
ආසියාවේ ප්‍රමුඛතම 15 සාමාජික රග්බි ශූරතාවලියේ පළමු තරගයට කොළඹ තුරඟ තරග පිටියේදි එක්වූ සංචාරක දකුණු කොරියානු පිල අවසන් මිනිත්තු 20දී පෙරළිකාර ක්‍රීඩා විලාශයක නිරත වෙමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය ලකුණු 38-34ක් ලෙස උදුරා ගත්තේය.
තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශිලීව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පළමු භාගය නිමා වන විට ලකුණු 17-14කින් පෙරමුණ ගත් අතර, දකුණු කොරියානු ක්‍රීඩකයන් දැඩි පීඩනයකට ඇද දැමුවේ 45 වැනි මිනිත්තුව වන විට ලකුණු සංඛ්‍යාව 29-14ක් ලෙස ඉහළ නංවමිනි. එහෙත් ඉන් අනතුරුව තරගයේ පාලනය සියතට ගත් දකුණු කොරියාව 60 වැනි මිනිත්තුව වන විට ගෝලයක් සහ උත්සාහක දිනුමක් තබමින් ලකුණු පරතරය 29-26ක් ලෙස අඩු කරගත් අතර, තරගය අවසන් වනතුරුම ශ්‍රී ලංකා පිල ඇද බැඳ තබා ගනිමින් තියුණු ජයග්‍රහණයකට හිමිකම් කීවේය.
දකුණු කොරියානු පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 4ක් සහ උත්සාහක දිනුම් 2ක් ඇතුළත් වූ අතර, ශ්‍රී ලංකා පිල ගෝල් 3ක්, උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහරක් රැස් කළේය.
මුර්ෂිද් ඩුරේ, පසිඳු බණ්ඩාර, ළහිරු තිලකරත්න, හේෂාන් ජන්සේන් සහ ඩිනාල් ඒකනායක ශ්‍රී ලංකා පිල වෙනුවෙන් උත්සාහක දිනුම් තැබූ අතර, ඉන් උත්සාහක දිනුම් 3ක් ගෝල බවට පත් කළ නායක තරින්ද රත්වත්ත දඬුවම් පහරක් ද සාර්ථක කරගත්තේය.
ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය 22 වැනිදා හොංකොං පිලට එරෙහිව හොංකොං රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය. ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය ලබන ජූලි මස 4 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කොළඹදී පැවැත්වෙනු ඇත. ආසියානු ප්‍රමුඛතම රග්බි ශූරතාවලියට ශ්‍රී ලංකාව සමඟ දකුණු කොරියාව, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩා කරන අතර, එය ලබන 2027 ලෝක කුසලාන 15 සාමාජික රග්බි තරගාවලිය සඳහා ආසියාවෙන් සුදුසුකම් ලබාගන්නා දෙවැනි රට තෝරාගැනීමේ තරගාවලියක් ද වේ.