ඉරාන – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරු අතර දුරකථන සාකච්ඡාවක්.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

මෙම දුරකථන සංවාදය අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳව කෘතඥතාව පළ කළ බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදය විසින් IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය පෙර නොවූ විරූ යුධ අපරාධයක් ලෙසත් මෙය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික නීති සහ 1949 ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, මෙම අපරාධය ඉරානය කිසිදා අමතක නොකරන බවත්, අපරාධකරුවන් සහ වගකිව යුතු පිරිස වගකිව යුත්තන් බවට සහතික කර ඔවුන් නීතිය හමුවට පමුණුවා ගැනීමට සියලු නීතිමය සහ දේශපාලනික ක්‍රම භාවිතා කරන බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා මෙහිදි අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, අමාත්‍ය අරග්චි සහ අමාත්‍ය විජිත හේරත් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ රැකවරණය යටතේ සිටි ඉරාන නාවික හමුදාවට අයත් නාවිකයින් 240කට වැඩි පිරිසක් පසුගිය (14) වැනිදා ඉරානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

මෙලෙස රැගෙන ගොස් ඇත්තේ, මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ අයිරිෂ් ඩෙනා නෞකාවේ සිට බේරාගත් ඉරාන නාවිකයින් 38ක් සහ අයිරිෂ් බුෂර් නෞකාව සිටි නාවිකයින් 204ක් වන අතර ඔවුන් වැලිසර සහ කොග්ගල රැදවුම් මධ්‍යස්ථානවල රඳවා තිබුණා.

මෙම නාවික පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉරානයේ විශේෂ ගුවන් යානයකින් මෙරටින් පිටත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *