ගොළුහදවතේ සැබෑ දම්මි







ගොඵ හදවත යනු 60 දසකයේ මෙරට බිහිවූ සාර්ථකම ප්‍රේම කතාව විය. පාඨකයන් විශාල පිරිසක් ආදරයෙන් වැළඳගත් එම නවකතාව කරුණාසේන ජයලත්ගේම අත්දැකීමක් බව දන්නේ ඉතා සුඵ පිරිසකි.
ජයලත් අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මහා විද්යලයෙනි. එකල ඔහු ඩී.කේ. ජයලත් විය. කලෙක නවකතාකරුවකු, මාධ්යවේදිියකු හා සිනමා විචාරකයකු ලෙස ප්‍රසිද්ධියට පත් ඔහු කරුණාසේන ජයලත් නමින් ප්‍රකට විය. කලක් සිරිලක පුවත්පතේ කතුවරයා වූ ජයලත් නවකතා රැසක් රචනා කළේය.
ගොළු හදවත, බඹා කෙටූ හැටි, මුව දඩයම, ලස්සන ඇස්, ගැහැණු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි,මව සහ දුව,ඇවැස්ස නෑයෝ,හතුරු හිතක්,රිදී නිම්නය,සතීගේ කතාව,කුල කුමරිය වැනි නවකතා ඔහු රචනා කළ අතර ඒ අතරින් වඩාත් ජනප්‍රියම නවකතාව වූයේ ගොළුහදවතය.
ඔහුගේ එම ප්‍රේමණිය නවකතාවේ ප්‍රධාන චරිත තුනක් විය. ඒ සුගත්, දම්මි සහ නිහාල්ය. මේ තිදෙනාම සැබෑ චරිත වූහ. එවක හොරණ තක්ෂිලාවේ සිටි එක්තරා යුවතියක පිළිබඳව ජයලත්ගේ සිතෙහි ප්‍රේමයක් ඇති වී තිබිණි. ඇයට වෙනත් පන්තියක සිටි සිසුවකුද ඇලුම් කළ බැව් ඔහු දැන සිටියේ නැත. අවසානයේ ඔවුන් දෙදෙනාටම එම යුවතිය හිමි වූයේ නැත. ඔහු තම නවකතාවේ දම්මිගේ චරිතය මැවුවේ එම යුවතියගේ චරිතය පදනම් කර ගනිමිනි.
එදා තක්ෂිලාවේ සිටි දම්මිට පෙම්කල නිහාල් දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී. බී. කුරුප්පුය. ඔහුද ප්‍රකට ලේඛකයකු විය. ජීවිතයේ අවසන් කාලයේ ඔහු ජීවත් වූයේ ඔස්ට්‍රේලියාවේය. ඔහුගේ පසුකාලින කෘති කිහිපයක් සඳහා පිටකවර නිර්මාණයෙන් දායක වීමට මට හැකි විය. එම සම්බන්ධතාව ගොඩනගා දුන්නේ අප මිතුරු නිමල් දිසානායකය.
නවකතාවේ සුගත් සැබැ කතාවේ ජයලත් විය
හොරණ තක්ෂිලාවේදී ජයලත්ගේ හා බෝල්ඩ්වින්ගේ ප්‍රේමයට පාත්‍ර වූ දම්මි කුරුප්පු ආරච්චිගේ පද්මා නාලනී ගුණරත්නය.පසු කාලයේ ජයලත් තක්ෂිලාවේම උගත් රූපා නම් යුවතියක සමග විවාහ විය. කුරුප්පුද වෙනත් යුවතියක හා විවාහ වී පසුව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය. පද්මා නාලනීද විවාහයෙන් පසු පද්මා ගුණරත්න විය.
. ජයලත්අද අප අතර නැත. නිහාල් වූ බෝල්ඩ්වින් ද අප අතර නැත. ඔවුන් දෙදෙනාගේ ප්මරේයට මැදිව ප්‍රේමනීය නවකතාවක් නිර්මාණය කරන්නට දායක වූ පද්මා නාලනී ගුණරත්නෙද 2018 මැයි මස 22 දින ජීවිතයෙන් සමුගත්තාය.
එහෙත් ගොළු හදවත 60 වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරට පාඨකයන්ගේ සිත්තුළ සදානුස්මරණීය නවකතාවක් බවට පත්ව ඇත්තේය. ඔහුගේ සෑම නවකතාවකම නමේ විශේෂත්වයක් තිබේ. සෑම නවකතාවකම නමට ඇත්තේ අකුරු හයකි. පද්මා නාලීනී යන්නටද ඇත්තේ අකුරු හයකි. පද්මා සිහිපත් වීම සඳහා ඔහු අකුරු හයකින් යතුව තම නවකතා නම් කළේදැයි මම නොදනිමි.
පද්මා නාලිනී මහත්මිය පිළිබඳ තොරතුරු ලබා දුන්නේ අප හිතවත් පාලිත නාරංගොඩ මහතා විසිනි.පද්මා නාලිනී ගුණරත්න මහත්මිය නාරංගොඩ මහතාගේ මවගේ එකම සොහොයුරියයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා





හැබෑ රන්මැණිකා මැරෙන්න පෙර සිරිපාල ගැන මට කියූ කතාව
ඇය ඩී.ආර්. රන්මැණිකාය. ඇතැම්විට එනමින් ඔබ ඇය නොහඳුනනවා ඇත. එහෙත් මරුසිරාගේ බිරිය වූ රන්මැණිකා යැයි කී විට ඔබට ඇය මතකයට එනු ඇත. පසුගිය කාලයේ ඇය පිළිබඳව යළි මතකයට ආවේ බෝගම්බර බන්ධනාගාරය මහජනතාවට නැරඹීම සඳහා විවෘත කළ අවස්ථාවේය. සිරගෙදර නැරඹීමට පැමිණි ඇය තම සැමියා වූ දෙද්දුව ජයතුංගගේ සිරිපාල රඳවා සිටි සිරමැදිරිය හා ඔහු එල්ලා මරා දැමුණු එල්ලුම් ගස අබියස මහ හඬින් හඬා වැටුණාය.
ජීවිතයේ අනේක විද දුක් අනුභව කළ රන්මැණිකා තරුණ වියේ සිටම අත්වින්දේ දුක පමණි. 2020 අගෝස්තු 2 වැනි ඉරු දින ඇය සියලු දුකින් මිදී සැනසුම් ඉසව්වකට යන්නට ගියාය. මින් වසර කිහිපයකට ඉහත මට ඇය හමුවූයේ අනුරාධපුර සාලියපුර ගම්මානයේ පිහිටි ඇයගේ කුඩා නිවෙසේදීය. ඉතා අබලන් වූ එම නිවෙසේ බිත්ති සියල්ල පුපුරා ඉරිතලා ගොසිනි. ඇගේ එක් දියණියක හා ඇගේ දරුවන් සමඟ රන්මැණිකා එහි ජිවත් වූවාය. ඇය යැපුණේ එම දියණිය ඇඳුම් මසා උපයන සුළු මුදලකිනි. දරුණු වකුගඩු රෝගයකින් ද, පෙනහඵ ආබාධයකින් හා දියවැඩියාව වැනි රෝග රැසකින් ද පෙළුණු ඇයගේ එකම ඉල්ලීම වූයේ තම නිවෙස කඩා වැටෙන්නට පෙර සාදා ගැනීමට උපකාරයක් කරන ලෙසය.
රන්මැණිකාගේ මව්පියෝ හේවාහැට ගොඩමුන්න ප්‍රදේශයේ ගොවිතැනින් ජීවිකාව කරගත් පවුලකි. ළමා වියේදී අනුරාධපුරයට ඇයට එන්නට සිදුවූයේ මව්පියන් ගමේ ඉඩකඩම් විකුණා අනුරාධපුරයේ පදිංචියට පැමිණි බැවිනි.
ඇගේ පවුලේ සාමාජිකයන් 11 දෙනෙකි. බාල වියේදීම දීග යන්නට සිදු වූ ඇය විවාහ වූයේ ගුණපාල නමැති තරුණයකු සමඟිනි. 1970 ජනවාරි 30දා සර්පයකු දෂ්ට කිරීමෙන් ඔහු මරණයට පත්වන විට රන්මැණිකාගේ වයස අවුරැදු 18කි. ඒ වන විට ඇය දරුවන් සිව්දෙනකුගේ මවක වූ අතර පස්වැන්නා ද කුසයෙහි වැඩෙමින් සිටියේය.
එවක ළාබාල තරුණියක වූ රන්මැණිකා දරුවන් පෝෂණය කරනු පිණිස ගල් වැඩපොලක ගල් කැඩුවාය. කුලී වැඩ කළාය. පිහිටට කිසිවකු නොවූ හෙයින් සියලු දුක් වේදනා තනිවම විඳගත්තාය.
ගුණපාලගේ පියාගේ වෘත්තිය වූයේ කසිප්පු පෙරීමය. පියාගෙන් කසිප්පු පෙරීම ඉගෙන ගත් රන්මැණිකා දරුවන් පස්දෙනා පෝෂණය කිරීම සඳහා කසිප්පු පෙරන්නට වූවාය. එවක එම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම පැවතියේ ගුණපාලගේ වැඩිමහල් සහෝදරයා වූ සීමන් අප්පු අතය.
සිරිපාල සමඟ ඇය ගෙවූයේ කෙටි කාලයක් වුවද එම අතීතය මිය යන තෙක්ම ඇයට සදානුස්මරණීය විය. සිරිපාල පන්නිපිටිය ප්‍රදේශයේ උපන් තරුණයෙකි. නාහෙට නාහන එකකු වූ සිරිපාල දිනක් තම සොහොයුරකුගෙන් පහර කෑමෙන් ඇති වූ කෝපය පිටකර ගත්තේ වත්තේ තිබූ විශාල ගසක් තම නිවෙස මතට කපා දමා නිවෙස පොළොවට සමතලා කිරීමෙනි. පසුව ඔහු අනුරාධපුරයට පලා ගියේය
සිරිපාලගේ පියා වූ දාවිත් අප්පුහාමි අනුරාධපුරයේ වැඩිහිටි නිවාසයක භාරකරු ලෙස සේවය කළ හෙයින් සිරිපාල ඔහු සමඟ නතර විය. ඒ වන විට අවුරුදු 16ක තරුණයකු ඔහු තැන තැන කුලී වැඩ කරමින් ජීවිකාව සලසා ගත්තේය. ඔහුට අනුරාධපුරයේදී අපූරු මිතුරන් පිරිසක් හමුවිය. ඔවුන්ගෙන් ගැටකැපීමේ ගැසීමේ කලාව මනාව ප්‍රගුණ කළ සිරිපාල අති දක්ෂ ගැටකපන්නෙක් බවට පත් විය.
පික්පොකට් ගැසීම නිසා ඔහු අත වැඩිපුර මුදල් ගැවසිණි. එහෙයින් සිරිපාල මත්පැනටද පුරුදු විය. සැමදා සවස් යාමයේ සීමන් අප්පුගේ කසිප්පු වාඩියට යන ඔහු තම මිතුරු පිරිස සමඟ මත්පැනින් සප්පායම් විය. රන්මැණිකා මත්පැන් බෝතල දෙක තුනක් පෙරා එය විකුණා ලද මුදලින් තම දිවි රැකගත්තාය. රූප සුන්දරියක නොවුවද ඉතා පියකරු තරුණියක වූ තම සොහොයුරාගේ බිරිය තම අනියම් බිරිය කර ගැනීමට සීමන් අප්පුට අවශ්‍ය විය. එහෙත් ඔහුගේ ඉල්ලීමට එකඟ නොවූ හෙයින් සීමන් අප්පුගේ විවිධ අතවරවලට ලක්වන්නට ඇයට සිදු විය. සිරිපාලගේ හොඳම මිතුරා වූයේ ලයනල් නමැත්තෙකි. ඔහු මත්පැන් බීවේ රන්මැණිකාගේ නිවෙසිනි. ලයනල් සමඟ දිනක් සිරිපාල ද එහි පැමිණියේය. සීමන්ගෙන් රන්මැණිකාට හිරිහැර වන බව මේ වන විට සිරිපාල දැන සිටියේය.
රන්මැණිකාගේ නිවෙසේ කුඩා කාමරයක් විය. සැමියා මියයෑමෙන් පසු කිසිවකු එය පරිහරණය නොකළ හෙයින් එය වසා දමා තිබිණි. සිරිපාල එම කාමරයේ නවාතැන් ගත්තේය. මඳ කලක් ගතවන විට සිරිපාල හා රන්මැණිකා අතර ප්‍රේමයක් හටගත්තේය. ඒ වන විටත් 20 හැවිරිදි වියේ පසු වූ රන්මැණිකා මේ උස කෙට්ටු තරුණයාට පෙම් කරන්නට විය. එවක සිරිපාලගේ වයස 18කි. දෙදෙනාම එක්ව මත්පැන් ව්‍යාපාරය පවත්වාගෙන යන්නට වූහ.
සීමන් අප්පුගේ මත්පැන්වලට වඩා රන්මැණිකාගේ මත්පැන්වලට වැඩි ඉල්ලුමක් තිබුණේ ඒවායේ තත්ත්වය ඉහළ මට්ටමක පැවැති හෙයිනි. මෙය සීමන් තදින් කෝපගැන්වූ අතර කෙදිනක හෝ රන්මැණිකාගෙන් පළිගන්නා බව ඔහු කීවේය. සිරිපාල ඇය සමඟ සිටි හෙයින් ඔහුට එය පහසුවෙන් කළ නොහැකි විය.
සිරිපාලට ආරි නමින් මිතුරෙක් විය. දිනක් ඔහුත් සිරිපාලත් අනුරාධපුර දුම්රිය ස්ථානය දෙසට ගමන් කරමින් සිටියහ. රේල් ගේට්ටුව අසල එක්තරා පුද්ගලයකු පච්ච කොටමින් සිටිනු දෙදෙනාට දැකගත හැකි විය.
ආරි පච්චකොටන්නා ලවා තම මුහුණ දෙපස කුරුල්ලන් දෙදෙනකු පච්ච කොටා ගත්තේය. එතැන් සිට ඔහු කුරැලු ආරි විය. සිරිපාලද තම ළය මත පච්චයක් කොටා ගත්තේය. එය “මරුවා සමඟ වාසේ” යන්නයි.. ඔහුට “මරු සිරා” යන අන්වර්ථ නාමය එක් වූයේ එම වැකිය නිසාය.
පියදාස නමැති පුද්ගලයෙක් සාලියපුර කුඩා සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන ගියේය. එහි ඔහු හොර මත්පැන් ජාවාරමද කරගෙන ගියේය. දිනක් ඔහු තම කසිප්පු බුලියක් සොරකම් කළ බවට චෝදනා කොට තවත් පිරිසක් සමඟ පැමිණ සිරිපාලට පහර දෙන්නට විය. එහිදී සිරිපාල ඔහුට වෙඩි තබා මරා දැමීය. ඒ මරුසිරාගේ පළමු ගොදුර විය.
සීමන් සිරිපාල මරාදැමීමට වෙල්ලියා නම් පුද්ගලයකුට රුපියල් පනහක කොන්ත්‍රත්තුවක් දුන්නේය. සීමන්ගෙන් නොමිලයේ කසිප්පු බිව්වද වෙල්ලියාට සිරිපාල කෙරෙහි ඇල්මක් තිබිණි. එහෙයින් සීමන් තමන්ට කොන්ත්‍රත්තුවක් දුන් බව ඔහු සිරිපාලට කීවේය. සීමන් රාත්‍රියට නිවෙසේ සිටින්නට බිය වූයේ ඔහුට සතුරන් රැසක් සිටි හෙයිනි. එහෙයින් ඔහු රාත්‍රිය ගත කළේ තම වත්තේ වූ විශාල ගසක තනා තිබූ පැලකය. සීමන් පැලට යෑමට නිවෙසින් පිටවන තෙක් බලා සිටි සිරිපාල ඔහුට වෙඩි තබා මරා දමා හලාවතට පැන ගියේය. එහෙත් ඔහුට වැඩි කලක් සැගවී සිටින්නට නොහැකි විය. ටික දිනකින්ම ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය. සිරිපාලට සිරගෙදර ජීවිතය ඉතා කටුක විය. ඔහු සිරගෙදරින් පලා ගියේය.
තෙප්පංකුලම වනාන්තරයේ සැඟවී සිටි සිරිපාලට බත්මුල් බැඳගෙන දිනපතා සැතපුම් 5ක් පමණ දුරක් කැලයේ ඇවිද යන්නට රන්මැණිකාට සිදුවූවාය. කිසිවකු දුන් ඔත්තුවකින් සිරිපාල යළි අත්අඩංගුවට පත් විය. ඔහු තම මිතුරු ලයනල් සමඟ අනුරාධපුරයේ සිට කොළඹ යන්නට ගිය විටෙක පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබිණි.
සිරිපාල තුන්වරක් සිරගෙදරින් පලා ගියේය. අවසන් වරට පැන ගියේ සිරකරුවන් 37 දෙනකු සමඟ බන්ධනාගාර වෑන් රථයකිනි. ඒ වන විට රන්මැණිකාට ඔහුට දාව දියණියක සිටියාය. බන්ධනාගාරයෙන් පලා ගිය සිරිපාල දියණිය බලන්නට නිවෙසට ආවේය. මහත් ස්නේහයකින් බිළිඳිය වඩාගත් ඔහු ඇය ළයට තුරුලු කරගෙන බොහෝ වේලා ඇඬුවේය.
“දුවට නමක් දැම්මද?” ඔහු රන්මැණිකාගෙන් ඇසූ විට, “තාම නැහැ මහත්තයාම කියන්න නමක්” ඇය කීවාය. එහෙනං මැණිකෙ මාව මතක් වෙන්නත් එක්ක සිරානි කියලා දාන්න ඔහු ඇයට කීවේය.
(මේ වන විට සිරානි අගනුවරට ආසන්න ප්‍රදේශයක ජීවත් වන්නීය. තම පියා පිළිබඳ කිසිවක් ප්‍රකාශ කරන්නට තමා අකමැති යැයිද තමා පිළිබඳ කිසිවකුට නොකියන ලෙසටද ඇය රන්මැණිකාට කියා තිබුණාය. ඇය තමා බලන්නට නොපැමිණෙන බවද රන්මැණිකා මා සමඟ කීවාය.)
මහත් වේදනාවෙන් නිවෙසින් නික්ම ගිය සිරිපාල අනුරාධපුර නගරයට ජලය සපයන ජල ටැංකිය මතට නැංගේය. එයට පිට දී වාඩි වූ ඔහු තම පපුවට වෙඩිතබා ගත්තේය. එහෙත් ඔහු මිය ගියේ නැත. සුවය ලැබීමෙන් පසු යළි බන්ධනාගාරයට යන්නට ඔහුට සිදුවිය. අනුරාධපුර, යාපනය, වැලිකඩ සහ බෝගම්බර යන බන්ධනාගාරයන්හි රඳවා සිටි සිරිපාල එල්ලා මරා දැමුණේ බෝගම්බර සිරගෙදරදීය.
“1975 මාර්තු 1දා මට බන්ධනාගාරයෙන් ලිපියක් ලැබුණා. ඒකෙ තිබුණේ අප්‍රේල් 5දා සිරිපාල එල්ලා මරනවා කියලා. මට සලාකෙට ලැබුණු සීනි රාත්තල් දෙක විකුණලා රුපියල් 20ක් හොයාගෙන මම බෝගම්බර හිරගෙදරට ගියා. දෙවැනිදා ඉඳන් හතර වැනිදා වෙනකං මම හිරගෙදර ගේට්ටුව ගාව තමයි හිටියේ. දවසට දෙපාර ගාණෙ මං එයාව බලන්න ගියා. එයා හැමතිස්සෙම මගේ හිත හැදුවා. අප්‍රේල් 4 වැනිද තමයි මං එයාව අන්තිම සැරේට දැක්කේ. මට එයාගේ මිනියවත් දකින්න ලැබුණෙ නැහැ. බන්ධනාගාරෙන් කිව්වා කැමති නං මිනිය ගමට ගෙනියන්න පුළුවන් කියලා. නිදාගන්න පැදුරක් කොට්ටයක්වත් නොතිබ්බ මං කොහොමද මිනිය ගේන්නේ. මහත්තයෝ?” යි එදා ඇය මගෙන් ඇසූ හැටි මතකයට නැඟේ.
සිරිපාලගේ මරණින් පසු රන්මැණිකාට අයත්ව තිබූ අක්කර එකහමාරක ඉඩම ද සීමන්ගේ පවුලේ සාමාජිකයෝ උදුරා ගත්හ. ඇයට කුඩා දරුවන් සමඟ දිවි ගෙවන්නට සිදු වූයේ ගසක් යටය. පසුව කුඩා නිවෙසක් අටවාගත්තාය.
ඇය සමග කතාකොට පිටත්ව එන්නට එළියට බැසස් මට ඇගේ නිවෙස මිදුලේ
විශාල ගණදෙවි රුවක් දිටිමි..එයට මල්මාලාවක් පළඳවා තිබූ අතර ඒ අසල පොල් ගෙඩියක් හා අඩක් දැවුණු කපුරු පෙත්තක් විය. දිනපතා පුල්ලෙයාර් දෙවියන්ගේ රුව අබියස පූජා පවත්වා ඇය දෙවියන්ගෙන් යැද්දේ සැනසීමකි. එහෙත් මුඵ ජීවිත කාලය පුරාවටම ඇගේ දෙනෙතින් ගලා ගිය කඳුළු පුල්ලෙයාර් දෙවියන්ට පෙනුණේ නැත. සීමන්ද, පියදාසද, සිරිපාල මෙන්ම රන්මැණිකාද අද මළවුන් අතරය. ජීවිත කාලය පුරා කඳුළ පමණක් උරුම කරගත් මේ ගැහැනිය 2020 අගෝස්තු 4දා සාලියපුර පොදු සුසාන භූමියේදී එම කටුක දිවියට සමු දුන්නාය.
අමරනාත් ජයතිලක “සිරිපාල හා රන්මැණිකා” නමිනුත්, ටයිටස් තොටවත්ත “මරුවා සමඟ වාසේ” නමිනුත් චිත්‍රපට දෙකක් නිර්මාණ කරන ලද්දේ සිරිපාලගේ හා ඇයගේ ඛේදවාචකය ඇසුරිනි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා මහතාගේ මුහුණු පොත් සටහන් වලින් උපුටා ගැනිනි.
සියළු හිමිකම් මුල් හිමිකරු සතුය.
https://www.facebook.com/priyanjan.suresh.2025


