
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය (02 වැනිදා) ප්‍රකාශයට පත්කර ඇති අතර (05 වැනිදා) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම පසුගිය (02 වැනිදා) දිනයේ සජීව ප්‍රකාශයට පත්කර තිබුණා.එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇති බව සඳහන්.අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා සියයට 10ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
කාම්බෝජනයට සියයට 49ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර වියට්නාමයට සියයට 46ක තීරුබදු පැනවීමක් සිදුකර තිබෙනවා.බංග්ලාදේශයට සියයට 37ක, තායිලන්තයට සියයට 36ක, චීනයට සියයට 34ක, ඉන්දියාවට සියයට 26ක බදු පැනවීමක් සිදුකර ඇති අතර යුරෝපීය සංගමයට ද සියයට 20ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.
මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 12.2ක තීරුබදු පැනවීමක් සිදුකර තිබු අතර මෙම නව බදු පැනවීමත් සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇගලුම් අපනයනයන් සිදුකරනුයේ අමෙරිකාවට වන අතර මෙම බදු පැනවීම මඟින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන්.පසුගිය 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 346කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම කමිටුව සඳහා පත් කරනු ලැබ තිබෙන බව සඳහන්.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට ගත් තීරණය වෙළෙඳ ගැටළුවක් පමණක් නොව යම්කිසි ආකාරයක අනතුරු ඇඟවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු තවදුරටත් සඳහන් කළේ, ගෝලීයකරණය පිළිබඳ තිබූ අවිශ්වාසය අවසන් කළ යුතු බවයි.එමෙන්ම ආසියාව කේන්ද්‍ර කරගත් වෙළෙඳ උපායමාර්ගයන් ගොඩනැගීමට කාලය එළැඹ ඇති බවද විපක්ෂ නායකවරයා එහි සඳහන් කර තිබෙනවා.


