
ඉරාන දේශපාලන සහ යුද පිටියේ දැවැන්ත පෙරළියක් ඇති කරමින්, එරට විප්ලවීය හමුදාවේ ‘බසීජ්’ බළඇණියේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලාම් රේසා සුලෙයිමානි ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් වී ඇතැයි පැවැසෙයි.
62 හැවිරිදි රේසා සුලෙයිමානි, පසුගිය වසර හය පුරා ඉරානයේ අභ්‍යන්තර ආරක්ෂාව මෙහෙයවූ ප්‍රධානතම පුරුකක් ලෙස සැලකෙයි. බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලාම් රේසා සුලෙයිමානි ඝාතනය කිරීමට සමත් වූයේ තම මිසයිල ප්‍රහාරයක් බව ඊශ්‍රායලය පවසා ඇත.
එම ප්‍රහාරයෙන් ඉරාන උපායමාර්ගික කවුන්සිලයේ ලේකම් අලි ලාරිජානි ද මියගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායෙල් කැට්ස් තහවුරු කළේය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පසුගිය 28 වැනිදා ඉරානයට පහර දුන්නේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ අයතුල්ලා අලි කමේනී ඝාතනය කරමිනි.
එම ඝාතනයෙන් පසු, ඉරානයට දරුණුතම ප්‍රහාරය ලෙස ඊශ්‍රායලය රේසා සුලෙයිමානි සහ ඉරාන උපායමාර්ගික කවුන්සිලයේ ලේකම් අලි ලාරිජානි ඝාතනයට එල්ල කළ මිසයිල ප්‍රහාරය සැලකිය හැකිය. මෙය ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ලැබූ තවත් විශාල ජයග්‍රහණයකි.
මේ අතර ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කර තිබේ.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය පසුගිය (18) නිවේදනයක් නිකුත් කරමින් ලරිජානිගේ මරණය තහවුරු කර ඇති අතර, ඔහු විසින් ඉරානය වෙනුවෙන් කළ සේවයෙන් ඇගයිමකට ලක් කර ඇත.
ගොලාම් රේසා සුලෙයිමානි 1964 වසරේ දී ඉරානයේ ෆර්සාන් නගරයේ උපත ලැබීය. ඔහු හුදෙක් කාර්යාලයක සිට නියෝග දුන් නිලධාරියකු නොවූ අතර, ඔහුගේ යුද අත්දැකීම් ආරම්භ වූයේ 1980 වසරේ පැවති ඉරාන-ඉරාක යුද්ධයෙනි. 1981 වසන්ත සමයේදී, යන්තම් නව යොවුන් වියේ පසුවූ ස්වේච්ඡා සෙබළෙකු ලෙස ඉරාක දේශසීමාවේ සටන් බිමට පිවිසි ඔහු, පසුකාලීනව ඉරාන විප්ලවීය හමුදාවට එක් විය. බොහෝ දෙනා වරදවා වටහා ගත්ත ද, මොහු 2020 දී ඇමෙරිකානු ප්‍රහාරයකින් මියගිය සුප්‍රකට කසීම් සුලෙයිමානිගේ ඥාතියකු නොවන බව ද කිව යුතුය. පශ්චාත් යුද සමයේදී ඉසෆාන් පළාතේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ගොලාම් රේසා සුලෙයිමානි 2017 දී බ්‍රිගේඩියර් ජෙනරාල් තනතුර දක්වා උසස්වීම් ලැබීය.
යුද භූමියේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ඔහු කැපී පෙනුණි. ඉසෆාන් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබා සිටි ගොලාම් රේසා සුලෙයිමානි, ඉරානයේ ඉස්ලාමීය ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධියක් සඳහා තම නිබන්ධනය සකසමින් සිටි විද්වතෙකි. ඉතිහාසය හැදෑරූ ඔහු, ඉරානයේ නූතන ඉතිහාසය වෙනස් කළ තීරණාත්මක චරිතයක් බවට පත් විය.
2019 දී උත්තරීතර නායක අලි කමේනි විසින් ඔහුව ‘බසීජ්’ බලකායේ නායකයා ලෙස පත් කරන ලදී. ලක්ෂ හතරහමාරකට අධික පිරිසකගෙන් සැදුම්ලත් මෙම බලකාය ඉරාන රජයේ ප්‍රබලතම පලිහ ලෙස ක්‍රියා කළේය. විශේෂයෙන්ම රජයට එරෙහිව පැන නැගුණු විරෝධතා මැඩපැවැත්වීමේදී සුලෙයිමානිගේ නායකත්වය යටතේ බසීජ් බලකාය දැඩි පියවර ගත්තේය. 2019 විරෝධතා, 2022 වසරේ මහ්සා අමිනීගේ මරණයෙන් පසු ඇති වූ කැරලි සහ මෙම 2026 වසරේ ජනවාරියේ ඉරාන ඉස්ලාමීය රජයට එරෙහිව බටහිර උසි ගැන්වීමෙන් හටගත් ජනතා විරෝධතා මර්දනය කිරීමේදී ඔහුගේ මැදිහත්වීම ලෝක අවධානයට ලක් විය. මේ හේතුව නිසාම ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් රැසක් ඔහුට එරෙහිව සම්බාධක පනවා තිබුණි. සුලෙයිමානිගේ නික්මයෑම ඉරානයේ අනාගත ආරක්ෂක පවුරට කෙබඳු බලපෑමක් එල්ල කරනු ඇත්දැයි ලෝකයම විමසිල්ලෙන් පසුවන බව අමුතුවෙන් කිව යුතු නැත.
අලි ලාරිජානි, ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු කථානායකවරයාය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ අලි ලාරිජානි ඝාතනය කිරීමට තම හමුදා සමත් වීම, ඉරාන පාලන තන්ත්‍රය පෙරළා දැමීම සඳහා එල්ල කළ තීරණාත්මක ප්‍රහාරයක් බවය.
බටහිර රටවල් සමඟ න්‍යෂ්ටික සාකච්ඡා මෙහෙයවූ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ලාරිජානි, අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඉකුත් සිකුරාදා (13) පැවති අල්-කුඩ්ස් දින රැලියේදීය. ඉරානයට එරෙහිව එල්ල වන ඇමෙරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමණ හමුවේ අසල්වැසි ගල්ෆ් කලාපීය ඉස්ලාමීය රටවල් නිහඬව සිටින්නේ ඇයිදැයි පසුගිය දින කීපයේ එම රටවලට දොස් නැගුවේ ද ලාරිජානිය.
හෘද සාක්ෂිය අනුව යුද්ධයට සහය දිය නොහැකි බව පවසමින් අමෙරිකා ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෝ කෙන්ට් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය X සටහනක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ජෝ කෙන්ට් එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත්තේ, ඉරානය එක්සත් ජනපදයට තර්ජනයක් නොවුණ බව ත් ට්‍රම්ප් පරිපාලනය මෙම යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලය සහ එහි ආධාරකරුවන්ගේ පීඩනය නිසා බව ත් ය.ඔහු තවදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත්තේ, තමන් මීට පෙර ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිවලට සහාය දුන් බව ත් පසුගිය වසර වන තෙක් මැද පෙරදිග යුද්ධ මගින් ඇමරිකානුවන්ගේ වටිනා ජීවිත අහිමි වීම සහ අපගේ ජාතියේ ධනය හා සමෘද්ධිය ක්ෂය වීම පිළිබඳව ට්‍රම්ප් තේරුම් ගනීවි යැයි තමා විශ්වාස කළ බව ත් ය.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේදී ම ඊශ්‍රායලයේ උසස් නිලධාරීන් සහ අමෙරිකානු මාධ්‍යවේදීන් එක්ව ඉරානය අමෙරිකාවට ක්ෂණික අනතුරක් යැයි ඉතා සූක්ෂ්ම ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව ඔහු එම ලිපියේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එමගින් ට්‍රම්ප්ගේ පළමුව අමෙරිකාව (America First) ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ම යටපත් කර ඉරානය සමග යුද්ධයකට අවශ්‍ය වටපිටාව සකස් කළ බව කෙන්ට් එම ලිපියේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කරයි.
මේ අතර යුද්ධයේ අවසන් අරමුණ එය ආරම්භ කළ අය විසින් පැහැදිලි කර කිව යුතුව බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානි කාජා කලාස් පවසයි.මෙම යුද්ධයේ දේශපාලනික අරමුණ අපැහැදිලි බව ත් එනමුත් දහස් ගණනින් අහිංසක ජනතාව ඝාතනය කිරීම සුවිශාල ගැටලුවක් වී තිබෙන බව ත් ඇය කීවාය.ඒ අනුව, ඇය අවධාරණය කළේ, යුරෝපය මෙම යුද්ධය ආරම්භ නොකළ බව ත් එහි කොටස්කරවෙකු නොවන බව ත් ය.ඉරානය විසින් යුද්දයේ බර ලෝක ආර්ථිකය දෙසට යොමුකර බර තබා ඇති බව යුරෝපා සංගම් නියෝජිතවරිය කීවාය.එහෙත් හෝමුස් සමුද්‍ර සන්දිය වසා තිබෙන පසුබිමක වුව එම ගැටලුව යුද්දයක් සිදුකර අවසන් කිරීමට යුරෝපය බලාපොරොත්තු නොවන බව ඇය ප්‍රකාශ කළා ය.
මේ අතර ලතින් ඇමෙරිකා කලාපයට අයත් කියුබාව සමග දශක ගණනක් තිස්සේ පවතින අර්බුදය අවසන් කරමින්, කියුබාව යටත් කරගෙන කියුබා වැසියන් මර්දනකාරී පාලනයෙන් නිදහස් කර ගැනීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
‘කියුබාව සහ ඇමෙරිකාව අතරේ අර්බුදය මට මගේ ජීවිත කාලය පුරාවට අසන්න ලැබුණා. හුඟ දෙනෙක් මගෙන් අහන්නේ කියුබාව සමග අර්බුදය අවසන් කරන්නේ කවද්ද කියලයි. මා හිතන්නේ මම ඒ අර්බුදය අවසන් කරනවා. කියුබාව යටත් කර ගැනීම මට ලොකු ගෞරවයක් වේවි’ යැයි ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් පෙන්වා දුන්නේය.
‘කියුබාව දැන් දුර්වලයි. මා කැමතියි කියුබාවේ පීඩිත පාලනය අවසන් කරලා දාන්න. කියුබානු වැසියන්ට හැකිවේවි ඔවුන්ගේ නිදහස සොයා ගන්න. ජනතා හිතවාදී පාලනයක් ස්ථාපිත කරගන්න.’ යැයි ට්‍රම්ප් වැඩි දුරටත් පැවැසීය.
කෙසේ නමුත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කියුබාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.
ඇමෙරිකා-කියුබා අර්බුදය දශක හයක් තස්සේ ඔඩුදුවන ලද්දකි. 1959 වසරේ සිදුවූ කියුබා විප්ලවයෙන් පසු ෆිදෙල් කැස්ත්‍රෝ බලයට පත්වීම මෙම අර්බුදයේ ආරම්භයයි. එතෙක් කියුබාවේ පැවති ඇමෙරිකානු හිතවාදී බැටිස්ටා පාලනය පෙරළා දමා, කැස්ත්‍රෝ විසින් කියුබාව තුළ කොමියුනිස්ට් පාලනයක් ස්ථාපිත කරනු ලැබීය. මෙහිදී කියුබාවේ තිබූ ඇමෙරිකානු සමාගම් සතු දේපළ රජයට පවරා ගැනීම සහ ඇමරිකාවේ ප්‍රධාන සතුරා වූ සෝවියට් දේශය සමඟ කියුබාව සමීප වීම නිසා දෙරට අතර සබඳතා බිඳ වැටුණි.
නිරවි යුද්ධය පැවති සමයේදී ඇමරිකාවට ඉතා ආසන්නයේ පිහිටි කියුබාව සෝවියට් දේශයේ මිත්‍රයකු වීම ඇමරිකාවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය. මෙහි උච්චතම අවස්ථාව ලෙස 1962 වසරේ ‘කියුබානු මිසයිල අර්බුදය’ සැලකෙයි.සෝවියට් දේශය විසින් කියුබාවේ අටවන ලද න්‍යෂ්ටික මිසයිල පද්ධතියක් හේතුවෙන් ලෝකයම න්‍යෂ්ටික අවි යුද්ධයක් අද්දරට පැමිණි අතර, එය දෙරට අතර වෛරය තවදුරටත් වර්ධනය වීමට හේතු විය.
කියුබානු රජය දුර්වල කිරීමේ අරමුණින් ඇමෙරිකාව විසින් 1960 දශකයේ සිට කියුබාවට එරෙහිව දැඩි ආර්ථික සහ වෙළඳ සම්බාධක පනවා ඇත. මෙමගින් කියුබාවට ජාත්‍යන්තර වෙළඳාම සහ මූල්‍ය කටයුතු කරගෙන යාම අසීරු වී ඇති අතර, එය කියුබානු ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වීමට ප්‍රධාන හේතුවක් විය.
දශක හයකට වැඩි කාලයක් ගත වී ඇතත්, පාලන තන්ත්‍රයන් වෙනස් වුවද තවමත් මෙම සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු සම්පූර්ණයෙන් විසඳී නොමැත.


