
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලන්ඩනයේ සංචාරයක් කර රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාලව තවත් සැකකරුවන් සිටී නම් ඔවුන් ඊළඟ නඩු දිනයේදී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය (29) වැනිදා නියෝග කළා.
ඒ, මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය පසුගිය (29)වැනිදා යළිත් අධිකරණය හමුවේ කැඳවුණු අවස්ථාවේදීයි.
ඉකුත් දිනයේ මෙම නඩුවට අදාලව අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද? ,ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.
හිටපු ජනාධිපතිවරයාට ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තා ගාස්තුවකින් තොරව පැමිණිලි පාර්ශවයට ලබා දීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
හිටපු ජනාධිපතිවරයාට එංගලන්ත රාජ්‍යයෙන් නිල සංචාරයක් රාජ්‍යතාන්ත්‍රික අංශ මත දැනුම්දී ලබා දුන්නා ද පිළිබඳව විමර්ශනය කර මීළඟ නඩු දිනයේදි අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
තවද මෙම සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස නම් කිරීමට අපේක්ෂා කරන සියලු සැකකරුවන් පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා එහීදි නියෝග කළා.
සිද්ධියට අදාළව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූවා.
සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගිවීමට ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් සිදු කළ බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව සැකකාර හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණයට දැන්වුවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා –
” ස්වාමීනි, මෙම සැකකරු 2025 අගෝස්තු මස 22 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2023 වර්ෂයේ ජනාධිපතිවරයා වශයෙන් සිටින සමයේ එංගලන්තයේ සංචාරයක් සඳහා සහභාගී වෙමින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මස 26 වැනි දා ඇප මත මුදාහැර තිබෙනවා. ස්වාමීනී සැකකරුවන්ගේ ස්ථාවරය වූයේ නිල සංචාරයේ කියුබාවට සහ ඇමරිකාවට එන අතරතුරදී ලන්ඩන් නුවර විශ්ව විද්‍යාලයක පැවැති උත්සවයකට සහභාගි වී තිබෙනවා”
” සිද්ධිය සම්බන්ධයෙන් එවකට ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරියගෙන් ප්‍රකාශ ගන්න තිබෙනවා. ඇය දැනට වාසය කරන්නේ එංගලන්තයේ. මේ සිද්ධියට අදාළව එන්.එල්.එල් හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු ලබාගන්න බලාපොරොත්තු වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුවෙනවා. මිලියන 16කට අධික මුදලක් තමයි වංචා කරලා තියෙන්නේ. දින දෙකකට මෙතරම් මුදලක් අවභාවිතා කර තිබෙනවා.”
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, සැකකාර රනිල් වික්‍රමසිංහ පුද්ගලික 2023 වසරේ සැප්තැම්බැර් 22 සහ 23 රජයේ අරමුදල් ලක්ෂ 166ක් භාවිත කරමින් පුද්ගලික සංචාරයක් ගොස් ඇති බවයි.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් –
” ස්වාමීනි පෙර නඩු දිනය ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තා පැමිණිලි පාර්ශ්වයට ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් මේ වෙනකම් එම වෛද්‍ය වාර්තා අපට ලැබුණේ නැහැ. මෙම නඩු කටයුත්ත හාස්‍යයට ලක් නොකළ යුතුයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු රෝහලට ගොස් පරීක්ෂා කරන්න කියලා අපි ඉල්ලීමක් කළා. සැකකරු රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් ලේඛනයක් විතරයි, අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. රෝහලට ඇතුළත් කළේ කවද්ද?, පිටව ගියේ කවද්ද යන්න දින සඳහන් කර නැහැ. අපි අධිකරණයෙන් ඉල්ලුවා මෙම සැකකරු දැඩි සත්කාරයේ සිටින විට පරීක්ෂා කරන්න යන්න කියලා. සැකකරුගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු දැක්වූවා. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයට ඇතුළත් කර හෘද වස්තුවේ පටක මියයාමක් ගැන විවෘත අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. එම ලේඛනය ඉදිරිපත් කළේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී. විජේසිංහ නමැති අයෙක්. දියවැඩියාව, හිසරදය ආදී රෝගී තත්වයන් තිබෙන බවට විශේෂඥ වෛද්‍යවරු හය දෙනෙක් යටතේ අධිකරණයට වාර්තා කර තිබෙනවා. මෙම වෛද්‍ය වාර්තාව පැමිණිලිකාර පාර්ශ්වයට ලබා දුන්නේ නැහැ. ස්වාමීනි අධිකරණ ක්‍රියාවලිය අවභාවිතා කරලා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විශේෂඥ වෛද්‍යවරු හයදෙනෙකු සමඟ මෙලෙස අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව. සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරුන් යටතේ මෙම වෛද්‍ය පරීක්‍ෂණ සිදුකර තිබෙනවා. කොහොමද ස්වාමීනි අධිකරණ නියෝගයක් නැතුව එලෙස කටයුතු කරන්නේ?.
මෙම සිද්ධියට අදාළව ලද පැමිණිල්ලෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජුනි මස 24 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙන්නේ, පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කළ බවත් සැකකාර හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමන් ඒකනායක හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා යන අයගෙන්ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාගෙන් ලබාගෙන තිබෙන ප්‍රකාශ අනුව සිදුකළ විමර්ශනවලදී වික්‍රමසිංහ මහතා කියුබාවේ හා ඇමරිකාවේ සංචාරය සඳහා ගොස් එන අතරතුරදී සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රීී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් ලන්ඩනය වෙත ගොස් රජයේ මුදල් අවභාවිත කර තිබෙනවා.”
අධිකරණය – ” පූර්වගාමී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබෙනවා. වෛද්‍ය වාර්තාවේ නිරවද්‍යතාවය පෙන්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බව” . ඔබ සැකකරුගේ ඇප අවලංගු කිරීමක් සම්බන්ධයෙන් අපේක්‍ෂා කරනවා ද?.
නියෝජ්‍ය සොලිසිටර් ජනරල් දිලීප පීරිස්-
“ඔව් ස්වාමීනී, කොළඹ අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවක් සිද්ධිය සම්බන්ධයෙන් කැඳවිය යුතුයි. සැකකරු දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබීම සම්බන්ධයෙන්. ස්වාමීනි දැඩිසත්කාරයට දවසකින් ඇවිත් එක දවසක් ප්‍රතිකාර ලබා යන්නේ කොහොමද? ” ලිහා දැමීම ” පොත සැකකරු දැඩි සත්කාරයේ ඉද්දි කියවලා. දැඩි සත්කාරයේ ඉන්න රෝගියෙක් පොතක් කියවන්නේ කොහොමද?. ඒ විතරක් නෙවෙයි දැඩි සත්කාරයේ ඉන්න රෝගියෙකුට වෛද්‍යවරුන් සමඟ එක්වී සෙල්ෆි ගන්න පුළුවන්ද?.ස්වාමීනි මෙම සැකකරු හිටගෙන තමයි හිනා වෙවි සෙල්ෆි අරන් තියෙන්නේ. “
අධිකරණය – කොහොමද දන්නේ සෙල්ෆි ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්?
නියෝජ්‍ය සොලිසිටර් ජනරල් දිලීප පීරිස් –
” ස්වාමීනි සමාජ මාධ්‍ය හරහා මාධ්‍ය හරහා ඒ සම්බන්ධයෙන් පුවත් පළ වී තිබුණා. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න කෙනෙක් යන්නේ රෝද පුටුවලින්. රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයන් විසින් ආධාර ඇතුව. ස්වාමීනි මෙම සිද්ධිය අධිකරණය මුලා කරමින් කරන ලද සිද්ධියක්.”
” කොළඹ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. පැමිණිල්ලට වෛද්‍ය වාර්තා නොදී සමාජගත කරනවා සැකකරු මරණාසන්න බව.මෙම සිද්ධිය සම්බන්ධයෙන් එළියේ ව්‍යාජ තොරතුරු ප්‍රකාශ මුදාහැර මහජන කළඹීමක් ඇති කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කළ යුතු බවට අධිකරණය මගින් නියෝග කර තිබුණා. ස්වාමීනි මෙලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ විජේසිංහ වාර්තාවක් ලබාදෙමින් කර තිබෙන්නේ මෙම ක්‍රියාවලිය අධිකරණයට අපහාස කිරීමක්. පැය 36 කට තමයි ලක්ෂ එකසිය හැට හයක මුදලක් අවභාවිතා කර තිබෙන්නේ”
” හිටපු මෙම ජනාධිපතිවරයා ජනාධිපති වී සිටින කාලය තුළ ලක්ෂ විසි පහක මුදලක් තමයි වැටුප වශයෙන් ලැබිලා තිබෙන්නේ. නමුත් පැය 36 ක කාලයක් තුළ ට්‍රිප් එකක් ගිහින් ලක්ෂ 166ක රජයේ මුදල් අව භාවිතා කරලා.”
” ස්වාමීනි, මෙම සැකකරුගේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විධිමත් අධිකරණ වෛද්‍ය වාර්තාවක් එදා සිට අද දක්වා අධිකරණයට පෙන්වලා නැහැ. අද වෙනකම්වත් කරලා තියෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය දැනුවත් කරලා නැහැ. අධිකරණය මංමුලා කරලා ඇප ලබාගෙන තිබෙනවා.”
සැකකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, තිලක් මාරපන ඇතුළු නීතිඥ මඩුල්ල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූවා.
ජනාධිපති නීතීඥ තිලක් මාරපන –
” ස්වාමීනි චූදිතයා එදා එංගලන්තයට ගියේ රාජකාරී මට්ටමේ කටයුත්තකට ඉදිරිපත් කළ ආරාධනාවකට අදාළ උත්සවයක් සඳහා එහිදී අප රටට හිතෛෂී ස්වාමිවරයාගේ 25 වන සංවත්සරය තිබුණා.”
මහේස්ත්‍රාත්වරයා – සැකකරුට එංගලන්ත රාජ්‍යයේ නිල ආරාධනයක් කර තියෙනවාද?
ජනාධිපති නීතීඥ තිලක් මාරපන – ” ඔව් ස්වාමීනී, ඒ සම්බන්ධයෙන් ලේඛන ඉදිරිපත් කර තිබෙනවා. ඒ ලේඛන ව්‍යාජ ලේඛන කියලයි පැමිණිලි පාර්ශවය සඳහන් කරන්නේ. මගේ සේවාදායකයා අවුරුදු පනහක නීතීඥ වෘත්තියේ යෙදුණු කෙනෙක්. අවුරුදු හයක් අගමැති වෙලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා. මිලියන 16ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා ද සත්‍යභාවය සම්බන්ධයෙන් සලකා බලන්න. ස්වාමීනි වෛද්‍ය කරුණු සම්බන්ධයෙන් ලොකු කතන්දරයක් තියෙනවා. සිද්ධියට අදාළ දිනයේ මුළු දවසම මෙම උසාවියේ පැය දහයකට අධික කාලයක් සැකකරු සිටියා. අධිකරණය තුළ ලයිට් පවා ගියා. වතුරත් නැහැ. කන්නත් නැහැ. නඩුව ඉවර වෙනකොට රාත්‍රියේ දහය විතර වුණා. ඉතින් ස්වාමීනි හෘද වස්තුවේ බ්ලොක් එකක් තියෙන කෙනෙකුට ඒ වගේ තත්ත්වයක් දරාගන්න අමාරුයි. ඒකයි දැඩිසත්කාර ඒකකයට දැම්මේ”
මහේස්ත්‍රාත්වරයා –
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැවති රෝග සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවාද? ඒ සඳහා ලබාගන්නා ලද ප්‍රතිකාර සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවාද?
ජනාධිපති නීතීඥ තිලක් මාරපන –
“ඔව් ස්වාමීනි. සිංගප්පූරුවේ රෝහලක සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. හෘද වස්තුව හරහා ලේ පිට යන බවයි දක්වා තිබෙන්නේ.
මහේස්ත්‍රාත්වරයා – “මෙම පරීක්‍ෂණ කවද්ද කළේ? ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කර තිබෙනවාද?”
ජනාධිපති නීතිඥවරයා – ‘පොලිසියේ නිලධාරීන් සමග එංගලන්තයට ගිහින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා අධිකරණයට දැන්වුවා.”
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – ” ඔව් අපි යන්නේ, අපේ සල්ලිවලින්” මෙම සිද්ධියට සම්බන්ධ සංචාරයේ 2023/9/23 සිට 27 දක්වා සිදුවුණ විදේශ සංචාරයට අදාළ වීඩියෝ දර්ශන ජනමාධ්‍ය ඒකකයේ තිබෙනවා. විශ්ව විද්‍යාලයට යෑම සම්බන්ධයෙන් අදාළ වීඩියෝ දර්ශන නෑ. එම සම්බන්ධයෙන් වෙබ් සයිට් එකේ ඡායාරූපයක් පමණක් පළ කර තිබෙනවා. සැකකාර ජනාධිපතිවරයා එයාගේ ඊමේල් පද්ධතියේ පෞද්ගලික සංචාරය, රාජ්‍ය සංචාරයක් බවට පත්කරලා.
මහේස්ත්‍රාත්වරයා – සැකකරුගේ ඇප නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිශෝධන අයදුම්පතක් යොමු කර තිබෙනවාද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා – එහෙම ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ.
මහේස්ත්‍රාත්වරයා – පූර්වගාමී මහේස්ත්‍රාත්වරිය ලබා දී තිබෙන නියෝගය සම්බන්ධයෙන් සලකා බලන්න. එම අධිකරණ නියෝගය අභිබවා කරුණු දැක්වීමක් කරනවා නම් ප්‍රතිශෝධන අයදුම්පතක් යොමු කරන්න.
දෙපාර්ශ්වයේම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පහත පරිදි අධිකරණයට කරුණු ප්‍රකාශ කළා.
මහේස්ත්‍රාත්වරයා –
” පූර්වගාමී මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාල කරුණු සලකා බලා ඇප ලබා දී තිබෙනවා. එම මහේස්ත්‍රාත්වරිය ඇප දීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බැවිනුයි එසේ ඇප නියම කර තිබෙන්නේ. නමුත් පැමිණිල්ල ඉදිරිපත් කරන ලද කරුණු ද සලකා බලන්න අවශ්‍යව තිබෙනවා. එම නිසා නිවැරදි පරීක්ෂා කර බලන්න වෛද්‍යවරුන්ගේ පැහැදිලි කිරීම් අවශ්‍ය වෙනවා. එම පැහැදිලි කිරීම්වලින් නිවැරදි නම් ඇප නියෝගය එලෙසම තබනවා. නැතිනම් අපරාධ නියෝගය සම්බන්ධයෙන් සලකා බලනවා.”
” සිද්ධියට අදාළව එවකට ජනාධිපති ලේකම් සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා එලෙසම මෙම සිද්ධියට අදාළව සැකකරුවන් කිරීමට බලාපොරොත්තු වන සැකකරුවන් මීළඟ නඩු දිනයේදී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.”
” අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පූර්වගාමී මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙන පරිදි විමර්ශන කටයුතු කර සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. යුක්තිය ඉටුකිරීමේ ආයතනයක් ලෙසයි අධිකරණය ක්‍රියා කරන්නේ. එම නිසා අධිකරණය පිටත පවා අධිකරණ බලයට අවනත විය යුතුයි. සිද්ධියට අදාළ දින අධිකරණ බලය අනිසි ලෙස භාවිතා කරන ලද එම පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනවා.”
ඒ අනුව මෙම සිද්ධියට අදාළ ජාත්‍යන්තර නිල සංචාරය සම්බන්ධයෙන් එම ජාත්‍යන්තර ආයතන හරහා විමර්ශනය කර ඉදිරි දින නඩු වාරයේදී අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා නඩුව ජනවාරි 28 පස්වරු 2.00 යළි කැඳවීමට නියෝග කළා.
මෙම සිද්ධියට අදාලව ඇප මත සිටි හිටපු ජනාධිපතිවරයා අධිකරණය වෙත එන අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ජි.එල්.පිරිස් ඇතුළු හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වික්‍රමසිංහගේ ආධාරකරුවන් විශාල පිරිසක්ද අධිකරණය වෙත පැමිණ සිටි අතර අධිකරණයේ ආරක්‍ෂාවද දැඩි කර තිබුණා.


