කැනඩාවේ  ළැව් ගිනි 200ක්. අක්කර මිලියන ගණනක් විනාශ වෙයි.

දින කිහිපයක් පුරා කැනඩාවේ ප්‍රාන්ත රැසක පැතිරී යන දරුණු ළැව්ගිනිමාලාවකින් මේ වනවිට අක්කර මිලියන 3.4ක් විනාශ වී ඇතැයි ද, 200කට අධික ළැව් ගිනි ප්‍රමාණයක් කැනඩාවේ දහස් සංඛ්‍යා ජනතාව අවතැන් කර ඇතැයි ද වාර්තා වේ. ළැව්ගිනි පාලනය කිරිමට කැනඩාවේ ගිනි නිවන ඒකක විශාල සංඛ්‍යාවක් මෙහෙයුම්වල නිරතව සිටින අතර, බොහෝ ළැව්ගිනි පාලනය කළ නොහැකි තත්ත්වයේ පවතින බව ද වාර්තා වේ.

ළැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 17,000කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවද වාර්තා වනවා. ළැව්ගිනි ව්‍යාප්තිය හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්ත 3ක ජනතාව ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගත් බව මාධ්‍ය සඳහන් කරයි.

කැනඩාවේ ළැව්ගිනි තත්ත්වය හේතුවෙන් අහස පුරා විහිදී ගිය දුමාරය කැනේඩියානු දේශසීමාව ආසන්නයේ පිහිටි අමෙරිකානු ප්‍රාන්ත රැසකටත් බලපෑම් එල්ල කර ඇතැයි මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ තත්ත්වය මත අමෙරිකාවේ මිනසෝටා හා මිචිගන් ඇතුළු ප්‍රාන්ත රැසක වායු දූෂණය ඉහළ ගොස් ඇති අතර, සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන්නැයි එම ප්‍රාන්තවල ජනතාවට බලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.ලැව් ගින්නෙන් පැතිර යන දුමාරය නැගෙනහිර අමෙරිකාවේ ඉහළ අහසේ රැඳී පවතින ආකාරය දැක්වෙන චන්ද්‍රිකා දර්ශන කිහිපයක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මේ හේතුවෙන් මිනසෝටා සහ උතුරු ඩැකෝටා ප්‍රාන්තවල වායු ගුණාත්මකභාවය ද සෞඛ්‍යයට අහිතකර මට්ටමට ළඟා වී ඇති බව සඳහන්.

නෙබ්‍රස්කා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ප්‍රාන්තයේ නැගෙනහිර කොටස සඳහා දුමාරය පිලිබදව උපදේශනයක් නිකුත් කරමින්, කැනඩාවේ ලැව්ගිනි හා සම්බන්ධ දුම වාතයේ ගුණාත්මක භාවයට බලපානු ඇති බවත්, ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල පසුකාලීනව සෞඛ්‍යයට අහිතකර වාතය දැකිය හැකි බවත් අනතුරු ඇඟවීය.

මේ අතර කාලගුණ අනාවැකියට අනුව , කැනඩාවේ ලැව්ගිනිවලින් ඇතිවන දුමාරය ගිනිකොන දෙසින් ගලා එනු ඇතැයි අපේක්ෂා කරන අතර එය අයෝවා සහ නෙබ්‍රස්කා වෙත ළඟා විය හැකි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *