සුදු නංගිගේ හිනාවයි අගේ

හෙන්දිරික්ක මල් පිපිච්ච , පාට වැටුණු තරු දිලිච්ච
සඳ රැස් පිරි ගුරු පාර දිගේ
ගවුම පුරා මල් හැලිච්ච , හිනා හඩින් මුව පිරිච්ච
සුදු නංගිගේ හිනාවයි අගේ
රෑ හීනෙන් මට පෙනිච්ච , මගෙම වගේ මට දැනිච්ච
විදුලි කොටන නෙත් යුවල ඇගේ
ඇබුල බෙදනකොට පෙනිච්ච , රන් තැබිලිය සේ පිරිච්ච
හංස යුවල හරි දඟයි වගේ
තනි යහනේ දුක දැනිච්ච , සුසුම් හැගුම් ගුලි ගැහිච්ච
කාලය දැන් නිම වෙලා වගේ
අහස පුරා සද පිරිච්ච , පැතුම් පොකුරු මල් පිපිච්ච
ඔබෙන් බහක් ලැබෙයි නම් අගේ
රුවන් හරිස්චන්ද්‍ර
Toronto – Canada
දෙදෙනම නිදි වරා ම රැය ගෙවාවි

පළමුව දුටු දිනේම දුරතියාම
හද තුළ බැඳි සෙනේට ඉඟි කලාම
මගෙ සිත දිව ගියේම ඔබ සොයාම
නැත අහවර උනේම නෙතු කෙවීම
ගෙන මගෙ හද කොහේට පියැඹුවේද
යලි නොම එයි කියාම ලතවුනේද
දිගු රැය සිත සිතාම එළිකලේද
පෙර දින පිදු සිනාව වියැකුනේද
නෙතු කොනකින් බලාල හිනැහුනාම
සිත සතුටින් තියේවි සැනසිලාම
නුබ තල වැහි වලාව විසිරුනාම
අපි ඉඟිලෙමු අපේම ලොවපුරාම
සඳ දිය උතුරලා ම හද පිරේවි
තරු කැට නෙතු අයා ම ළඟ හිදීවි
මද පවනද හොරෙන්ම ඉඟි කරාවි
දෙදෙනම නිදි වරා ම රැය ගෙවාවි
දර්ශනි රූපසිංහ
Hamilton – Canada
දළදා ඇතා ගැන

පය ඔසවා බිම නොතබා එළනා තුරු පාවඩා
හිස තබලා හිමි දළදා වඩිනා නුඹ පිං වඩා
මතු පතනා බුදු බවදෝ තිරිසන් භව බැමි කඩා
නුඹ යනෙනා මග කිසිදා නොම වේවා ගත විඩා
බුදු රජු සේම සොමි ගුණ වඩමින් සොඳුරූ
ඇත් රජු තාම ඉවසනවද දුක් රුදුරූ
වන මධු සෝම රසකර වැළදූ මහරූ
බුදුවරු ගාව නුඹ දණ නැමු සොමි අයුරූ
තැම්පත් වෙලා තනිමංසල වඩින ගමන්
තුම්පත් රෑන ගිලිහී නුඹගේ ලෝකෙන්
මනුසත් දෙරණ මිනිසුන් ඇත දහස් ගණන්
එනමුත් දන්ත දා වැඩියේ නුඹේ හිසින්
තබමින් පාද පොළොවේ පාවඩ ඇතිරූ
ඉක්මන් ගමන් නෑ නුඹ යයි සේ ළදරූ
සනසුන් බැලුම් නුඹ මාගේ වේය ගුරූ
එබැවින් සාදු හඬ අහුනාදෝ පැතිරූ
කුසල හාමුදුරුවෝ
Brampton – Canada
මිතුරුදමක ප්‍රේමය

ඒ වස්දඬු රාවය දිගේ
මතකවත පාරමින්
අතීතය වෙත
වලාකුළක්ව පාව ගියෙමි.
අඩසියවසකටත් ඈත
මා පෙළූ මා දැවූ
මා නිවී සැනසුණු
ඒ වසඟය
තවමත් සිනාසෙමින් තිබුණි.
චන්ද්‍රරත්න බණ්ඩාර
ටොරොන්ටො නගරය


