයිනේ. එහාට ගිහින් පෙළවහක් කරගන්නෙ නැත්තෙ ඇයි ? ’ මම විමසීමි.
‘අනේ සර් ඒක එච්චර ලේසි වුණා නම් මෙච්චර කලක් මං කසාද නොබැඳ ඉන්නවද ? මට දැනටමත් අවුරුදු තිස්පහක්.’
‘ඔහේගෙ මිනිස්සු අතරෙන් ගෑනු ළමයෙක් හොයාගන්න බෑයි කියන එක වෙන්න පුළුවන් දෙයක්ද? ’ මම ඇසුවෙමි.
‘දුප්පත් මිනිස්සුන්ට ඕනෑ දෙයක් වෙන්න පුළුවන් සර්.’
ඔහුගේ කටහඬේ කෙතරම් වේදනාවක් හා ශෝකයක් ගැබ්ව තිබුණේද යත් මා එයට සිනා නොවිය යුතුව තිබිණි. එහෙත් මට මා පාලනය කර ගත හැකි වූයේ නැත.
‘එතකොට ඔහේ කියන හැටියට මේ ලෝකෙ ඉන්න දුප්පත් මිනිස්සු කසාද බඳින්නෙ නෑ. එහෙමද සර්දාර්ජී ? ’
ඔහුද මා සමග හඬ නගා සිනාසුණේය. ‘මං ටිකක් අතිනුත් දාලා කිව්වා වෙන්න පුළුවන් සර්. ඒත් හරය අතින් ගත්තම ඒක ඇත්තයි. විශේෂයෙන්ම මං වගේ කෙනෙක් ගත්තම ඒක ඇත්තයි. මං පොඩි කාලෙම ගෙදරින් පිටවෙලා මුළු ඉන්දියාව පුරාම එහෙ මෙහ ගියා. ඊට පස්සෙ හමුදාවට බැඳිලා යුද්දෙට ගියා. ඒත් අද මං කවුද ? හිඟන්නෙක් වගේ මිනිහෙක්. මේ ඈත පළාතක ගෑනු ඉස්කෝලෙක වැඩ කරන කිසිම වැදගත්කමක් නැති ඩ්‍රැයිවර් කෙනෙක්. මං වගේ මිනිහෙකුට තමන්ගෙ දුව දෙන්න කැමති කවුද ?’
ශෝකය යාන්තමින් තැවරුණු හඬින් කතා කරන්නට පටන් ගත් ඔහුගේ සිනහව අතුරුදන් විය.
‘සර්, මං වගේ දුප්පත් මිනිස්සු දස දහස් ගණනක් ජීවත් වෙලා මැරිලා යනවා කවදාවත් කසාදයක් බැඳගන්න බැරුව. සර්ලා වගේ සතුටින් ජීවත් වෙන මිනිස්සු කොහොමද මේ දේවල් ගැන දන්නේ ? ’
‘කිසිකෙනෙක් තමන්ගෙ දුව ඔහේට දෙන්න හිතුවෙ නැත්නම් උන් යකාට ගියාවෙ.’ මා කීවේ යළිත් විහිළුවක් කිරීමේ අදහසිනි. ‘ඒත් රටේ ලෝකෙ ඇවිදපු, හොඳ ශක්තියක් තියෙන, නිරෝගී, ඒ වාගේම නිර්භීතව යුද්ද කරපු ඔහේ වගේ මිනිහෙක්ව යම්කිසි ගෑනු ළමයෙක් තමන්ගෙ කැමැත්තෙන්ම තෝරා ගත්තෙ නැද්ද ? ’
‘ ආ එහෙම අයද ? එහෙම අය ගොඩක් ඉන්නවා සර්. ’ තමන්ගේ කය ඍජු කරගත් ඔහු කීවේ ජයග්රාහීබවක මතකයක් තොල් මත රඳවා ගනිමිනි.
‘නැතුව, නැතුව සත්තකින්ම එහෙම අය නම් ගොඩක් ඉන්න ඇති නේන්නම්, ’ මම විහිළු කළෙමි. ‘එහෙනම් මොකද තමුන් තාම පාලු තනිකඩයෙක් වගේ ඉන්නෙ ? ’
‘ඉරණම සර් ඉරණම. ඒ හැමදේම ඉරණම.’
‘අපේ රෙජිමේන්තුව සෙකුන්දරාබාද්වල ඉන්න කොට අපි පුරුදු වෙලා හිටියා විශාල පිට්ටනියක ෆුට්බෝල් සෙල්ලම් කරන්න. මං දන්නෙ නෑ ඒ දවස්වල මං හුඟක් කඩවසම්ද කියලා ඒත් පිට්ටනිය ගාව තිබුණු ගෙදරක හිටපු ක්‍රිස්තියානි ගෑනු ළමයෙකුට මා ගැන හිතක් පහළ වෙලා තිබුණා. මං මෙහෙම කියන කොට කයිවාරුවක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් මං කියන්නෙ ඇත්ත. දෙවියම්පා ඇත්ත. ’ ඔහු හිනැහුණේය.‘ ඉතින් කොහොමහරි මේ ළමයා මාත් එක්ක කතා කළා. වැඩි දවසක් යන්න කලින් එයාගෙ අදහසත් මට කිව්වා. ’
‘එයා ලස්සනද ? ’ මම ඇසුවෙමි.
‘ආහ්, ඒ ළමයා දෙවඟනක් වාගෙ ලස්සනයි.’ ඔහු උනන්දුවෙන් යුතුව මට සහතික විය. එහෙත් ඇතැම්විට මගේ ඇස්වල තිබූ දඟකාර සිනාවක සේයාවක් ඔහු ඒ මොහොතේ දකින්නට ඇත. ඔහුගේ පුරාජේරු ස්වරය මඳක් අඩුවිය.
‘දෙවඟන කියන එක පැත්තකින් තියමුකො සර්. ඒත් ඒ ළමයා හරි පෙනුමයි. ඒ වගේම හරිම බුද්ධිමත්….හ්ම්….ඒ ළමයා මට කැමතියි කියලා පෙනුණු නිසා මං එයාට විවාහ යෝජනාවක් කළා. ’
‘හොඳයි, හොඳයි, ඒක බොහොම හොඳයි, ’ මම අත්පොළසන් දුන්නෙමි.
‘එයා ඒකට සූදානම් වෙලයි හිටියේ. ඒ ළමයත් මං වගේම දුප්පත්. අපි දෙන්නට එකට හොඳට ජීවිතයට මුහුණ දෙන්න තිබුණා. ’
‘මොකක්ද ඒකට හරහට හිටියේ ? ’ මම ප්‍රශ්න කළෙමි.
‘එයා කිව්වා එයා මාව කසාද බඳින්නේ මං ක්‍රිස්තියානි ආගමට හැරුණොත් විතරයි කියලා. මොනම හේතුවකටවත් තමන්ගෙ ආගම අත අරින්න එයා සූදානම් වුණේ නෑ.’
‘හැබෑට ? ’ මා ඇසුවේ විස්මයට පත්වෙමිනි.
‘ඔව්. ඇත්තටම. ඒක හැම වෙලාවෙම එහෙම තමයි සර්. වෙන ආගම්වලින් ක්‍රිස්තියානි ආගමට හැරිච්ච මිනිස්සු උමතුවෙන් වගේ ඒ අලුත් ආගම බදාගෙන ඉන්නවා. එයා කිව්වා මම ක්‍රිස්තියානි ආගමට හැරුණොත් එයාගෙ දෙමවුපියනුයි නෑදැයනුයි මාව තමන්ගෙම කෙනෙක් හැටියට බාර ගෙන මංගල්ලෙට උඩින්ම කැමති වෙනවා කියලා. ඒත් ඒක වෙන්න පුළුවන් දෙයක්ද? ’
‘ඇයි? ’
‘ඇයි කියන්නෙ, එයා එයාගෙ ආගම ගැන එච්චර ආඩම්බර නම්, ඒ ආගමට කොහෙත්ම දෙවැනි නොවෙන ආගමක් මටත් තිබුණා. මං මොකටද ඒක වෙනස් කරන්නේ? අපේ ආගම රැක ගන්න අපේ මුතුන්මිත්තො තමන්ගෙ ජීවිත පූජා කළා. මට බෑ මේ කෙල්ලෙක් වෙනුවෙන් ආගම පරිත්‍යාග කරන්න. මං කිව්වා බෑ කියලා. එතැනින් ඒ සම්බන්දෙ ඉවර වුණා.’
‘ආ, එහෙමද ! ’ මම විස්මයෙන් යුතුව පැවසීමි.
‘ඒ වගේ තවත් පළහිලව්වක් තිබුණා. ’ ටික වේලාවකට පසු ඔහු කීවේය.
‘ඉතින්.’
ඔහු හිස සෙලෙව්වේය. ‘වැඩක් නෑ සර්. ඒ කතාව කියන එකේ තේරුමක් නෑ. ඒ ගැන කියනකොට මටත් අප්‍රසන්නයි….. හ්ම්.. එක පාරක් මං කෝච්චියෙන් මෙහෙ ඉඳලා පූනාවලට ගියා. තලේගාඕංවලදි තරුණ මුස්ලිම් ගෑනු කෙනෙක් මනුස්සයෙකුත් එක්ක අපේ පෙට්ටියට නැග්ගා. කෝච්චි පෙට්ටිය සම්පූර්ණයෙන්ම වගේ පිරිලා තිබුණේ. ඒත් ඒ දෙන්නා කොහොමහරි වාඩි වුණා. ඒ අයගෙ සීට් එක තිබුණෙ මං ඉඳගෙන හිටිය තැනට මූණ දාලා පෙට්ටියෙ අනෙක් කෙළවරේ.
‘කෝච්චිය යන්න පටන් ගත්තම මට දැනුණා මේ ගෑනු කෙනා සැරින් සැරේ මා දිහාව බලනවා කියලා. මුස්ලිම් වුණාට එයා පර්දාවක් දාගෙන හිටියෙ නෑ. මාත් එයා දිහා බැලුවා. අපේ ඇස් මුණ ගැහුණම මට තේරුණා එයාගෙ තොල්වල හීන් හිනාවක සේයාවක් ඇඳිලා තිබුණා කියලා. මගේ අත නොදැනුවත්වම මගේ උඩුරැවුල ගාවට ගියා.’
‘ආහ්, වීරයා!’ මම කොක්හඬලා සිනාසුණෙමි. ඔහු ලජ්ජාවට පත් විය.
‘පස්සෙ මං ඒ ගැන පසුතැවුණා. ඒත් ඉතින් මාත් පිරිමියෙක්නෙ….එයා ඇස් දෙක බිමට හරවලා හිනාවුණා. හරිම අපූරු හිනාව! එච්චර ලස්සන නැති එයාගෙ මූණට ඒ හිනාවෙන් ලස්සනක් එකතු වුණා. ’
‘ඔයගොල්ලො ඔය නාටකේ කරනකම් එයත් එක්ක හිටපු මනුස්සයා මොකද කළේ ? ’
‘ජනේලෙන් එළිය බලාගෙන ගැඹුරු ආදරය ගැන සිංදුවක් කියන එක’ කර්තර් සිං හඬ නගා සිනාසුණේය.
‘පූනාවලට කෝච්චිය එන්න කලින් එයා තමන්ගෙ පුංචි ලේන්සුව අල්ල උඩ දිගඇරියා. මං බැලුවා. එයාගෙ නම, හලීමා කියන නම ලේන්සුවේ එම්බ්‍රොයිඩර් කරලා තිබුණා. එයාගෙ සූත්තරේට මට හිනාගියා. එයා ලැජ්ජාවෙන් අහක බලලා ලේන්සුව අත් දෙකෙන්ම පොඩි කළා.
‘අපි පූනාවලින් බැස්සම කවුරුවත් අපි දිහා බලන්නෙ නැති වෙලාවක් බලලා එයා මට අත වැනුවා. ඒත් ඒ මොහොතෙම මගේ මායාව අතුරුදහන් වුණා. මං මේ මොනවද කරන්නේ ? මගේ සතුට වෙනුවෙන් කසාද බැඳපු මිනිහෙකුගෙ ජීවිතෙ විනාශ කරන්න නේද මං මේ හදන්නෙ ? විනීත, විශ්වාසවන්ත ගෑනියෙක් බඳින්න කල්පනා කරන මම නිකම්ම විනෝදෙට මේ මොකද කරන්නේ ? මං මටම වෛර කරන්න වුණා. ඒ ප්‍රබල හැඟීම හලීමාව මගේ හිතෙන් සදහටම ඉවත් කරලා දැම්මා. ’
කර්තර් සිං සිය කතාව අවසන් කළේය. එහෙත් එතෙක් වේලා ඔහුට සවන්දීමේදී මගේ සිතෙහි තිබූ කුතුහලය සහ විනෝදය සම්මිශ්රිත හැඟීම වාෂ්ප වී ගියේය. ගෞරවය මිශ්‍රිත හැඟීමක් මගේ සිතේ වර්ධනය වන්නට විය.
මේ සියලු කතාවලට මුල්වූ ඔහුට ලැබුණු ලිපිය වෙත යළි අවධානය යොමු කරමින් මම කතා කළෙමි:
‘මේ බලන්න සර්දාර්ජී. ඔහේ පොඩ්ඩක්වත් කනගාටු වෙන්න එපා. මං හෙට බොම්බායට ගිහින් සතියකින් ආපහු එනවා. ඔහේ වෙනුවෙන් මං එහෙදි විස්තර හොයලා බලන්නම්. අර කර්සන්දාස් මහත්තයා මෙතැනට ඇරුණම තවත් තැන්වලට ලියුම් ලියලා දුන්නද? ’
කර්තර් සිංගේ දෙනෙත කෘතඥතාවෙන් බැබලිණි.
‘මං සර්ට මීට වඩා කරදර කරන්න හොඳ නෑ. ’ ඔහු කීවේය. එහෙත් සිය සාක්කුවෙන් ලියුම් කිහිපයක් ගත් ඔහු ඒවා මට දුන්නේය.
‘මේ තියෙන්නෙ ඒ ලියුම් තමා.’
මම ඒවා කියැවීමි. ඒවාද ලියා තිබුණේ අනාථ අසරණ කාන්තාවන් පතමින්, කලින් ලියුම ලියූ තැනටම සමාන ආයතනවලටය.
කර්තර් සිංගේ ඉල්ලීම් ඉතා සරළ විය. ඔහු විමසා සිටියේ රූමත් හෝ තරුණ හෝ ගැහැනුන් ගැන නොවේ. තමන්ගේ ගේදොර බලාගත හැකි, දෙවියන් කෙරෙහි භක්තිය ඇති, යහපත්, විශ්වාසවන්ත හින්දු හෝ සීක් කාන්තාවක පමණක් ඔහු සෙව්වේය.
‘මට තේරෙනවා. මං ඔහේ හොයන ජාතියෙ ගෑනු කෙනෙක්ව බොම්බායෙන් හොයන්නම්.’
ඊට දින අටකට පසු ලෝනාවාලා වෙළෙඳපොළේදී එකිනෙකා හමුවීමට අපි ගිවිස ගතිමු.
මා ඔහු කෙරෙහි දැක්වූ අනුග්‍රහය ගැන මට මුව නොසෑහෙන සේ ස්තූති කළ කර්තර් සිං යන්නට ගියේය. දැන් ඉතා රෑ බෝවී ඇති බැවින් ගෙදර උදවිය කලබලයට පත්ව ඇතැයි සිතූ මමද හනිහනික නිවෙස බලා පිය නැඟීමි.
පිළියෙළ කරගත් පරිදි මම පසුවදා බොම්බාය බලා පිටත් වීමි. මා එහි යන විට කෙතරම් වැඩ ගොඩ ගැසී තිබුණේද යත් දින කිහිපයක් යනතුරු ඉන් මිදීමට මම අපොහොසත් වූයෙමි. ලෝනාවාලාවලට පෙරළා පැමිණීම ගැන සිතන්නටවත් හැකියාවක් තිබුණේ නැත. එනිසා ගෙදර උදවිය බොම්බායට ගෙන්වා ගැනීමට මට සිදුවිය.
අධික වැඩවල පීඩනය හේතුවෙන් අසරණ කර්තර් සිං සහ ඔහුගේ සරළ කතන්දරය සම්පූර්ණයෙන්ම අමතක වී ගියේය. මාස කිහිපයකට පසු මට යම් විවේකයක් ලැබුණු විට මට එය මතක් විය. එහෙත් එසැණින්ම මට යළිත් වැඩ අධික වූයෙන් ඒ මුළු සිද්ධියටම එවක ආරෝපණය වී තිබූ වැදගත්කම කාලයාගේ ඇවෑමෙන් මා කෙරෙන් තුරන් වී ගියේය. ඒ ආකාරයට කාලය ගතවී ගියේය. මම ඔහු වෙනුවෙන් කිසිවක් නොකළෙමි.
මට යළිත් ආදරණීය ලෝනාවාලාව වෙත පෙරළා එන්නට හැකිවූයේ මාස බොහෝ ගණනකට පසුය. එහි වූ නැවුම් සහ ප්රබෝධකර වාතය මගේ පෙනහලු පුරවා අතීතයේ ගෙවී ගිය දිනවල මතකයන් මා වෙත රැගෙන ආවේය. කර්තර් සිං ද ඒ මතකයන් අතර වූයෙන්, ඔහු පිළිබඳ මතකය මසිතට ගලා එත්ම වරදකාරීබවේ සහ කුතුහලයේ සම්මිශ්රිත හැඟීමක් මා වෙලාගත්තේය. වරදකාරී හැඟීම ඇතිවූයේ මා ඔහු වෙනුවෙන් යමක් නොකළ නිසා පමණක් නොව ගතවූ මාස ගණනාව මුළුල්ලේම මට කිසිවක් කරන්නට බැරි වූ වග ඔහුට දැන්වීමට තරම්වත් මා කාරුණික නොවූ හෙයිනි. කුතුහලය ඇතිවීමට සාධාරණ හේතු තිබිණි. ඔහුට ආවාහ කර ගත හැකි තරුණියක හමුවීද? බිරියක සොයාගැනීමට අසමත්වීම නිසා ඔහුගේ රැකියාව නැතිව ගියේද? ඔහු තවමත් ලෝනාවාලාවල වාසය කරන්නේද?
එක් සැන්දෑවක වෙළෙඳපොළට ගියේ නම් මගේ මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකිව තිබිණි. එහෙත් මගේ වරදකාරී හැඟීම ඊට වඩා ප්‍රබල බව පෙනිණි. ඔහු කෙරෙහි වූ මගේ නොසැලකිලිමත් චර්යාව සලකා බැලීමේදී ඔහු හමුවීම යන කාරණයට මට මුහුණ දීමට නොහැකි විය. එබැවින් වෙළෙඳපොළට යෑම, විශේෂයෙන්ම සැඳෑ වරුවේ එහි යෑම මම මඟහැරියෙමි.
මගේ පෙරසූදානම තිබියේ වුවද ඔහු හමුවීම වලක්වා ගැනීමට මට නොහැකි විය. එක් සැන්දෑ වරුවක කඳුකරයේ ඇවිදින්නට ගොස් පෙරළා පැමිණෙන විට තැපැල් කාර්යාලය දෙසින් කිසිවෙකු මා අමතන සැටි මට ඇසිණි. ‘සර් ! සර්! ’
මම ආපසු හැරී බැලුවෙමි. එහි වූයේ කර්තර් සිංය. අපගේ පළමු හමුවීම සිදුවූ ආපනශාලාවේ මේසයක් අසල සිටගත් ඔහු මහ හඬින් මා අමතමින් සිටියේ තමන් ආහාරයට ගත් දෙයින් මුව පිරී තිබියදීය. වහා ඔහු වෙත ගිය මම ඔහුට අතට අත දිනිමි.
‘කොහොමද කර්තර් සිං ? ’
‘සර් කවදද ආපහු ආවෙ ? වාඩිවෙන්න වාඩිවෙන්න. තේකක් බොමු. ’
එතැන හිඳගත් මම ඔහු වෙනුවෙන් කිසිවක් කරන්නට බැරිවීම ගැන මම මගේ කනගාටුව ප්‍රකාශ කළෙමි.
‘ආ ඒකට කමක් නෑ . ඒ ගැන කරදර වෙන්න එපා. ’
‘දැන් ඔහේ පෙළවහක් එහෙම කරගෙන ඇති නේද ? ’ මඳ විරාමයකට පසුව මම විමසීමි.
සැනෙකින් ශෝකය කරණකොට ගෙන ඔහුගේ වත අඳුරුවී ගියේය. ‘මොන පෙළවහක්ද සර් ? අතේ තඹ දොයිතුවක් නැති මං වගේ මිනිහෙක්ව කවුද කසාද බඳින්නේ ? හැමෝටම ඕනෑ සල්ලි. ’ ‘සල්ලි’ යැයි ඔහු පුනරුච්ඡාරණය කළේ දැඩි කටුක බවකින් යුතුවය.
‘මොකද වුනේ සර්දාර් ? ඇයි ඔයතරම් කලකිරිලා ඉන්නේ ? ’
‘ඒක කියන්න තරම් වටින දෙයක් නෙවෙයි. සර් ගියාට පස්සෙ මං සර් ලියුමක් එවයි කියලා මාසයක් විතර බලාගෙන හිටියා. ඒ ටිකේ මම හිටියෙ නොඉවසිල්ලෙන්. පස්සෙ මංම කෙනෙක් හොයන්න පටන් ගත්තා. සුදු නෝනාත් නිතරම කරදර කරන්න වුණා…. ඒ නැතත්’ ඔහු මඳකට පැකිලුණේය. ‘සර්ට මම ඇත්තම කියන්නද ? මටත් ඕනෑ වුණා කසාදයක් බැඳගන්න. සාමාන්‍ය විදියට ජීවිතෙ ගෙවුණ නම් ඒ ගැන මම හිතන එකක් නෑ. ඒත් මේ කසාද බැඳිල්ල ගැන කොච්චර ඒ දවස්වල හිතුවද කියනව නම් මටම දැනෙන්න ගත්තා ගෑනියෙකුගෙ, ළමයින්ගෙ, ගෙයක, පවුලක උවමනාව. ඇයි කෙනෙක් ඒවා ලබාගත යුතු නැත්තෙ ? මේ ලෝකෙ තනියෙන් ඇවිදිමින් කොච්චර වටින අවුරුදු ගණනක් කෙනෙක් නාස්ති කරන්න ඕනෑද ? ගෑනියෙකුගෙ මූණෙ සිනිඳුකම, ඇගේ කටහඬේ මිහිරිකම, ඇගේ ගමනේ ලතාව, ඇගේ ආදරයේ සතුට- මේ හැමදෙයක්ම මගේ ඇස් ඉදිරිපිට හැමදාම මැවිලා පේන්න පටන් ගත්තා. ලොකු සුදු නෝනා මං බැඳපු මිනිහෙක් වෙන්න ඕනෑ කියලා කිව්වෙ නැතත්, මගේ රස්සාව ඒ මත තීරණය වුණේ නැතත්, මට තදින්ම දැනුණා මං කසාද බඳින්න ඕනෑ කියලා. ඒ වුණාට කසාදෙ පේන තෙක් මානෙක තිබුණෙ නෑ. සර් දන්නවනේ ප්‍රමාද වෙන්න වෙන්න ආසාව වැඩිවෙනවා.
‘ඉතින් මංම ගියා බොම්බායට. මං ලියුම් ගනුදෙනු කරපු නිවාස තියෙන තැන් හොයාගන්න එකම නගරෙට ආගන්තුකයෙක් වෙච්ච මට අමාරු වැඩක් වුණා. ඒ වුණාට කොහොම කොහොම හරි ඒවා හොයාගන්න මට පුළුවන් වුණා. ඒ හැම තැනකම මැනේජර්ලා හම්බ වුණා. අන්තිමට මං එක නිගමනයකට ආවා’ ඔහු කටුක ලෙස සිනාසුණේය.‘මගේ තත්වෙ ඉන්න මිනිහෙක් බඳින්න කල්පනා කරනවා නම් සල්ලි තියෙන්න ඕනෑ. අවංකකමෙන් හරි සත්‍යයෙන් හරි කෙලින් වැඩ කිරීමෙන් හරි හොඳ චරිතයෙන් හරි වැඩක් නෑ. ’
මම අනුකම්පාවෙන් යුක්තව නිහඬව සිටියෙමි. ඔහු දිගටම කතා කළේය : ‘සමහර වෙලාවලදී හින්දු ගෑනු සීකයෙක්ව බඳින්න කොහෙත්ම සූදානම් නෑ. එහෙම බඳින්න කැමති වෙච්ච වෙලාවල්වලට මං ඒ ආයතනයේ හරි වෙන බැංකුවක හරි ඒ ගෑනු කෙනාගෙ නමින් යම් මුදලක් තැන්පත් කළේ නැත්නම් නිවාස පාලකයො ඒ අයට මාව බඳින්න දුන්නෙ නෑ. දුප්පත් ඩ්‍රැයිවර් කෙනෙක් වෙච්ච මම කොහෙන්ද එච්චර සල්ලි ගේන්නෙ ? ඉතින් මං වැඩේ අත ඇරලා දැම්මා.
‘ඉතින් එකම වෙලාවකවත්…. ’ මම යමක් කියන්නට පටන් ගතිමි. එහෙත් ඔහු එයට බාධා කළේය.
‘ඔව්. එහෙම සල්ලි ඉල්ලපු නැති වෙලාවල් දෙක තුනක් තිබුණා. ඒත් ඒ ගෑනු බඳින්න පුළුවන් අය නෙවෙයි. ’
‘කර්තර් සිං, ’ මම සිනහවකින් යුතුව ඔහුට බාධා කළෙමි. ‘ඔහේ මට කිව්වෙ නැද්ද තමුන් ගෑනියෙකුගෙ ලස්සන ගැනවත් වයස ගැනවත් බලන්නෙ නෑ කියලා ? ’
‘ඔව්. ඔව්. දැනුත් මං කියන්නෙ ඒකම තමයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මං කසාද බඳින කෙනා යහපත්, පිවිතුරු, අවංක කෙනෙක් වෙන්න ඕනෑ නෑ කියලා. ඒ ගෑනු අය එක්කො අනාචාරෙ හැසිරිලා ගෙවල්වලින් දොට්ට දමාපු අය. එහෙම නැත්නම් අපරාධ කරපු අය. මං කොහොමද එහෙම ගෑනියෙක්ව බඳින්නෙ ? මේ විදියට ඉන්න එක ඊට වඩා හොඳ නැද්ද ? ’
‘ඒ කියන්නෙ කසාද බඳින අදහස ඔහේ සම්පූර්ණයෙන්ම අත ඇරලා දාලාද ? ’ මම විමසුවෙමි.
‘ඒක මම දන්නෙ නෑ. ඒත් එක දෙයක් නම් මට ටක්කෙටම කිව්වහැකි’
‘ඒ මොකක්ද ? ’
‘මට මේ රස්සාව අතඇරලා යන්න වෙනවා කියන එක. ’
‘ඇයි ඒ ? ’
‘කොච්චර කාලයක් කියලා බොරු කියන්නද ? කොච්චර කාලයක් බොරු හේතු හදන්නද? මං ලොකු නෝනට කිව්වා මගේ පවුල තමන්ගෙ නෑයො බලන්න පන්ජාබ්වලට ගිහින් කියලා. මගේ පවුල මගෙන් මෙච්චර කලක් ඈත් වෙලා ඉන්නවා කියන එක ඒ නෝනට විශ්වාස කරන්න බෑ. ’
එය සත්‍යයකි. මම කල්පනාවෙහි ගැලී මොහොතක් පසු වීමි. හදිසියේම මගේ සිතේ අදහසක් පැන නැංගේය. මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
‘කර්තර් සිං. මට අදහසක් ආවා. ඔහේ හරි. කොච්චර කාලයක් කියලා බොරු හේතු හදන්නද ? ඒක හරියන්නෙ නෑ. මං කියන විදියට කරන්න. ඔහේ මාසයකට හරි දෙකකට හරි නිවාඩු ඉල්ලන්න. ලොකු නෝනට කියන්න ඔහේ පවුල එක්කන් එන්න පන්ජාබ්වලට යනවා කියලා. ’
‘ඊට පස්සෙ ? ’ ඔහු කුතුහලයෙන් යුතුව විමසුවේය.
‘ඊට පස්සෙ ඒ පැත්තෙන් පවුලක් හොයා ගන්න උත්සාහ කරන්න. ’
‘එහෙම බැරිවුණොත් ? ’
‘එතකොට වඩාත් ලේසියි. ’ මම උනන්දුවෙන් යුතුව කීවෙමි. ‘ඔහේ ආපහු ආපුවම කියන්න එන්න දවස් කීපෙකට කලින් ඔහේගෙ පවුල අසනීප වුණා, ඒ තත්ත්වයේ ඉඳගෙන එයා මෙහෙ එනවට නෑදැයෝ කැමති වුණේ නෑ කියලා. ඒ විදියට ඔහේට තව මාස කීපෙක කාලයක් ලැබෙනවා. ඒ කාලෙ ඇතුළත ඔහේට ඇත්තම පෙළවහක් කරගන්න පුළුවන්නේ ? ’
‘ඔව් ඒක නම් හොඳ අදහසක් තමයි.’ ඔහු කල්පනාවෙන් බරව කීවේය. ටිකෙන් ටික ඔහු තුළ උනන්දුව දැල්විණි.
‘ඒක හරියටම හරි. ඕනනම් වැඩිම වුණොත් අවුරුද්දක කාලයක් ඇතුළත මේ ලෝකෙ කෙලවරට හරි ගිහින් මං පවුලක් හොයා ගන්නවා.’ සිනහවකින් යුතුව ඔහු දිගටම කතා කළේය : ‘මොහොතකටවත් එයාගෙන් වෙන්වෙලා ඉන්න මං කැමති නෑ. ඉතින් එයා කැමති වෙයිද අවුරුද්දක් වෙන් වෙලා ඉන්න ? ’ ඒ ගැන සිතන විට ඔහුගේ මුහුණේ සිනාවක් රැඳී තිබිණි. ‘ පන්ජාබයේ ඕන තරම් තරුණ ගෑනු ළමයි ඉන්නවා. මට බැරි නෑ දෙන්නෙකුට කන්න තරම් හම්බ කරන්න. ’
ඒ අදහස ඔහු තුළ මුල් බැස්සේය. දවස් හතරකට පහකට පමණ පසු කර්තර් සිං පන්ජාබය බලා පිටත් විය. ඔහු ඇරලවන්නට මම දුම්රිය පොළට ගියෙමි. ඔහු බලාපොරොත්තුවලින් පිරී සිටියේය. ඔහුගේ සර්වශුභවාදීබව බෝවන සුළු විය.
‘කර්තර් සිං, ඔහේගෙ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා’යි මම අවංකවම කීවෙමි.
එක්වරම ඔහු සිය පැරණි කාංසා ගතියෙන් පෙළෙන්නට විය.
‘මේ වාරෙත් මට මේක කරගන්න බැරිවුණොත් මට ජීවිතෙත් එපා වෙයි. මට දැන් තනියෙන් ජීවත් වෙලා ඇතිවෙලා. ’ ඔහු මිමිණීය.
‘ඇයි බැරි වෙයි කියලා හිතන්නෙ ? මට විස්වාසයි ඔහේගෙ වැඩේ සාර්ථක වෙන බව. ’ මම පිළිතුරු දිනිමි. දුම්රිය ගමන ආරම්භ කළේය.
ඊළඟට ගෙවුණු මාස ගණනාව තිස්සේම මට උනන්දුවෙන්, තැතිගැන්මෙන් සහ බලාපොරොත්තුවෙන් පිරුණු ඔහුගේ මුහුණ මැවී පෙනිණි. ඔහුට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමේ කුහුල මා තුළ නිරන්තරයෙන් ඇති විය. එනිසා ඊට ටික කලකට පසු නැවත මා ලෝනාවාලාවට ගිය විට මගේ සිතට පළමුවෙන්ම පාහේ පැමිණි සිතිවිල්ල වූයේ හැකි ඉක්මනින් ඔහු මුණ ගැසෙන්නට යා යුතු බවය. එදා සැන්දෑවේ වෙළෙඳපොළේදී මට ඔහු හමු විය.
ඔහු අසතුටෙන් සිටින බව මට සැනෙකින් වැටහිණි. කොහේවත් යන්නට හදිසියක් නැත්නම් මා සමග ආපනශාලාවට යන්නට එන ලෙස මම ඔහුට යෝජනා කළෙමි.
‘ඒ වැඩේ හරි ගියේ නෑ සර්,’ ඇවිදගෙන යන අතර ඔහු ශෝකයෙන් යුතුව කීවේය.
කුමක් කියන්නදැයි මම නොදත්තෙමි. ඔහුගේ ශෝකයම මා වෙතද සම්ප්‍රේෂණය විය. ආපනශාලාවට ගොස් හිඳගන්නා තුරුම ඔහු කතා නොකළේය.
‘මම මගේ සම්පූර්ණ මහන්සියම යෙදුවා. ඒත් ඒ ගැන කරදර වෙන්නෙ මොකටද ? මම ආපහු මෙහාට තනියම ආවාම සර් මට උගන්නපු විදියට ලොකු නෝනට කිව්වා. මගේ පවුල අසනීපෙන් කියලා අහපුවම නෝනා හරියට කනගාටු වුණා. බේත් හේත්වලට කියලා මට සල්ලිත් දෙන්න හැදුවා. මං එපා කිව්වා. මම කියපු බොරුවල පාපෙට ඒ පවත් එකතු කරගන්නෙ කොහොමද ? මාස දෙකක් යනකොට පවුල මෙහාට එයි කියලා විතරක් මම නෝනට කිව්වා.
‘ලොකු නෝනා එක්ක කතා කරන කොට මට අදහසක් ආවා සර්. ’ ඔහුගේ ශෝකී කතාව අතරේම කර්තර් සිංගේ මුහුණ ප්‍රීතියෙන් එළිය විණි. ‘මාස තුනකට පස්සෙ මම නෝනා ගාවට ගිහින් ලැජ්ජාවෙන් පිරිච්ච කටහඬකින් කිව්වා මට ගමේ නෑදැයන් ලියුමක් එවලා තියෙනවය, ඒ ලියුමෙ කියලා තියෙනවා මගේ පවුලට දරුවෙක් ලැබෙන්න ඉන්නවය, ඒ නිසා දැන් එයාව මෙහෙ එවන්නෙ නැතිය කියලා. ඉතින් දැන් මම මොකද කරන්නෙ ? ලොකු නෝනා හොඳටම සතුටු වුණා.’
‘ඇත්තට ? ඔහේ හැබෑ දක්ෂයෙක්නේ. ’ මම කීවෙමි.
‘අපේ ලොකු නෝනා හරිම හොඳ කෙනෙක්. එතුමියව හම්බ වුණාම තමයි මට තේරුණෙ දෙවියන්ට නෑ කම් තියෙන අය මේ මහපොළොව මතත් ඉන්නවා කියලා. නෝනා කිව්වා, “බොහොම හොඳයි කර්තර් සිං. දරුවා එහෙ ඉපදුනාවෙ. දරුවා ලැබුණම මෙහාට එක්ක වරෙන්. අපි ළමයට මෙහෙදි උගන්වමු.” කියලා.
‘මම තාත්තා කෙනෙක් වෙන්න යන එක ගැන නෝනට හරි සතුටුයි. මේ කාලෙදි කරන්න ඕනෑ මොනවද කරන්න හොඳ නැත්තෙ මොනවද කියලා මගේ පවුලට ලියලා යවන්න කියලා මට හැමදාම උපදෙස් දෙනවා. ඒ හින්දා මගේ රස්සාව පැත්තෙන් බැලුවොත් මට කනගාටු වෙන්න කිසිම දෙයක් නෑ සර්. ’
‘තව ටිකක් කල් ගියාම ඔහේ මොනවද කියන්නෙ ? ඒ ගැන කල්පනා කළාද ? ’ මම විමසුවෙමි.
ඔහු නැවතත් කල්පනාවට වැටිණි. ‘මං මොනවා කල්පනා කරන්නද සර් ? ’ වේදනාත්මක නිමේෂයකට පසු ඔහු යළි කතා කළේය. ‘මං ඇත්තම කියන්නද සර් ? මගේ බලාපොරොත්තු, කසාද බඳින්න තියෙන ආසාව දැන් මැරිලා. ඇත්තටම මැරිලා. ’
‘මැරිලා’ යන වචනය ඒ අදහස මා හිසට ඇතුළු කළේ දැයි මම නොදනිමි. ‘එතකොට කියන්න කර්තර් සිං ඔහේගෙ පවුල දරුවා ලැබෙන්න ගිහින් මැරුණා කියලා. ’ මම කීවෙමි.
කර්තර් සිං එක් මොහොතකට බිමට නැඹුරු කරගත් දෙනෙතින් යුතුව ගොළුවෙකු සේ කල්පනාභරිතව සිටියේය. මා කියූ දෙය ඔහුට ඇසුණු බවක් වත් නොපෙනිණි. කෙතරම් වේදනාවක් සහ ශෝකයක් ඔහුගේ වත වසාගෙන සිටියේදැයි කියතොත් ඔහුට බාධා කරන්නට මම කැමති නොවීමි.
ඉන් අනතුරුව ඔහුගේ දෙතොල නිහඬව විවෘත වී යළි වැසුණේය. ඔහු යමක් ගැන තීරණයක් ගනිමින් සිටින සෙයක් පෙනිණි.
අවසානයේදී ඔහු සිය හිස එසවීය. අප දෙදෙනාගේ දෑස් එකට මුණගැසිණි. තමා ආදරය කරන සමීපතමයෙකුගේ වියෝවෙන් කෙනෙකුගේ දෑසෙහි හට ගන්නා ශෝකී අඳුරුබවක් ඔහුගේ දෑස්වල විය.
ඔහුගේ මුහුණෙහි වූ ශෝකීබව දෙස දිගු වේලාවක් බලාගෙන සිටින්නට අපොහොසත් වූ මම ඉවත බලා ගතිමි. ඔහු කෙරෙන් මා දෑස් ඉවතට ගත් සැණෙන් ඔහු ශෝකී ස්වරයෙන් කතා කළේය:
‘සර් කියන්නෙ ඇත්ත. දැන් එයා ඇත්තටම මැරිලා තමයි.’
ඔහුගේ කටහඬෙහි වූ දුක්ඛිතභාවය මා තුළ දරාගත නොහැකි වේදනාවක් ජනිත කළේය. මා නැවතත් ඔහු දෙස බැලූ විට කර්තර් සිං නැගී සිටියේය.
‘එයා දැන් ඇත්තටම මැරිලා,’යි යළිත් වරක් සෙමෙන් කී ඔහු ඉවතට ඇවිදගෙන ගියේය.
සුවිසල් හිස්බවක් මා තුළ නැගී ආවේය. මොහොතකට මට සෙලවෙන්නටවත් නොහැකි විය. මා ඔහු පසුපසින් එළියට ගිය විට කර්තර් සිං අතුරුදන්ව සිටියේය. එහෙත්, එවන් මරණ බොහෝ ගණනක දෝංකාරය ඔහුගේ පියවර විසින් ඉතිරි කරනු ලැබ තිබිණි !

-ගුලාබ්දාස් බ්‍රෝකර් (1909-2006)
(ලේඛකයා විසින් ගුජරාටි බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි)
පරිවර්තනය – රාජ්‍ය සම්මානලාභී පරිවර්තක නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් https://nilukakadurugamuwa.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි


