කැනේඩියානු දරුවන්ට ගණිතය උගන්වන අපේ ලාංකික ගුරැතුමා

 අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත් මෙහෙයක් කරන ගුරුවරයෙක් එක්ක . මේ අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු විශ්‍රාමික පාසැල් ගුරු චරිතය ඔහුයි. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත් මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.

සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් අරගල කල නොබෙල් ත්‍යාග ලාභී පකිස්ථාන ජාතික මලාලා යූසෆ්සායි ගේ “එක් ගුරුවරයෙකුට, එක් පොතකට, එක් පෑනකට ලෝකය වෙනස් කළ හැකිය” කියනා ප්‍රබලම සටන් පාඨයට අරුතක් දීමට උත්සාහ ගන්නා ගුරු උතුමෙක් තමයි අද අපගේ ”Srilancan” ඩිජිටල් පුවත්පතෙහි චරිතාපදානයට ප්‍රස්තුතය වන්නේ. ඔහු පිළිබඳව, දෙමව්පියන්ගේ සාම්ප්‍රදායික සිතුම් පැතුම් අහස උසට තිබුනත්, ඔහුත් අතරමඟදී, එම මඟ වෙනස් කිරීමට උත්සාහ ගත්තත්, තමාගේ ආත්මයේ රිද්මය ලියැවී  ඇත්තේ ගුරුකම බව ඔහු තේරුම් ගත්තේ අපොස සාමාන්‍ය පෙළ වැනි කුඩා අවදියේමයි.

අද විශ්‍රාමික සුවයෙන් පසුවන මෙම ගුරුතුමා, වසර  24 ක් තමාගේ මුළු කැනේඩියානු වෘත්තීය ජීවිතයම ගුරු වෘත්තියට කැපකර ඉන් දායාද කර ගත්තේ අසීමිත තෘප්තියක් වගේම සන්තුෂ්ඨියක්. සත්‍ය වශයෙන්ම, අප සැමට අතීතය ස්මරණය කිරීමට ඕනෑවටත් වඩා කාලයක් ශේෂවූ විශ්‍රාමික දිවියේ, අප දිවි සරිකල වෘත්තීය, හෘද සාක්ෂියට එකඟව දේව කාර්ය්‍යයක් ලෙස ඉෂ්ඨ කළායැයි, සොම්නසින් සහ ආදරණීය හැගීම්වලින් සිත පුරවා එම සැදෑ සමය ගෙවිය හැකිනම්, එය අප ලබනා විශාල භාග්‍යයක් නොවේද? ඒ ආකාරයෙන්, හෘද සාක්ෂියට එකඟව තම වෘත්තීය ඉෂ්ඨ කල ඇදුරුතුමෙක් සම්බන්ධවයි මා මේ පුර්විකාව සැපයුවේ.

තම පන්තිවල දරුවන් අතර ඉතා ජනප්‍රිය ගණිත ගුරුවරයෙක් වන ලලිත් සේනාරත්න නම්වූ එතුමා බිරිඳ සහ දරු දෙදෙනා සමඟ කැනඩාවේ, ඔන්ටේරියෝ ප්‍රාන්තයේ ටොරොන්ටෝ නගරයේ තමයි ජීවත් වෙන්නෙ. මේ තමයි, අප පුවත්පත ”Srilancan” පුර්ණ කාලීන ගුරුවරයකු පිළිබඳව සටහනක් තබනා ප්‍රථම අවස්ථාව. ගුරුවරයෙකුට සරිලන ප්‍රසන්න සහ සිනහවක් මිශ්‍ර ඉතා තැන්පත් කටහඬක් ඇති මේ ගුරුතුමා මගේ ආරාධනාවට මුලින් එතරම් කැමැත්තක් නොතිබුනත්, පසුව එයට එකඟවීම සම්බන්ධව අපගේ ”Srilancan”පුවත්පත වෙනුවෙන් ප්‍රණාමය පුද කල යුතුයි. 

දුරකථනයෙන් මා සමඟ සංවාදය ඇරඹු ලලිත් සේනාරත්න නම්වූ මෙම ගුරුවරයාට අප පුවත් පතේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඔහුගේ ජීවන ගමනේ ආරම්භක පසුබිම වූ උපන් ගම්මානයෙන්ම කතාව අරඹන ලෙසටයි මා ආරාධනා කලේ.                                                        “මම ඉපදුනේ මාතලේ නගරයෙන් සැතපුම් 14ක් පමණ දුරින් පිහිටි අකුරම්බඩ කියන ගමේ. අපේ ගම අසලින් යන ඔය වගේම ගමේ තියෙන ගල් කඩුල්ල කියන දිය ඇල්ලෙන් පෝෂණය වෙන වැවත් අපේ පුංචි ගමට ගෙනත් දුන්නෙ අසිරිමත් සිරියාවක්. ඊට අමතරව, කෙත්වතු, කුඹුරු වැනි සොබා සෞන්දර්යයෙන් පිරිපුන් අපේ ගම හරිම සුන්දරයි” ඔහුගේ නිජ භුමිය පිලිබඳව තිබු ප්‍රෞඩත්වය ඒ කටහඬේ ගැබ්ව තිබුනා. 

මම ඊළඟට විමසුවේ ඔහුගේ පවුලේ තොරතුරු.  

“මගේ අම්මා එම ප්‍රදේශයේ ප්‍රථම ඉංග්‍රීසි ගුරුවරිය වූ අතර, අප්පච්චි විශ්‍රාම යන අවධිය වන විට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරි ලෙසයි සේවය කලේ. දරුවො හත්දෙනෙකුගෙන් යුත් අපේ පවුලෙ මට බාල නංගිලා දෙන්නෙකුයි මල්ලිලා දෙන්නෙකුයි සිටියා”.

ඉන්පසුව, එතුමාගේ අධ්‍යාපන පසුබිම ගැනත් මා සමඟ තොරතුරු බෙදා හදා ගත්තා.    “මම තුනේ පන්තියට යනකල් ගියේ අකුරම්බඩ  ප්‍රාථමික විද්‍යාලයට. ඊට පස්සේ හතර වැනි ශ්‍රේණියේ ඉඳලා අටවැනි ශ්‍රේණිය දක්වා ගියේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට. ඒ නිසා ගමේ අසිරියත්, කලබලකාරී නගරයේ විවිධ සංස්කෘතීන් සහ ජීවන රටාවන් පිලිබඳ අවබෝධයකුත් කුඩා කාලයේ සිටම මට ලැබුනා. ඉන්පසුව මට 9 වැනි ශ්‍රේණිය සඳහා මාතලේ Science College එකට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුනා. විද්‍යා විෂයයන් පමණක් ඉගැන්වූ එම පාසලට ඉතා සීමිත ශිෂ්‍යයින් සංඛ්‍යාවක් බඳවා ගත්තේ දිවයින පුරාවටම ගැසට් කල තරඟකාරී විභාගයකින්. එහි ශිෂ්‍යයින් වැඩි හරියකටම විශ්ව විද්‍යාලවල ඉංජිනේරු, වෛද්‍ය සහ විද්‍යා පීඨවලට යාමට වරම් ලැබුවා. 9 වැනි ශ්‍රේණිය සිටම මගේ හොඳම යාලුවා ශාන්ත බන්ඩාර තමයි සෑම වාරයකම පන්තියේ පළමු වෙනියා, මම දෙවෙනියා. ඒත් එක්කම අප උසස් පෙළ ඇරඹීමත් සමගම 1971 අප්‍රේල් රටේ ඇතිවූ කලබලකාරී තත්වය, අපේ පාසැලද වෙලා ගත්තා. 1971 අප්‍රේල් අපි උසස් පෙළ ඇරඹීමත් සමගම රටේ ඇතිවූ කලබලකාරී තත්වය, අපේ පාසැලද වෙලා ගත්තා. මම ඊට පස්සේ සුළු කාලයක් මහනුවර කිංස්වුඩ් විදුහලට ගිහින් නැවතත් මාතලේ Science College එකට ආවා A/L විභාගය කරන්න. නමුත් මගේ යාළුවා ශාන්ත බණ්ඩාර එම කාලයෙන් පස්සේ කොළඹ ආනන්දයට ගියත් මම වගේ ආපසු Science College එකට ආවෙ නැහැ.  Science College එකේ A/L පන්තියෙ ඉන්දැද්දීම මම සාමාන්‍ය පෙළ ලමයින් 50ක් විතර හිටපු පුද්ගලික පන්තියක ගණන් සහ භෞතික විද්‍යාව ඉගැන්නුවා. ඒවා අද වගේ පහසුකම් තියෙන ශාලාවල් නෙවෙයි. ඉන්පසුව, Science College එකෙන් උසස් පෙළ සමත්ව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුලත්වීමේ හැකියාව මට උදා උනා. තවත් දෙයක් සඳහන් කල යුතුමයි, මම මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ඉඳලම පාසලේ ක්‍රීඩාවලටත් සෑහෙන්න සම්බන්ධ උනා. පාසලේ තිබු විවිධ වයස් කාණ්ඩවල Field Hockey කණ්ඩායම්වල ක්‍රීඩකයකු ලෙසත්, මා ගිය පාසැල්වල මළල ක්‍රීඩකයකු ලෙසත්  ක්‍රීඩා කරලා  තියෙනවා. මේ හේතුවෙන්, සෑම දිනකම පාහේ ගෙදර පැමිණියේ සවස 6.00 පහුවෙලා”.

ලලිත් සේනාරත්න මහතා පේරාදෙණිය විශ්ව තක්සලාවේ සුන්දර අත්දැකීම්ද මා සමඟ බෙදා ගැනීමට අමතක කලේ නැහැ.                                                                                                                                                              මමත්, මගේ පන්තියේ සහ අප පාසැලේ බොහොමයක් යාළුවන්ටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විවිධ පීඨයන්ට යාමට වරම් ලැබුනා. Science College එකෙන් කොළඹ ආනන්දයට ගිය මගේ යාළුවා ශාන්ත බණ්ඩාරත් පේරාදෙණියෙ විද්‍යා පීඨයේදී මගේ Batch එකටම එකතු උනා. ඇත්තටම විශ්ව විද්‍යාල ජීවිතය අලුත්ම අත්දැකීමක්. නවක වදය ඉතාමත් බරපතලවට තිබුණු කාලයක් ඒක. මම එය අනුමත නොකලත් එයට මුහුණ දුන්නා. මම විශ්ව විද්‍යාලයේදීත් ප්‍රබල දේශපාලන සහ ශිෂ්‍ය සංගම්  ක්‍රියාකාරිකයෙක්. පේරාදෙණියේ විද්‍යා පීඨයේ තිබුනා Mathamatical Society එකක්.  එමගින්, සාමාන්‍ය පෙළ අංක ගණිතය හදාරා විශ්ව විද්‍යාලයේ පළමු වසරට ඇතුලත් වූ කළා සිසුන්ට අනිවාර්‍යය විෂයක් වූ “මුලික ගණිතය” සඳහා උපකාර පන්ති පැවැත් වුවා. Calculus පවා ඇතුලත් වූ මේ පාඨමාලාව, කළා සිසුන්ට ඉතා අසීරු උනා. ළමයින් 300-400 ක් පමණ සිටි මේ පන්තිවලට, අපි කිහිපදෙනෙක් ස්වේච්චාවෙන් සහාය දීම එම සිසුන්ට විශාල උපකාරයක් උනා. ඒ පන්තිවල හිටපු ළමයි අද කැනඩාවේත් ඉන්නවා. ඒ වකවානුවේදීම, විශ්ව විද්‍යාලයෙන් පිටදී කරන ලද ගණිතය ටියුෂන් පන්තිවලින් සැලකිය යුතු මුදලක්ද මා උපයා ගත්තා. නමුත් අගහිඟකම් තියෙන ළමයින්ගෙන් කිසිදා මුදල් අය කලේ නැහැ. මමත් මගේ මිතුරා ශාන්ත බණ්ඩාරත්, පේරාදෙනිය සරසවියේ Field Hockey කාණ්ඩායමෙත් ක්‍රීඩා කළා”.

මගේ ඊළඟ ප්‍රශ්නය වුයේ, “කවදද ඔබට ගුරුවරයෙක් විය යුතුයි කියනා බීජය ඔලුවට වැටුනෙ?”                                                                                                                                                        ඔහු මොහොතක් කල්පනාවේ නිමග්නව නැවතත් කතාව පටන් ගත්තා, “ඒක මට නිශ්චිතවම කියන්න බැහැ. ඒත් මම පුංචි කාලෙ ඉඳලම ගණිත විෂයට දැක්වුයේ පුදුම ආසාවක්. ඒත් එක්කම මම ගණිතයට දක්ෂයි කියලයි ගුරුවරුන්ගේ මතය තිබුනෙත්. අනික් අත්දැකීම තමයි පාසැල් සහ විශ්ව විද්‍යාල අවදියේදී මා දුන් ගණිත ටියුෂන් අධ්‍යාපනය. සමහරවිට මගේ පසුකාලීන ගුරු ජීවිතයට එම ටියුෂන් දීම අඩිතාලමක් වෙන්න ඇති. මට ඉගැන්වීමෙන් ලැබුයේ පුදුමාකාර තෘප්තියක්. ඒ වගේම මම හිතන්නේ මගෙන් ගණිතය විෂය හදාරන ළමයින්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරය මගේ ඉගැන්වීමේ ආසාවට ප්‍රබල හේතුවක් කියලා” ඔහු ඉතාමත් සොම්නසින් සහ අභිමානයෙන් පිළිතුරු දුන්නා.  

ඉතාමත්ම විශ්මිතම කරුණ වන්නේ විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසු ඔහුගේ රැකියාව වුයේ ගුරු වෘත්තීය නොවීමයි. ඔහු තීරණය කළා ඉංජිනේරු අංශයට යොමුවීමට. ඒ පරමාර්ථය පෙරදැරිව Danish International Development Agency යටතේ ජල සැපයුම සහ සනීපාරක්ෂාව මෙන්ම නල ලිං ආරම්භ කිරීම් සම්බන්ධ ඩෙන්මාක් ඉංජිනේරු උපදේශක සමාගමක් වන Kampsax-Kruger සමාගමේ සේවය ආරම්භ කරනවා. එහි මූලස්ථානය මහනුවර තිබුනත් ජල ව්‍යාපෘති තිබුනේ පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල. එම වකවානුව තුලම, London Engineeng Council එකේ Civil Engineering පාඨමාලාව හදාරා විභාගද සමත්වූවා. මෙම සුදුසුකමද, 1991 දී, බොට්ස්වානාහි ජල සැපයුම් සම්බන්ධ  ඉංජිනේරුවරයෙක් ලෙස රැකියාව ලබා ගැනීමට ඔහුට උපකාරී වුවා. එහි අවුරුදු 3 ක සේවයෙන් අනතුරුව ඔහු තම බිරිඳ සහ කුඩා දරුවන් සමඟ කැනඩාවේ පදිංචියට පැමිණියා. 

මගේ ඊළඟ ප්‍රශ්නයට අවස්ථාව ඉබේම පෑදුනා, “ඇයි ඔබ කැනඩාවට ඒමට තීරණය කලේ?”                                                                                                                                                          ඔහු මගේ ප්‍රශ්නය බලාපොරොත්තුවයි හිටියෙ, “එකල ලංකාවේ තිබු අවිනිශ්චිත මර්ධනකාරී , සමාජයීය සහ දේශපාලන පසුබිම, ජීවත්වීමට හෝ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසු නොවන නිසා අපි තීරණය කළා ලංකාවට ආපසු යාම වෙනුවට වෙන රටක පදිංචි වෙන්න. කැනඩාවේ පවතින සාමකාමී පරිසරය එක් හේතුවක් උනා අපිට කැනඩාව ගැන සලකා බලන්න. තවත් හේතුවක් වුයේ පුංචි පන්තියක සිටි, සිතියම් අඳින්න හරිම ආසාවක් දැක්වූ මගේ ලොකු පුතා නිතරම කැනඩාව සිතියමේ ලකුණු කරලා ඒ ගැන හරිම ආසාවෙන් කතාකිරීම ”.

ඔහුගේ කැනේඩියානු වෘත්තීය දිවිය පිලිබඳ විමසුමට ලැබුණු පිළිතුර වුයේ.                                     “මම බොට්ස්වානාවල ඉඳලා මෙහාට ආවේ 1990 දශකයේ මැද හරියේ. කැනඩාවට ආවට පස්සෙත් මට ඕන උනේ සිවිල් ඉංජිනේරුවරයෙක් ලෙස රැකියාවක් කරන්න. ඒත් ඒ කාලේ කැනඩාව ඉතා වේදනාකාරී ආර්ථික පසුබෑමකට ලක් වෙලයි තිබුනේ. ඒක නිසා ටොරෝන්ටෝහි හිටපු යාලුවෙක් වන ලලිත් වර්ණකුලසුරිය මට කිව්වා ඊට වඩා ගුරු වෘත්තීය සලකා බලන එක වටිනවා කියලා. ඒ වගේම, මම ආපු කාලේ තිබුණු ගුරු වර්ජනවලින්, කැනඩාවේ ගුරු වෘත්තීය කියන්නෙ ඉතා ඉහළින් සලකනු ලබන වෘත්තියක් බව දැනගන්න ලැබුනා. මේ කරුණු පාදක කරගෙන ගණිතය අංශයට සිත යොමු කිරීමේ අදහසින් මගේ සහතික සියල්ලම කැනේඩියානු ප්‍රමිතීන්ට වලංගුකරණය කරගත්තා. මට හිතෙනවා මගේ දක්ෂතාවයත්, ආශාවත් තිබෙන්නේ ඉගැන්වීමට නිසා, මේ හැරවුම දෛවෝපගතයි කියලා. ඉන් පසුව, අවුරුදු දෙකකට ආසන්න කාලයක් Concordia University එකෙන් ගණිතය පිළිබඳව විශේෂඥ උපාධි පාඨමාලාවක්ද (Specialization), ඊට අමතරව කොම්පියුටර් විද්‍යාව පාඨමාලවක්ද (Minor) අධ්‍යයනය කළා. මෙතෙක් මා උපයාගෙන තිබු සුදුසුකම්වලට අමතරව, මෙම කැනේඩියානු පාඨමාලාවන් ගුරු වෘත්තියට සුදුසුකමක් වුවා පමණක් නොවේ, එය මගේ කැනේඩියානු ගුරු වෘත්ති මාවතේ ආරම්භයද වුවා. ඉන්පසුව ගුරු අධ්‍යාපන වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහා (Bachelor Of Education) ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ OISE (Ontario Institute for Studies in Education) වැඩසටහන සම්පුර්ණ කළා. එයට ඇතුළත්වූ ප්‍රයෝගික වැඩසටහන් තුනේදී පළපුරුදු ගුරුවරුන් යටතේ ඉගැන්වීම් කල යුතුයි. මෙම උපාධිය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව, ඔන්ටේරියෝ ප්‍රාන්තයේ “ගුරු බලපත්‍රය (Teacher’s Licence)” ලබා ගැනීමට Ontario College of Teachers (OCT) වලින් සහතිකය ලබා ගත යුතුයි. සියල්ල සම්පුර්ණ කිරීමෙන් අනතුරුව, මට මුල්ම පත්වීම ලැබුනෙ Cornwall හි Upper Canada District School Board එකේ General Vanier Secondary පාසැලේ Computer Science ගුරුවරයෙක් හැටියට. ටොරොන්ටෝවේ ජීවත්වූ මට එය දුර බැහැර වුවත්, මම ඉතාමත් කැමැත්තෙන් මගේ මුල්ම පාසලේ වැඩ භාර ගත්තා. එතැන ගුරුවරයෙකු ලෙස සේවය කරද්දීම, ටොරොන්ටෝ නගරයේ තවත් ගණිතය සඳහා ගුරු තනතුරකට ආරාධනය ලැබුනත්, Cornwall විදුහල්පතිතුමා සහ දරුවන්ගේ කටයුතු අතරමග දමා ඒමට ඇති අකමැත්ත නිසා මම අදිටන් කරගෙන සිටියේ අවම වශයෙන් ඒ පාසැලේ අවුරුද්දක්වත් ඉන්නවා කියලා. දෙවැනි අවුරුද්දෙ, 9-12 පන්තිවල ළමයින්ට ගණිතය ඉගැන්වීමට Halton District School Board යටතේ, Georgetown District High School එකට එන්න ලැබුනා. එතැන මම සේවය කලේ වසර 2යි. එකල බහුතරයක් සුදු ජාතිකයන් ජීවත්වූ Georgetown නගරයෙහි, වෙනස් ජාතීන්ට ගුරු වෘත්තීය හෝ වෙනත් රැකියාවක් කිරීම අපහසුයි කියලා බොහෝ අයගේ පිළිගැනීමක් තිබුනා. නමුත්, මට දරුවන්ගෙන්වත්, ගුරුවරුන්ගෙන්වත්, දෙමාපියන්ගෙන්වත් කිසිම වෙනසක් සිදු උනේ නැහැ. ගුරු වෘත්තියේ මුල් අවුරුදු දෙක සම්පුර්ණවූ පසු, ගුරු වෘත්තියේ උසස්ම කාණ්ඩය වන Category 4 වලට යාමට අවශ්‍ය නිසා මම ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් Honour Specialist, Mathematics(OISE-UOfT) සහතිකය ලබා ගත්තෙ එම ග්‍රීෂ්ම නිවාඩුවේ පාඨමාලාව අවසානයේ. ඒ අතරතුරදීම York University එකේ Masters Mathematics For Teachers කලේ සැන්දෑ පන්තිවලට අර්ධ කාලීනව සහභාගී වීමෙන්. ඉන්පසුව, Oakville නගරයේ Thomas A. Blakelock High School එකට සම්බන්ධ වුයේ ගුරු වෘත්තියට අවශ්‍ය පුර්ණ වෘත්තීය සහ ශාස්ත්‍රීය සුදුසුකම් සම්පුර්නව. ඒ පාසැලේ මට භාරව තිබුනෙ 11-12 වසර සඳහා ගණිතය ඉගැන්වීම. විශ්‍රාම යන තෙක් අවුරුදු 21 ක්ම සේවය කල මෙම පාසැල මගේ දෙවෙනි ගෙදර වගෙයි මට දැනුනෙ” ඔහු එක හුස්මට කියාගෙන ගියා.

අද ඔබ විශ්‍රාමික සුවයෙන් පසු උනත්, තවමත් ඉඳහිට අමතර ගුරුවරයකු වශයෙන් සේවය කරන බව අසා තිබෙනවා. අප ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඔබතුමාට පුලුවන්ද ඒ ගැන යමක් කියන්න.                                                                                                                                                     “ඔව්, ගුරුවරයෙකු නොපැමිණෙන දිනවල පුරප්පාඩුව පිරිමැසීමට, විශ්‍රාමික ගුරුවරුනට එවැනි ආරාධනාවන් ලැබෙනවා. එවැනි අවස්ථාවලදී, අපට පුළුවන් අප කැමති විෂයන් තෝරා ගන්න. මම බොහෝ විට ගණිතය සහ භෞතික විද්‍යාව තෝරා ගන්නෙ. මම උත්සාහ කරනවා, ගණිතය විෂයට අදාලව දරුවන්ට තිබෙනා ප්‍රශ්න ගැටළුවලට ඒ දවසේ උදව් කර, ගුරුවරයා නොපැමිණීම හේතුවෙන් අඩුපාඩුවක් ඒ දරුවන්ට සිදු නොවෙන්න වග බලාගන්න. දරුවෝ අතරට ගියාම මට දැනෙන්නෙ පුදුම සතුටක් සහ සැහැල්ලුවක් වගේම විශාල තෘප්තියක්. මගේ මනසටත් නැවත සිතන්න, ප්‍රශ්න විසදන්න ලැබීම මානසික පුනර්ජීවනයට සහ සෞඛ්‍යයට යහපත් කියලයි මම විශ්වාස කරන්නෙ. එම පාසැල්වලදී පරණ ගුරු මිතුරු මිතුරියන් හමුවී තොරතුරු බෙදා ගැනීමත් ලොකු සතුටක්”.

අප පුවත්පතේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මට තවත් ප්‍රශ්නයක් ඇසීමට සිත් දුන්නා, “ගුරුවරයෙක් ලෙස ඔබ දරුවන් අතර ඉතා ජනප්‍රියවීමට හේතු මොනවද?                                                                    “මම අත්දැකීමෙන් දැකලා තියෙනවා, තමාගේ සේවයට කැපවීමෙන් සේවය කරන ගුරුවරුන්ට දරුවන් ආදරය කරන බව. මම හිතන්නෙ දරුවන්ගේ ආදරය දිනා ගැනීමට මුල්ම සාධකය මගේ කැපවීම වෙන්න ඇති. ගුරු වෘත්තීය කියන්නෙ උදේ 8-4 රැකියාවක් නෙවෙයි. පාසැලේදී, අප ලබාදෙන දැනුමට අමතරව, පාසැලෙන් පසුවත් ඊළඟ දිනය වෙනුවෙන් සුදානම් විය යුතුයි. කාලය කළමනාකරණය කර ගැනීම සහ සංවිධානය කර ගැනීම ගුරුවරයෙකුට අතිශයින් වැදගත්. මුළු වාරයේ සෑම දිනකටම විෂය මාලාව බෙදා හැරීම සඳහා අප සැකසු සැලසුමේ සටහන්, මුද්‍රණය කර ළමයින්ට දීමෙන්, වාරය මුලදීම දරුවන් දන්නවා, මුළු වාරයටම එයාලා කල යුතුදේ. මේ සියල්ලටම වඩා භාරදූර කාර්‍යය  තමයි තාරුණ්‍ය කරා යන මනස අවබෝධ කරගෙන දරුවන්ට කාරුනිකව සැලකීම. තරමක් සෙමින් වැඩකරනා හෝ Home Work අතපසු කරනා දරුවනට කාරුණිකව “ඔයා කැමතිද මම ඔයාගේ නමට ඉස්සරහින් මේ විදියට කතිර ලකුණ ගහනවට” කියා පැවසු විට ඒ දරුවන් ඉතාම මහන්සිවී “හරි” ලකුණ දාගන්න මහන්සි වුයේ මාවත් විමතියට පත් කරමින්. මම දරුවන්ගේ ගෙදර වැඩ දිනපතාම පරීක්ෂා කළා. නිතර දරුවන්ව පරීක්ෂණ සහ ප්‍රශ්නාවලීන් (Tests and Quizes) හරහා අඛණ්ඩ තක්සේරු කිරීම් සහ ඇගයීම්වලට ලක් කළා. ඒකෙන් ළමයින් පාඩම අවබෝධ කරගත් ප්‍රමාණය ගැන ගුරුවරයාට හොඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් වෙනවා මෙන්ම, දරුවන්ද ඔවුන් ගැනම ස්වයං අවබෝධයක් ලබා ගන්නවා. දරුවන්ගේ දක්ෂකම් මෙන්ම දුර්වලකම් වටහා ගැනීමටත් ගුරුවරයාට හැකියාව තිබිය යුතුයි. එමෙන්ම පාඩමක් මග හැරුණු, පාඩමක් තේරුම් ගැනීමට නොහැකිවූ දරුවන්ට ඒ අඩුපාඩු සැපිරීම ගුරුවරයාගේ යුතුකම සහ වගකීම වෙනවා. පන්තියේදී, ඔවුනගේ අපහසුතා තේරුම් ගෙන, කොන් කිරීමක් සිදු නොවීම සඳහා පසුව ඔවුනගේ කෑම විවේකය අතරතුර පැමිණීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඒ අවශ්‍ය උදව් උපකාර කරනවා. මම ඉගැන්වූයේ විශ්ව විද්‍යාලවලට යාමට බලාපොරොත්තුව සිටිනා අවසන් පන්තිවලට නිසා, එම සිසුනට විශේෂයෙන්ම ස්වයං අවබෝධය ඉතා වැදගත්. එම දරුවන් පසුව විශ්ව විද්‍යාලවලට ගොස් එහි ප්‍රථම වසර ඉතා පහසුවෙන් සහ සාර්ථකව නිම කරන බව මට නිතර දැනගන්න ලැබුනා. මම විශ්වාස කරනවා හැම ළමයෙක්ම ඉගෙන ගන්න කැමතියි කියලා. කොටින්ම කියනවා නම්, ගුරුවරයා ඔහු හෝ ඇයගෙන් බලාපොරොත්තු වන සීමාවෙන් ඔබ්බට ගොස් දරුවන්ට උපදේශකයින් ලෙස ක්‍රියා කරමින් එම දරුවන්ගේ චරිතය පෝෂණය කරමින්, ඔවුනගේ ජීවිත සහ ඔවුන්ගේම දෘෂ්ටිකෝණයන් පරිවර්තනය කල යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම නිරන්තරවම ගුරුවරුන් තම අධ්‍යාපනය යාවත්කාලීන කර ගැනීම මෙන්ම අනික් ගුරුවරුන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීම ඉතා වැදගත්වන්නේ එකිනෙකාගේ අත්දැකීම් සහ පළපුරුද්දෙන් ගත යුතු බොහෝදේ තිබෙනා නිසයි. ඒත් එක්කම, මට මතක්වෙනවා මගේ ගුරු ජීවිතය තුල ඔන්ටේරියෝ ප්‍රාන්ත රජය අධ්‍යාපනයට කැපවූ මුදල් කප්පාදු කිරීම වැලක්වීමට දෙවරක් කල ගුරු උද්ඝෝෂණ. මෙම කප්පාදුවල ප්‍රතිවිපාක අතර පන්තිවල ළමයින් ප්‍රමාණය වැඩිවීම, සහ ඒ හේතුවෙන් ප්‍රචණ්ඩත්වය වැඩිවීම, දිගු කාලීන භාරකාර සේවා සහ විශේෂිත කාර්ය මණ්ඩලය අඩුවීම, සහ දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ පහසුකම් අඩුකිරීමක් සිදුවීමට ඉඩ තිබුනා. ගුරුවරු සැවොම එකමුතුව කල එම සටන්වලින්  ජයග්‍රහණය ලැබූ අප හට පසක්වූ දෙයක් තමයි, සටනින් තොර ජයග්‍රහණයක් නොමැතිබව” ඔහුගේ අවංක උද්‍යෝගිමත් වචනවල සත්‍යවාදීකම ඉතාමත් පැහැදිලි වුවා. 

“අපි කවුරුත් දන්නා පරිදි, 9-12 වසරවල සිටිනා සිසුන් තරමක් මුරණ්ඩුයි. බොහොම තැන්පත් සහ මෘදු කටහඬක් ඇති ඔබ කොහොමද මේ ළමයින් මේච්චල් කරගත්තේ?”                                                                                                                                මොහොතක් නිහඬතාවයකින් ඔහු සෙමින් කතාව පටන් ගත්තා, “ළමයින්ගේ අවධානය වෙනතකට නොයා තබා ගැනීමට නම් එයාලා අදාළ වැඩෙහි නිරතව තබා ගැනීම අතිශයින් වැදගත්. ඒ ළමයින්ට වැඩක් නැති උනාම තමයි අවධානය වෙනතක යොමුවන්නෙ. විනාඩි 70ක් වූ  පන්ති කාලය තුල, ගෙදර වැඩ, ඒවායේ මතුවූ ගැටලුවලට පිළිතුරු, එදාට අදාළ පාඩම අවසන් කිරීමට නම් ගුරුවරයා ඉතා කාර්යක්ෂම විය යුතුයි. ඉගැන්වීමේ වේගය, දක්ෂම දරුවාට සරිලන වේගයට හෝ සෙමින් ඉගෙන ගන්නා දරුවාගේ වේගයට හෝ නොගොසින් මධ්‍යස්තව තබා ගත යුතුයි. කැනඩාවේ ළමයින්ට ඉගැන්වීමට වඩා ගුරුවරු කරන්නෙ එයාලට ඉගෙන ගැනීමට මග පෙන්වීම. දරුවන්ට විමර්ශනය කිරීමෙන් යම් යම් දේ සොයාගන්න ඉඩ දිය යුතුයි. ධනාත්මක ගුරු-ශිෂ්‍ය අන්තර් ක්‍රියාකාරිත්වය දරුවන්ගේ සාර්ථකත්වයට අතිශයින්ම වැදගත්. දරුවන් සමඟ සම්බන්ධවී වැඩ කරනවිට ඔවුනට පන්තියේ දඟලන්න වෙලාවක් නැහැ. අනික් දේ තමයි, අද දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නෙ කොම්පියුටර් තාක්ෂනය, මෘදුකාංග හරහා. මම සමහරවිට දරුවන්ට අවශ්‍යදේ ක්ෂණිකව සොයා ගැනීමට ජංගම දුරකථනය උනත් යොදා ගන්න ඉඩ දෙනවා. නමුත්, අවශ්‍ය කාර්ය්‍ය අවසානයේ එය පොත් බෑගයට දාන්න සලසනවා. දරුවන් වාරයේ මුල් දින පටන් විනය සහ ආචාරශීලීබවට හැඩ ගසා ගැනීමට ගුරුවරයා වගබලා ගන්න ඕන. ගුරුවරයා තමන්ට ගෞරව කරනවා කියලා ළමයට දැනෙනවා නම්, ළමයා ආපසු ගුරුවරයාට ගෞරව කරන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ”. ඔහු ඉතා විශ්වාස හඬින් පැවසුවා”. 

මම නැවතත් එතුමා ප්‍රශ්න කළා, “ඔබගේ ගුරු ජීවිතය සහ පුද්ගලික ජීවිතය සමතුලිතව පවත්වා ගෙන යන ආකාරය සම්බන්ධව කෙටි විස්තරයක්  කරන්න පුලුවන්ද?”                                                     “ඔව් මම කෙතරම් උත්සාහ කලත්, ගුරුවරයෙකු ලෙස සේවය කිරීමෙන් පවුලේ අයට මගෙන් සිදුවිය යුතු සමහර යුතුකම් මග හැරුණු බව මට දැනුනා. මම ගුරු වෘත්තියට දැක්වූ දැඩි ආශාවත්, කැපකිරීමත් ඒකට හේතු උනා. ඇත්තටම, මට ඒ ගැන කණගාටුවක් ඒ කාලෙ තිබුනාදැයි, මට මතකත් නැහැ.

අද ඔබ ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ඔබ සතුටට පත් වෙනවාද?                                                    “සත්තකින්ම ඔව්. මුලින්ම, සිහිනෙකින්වත් නොසිතු පරිදි, මම විශ්වාස කරපු දේශපාලන මතවාදය අද මගේ මාතෘ භුමියේ ජයග්‍රහණය කරලා තිබෙනවා. ඔවුනට තව විශාල දුරක් යාමට තිබුනත්, ඔවුන් ඒ මාවතේ ගමන් කරමින් සිටිනවා. කැනඩාවේදී, මගේ වෘත්තීය සහ ශාස්ත්‍රීය  ජීවිතයේ උත්සාහයන්ගේ ඵල මා නෙලාගෙන තිබෙනවා. කැනඩාවට පැමිණි පසු අවුරුදු 24ක් කල ගුරු වෘත්තියෙන් මා ලැබූ තෘප්තිය සහ සතුට අප්‍රමානයි. මම උගන්වපු දරුවන් අද විශ්ව විද්‍යාලවල සාර්ථකව උසස් පාඨමාලා හදාරන බව සහ තවත් සමහරක් අධ්‍යාපනය හදාරා සාර්ථක වෘත්තීන් කරනා බව එම දරුවන්ගෙන්, ඔවුනගේ දෙමව්පියන්ගෙන්, මම හිටපු පාසැලේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරුවරුන්ගෙන් දැනගන්න ලැබුනාම මට දැනෙන හැඟීම් ප්‍රකාශ කිරීමට මට වචන නැහැ. ඒත් එක්කම මම විශ්වාස කරනවා ගුරුවරයකු ලෙස වගකීම සහ යුතුකම මගේ උපරිමයෙන් සිදු කිරීමත් මගේ පෞද්ගලික  ජයග්‍රහණයක් කියලා. ඒ වගේම, ලංකාව තුල තිබු දේශපාලන සහ සමාජයීය අර්බුද හේතුවෙන් මට ලඟා කරගත නොහැකි වූ ශක්‍යතාවයන් මේ රටේදී මට ලඟා කර ගත හැකිවූවා පමණක් නොවෙයි ඒවායින් සාර්ථකව සමාජයට මෙහෙවරක් කිරීමටද හැකිවූවා. එය මට ලබා දෙන්නෙ විශාල සතුටක්. මේ සියල්ලමත් එක්ක මට දැන් පුංචි පාළුවක් දැනෙනවා ගුරු වෘත්තියෙන් පුර්ණ කාලීනව අයින්වීම පිළිබඳව. ඒත් මම ඉඳහිට අදත් උගන්නන එක නම් සතුටක්. 

“මම කැමතියි අපගේ පුවත්පතේ පාඨකයින්ට ඔබගේ සිහින පිළිබඳව යමක් කිව හැකිනම්”                 “ඇත්ත වශයෙන්ම සිහිනයක් කියනා කෝණයෙන් බලනවා නම්, මට තියෙනවා  පුදුම ආසාවක් විශ්‍රාමිකව මා අද ගතකරනා මේ සැහැල්ලු දිවිය අප මාතෘ භුමියේ අපේම මිනිසුන්ටත් ලැබෙනවා දකින්න. කැනේඩියානුවන්ගේ ජීවන මට්ටමට ලාංකිකයින්ගේ ජීවන මට්ටම ගෙන ඒම සඳහා යම් කාලයක් ගතවෙන බව මම දන්නවා. ඒක දකින්න මම ඉන්නෙ නොඉවසිල්ලෙන්. ඊට පස්සෙ පෞද්ගලිකව කරන්න කැමති දේවල් සැලකුවොත්, ඒවා සිහින කියලම කියන්න බැහැ. වෘත්තීය දිවියේදී මට මඟ හැරුණු දේවල් වන පවුලේ අය සමඟ හැකි තරම් කාලයක් ගත කිරීම සහ ඔවුන් සමඟ විවිධ රටවල සංචාර කිරීමේ බලාපොරොත්තුවද තිබෙනවා. ඒත් එක්කම, මා සැමදා ඉතාමත් ප්‍රිය කරනා  පොත්පත් කියවීමත් දිගටම කරගෙන යන්න ඕන. බ්‍රිතාන්‍ය ගත් කරුවකු වන Ken Follettගේ ඓතිහාසික නවකතා කියවීම මගේ දීර්ඝකාලීන ඇබ්බැහිවූ පුරුද්දක් බවට පත්වී තිබෙනවා. Basket ball සහ Base ball තරඟ නැරඹීමත් කීයටවත් මග හරින්න බැහැ. කොටින්ම කියනවා නම්, මම පාසැල් සිසුන්ගේ Home Work ලකුණු කලෙත් මේ ක්‍රීඩා බලන අතරතුරේමයි. ඒ වගේම, අප මාතෘ භුමිය වෙනුවෙන් මෙහි සිට කල හැකි සෑම දෙයටම උපරිමයෙන් දායකවීමත් දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ජීවත්වන මගේ විශ්ව විද්‍යාලයේ ආදී සිසුන් පිරිසක් පවත්වාගෙන යන “ගැමි දරුවෝ” නම්වූ විශ්ව විද්‍යාල වරම් ලැබූ අඩුපාඩු ඇති දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන වැඩසටහනටත් දායක වෙමින් සතුටක් විඳිනවා”. 

ඔබට මඟ හැරුණු සිහිනත් තිබෙනවාද?                                                                                                      ඔව්, මගේ දෙමාපියන්ට මෙහි සිට කෙතරම් උදව් උපකාර කලත්, මගේ ශ්‍රමයෙන් ඒවා කිරීමට නොහැකිවීම මග හැරුණු සිහිනයක්. එම දෙමාපියන්ගේ පහස, මටත් මගේ දරුවන්ටත් ලබා ගැනීමට නොහැකිවීම ඊටත් වඩා ප්‍රබල මග හැරුණු සිහිනයක්. මුතුන් මිත්තන්ගේ ආදරය කියන්නෙ දරුවන්ට ලබා ගත හැකි පිරිපුන් සහ විශේෂිත ලෙන්ගතුකමක්. ඒ නොලැබීම, මගේ දරුවන්ගේ ජීවිතවලට ලොකු අඩුපාඩුවක් හැටියටයි මම සලකන්නෙ.

අපගේ සංවාදයේ අවසානයට ශීග්‍රයෙන් ලංවෙද්දි, මට ආසාවක් ඇතිවුනා ඔහු තුල ජීවත්වන කොලු ගැටයා ගැනත් යමක් දැනගන්න. එමනිසා මගේ අවසාන ප්‍රශ්නය වුයේ, “මම කැමතියි ඔබ කුඩා කාලයේදී කල යම් දෙයක් අද නැවත ගමට ගොස් කිරීමට ඔබට අවස්ථාව  ලැබෙනවා නම්, ඒ කුමක්දැයි කියා අප පාඨකයින් වෙනුවෙන් දැනගන්න.”                                                                             “මට නිතරම මතක් වෙනවා අපි සති අන්තයේ ගමේ ළමයි එක්ක කුඹුරු කැපුනට පස්සෙ වෙල් ඉපනැල්ලෙ ක්‍රිකට්, එල්ලේ ගහපු හැටි, සෑම අවුරුද්දකම අගෝස්තු මාසයේ, ගමේ ප්‍රාථමික විද්‍යාල පිට්ටනියේ Sports Meet තියලා වැඩිහිටියන් ලවා තෑගී දුන් හැටි. ඒවා එදා විනෝදජනක වැඩ උනත්, අපි මේවා බොහොම සංවිධානාත්මකවයි සිදු කලේ. ඇත්තටම මට අවස්ථාවක් තියෙනවා නම්, ඒ පරණ යාලුවොත් එක්ක ක්‍රිකට් ගහන්න, එල්ලේ ගහන්න, ඒ Sports Meet වලට යන්න, ඒක සුන්දර අත්දැකීමක් වේවි. ඒ යාලුවෝ තවමත් ජීවතුන් අතර ඉන්නවා”. 

මම ලලිත් සේනාරත්න ගුරුතුමාගෙන් ඉල්ලීමක් කළා ඔහුගේ ජීවිතයට සුභවාදී බලපෑමක් කල චරිත ගැන සඳහනක් කිරීමට.                                                                                                                          ඔහු මුලින්ම ඉතා ගෞරවාන්විතව සහ හැගීම්බරව සඳහන් කලේ තම දිවිය ආලෝක කරගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල අම්මා සහ අප්පච්චි දෙපල ගැන. ගණිතයට ආසක්තවූ ඔහුට  පුර්වාදර්ශයක්වී මග පෙන්වූ දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔහුගේ බාප්පාවූ උපාලි ජයසිංහ මහතාද ඔහු ඉතා කෘතඥශීලීව සිහිපත් කළා. තෙවනුව, ඔහු ඉතාමත් ආදරයෙන් සිහිපත් කලේ, සමීපවම සිටි විශ්වාසවන්තම සහ ආදරණීය මිතුරන් දෙදෙනෙකු ගැන. මුලින්ම සඳහන් කලේ මිතුරෙක් පමණක් නෙවෙයි, ඥාතියකුද වන සෑමවිටම ඔහු  සමීපයේ සිටි සමරසිරි හේරත්. අනික් මිතුරා, පාසැල් සහ විශ්වවිද්‍යාල ජීවිත පුරාම සමීපවම සිටි ශාන්ත බණ්ඩාර. යෞවන ලලිත්ගේ දිවි ගමනේ සෑම දෙයක්ම එක්ව බෙදා හදා ගත් ශාන්ත බණ්ඩාරගේ ජීවන ගමන මගදී උදුරා ගැනීම අදටත් දරා ගත නොහැකි බව ඔහු පැවසුවේ ඉතාමත් සංවේදීව. ඉන්පසුව, ලලිත් සේනාරත්න නම්වූ ගුරුතුමාගේ ජීවිතයට විශේෂිතම පුද්ගලයා වූ ඔහුගේ ප්‍රිය බිරිඳ සීතා සේනාරත්න ගැන ඔහු කතා කලේ ඉතාමත්ම හැඟුම්බරව. විශ්ව විද්‍යාලයෙන් පටන්ම, ජීවිතය කඩා වැටුණු සෑම මොහොතකදීම, නැගිටීමට ශක්තිය, ධෛර්යය දුන් ඇය ඔහුගේ ජීවිතයේ පර්වතය බවයි මා සමඟ පැවසුවේ. එතුමාගේ වචනයෙන්ම කියනවා නම්, “ලංකාවේදී විශ්ව විද්‍යාලයෙන් පසුව මගේ වැඩිදුර අධ්‍යාපනයට යොමු වූ විටත් ඉන්පසු කැනඩාවෙදී මගේ අධ්‍යාපනික සහ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමටත් ඇයට මහමෙරක කැපකිරීම් කිරීමට සිදු වුවා. මම අද යම් දෙයක් සාක්ෂාත් කරගෙන ඇත්නම්, එහි ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවිය යුත්තේ මගේ බිරිඳට. මගේ ගමනට කැපකිරීම් කල දරුවනුත් මම ඉතා ඉහලින් අගයනවා”. එලෙසම, කැනඩාවට ඔවුන් පය ගැසූ දින සිට අද දක්වා, මුළු පවුලම ධෛර්යමත් කල සහ ඔවුනට නොසැලී උපකාර කල ඔටවාහි පදිංචි රෝහණ මාරකවත්ත සහ අජිත් පනාගොඩ මල්ලිලා දෙදෙනා ගැනත් ඔහු සඳහන් කලේ ඉතා කෘතඥශීලීව. කැනඩාවේදී හමුවී, එතුමාගේ වෘත්තීය ජීවිතය ගොඩ නගා ගැනීමට සෑම සහයෝගයක්ම දුන් ටොරොන්ටෝ නගර සභාවේ සේවය කරන ලලිත් වර්ණකුලසුරිය මහතා  ගැනද ඔහුගේ හදපිරි ප්‍රණාමය පල කළා. ඒත් එක්කම ඔහුගේ කුඩා කල සිටම, අධ්‍යාපනය හමාර කරනා තෙක් අකුරු කල ගුරුවරුන්ද ඔහු ගෞරවයෙන් සිහිපත් කළා. අවසාන වශයෙන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විවිධ පීඨවල සිටි, අද කැනඩාවේ ජීවත්වන සමකාලීනයන්ගේ ගැඹුරු අර්ථවත්, මිතුදමින් පිරුණු ඇසුරද ඔහුට ඉතා වටනා බවයි මා සමඟ පැවසුවේ. 

මිනිස් ආත්මයක් ලැබූ සෑම ජීවියෙකුගෙන්ම තම ජන්ම භූමියට ඉටුවිය යුතු මහගු යුතුකමක් තිබෙනා බව කුඩා කල සිටම ඉතා ගැඹුරින් අවබෝධ කරගත්  ලලිත් සේනාරත්න මැතිතුමා, ඒ යහපත් සමාජය නිර්මානය කිරීම සඳහා ජනතාව පෙල ගැස්වීමට මාතෘ භුමියේදීත්, කැණඩාවට පැමිණි පසුත් දරදිය ඇද්දේ අබමල් රේණුවක තරමක දෙයක්වත් තමාට නොලැබෙන බව සක්සුදක්සේ දැනගෙනයි. ඒත් එක්කම, තමා හදා වඩා ගත් මේ හිමරට සෞභාග්‍යමත් කිරීමට ඇවැසි  දරු පරපුරක් බිහි කිරීම උදෙසා තම කාලයත් ශ්‍රමයත් යෙදවූයේ හැදු මවගේ දහඩියට කලගුණ සැලකීමටයි. 

ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් කියන්නෙ ඉටිපන්දමක්, එය අන් අයගේ මාර්ගය ආලෝකවත් කිරීමට තමාවම ක්ෂය කරයි කියලා කියමනක් අප අසා තිබෙනවා. ඉගැන්වීම කියන්නෙ හෝරා අටකින් ඔබ්බට ගිය උතුම් දිව්‍යමය වෘත්තියක්. ඒ කර්තව්‍යයට උපරිමයෙන් දායකවූ ලලිත් සේනාරත්න ගුරුතුමා සමඟ ගතකල හෝරා තුනකට ආසන්න කාලය නිමවා සමු ගැනීමට කාලය සෙමෙන් එලැඹුනා. ජීවිතාවබෝධයෙන් තම දිවියේ සැඳෑ සමය තෘප්තිමත්ව ගත කරන, අප ගුරු උතුමන්ගේ කැදැල්ලට සාමය, සතුට සහ නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම මේ ලිපිය නිමා කරනා වගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *