
කලකට පෙර ගොඩගේ පොත් හලෙහි ලාබ පොත් ගොඩක් ගරන අතර ‘රස විත’ නම් පොතක් මා අතට පත් වුණි. එය හෙළ හවුල් බැතිමතෙකුව හුන් දා.දු.න වීරකෝන් වියතුන්ගේ බැව් දුටු මම, එය වහා මිලදී ගතිමි. මසිත කුල්මත් කළ නන් මැයෙන් යුත් රස විත් රැසක් එහි වූ බැවිනි. දිගු කලක් පුරා වියත් වීරකෝනුන්ගේ ඇසුර ලබනට මට පින් මඳ වූයේ අප දෙදෙනගේ නෑඹුල් හමුව ඔහුගේ දිවියෙහි සැඳෑ කලම සිදුවූ හෙයිනි.
‘රස විත’ පොතෙහි ඇති ඇතැම් රස විතක් අප මන දල්වයි. තවෙකක් හද ඔද ගන්වයි. අනෙකක් අප සිත් කුල්මත් කරයි. මා මේ ඔබට පිරිනමනුයේ ‘රස විත’ ගත තුළ ඇති අන් සියල් රස විත් අබිබවා බබළන , හැම කල් ඔබ කුල්මත් කරන මනකල්ම රසවිතය. ඉන් හෙළි කරන පුවතට මුල් වූයේ මෙතෙක් සැඟව පැවති මනහර පැදි පබඳකි. එවැන්නක් තෝරා පළ කෙරුමෙන් ‘රස විත’ ගතෙහි පමණක් නොව රසයෙන් ඔකඳව ගිය වීරකෝනුන් ගේ හදෙහිද අගය වැඩි වෙයි. එම පැදි පබඳෙහි මිහිර එතරම්ම මනරම්ය.
වීරකෝනුන් එම පැදි පබඳ ඇහිඳගෙන ඇත්තේ ‘පහිණ මිහිය’ නමැති පොතෙනි. ‘පහිණ’ යනු පණිවිඩය හෙවත් ලියුම යන අරුත දෙන හෙළ වදනකි. ‘මිහිය’ යනු මී වදයයි. මෙම ‘පහිණ මිහිය’ වනාහි රස පැදියෙන්ම බැඳි පහිණ පත් රැසකින් සැදි ගතකි. කවුරුන් කා උදෙසා බැඳි පැදි පහිණ පත් රැසක්ද? ඒ වූකලී බසිසුරු කිවිසුරු කුමරතුඟු මුනිදස්හු ජයමහ වෙල්ලාල කිවිඳුන් වෙනුවෙන්ම බැඳි පැදි පහිණ පත් රැසකි. අරීසෙන් අහුබුදු කිවිඳුන් එම පහිණ පත් ඇහිඳ මෙම ‘පහිණ මිහිය’ පළ කොට ඇත්තේ තම ඇදුරු ජයමහ වෙල්ලාලයනට ගුරු පුද පිණිසය.
කවි රස විඳුම රති රස විඳුමට සම කරමින් ගෙතූ විසිතුරු පැදි පබඳක් මින් පෙර ඔබට හමුව ඇද්දැයි නොදනිමි. පෙර දිග අවර දිග කවි ලොවේත් අපගේම පැරණි හෝ අලුත් කවි ලොවේත් එවන් පබඳක් ඇසු දුටු බවක් මගේ සිහියට නම් නොනැඟේ.
දා.දු.න.වීරකෝනුන්ගේ ‘රස විත’ පොතෙහි හමුවන අන් සියලු රස විත් අබිබවන ඒ වෙසෙස් රස විත කුමක්ද? ඒ වූකලී කවි රස විඳුම රති රස විඳුමට සම කරමින් ගෙතූ , රසවතුන් මන් මත් කරන , අසම සම පැදි පබඳකි. මේ මනරම් පැදි පබඳෙහි මිහිරෙන් මම කුල්මත් වීමි. එවන් සොඳුරු සැසඳුමක් කරනට තරම් සොඳුරු හැඟුමක් පහළ විය හැක්කේද මිහිරි කවි සිතකම නොවේද? ඒ මිහිරි කවි සිත කා සතු වූවක්ද? ඒ වූකලී බසිසුරු කිවිසුරු කුමරතුඟු මුනිදසුන්ගේම මිස අන් කවරෙකුගේද?
කොග්ගල ජයමහ වෙල්ලාල කිවිඳු කිවිසුරු කුමරතුඟු මුනිදසුන්ගේ බැතිමතෙකි. වරෙක ඔහු පැදි රස විඳුම ගැන තම ගුරු දෙව් මුනිදසුන්ගෙන් උපදෙස් පැතුවේ පැදි පහිණ පතක් යවමිනි. ඊට පිළිතුරු පිණිස මුනිදසුන් විසින් සැඟවුණු අරුත් සහිත අපූරු පැදි පබඳක් වෙල්ලාලයන් වෙත යැවුණේ පැදි රස විඳුම අමුතුම මගකින් පහදා දෙමිනි. මෙන්න ඒ රස පැදි පබඳ.
රස කුළුගන්වන
කලැ ඇතැම් පිය පබඳෝ
වරදක් වූ ලෙස පෑ
ඔකඳ කඳ කඳ කැඳවති.
තද යැ වියවුල් යැ
හැකිළෙයි රහස සඟවයි
අත ඇදැ විඳියැ යුතු
නව පිය වදන ගුණ මේ
බැඳුම පුරුදු වත
බුරුල පානු වෙයි කෙමෙන්
පුරුදු නොවන්නවුනතැ
රස බිජුවට ඇසා වෙයි
සුදුසු තැනැ මැ පද
යොදා රහස නඟා දී
අත් පිටතැ බැඳැ සුබඳ
පිය වදන රස උනවයි.
(2482 වෙසක් අව 4.පාණදුරේ දී යැ.)
කුමරතුඟු මුනිදස් කිවිඳුන් පැදි රස විඳුම හා රති රස විඳුම සම කරමින් මෙම පැදි පෙළ බැඳ ඇත්තේ එක වදනකින්
දෙඅරුතක් පැවසෙන පරිදිය. සකු කවියෝ එය ‘ශ්ලේෂාලංකාර’ නමින් හඳුන්වති.
(මේ අලංකාරය පිළිබඳ සුල මුල 08 වන සිය වස මුල ඉන්දියාවෙහි විසූ සංස්කෘත ආලංකාරිකයෙකු වන දණ්ඩීන් නම් ආචාර්යපාදයන් විසින් විරචිත ‘කාව්‍යාදර්ශ’ ග්‍රන්ථයෙන් මෙන්ම එය ඇසුරෙන් හෙළ පඬිවර ශිලාමේඝවර්ණ හෙවත් 01 වන සේන නිරිඳුන් 09 වන සිය වස්හි කළ ‘සියබස්ලකර’ නම් ග්‍රන්ථයෙන්ද දැනගත හැකිය. ‘ශ්ලේෂාලංකාර’ යන්න ‘ ‘සෙලෙස්’ යන හෙළ නමින් පළමුව හැඳින්වෙන්නේද දැනට අප සතු පැරණිම සිංහල පොත වන එම ‘සියබස්ලකර’ කෘතියෙහිය.)
කුමරතුඟු මුනිදසුන් ’ප්‍රබන්ධෝපදේශය’ නම් තම මාහැඟි පොතෙහි ‘අලංකරණය’ නම් පිරිසිඳියෙහි මෙම අලංකරය සැකෙවින් පහදා ඇත්තේ මෙලෙසිනි.
“පද වශයෙන් එක මැ වුවද අර්ථ වශයෙන් දෙපක්‍ෂයක් හඟවා නම් එතන්හි වනුයේ ‘ශ්ලේෂ’ නම් අලංකාරයයි.”
එකම වදන එක් පසකදී එක් අරුතකුත් අනික් පසදී අන් අරුතකුත් නඟන සේ යෙදුම පැදි සැරසිලි වෙසෙසක් ලෙස සැලකෙන බැව් ඉන් පැහැදිලි වෙයි. මීට නිදසුන් අපගේ පැරණි පැදි පොත්වල සුලබය.
සිරිඟර රස මුවරඳින් මත් බිඟු වන් කුමරතුඟුවන් , පැදි රස විඳුමත් රති රස විඳුමත් සම කරමින් බැඳි එම මියුරු කවි පෙළෙහි සැඟව ඇති දෙඅරුත් වෙන වෙනම නඟාගෙන අපි දැන් එහි අරුත් රස විඳිමු.
රස කුළුගන්වන
කලැ ඇතැම් පිය පබඳෝ
වරදක් වූ ලෙස පෑ
ඔකඳ කඳ කඳ කැඳවති.
මුනිදස් කිවිසුරන්ගේ පැදි පෙළෙහි මේ පළමු පැදියෙහි යෙදුණු ‘පිය පබඳෝ’ යන්නෙන් සොඳුරු පැදි පබඳ හා සොඳුරු අඟන යන දෙඅරුතම පළ වෙයි. ‘පබඳ’ වදන සකු ‘ප්‍රබන්ධ’ යන්නෙන් බිඳුණකි. එය මනාව බඳනා ලද්ද යන තේරුම දෙයි. අඟන අරුත දෙන ‘පබඳ’ වදන පියබඳ යන්න ඇසුරින් සැදුණකි. සොඳුරු බඳක් හෙවත් සිරුරක් ඇත්තී යන අරුතින් අඟන පියබඳ හෙවත් ‘පබඳ’ නම් වෙයි.
‘පිය පබඳෝ’ යන්නෙන් හඟවන පබඳ හා අඟන කෙසේ සම වේද?
රසවතුන් පැදි පබඳක රසය කුළුගන්වන කල ඇතැම් පබඳ කරුවෝ බොරුවට තම පබඳෙහි වැරදි පාමින් රසවතුන් සිත ඔකඳ කරවති. තම පෙම්වතුන් රස කුළු ගන්වන කල ඇතැම් අඟනෝද බොරුවට වරද පාමින් පෙම්වතුන් සිත ඔකඳ කරවති.
(‘කුළු’ යන්න සකු බසෙහි මුඳුන අඟවන ‘කූට’ යන්නෙන් බිඳුණකි. ‘ඔකඳ’ යනු සතුට යන අරුත දෙන වදනකි. එය සකු බසෙහි එන අවක්‍රාන්තික සහ පෙළ බසෙහි එන ඔක්කන්තික යන වදන්වලින් හෙළයට බිඳුණකි. පස් වනක් ප්‍රීතියෙන් එකක් එනමින් හැඳින්වෙයි. ඔක්කන්තික ප්‍රීතිය වූකලී මුහුදේ රළ නැඟ බසින අයුරින් හටගන්නකි. ‘ප්‍රීති’ යන්න , දිව ගිලෙන්නෙකු තුළ දිය දුටු සැණින් ඇති වන මන පිනා යෑම යන අරුතින් නිපන් වදනකි.)
තද යැ වියවුල් යැ
හැකිළෙයි රහස සඟවයි
අත ඇදැ විඳියැ යුතු
නව පිය වදන ගුණ මේ.
මුනිදසුන්ගේ පැදි පෙළෙහි දෙවන පැදිය වන මෙහි ‘නව පිය වදන’ යන යෙදුම හමුවෙයි. එහි ඇති ‘වදන’ යන්න බස හා මුහුණ යන දෙඅරුතම පළ කරයි. ඒ අනුව මනරම් බසත් පියකරු මුහුණක් ඇති අඟනත් යන දෙඅරුතම ‘පිය වදන’ යන එකම වදනින් හැඟවෙයි.
මෙහි එන ‘නව’ යන්න නුපුරුදු යන අරුතෙහි වැටේ. ඒ අනුව ”නව පියවදන’ යන්න පැදි බැඳුම නුපුරුදු කවියාගේ බස හා රති රස විඳුම නුපුරුදු අඟන යන දෙඅරුතම පළ කරයි.
මෙම පැදියෙහිම ‘රහස’ යන්න යෙදී ඇත්තේ අරමුණ හා රහසඟ යන දෙඅරුතම දෙනු පිණිසය.
මෙහි ‘අත’ යන්නද අරුත සහ අත යන දෙඅරුතම හඟවන්නකි.
පැදි බැඳුම නුපුරුදු කවියාගේ බස හා රති රස විඳුම නුපුරුදු අඟන කෙසේ සම වේද?
පැදි බැඳුම නුපුරුදු කවියාගේ බස රළුය. අවුල්ය. අරමුණ මතු නොවෙයි. දුක සේ අරුත ඇද ගත යුතු වෙයි.
රති රස විඳුම නුපුරුදු අඟන පළමුව තද ගති පායි. අවුල් සිතින් පසු වෙයි. පැකිළෙයි. රහසඟ අතින් සඟවයි. අත ඉවතට ඇද රති රස විඳිය යුතු වෙයි.
බැඳුම පුරුදු වත
බුරුල පානු වෙයි කෙමෙන්
පුරුදු නොවන්නවුනතැ
රස බිජුවට ඇසා වෙයි.
පැදි පෙළෙහි තෙවන කවියේ අරුත් රස විඳිමු. මෙහි එන ‘රස බිජුවට ඇසා වෙයි’ යනු රස බිජුවට බොල් වීමයි.
පැදි බැඳුම පුරුදු වත්ම කවියා පහසුවෙන් පැදි බඳියි. රති රස විඳුම පුරුදු වත්ම අඟනද තද ගති අත හරියි.
පැදි බැඳුම හා රති රස විඳුම පුරුදු නොකළවුන් අතෙහි රස බිජුවට බොල්ව යයි.
සුදුසු තැනැ මැ පද
යොදා රහස නඟා දී
අත් පිටතැ බැඳැ සුබඳ
පිය වදන රස උනවයි.
මනරම් බස හා මන දඟ කරවන අඟන එකට ගෙන විසිතුරුවටම සැසඳෙනුයේ මෙම සිවු වන පැදියෙහිය.
මෙහි ‘පද’ යන්න යොදා ඇත්තේ
පද යෙදුම් හා දෙපා යන දෙඅරුතම දෙනු පිණිසය. ‘රහස’ යන්නෙන් අරමුණ හා රහසඟ යන දෙඅරුත හැඟවෙයි. ‘අත්’ යන්න දෑත් සහ අරුත් යන තේරුම් දෙන්නකි. ‘අත් පිටත බැඳැ’ යන්නෙන් අරුත් මත බැඳුණු යන තේරුම මෙන්ම දෑත් පිට මත බැඳුණු යන තේරුමද එක සේ ලැබේ. ‘පියවදන’ යන්න මෙහිද සොඳුරු බස හා සොඳුරු අඟන යන තේරුම් දෙකෙහිම වැටේ.
ඒ අනුව මනරම් බස හා සබැඳි තේරුම මෙසේ වෙයි.
සුදුසු තැන පද යෙදුම් යොදා අරමුණ මතු කර දෙමින් අරුත් මත මනාව බැඳි මනරම් බස රස උනවයි.
මන දඟ කරවන අඟන හා සබැඳි තේරුම මෙන්න.
සුදුසු ලෙස දෙපා තබාගෙන දෑත පිට මත බැඳ රහසඟ නඟා දෙමින් මන දඟ කරවන අඟන රති රස උනවයි.
සිරිඟර රසින් මත් කුමරුතුඟු බිඟු , පැදි පබඳක බසෙහි රස මිහිරත් මන දඟ කරවන අඟනකගේ රති රස මිහිරත් සරස ලෙස සසඳමින් එදා නැඟු පැදි රසරැව් අදද පිළිරැව් දෙයි.
බසින් රසින් යසින් තුඟු කුමරතුඟුන්ගේ ‘පැසැසුම් සමර’ නම් පැදි පබඳෙහි හමු වන මේ මාහැඟි පැදිය අසන්නැ!
පැරැණියන් ගත් මඟැ
ගැන්මේ කවර වරද ද
එ මඟැ දැන් නොපැරැණියෝ නොපැරැණියනෙව් යෙත් නම්
(පැසැසුම් සමර)
(පැරැණි අය ගිය පාරේ යෑම මොන වරදක් ද , අලුත් අය ඒ පාරේ අලුත් අය හැටියට යනවා නම්!)
නොපැරැණි පැරැණියෝ අද වෙති
හතර වට
නොපැරැණියෙකි තවම ඔබ
මුනිදසුනි මට
කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.
සියළු හිමිකම් රචකයා සතුය.


