
කොළඹ මහනගර සභාවේ ජාතික ජන බලවේගයේ මංගල අය-වැය දෙවැනි වර ඉදිරිපත් කිරීමෙදී වැඩි ඡන්දයෙන් සම්මත විය. කොළඹ මහනගර සභාවේ අය-වැය දෙවැනි වර ඉදිරිපත් කිරීම පසුගිය (31) වැනිදා නගර සභා පරිශ්‍රෙය්දී පැවති අවස්ථාවේදී අය-වැයට පක්ෂව ඡන්ද 58ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 56ක් ලැබිණි.
මෙහිදී ප්‍රකාශ නොකළ ඡන්ද සංඛ්‍යාව 3ක් වේ. මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ජොවාරා බුවාරි මහත්මිය අය-වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවාය. කොළඹ මහනගර සභාව සඳහා වන අය-වැය පසුගිය දෙසැම්බර් 22 දා, පළමුවරට ඉදිරිපත් විය. එහිදී අය-වැය පරාජයට පත් විය. පළමු අවස්ථාවේ දී අය-වැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 57ක් පමණක් වන අතර විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබුණි.
අය-වැය දෙවැනිවර කියවීම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සඳහන් කළේ, පක්ෂ භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට අත්වැල් බැඳගන්නා ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනාට ආරාධනා කරන බවයි.
සභාවාරය සඳහා අය-වැය ඉදිරිපත් කරමින් ඇය පෙන්වා දුන්නේ මෙම අය-වැය හුදෙක් සංඛ්‍යා ලේඛන එකතුවක් නොව ඉදිරි වසර සඳහා කවුන්සිලයේ ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරන සහ සංවර්ධන සැලසුම් ගෙනහැර දක්වන ප්‍රධාන ලියවිල්ලක් බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නගරාධිපතිනිය,
2023/24 කාලපරිච්ඡේදය තුළ තේරීපත් වූ කවුන්සිලයක් තිබුණේ නැහැ. කොමසාරිස් ක්‍රමයක් යටතේ නාගරික පරිපාලනය සිදු කළා. එමඟින් වත්මන් අය-වැය සකස් කිරීම වඩාත් සංකීර්ණ වුණා. විනිවිද පෙනෙන සහ ජනතාව කේන්ද්‍ර කරගත් අය-වැයක් ඉදිරිපත් කිරීමට පරිපාලනය කැපවී සිටිනවා.
නව මන්ත්‍රී මණ්ඩලය පත්කිරීමෙන් සති කිහිපයක් ඇතුළත අය-වැය සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූණා. ජූලි මාසයේදී නාගරික ආයතන 16ටම අය-වැය පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටියා. ඉදිරිපත් කිරීම් සඳහා කවුළුව අගෝස්තු දක්වා විවෘතව පැවතුණා. ඊට අමතරව, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කළා, ඒ සියල්ල දේශපාලන වෙනසක් නොමැතිව සලකා බලා මහජන අවශ්‍යතා මත තක්සේරු කරනු ලැබුවා. පළමුවරට, නාගරික සේවකයන්ගෙන් ද ලිඛිත යෝජනා ගත්තා.
ජයග්‍රහණය පරාජය දෙකම එක සේ භාරගන්නා කණ්ඩායමක් හැටියට අපි අද ජයග්‍රහණය කරන්නේ පක්ෂයක් හැටියට හෝ අද එකතු වෙලා ඉන්න මන්ත්‍රීවරු හැටියට නෙවෙයි. ජනතාව හැටියට ජනතාවාදී අය-වැයක් සම්මත කිරීමට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාට ස්තුතිය පුද කරනවා.
අලුත් අවුරුද්ද අපි හැම කෙනාටම ජනතාව වෙනුවෙන් වැඩ කරන අවුරුද්දක් බවට පත්වෙනවා. පක්ෂ භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් වැඩ කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා ආරාධනා කරනවා.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ නගර සභාවේ විපක්ෂ නායක රීසා සාරුක් මහතා,
2026 වසර සඳහා වන කොළඹ නගර සභා අය-වැය පාලක පක්ෂය ජයග්‍රහණය කළා. අපේ මන්ත්‍රීවරයෙක්ව අද උදේ නාරාහේන්පිට පොලීසියෙන් ගෙදරින් අරගෙන ගිහින් රඳවාගෙන තියෙනවා. තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් අතුරුදන්. ගෙදරත් නැහැ. දුරකතන වැඩ කරන්නෙත් නැහැ. එතනත් අපිට ඡන්ද 2ක් නැහැ. තවත් මන්ත්‍රීවරයෙක්ගේ භාර්යාවට අසාධ්‍ය නිසා නික්ම යන්න වුණා. ඒකාබද්ධ විපක්ෂයේ සිටි තවත් මන්ත්‍රීවරියක් ආණ්ඩු පක්ෂයට ඡන්දය භාවිත කළා. එතකොට අපට හිතාගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එදා පළමුවර අය-වැය පරාජය වූ මොහොතේ නගරාධිපතිනිය ප්‍රකාශ කළේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න කියලයි. අපි අද එතුමියට කියනවා හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න අද දිනයේ බහුතරය ලබාගත්තේ කොහොම ද කියලා? අපි සැලෙන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය හැටියට අපෙන් කොළඹ නගර සභාවේ ජනතාවට කෙරෙන්න ඕනෑ යුතුකම නොපිරිහෙළා ඉටු කරනවා.


