සිරිසුමන ගොඩගේ මහතා ගැන ලියැවුනු සටහන් තුනක්

ප්‍රකාශන ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් තබා නික්ම ගිය ශ්‍රී ලංකාවේ පොත් රජු

“මගේ හින්නි පුතාට කවද හරි හරියනවා.”
“අනේ මගේ හින්නි පුතේ. උඹට කවදාවත් වරදින්නෙ නැහැ මයේ පුතේ.”
“මගේ පුතාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන”
පවුලට ශක්තියක් වූ දහිරිය වන්ත පුතාට අහිංසක මව එසේ පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි. පාසල් දරුවකු ලෙස සිටි කාලයේ ඔහු තණකොළ මිටි බැඳ විකිණුවේය. කුරුම්බා විකිණුවේය. දෙපා ගෙවෙන තුරු ඇවිදිමින් පළා කොළ මිටි බැඳ විකිණුවේය. තම පවුල ජීවත් කරවීමට කුඩා කළ පටන් වෙහෙසුණේය. දයාබර මවගේ මෙම අවිහිංසක වදන් ධෛර්යය වන්ත පුතුගේ ජීවිතය පුරාවටම ශක්තිය, ධෛර්යය ලබා දුන්නේය. සිරිසුමන ඉපදුණේ එකදහස් නමසිය තිස්හයේ මැයි මස දහඅට වැනිදාය. ඔහු ඉපදුණු දා පටන් වසර දෙකක් වැනි කාලයක් අසාධ්‍ය රෝගියෙක් ලෙස සිට ඇත. වලිප්පුව, මාන්දම වැනි ලෙඩ රෝගවලින් ඔහු පෙළුණේය.
පළ දෙකකින් යුත් ඔහුගේ නිවසේ වහලයට සෙවිලි කර තිබුණේ පොල් අතුය. පිළක්, සාලයක්, කාමර දෙකක් සහිත වූ ඔහුගේ කුඩා නිවස කටුමැටි බිත්තිවලින් සාදා තිබිණ. නිවස පිහිටා තිබුණේ කුඩා කඳු ගැටයක් වැනි උස් බිමකය. නිවස පිහිටි වත්ත අක්කර බාගයක් පමණ විශාලය. එම ගමට කීවේ පාලටුව කියාය. පසු කලෙක ඔහු ඉපදුණු ගම්මානය ගැන මෙසේ විස්තර කළේය.
“මාතර ඉඳන් අපේ ගෙදරට එනව නම් අකුරැස්ස පාරේ එන්න ඕනෙ. එහෙම එනකොට නූපෙ හන්දිය පහුකරන්න ඕනෙ. ඊට පස්සෙ හමුවෙනවා හිත්තටිය රජ මහා විහාරය. හිත්තටිය රජ මහා විහාරයට පස්සෙ දකින්න ලැබෙන්නෙ ගොඩගම. ගොඩගමට පස්සෙ ලේන්දූවයි, පොද්දූවයි හම්බ වෙනවා. පොද්දූව කියන්නේ විශාල වෙල්යායක්. මේ වෙල්යාය එක් පැත්තකින් කිරල කැලේ දක්වාම පැතිරෙනවා. තවත් පැත්තකින් උම්මැල්ල, සුල්තානාගොඩ, මාලිම්බඩ, දක්වාම පැතිරෙනවා. පොද් දූව පහුකළාම තමයි අපේ ගම ඒ කියන්නේ පාලටුව ගම්මානය දකින්න ලැබෙන්නේ. අපේ ගමේ තුනේ කණුව ළඟින් තියෙන පාර තමයි ගම් සභා පාර කියන්නේ. ඒ පාර තමයි අපේ ගෙදරට එන පාර.”
මව පියා සමග ඔහුගේ පවුලේ එකොළොස් දෙනෙකි. තාත්තාගේ නම ජේමිස් අප්පුහාමිය. ඔහු දුප්පත් අඳ ගොවියෙකි. ඔහු ගමේ පන්සලේ කුඹුරුවලින් කොටසක් අඳයට ගෙන ගොවිතැන් කළේය. වී ගොවිතැන වගේම එළවළු කොරටුවක්ද කළේය. එයට අමතරව පිට ගම්වල කුලී වැඩ ද කළේය. තලඑළලු පැහැයෙන් යුත් තාත්තා සිහින් සිරුරකින් යුත් අයෙකි. ගමේ බොහෝ අය මෙන් ඔහු කොණ්ඩය බැඳ සිටියේය. කුඹුරු වැඩ කළේ හිසේ ජටාවක් බැඳ අමුඩයකින් සරසීය. එහෙත් පවුලේ එකොළොස් දෙනාගේ බඩකට පිරවීමට ඔහුගේ වෙහෙස මහන්සිය ප්‍රමාණවත් නොවීය.
සිරිසුමනගේ ජීවිතයට වඩාත් සමීප වූයේ අම්මාය. ඔහු සිය මවට අසීමිත ලෙස ආදරය කළේය. ඇය අකුරු කියවීමට ලිවීමට දැනසිටියේ නැත. එහෙත් ජීවිතයට ධෛර්යයෙන් ශක්තියෙන් යුතුව මුහුණ දීමට සිරිසුමන උගත්තේ තම මවගෙනි. ඇය නමින් දියුණුහාමිය. ඇය ගමේ අනෙක් ගැහනුන් මෙන් රෙද්දයි, හැට්‍ටෙයි ඇන්දාය. ඇය තරමක් මිටිය. තරබාරුය. ඇයගේ දහසක් වැඩ කටයුතු මැද පවුලේ එකොළොස් දෙනෙකුට උදේ, දවල්, රාත්‍රී කෑම උයාපියා බෙදා දිය යුතුය. කිරි දෙනුන්න්ගේ කිරි දෙවිය යුතුය. කිරි විකිණිය යුතුය. එළියේ හරක් බැදිය යුතුය. තාත්තාගේ වගා වැඩවලට උදව් කළ යුතුය. හවසට හරක් නැවත මඬුවේ බැඳීම ඇතුළු වැඩ කටයුතු බොහෝය. එහෙත් ඇය ඉන්ද්‍රකීලයක් සේ නොසෙල්වී ජීවිතයට මුහුණ දුන්නාය.
ලොකු අයියා මෙන්ඩිය. දෙවන අයියා සයිමන්ය. ඔවුහු පෙදරේරු වැඩ කළෝය. බාල අයියා මාටින්ය. ඔහු ගොවිතැන් කළේය. එකල ගමේ නිවෙස්වල දැරියන් ඉගෙනීමට යොමු වූයේ නැත. ලොකු අක්කාද එසේය .ගෙදර දොර වැඩවලදී අම්මාට උදව් වූවාය. බාල අක්කා තරමක් දුරට ඉගෙන ගත්තාය. සිරිසුමන පවුලේ හය වැනියා විය. ඔහුට බාල තවත් තිදෙනෙකි. බාල මල්ලී, ලොකු නංගී, බාල නංගී එම තිදෙනාය.
සිරිසුමන පාසල් යන අතර කිසියම් වෙළෙදාමක් කිරීමෙන් කීයක් හෝ හොයාගෙන අම්මා අතට දුන්නද ඔහුගේ සිතට එය මදිවිය. අම්මා, තාත්තා සහෝදර සහෝදරියන් විඳින දුක නිවා දැමීමේ දැඩි අධිෂ්ඨානය ඔහුගේ සිතේ විය. ඔහු ප්‍රමාද වී පාසල් ගියද පාසල් කටයුතුවලදී දක්ෂයෙක් විය. ඔහු ගණිතය විෂයට විශේෂ දක්ෂකම් දැක්වීය. ඔහු පාසලේ ගුරුවර ගුරුවරියන්ගේ සිත් දිනාගත් දක්ෂ සිසුවෙක් විය. ඒ වන විට ඔහු හත්වන ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියේය. සිරිසුමනගේ හො‍ඳම මිතුරා සරණපාලය. ගමේ සිටීමෙන් පළක් නොවන බවත්, දියුණුවිය නොහැකි බවත් සිරිසුමන මුලින්ම කීවේ තම හොඳම මිතුරා වන සරණපාල සමගය. සිරිසුමනට ගමෙන් පිට පළමු රැකියාව සොයා ගැනීමට සරණපාලගේ උදව් උපකාරද ලැබිණ.
සිරිසුමනගේ පළමු රැකියාව වන කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ තේ කඩයක වැඩ කිරීමට පැමිණියේ ඒ අනුවය. ගුරු අභ්‍යාස විද්‍යාලය පිහිටා තිබුණේ ඒ කිට්ටුවය. එහි ඉගෙන ගන්නා අයගෙන් ඇතැම්හු මෙම තේ කඩයට පුරුදු වී සිටියහ. සිරිසුමනගෙන් විස්තර අසා දැනගත් ඔවුහු මෙම කඩයේ සිටීමෙන් කවදාවත් දියුණු විය නොහැකි බව සිරිසුමනට වටහා දුන්හ. ඉන්පසු ඔහු නැවතත් ගමට ගියේය.
වසර දෙකක් ගමේ සිටියේය. කුඹුරු ගොවිතැන, එළවළු වගාව ආදිය තම පියා, මව මෙන්ම සහෝදර සහෝදරියෝද එකතු කරගෙන කළහ. එහෙත් ඔහුගේ අරමුණ වූයේ අම්මා, තාත්තා ඇතුළු සහෝදර සහෝදරියන්ට සතුටෙන් ජීවත් විය හැකි අදට වඩා හොඳ හෙටක් සාදා දීමය. තමන්ගේ උත්සාහයෙන් යමක් කිරීමටද ඔහු කල්පනා කළේය. ඒ සඳහා ගමේ සිටීමෙන් පළක් නැත. ගමෙන් පිටවිය යුතුයැයි ඔහු දැඩි ලෙස සිතා ගත්තේය. ඉතා දුෂ්කර මෙන්ම දැඩි අධිෂ්ඨානයෙන් යුතු ගමන ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.
ඒ අනුව සිරිසුමන දෙවන වර මුලින්ම එන්නේ රත්මලාන චකින්දාරාම පාරේ සත්ව ගොවිපළක් වෙතය. එහි විසිතුරු මසුන්, විසිතුරු කුරුල්ලන් මෙන්ම ගව පට්ටියක් ද තිබිණ. සිරිසුමන එහි වසරක කාලයක් සේවය කළේය. ඉන් පසු දෙහිවල ප්‍රදේශයේ කිරි දෙනුන් පස් දෙනෙකුගෙන් සමන්විත කිරි පට්ටියක් බලා ගත්තේය. සිරිසුමන එයින් සෑහීමකට පත්නොවීය. ජීවිතය ඒකාකාරී විය.
ඔහුට දිනක් හදිසියේ සිය මවගේ නැගණියගේ පුතා කොළඹ වරායේ සේවය කරන බව සිහිපත් විය. ඔහු හමුවූ පසු කළුබෝවිල ප්‍රදේශයේ තිබෙන ඔහුගේ නිවසට සිරිසුමනට ආරාධනා කළේය. සිරිසුමන ඉන් පසු නැවතුණේ එම සොයුරාගේ නිවසේය. සුවාරිස් අයියාගේ නිවසේ නතර වූ පසු සිරිසුමනට වැටහී ගියේ ඔවුන් කොතරම් අඟහිඟකම්වලින් යුක්තව ජීවත්වනවාද යන්නයි. ඔවුන් සිටියේ කුලී නිවසකය. දරුවෝ හතර දෙනෙක් සිටිති. බිරිඳ සහ සුවාරිස් අයියා සමග හය දෙනෙකි. සුවාරිස් අයියා යහපත් මිනිසකු වූ නිසා තමාට නවාතැන් දුන්නද ඔහුට බරක් නොවී ජීවත් විය යුතු බව සිරිසුමන සිතා ගත්තේය. සුවාරිස් අයියා සිටි වත්තේ හිමිකරු තවත් නිවාස කිහිපයක් කුලියට දී තිබිණ. මෙම නිවාසවල හිමිකරුට දර මඩුවක් තිබෙන බව සිරිසුමන දැනගත්තේය. සුවාරිස් අයියාගේ මාර්ගයෙන් දරමඩුවේ වැඩ කිරීමට සිරිසුමනට හැකිවිය. සිරිසුමන ගණිතයට දක්ෂයෙකු නිසා දර පැලීමට වඩා යමක් කළ හැකි බව දරමඩුවේ හිමිකරු තේරුම් ගත්තේය. ඒ අනුව පළන ලද දර නිවෙස්වලට භාර දී මුදල් ලබා ගැනීමේ වගකීම සිරිසුමනට පැවරිණ.
“මේ වැඩේ කරනවට මම ඔය ළමයට ශත දහය ගානේ ගෙවනවා. මොකද කියන්නේ ඔය ළමයා කැමතිද?”
“මම කැමතියි මුදලාලි”
අත් කරත්තේ දර විකුණන අතරේ සිරිසුමනට තාත්තා කියූ කාරණයක් සිහිපත් විය.
“මට මල්ලිලා දෙන්නෙක් හිටියා. එක් කෙනෙක් බලංගොඩ පැත්තේ කඩයක් කරන බව ආරංචි වුණා. අනිත් මල්ලි ගැන කිසිම තොරතුරක් දැන ගන්න ලැබුණේ නැහැ.”
මේ අදහස සිරිසුමනට නිතර සිහිපත් වන්නට විය. ඔහු අත් කරත්තයේ දර විකිණීමට යන අතරේ වට පිටාව ගැන හොඳ කල්පනාවෙන් ගියේය. දිනක් සිරිසුමන දුටුවේ පොල් පටවා ගත් කරත්තයක තාත්තාට සමාන හැඩහුරුකමින් යුත් පුද්ගලයකු ගමන් ගන්නා බවකි. සිරිසුමන ඔහු පසුපස ගියේය. කඩයක් අසල පාරේ අයිනක කරත්තය නතර කළ ඔහු කඩේ මුදලාලි සමග කතා කර එළියට එනතුරු සිරිසුමන අත් කරත්තය පසෙක නතරකර බලා සිටියේය. සිරිසුමනගේ ජීවිතයම වෙනස් කළ බාප්පා හමු වූයේ එසේය.
ඉන්පසු සිරිසුමනගේ නවාතැන් පොළ වූයේ පිළියන්දළ බෝකුන්දර බාප්පාගේ නිවසයි.
බාප්පා ඔහුගේ පොල් වෙළෙදාම දියුණු කර ගැනීමට සිරිසුමනව යොදා ගත්තේ නැත.
“පුතා මුද්‍රණ කර්මාන්තය වගේ දෙයක් ඉගෙන ගන්න කැමතිද?” බාප්පා ඇසුවේය. සිරිසුමනගේ ඉහේ මලක් පිපුනාක් මෙන් විය.
“මම බොහෝම කැමතියි බාප්පේ.”
සිරිසුමනගේ ජීවිතය වෙනස් වූයේ එපරිද්දෙනි. බාප්පා දන්නා හඳුනන විජේසේකර නම් මුද්‍රණාලයේ හිමිකරු පොත් මුද්‍රණය කිරීම සඳහා අකුරු මිලදී ගත්තේ දෙමටගොඩ පිහිටි එන්. ජේ. කුරේ සමාගමෙනි. බාප්පාගේ මිතුරාගේ මාර්ගයෙන් එන් . ජේ. කුරේ සමාගමේ වැඩ කිරීමේ අවස්ථාව සිරිසුමනට හිමිවිය. මෙය සිරිසුමන ගොඩගේ නම් මහා මිනිසා සහ ගොඩගේ පොත් මැදුර බිහි වීමේ මූලික සංධිස්ථානය විය.
මුද්‍රණ ක්ෂේත්‍රයේ මූලික අංගයක් වන අකුරු සෑදීම පිළිබඳව එහිදී ඔහු හොඳින් උගත්තේය. එන්. ජේ. කුරේ සමාගමේ හිමිකරු වන සෝමරත්න කුරේ මහතා ආගමට දහමට ළැදි අයෙකි. කුරේ මහතාගේ අභිධර්මය පන්තිවලට සහභාගී වීමේ අවස්ථාව සිරිසුමනට ලැබිණ. කුරේ මහතාගේ මාර්ගයෙන් දෙමටගොඩ ශ්‍රී විසුද්ධාරාමයේ වැඩ විසූ දෙවිනුවර ඤාණාවාස හිමියන් හඳුනා ගැනීමේ අවස්ථාවද සිරිසුමනට හිමිවිය.
බාප්පාගේ මාර්ගයෙන් වේල්ලවීදියේ ඩී. පී. දොඩන්ගොඩ සමාගමට අයිති පොත් සාප්පුවේ වැඩ කිරීමේ අවස්ථාව සිරිසුමනට හිමිවිය. දොඩන්ගොඩ සමගමට අයත් පොත් මුද්‍රණය කරන ආයතනයක් මොරටුව ප්‍රදේශයේ තිබිණ. එම ආයතනයේ සේවය කිරීමට සිරිසුමනට අවස්ථාව උදවිය. සිරිසුමන එහිදී මුලින්ම පොත් බැඳීම හොඳින් උගත්තේය. ඉන්පසු සමරු පොත් සැකසීම (ඔටෝ ග්‍රාප්),මෙන්ම ඡායාරූප අලවන පොත් (ඇල්බම්) ආදියෙන් මාසික වැටුපට වඩා වැඩි ආදායමක් ලැබීය.
පොත් මුද්‍රණය සහ පොත් බැ‍ඳීම සඳහා කොළඹ මරදාන ප්‍රදේශය ප්‍රකට විය. මොරටුවට කිට්ටු ගොරකනේ ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන පොත් බඳින ව්‍යාපාරය කරගෙන ගිය සිරිසුමන මරදානට පැමිණියේය. එහිදී අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ ආශ්‍රය සහ ආශිර්වාදය ලැබිණ. මරදාන ප්‍රදේශයෙන් කඩ කාමරයක් කුලියට ගත් ඔහු සිය ව්‍යාපාරය දියුණු කිරීමට ඉමහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළේය. මේ කාලයේ විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන්, විශ්වවිද්‍යාල බවට පත්විය. එයින් විශාල ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇතිවිය. සූට්කේසයක දමාගෙන ගොස් සියයට දහයක වට්ටමක් සහිතව පොත් ඔහු අලෙවි කළේය. විශ්වවිද්‍යාල කිහිපයක පොත් බැඳීමේ කාර්යය ද ඔහුට පැවරිණ.
ව්‍යාපාරික ස්ථානය හත්වරක් වෙනස් කිරීමට ඔහුට සිදුවිය. හත්වන වර පැමිණියේ මේ වනවිට ගොඩගේ පොත් මැදුර පිහිටි ස්ථානයටය. එම ස්ථානය මිලදී ගෙන අද දක්නට ලැබෙන ගොඩගේ පොත් මැදුර දක්වා එය ගොඩ නැගුවේය.
ඉන් පසු ඔහු ප්‍රකට වූයේ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා නමිනි. අතිවිශාල ලේඛක පිරිසකට එතුමා අත දුන්නේය. එයට ප්‍රවීණ ලේඛකයන්ද අයිතිය. ආධුනික ලේඛකයන්ද අයිතිය. එතුමා බිහි කළ ලේඛකයන්ගේ ප්‍රමාණය දහස් ගණනකි. මෙරට විද්වත් ලේඛකයෝ බොහෝ පිරිසක් එතුමන් වටා එක්රොක් වූහ.
පැරණි සාහිත්‍ය පොත් නැවත මුද්‍රණය කිරීම මෙන්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය කිරීම එතුමා කළ විශිෂ්ට කාර්යයකි.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පොත් ප්‍රකාශයට පත් කළේය.
1998 සිට එතුමා “ගොඩගේ සාහිත්‍ය සම්මාන උත්සවය පවත්වාගෙන ආවේය.
එතුමා දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබීය.
එමෙන්ම එතුමා ලේඛකයෙකි.
ප්‍රකාශන ක්ෂේත්‍රයේ , ලේඛන ක්ෂේත්‍රයේ මෙන්ම මුද්‍රණ ක්ෂේත්‍රයේ ද එතුමාගේ නාමය සදා බැබලෙනු ඇත.
එතුමා පැමිණියේ ලෙහෙසි පහසු ගමනක් නොවේ. එය නොපසු බස්නා උට්ඨාන වීර්යයෙන් යුත් මහා පුරුෂයකුගේ ජීවන ගමනයි.
දයාබර මෑණියන්ගේ ආදරණීය හින්නි පුතා ඔහුය.
දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා ඔහුය.
ශ්‍රී ලංකාවේ පොත් රජු ඔහුය.

මහින්ද දළුගොඩආරච්චි

“තණකොළ මිටි විකිණීමෙන් ව්‍යාපාර අරඹා පොත් ලොව ජයගත් පාලටුවේ හින්නි පුතා”


තණකොළ මිටි කිහිපයක් කරෙහි තබා ගත් හින්නි පුතා පාලටුව හන්දියේ ගසක් යට තබා ගිමන් හරින්නට වූයේය. අඳුර දුරු කරමින් හිරු එළිය වැටෙමින් තිබුණේ අලුත් දවසක් උදා කරමිනි. යළිත් නිවස දෙසට ගිය හින්නි පුතා පෙර දිනයේ මහන්සියෙන් සකස් කර ගත් ඉතිරි තණකොළ මිටි ටිකද පාලටුව හන්දියේ අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගය අයිනේ තිබූ ගස යටට රැගෙන ආවේ කිසිදු කම්මැලිකමකින් තොරව ය. තණකොළ මිටි ටික ගස යටින් පිළිවෙලකට තබාගත් හින්නි පුතා මඟ දෙපස දෙස විපරමින් බැලුවේ ය. ඔහුගේ ඉලක්කය වූයේ ව්‍යාපාරික කටයුතු සඳහා මෙන්ම එදිනෙදා ගමන් බිමන්වල යෙදෙන කරත්තකරුවන්ට තණකොළ මිටි අලෙවි කිරීමයි. ගත වූයේ නිමේෂයකි. කරත්තකරුවෙකු පැමිණ හින්දි පුතා අසල කරත්තය නතර කිරීම හින්දි පුතාගේ හිතට ඇති කළේ සතුටකි.
“හා ළමයෝ, ඉතිං කොහොමෙයි ? මේ ළමයා හරි හොඳ වැඩක් නොවැ කොරන්නේ. අපි මේ දුර බැහැර ඉඳලා එන ගමන්. මේ සත්තුන්ට කන්න දෙයක් හොය හොයා ආවේ. මේ තණකොළ මිටියක් කීයෙයි ?”
පළමු වතාවට තණකොළ මිටි අලවියේ යෙදුණු හින්නි පුතා ඒ වන විටත් තණ පොල මිටියක් විකුණන්නේ කීයටද යන්න මිලක් නියම කර නොතිබූ නිසා ඒ සඳහා ගණනක් කීමේ හැකියාවක් තිබුණේ නැත. ඔහු මදක් කල්පනා කළේය.
“මොකෝ ළමයෝ කල්පනා කරන්නේ ? තණකොළ මිටියක් කීයෙයි ?”
“නෑ. මහත්තයා තමයි ඉස්සරවෙලාම තණකොළ ගන්න ආවේ. මහත්තයා කැමති ගානක් දෙන්න” හින්නි පුතා සිහින් හඬින් පැවසුවේය.
“හා හොඳයි එහෙනම්. මට දෙකක්ම දීපන්කො. ආහ්.. මේන් සල්ලි”
තමාගේ මහන්සියේ පළමු ප්‍රතිඵලය අතට ලැබීමෙන් මහත් සතුටට පත් හින්නි පුතා හෝරා කිහිපයක් ගතවෙද්දී තණකොළ මිටි සියල්ලම විකුණා අවසන් කළේ පවුලේ අගහිඟතාවය දුරුකරමින් අම්මාට උදව් කිරීම පිණිස ගත් උත්සාහයේ ප්‍රතිඵල දැක මහත් සතුටට පත් වෙමිනි. බාල විය පසුකර පසු කර නව යොවුන් වියට එළඹෙමින් සිටි කොලු ගැටයෙකු ලෙස ඇරඹි පළමු ව්‍යාපාර කටයුත්තෙන් යම් මුදලක් උපයාගත් හින්නි පුතා, අසල තේ කඩයට දුවගොත් අක්කලා අයියලාට මෙන්ම නංගිලා දෙදෙනා හා මල්ලිට සීනි මුරුක්කුද මිලදී ගෙන නිවස දෙසට දිව ගියේ ජයග්‍රාහී ලීලාවෙනි.
අම්මා තාත්තා ඇතුළුව එකොලොස් දෙනෙකුගෙන් යුත් පවුලේ තිබූ අග හිඟකම් ඉවසාගන්නට නොහැකිව පවුලට යම් සහයක් දීම වෙනුවෙන් තණකොළ මිටි අලවියෙන් සිය ව්‍යාපාරික ගමන ආරම්භ කළ පාලටුවේ හින්නි පුතා ඉන්පසු කීර පලා අලෙවිය, කුරුම්බා අලෙවිය දක්වා ගමන් කරමින් ඇරැඹි ගමන් මග ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පොත් ලොවේ රජු යන කිරුළ හිමිකර ගැනීම දක්වා ගිය ගමන හරි කටුක හා අපූරුතම එකක් විය. මෙම පාලටුවේ හින්නි පුතා අන් කවරෙකු වත් නොව වර්තමානය වන විට මෙරට පොත් නිෂ්පාදනයේ අද්විතිය නාමයකට හිමිකම් කියන ගොඩගේ ව්‍යාපාරය හිමි සිරිසුමන ගොඩගේ මහතාය.
ඇතිවන ගංවතුර තත්ත්වයන් හේතුවෙන් වසරකට කීප අවස්ථාවකදීම පීඩාවට පත්වන ජන කොට්ඨාසයක් ජීවත් වූ පාලටුවේ ගාල්ලේ ගෙදර කටු මැටි ගසා පොල් අතුලු සෙවිලි කර ගොඩනංවන ලද කුඩා නිවසේ ජීවත් වූ ජේම්ස් ගොඩගේ නම් අඳ ගොවියාට දාව උපන් සිරිසුමන ගොඩගේ හෙවත් හින්නි පුතාගේ මව වූයේ දියුණුහාමි ගොඩගේ මාතාවයි.
සිරිසුමන උපත ලැබුවේ 1936 මැයි මස 18 දිනය. ඔහු නව දෙනෙක්ගෙන් යුත් පවුලේ සහෝදර සහෝදරියන් අතර හයවැන්නා විය. ඔහුට වැඩිමහල් සහෝදරයින් තිදෙනෙකු හා සහෝදරියන් දෙදෙනෙකුවූ අතර බාල සහෝදරියන් දෙදෙනකු හා සහෝදරයෙකුද විය. දෙමව්පියන් ඔහුට ආදරයට හැඳින්වූයේ හින්නි පුතා යනුවෙනි. ගෙදර ජීවිතය අඟහිඟකම් වලින් පිරී තිබිණි. දූ පුතුන් නව දෙනෙකුගේ කුස පිරවීමට අඳ ගොවි පංගුවට ලැබෙන දේ ප්‍රමාණවත් නොවීය.
සිරිසුමන කුඩා කාලයේ සිට රෝගී තත්ත්වයන්ගෙන් පෙළී සිටි බැවින් පාසල් අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ පාසල් යන්න නිසි වයස පසුවී වසර දෙකක් ගත වූවාට පසුවය. අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පාලටුව ගුණරතන විද්‍යාලයට ඇතුළත් වූ සිරිසුමන ආරම්භයේ සිට මනා දක්ෂතා පෙන්වූ සුවච කීකරු දරුවෙකු විය. ඔහු ගණිත විෂයට මනා දක්ෂයකු විය. එකල පාසලේ සිටි 3 ශ්‍රේණිය භාරව සිටි තෙලිජ්ජවිල ඉස්කෝලේ මහතා නිතර දරුවන්ට වේවැල් පහර දෙන සැර පරුෂ පුද්ගලයෙකු වූ නිසා ප්‍රදේශයේ ඇතැම් දරුවන් දෙක ශ්‍රේණියෙන් පසු ඔහුට ඇති බිය නිසාම පාසල් කාලය හමාර කළ ද කළද සුවච කීකරු හා සියලු වැඩ කොටස් පිළිවෙලකට කළ සිරිසුමනට තෙලිජ්ජිවිලි ඉස්කෝලෙ මහතාගේ සැරපරුෂ කම්වලින් හානියක් වූයේ නැත. විදුහල්පතිටත් වඩා පාසලේ පරිපාලනය ගෙන ගිය තෙලිජ්ජවිල ඉස්කෝලේ මහතාද සිරිසුමනට කාරුණාවන්ත ලෙස සැලකීම විශේෂ අවස්ථාවක් විය.
පෝයට පන්සල් යාම, අම්මා සමග සිල් සමාදන්වීම, බණ මඩුවේ සිට දහම් ශ්‍රවණය කිරීම හා ධර්ම සාකච්ඡාවලට එක්වීම සිරිසුමනගේ ප්‍රියතම කාර්යයක් වීම නිසා ගමේ කා අතරත් ඔහු ආදරය දිනූ ධෛර්ය වන්ත දරුවෙකු විය.
සිරිසුමගේ මේ සුවිශේෂී හැසිරීම් රටාව නිසාම එකල සාමාන්‍ය දෙයක් වුවත් පසුකාලීනව ඒ ඉතා විශේෂිතව වටිනාකමක් ඇතිවූ සිදුවීමක් එම කාලයේදී සිදු විය. එනම් එකල ගමේ තිබූ ප්‍රභූ පවුල් අතර ප්‍රමුඛ පවුලක් වූයේ පාලටුවේ මහඕවිට රාළහාමිගේ පවුලයි. මෙරට රාජ්‍ය පාලනයේ ජනාධිපති ධූර හිමි හිමිකරගත් පුද්ගලයින් දෙදෙනෙකු ඉපදෙන්නට තරම් වාසනාවන්ත වූ එම නිවස අන් කිසිවක් නොව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන් දෙදෙනා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ දරුවන් නව දෙනෙකු බිහි වූ නිවසයි.
මෙම නිවස හා සිරිසුමන අතර එක්තරා සිදුවීමක් නිසා බැඳීමක් සිදුවන්නේ සිරිසුම පුංචි සන්ධියේදීය. ඒ වන විට රාජපක්ෂ පවුලේ මෑණියන් වූ දන්දිනා සමරසිංහ දිසානායක මහත්මිය මහින්ද රාජපක්ෂ පුතු බිහිකිරීම සඳහා ගැබ් ගෙන සිටි අවදියයි. එකල මෙන්ම වර්තමානයේද තරුණියකට දරුවෙකු පිළිසිඳ ගත් පසු “අත්තගහ මැතිරීමේ” ශාන්ති කර්මය සිදුකර ආශිර්වාද කිරීම පහතරට තිබූ ප්‍රමුඛ අංගයක් ය.
අත්තගහ මැතිරීමේ චාරිත්‍රය අද ක්‍රමයෙන් ඉවත්ව යමින් තිබුණද එකල අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සිදුකළ මෙම ශාන්ති කර්මය සිදුකිරීම වෙනුවෙන් ඒ සඳහා දක්ෂ හා නිපුණතාවයන්ගෙන් පිරිපුන් යැකැදුරන් සිටි අතර හිත්තැටිය, පරවාහැර, උඩුවිල, ලංකා මුල්ල හා බටුවිට ප්‍රදේශවල සිටි යකැදුරන් ඒ සඳහා ජනප්‍රියත්වයක් මෙන්ම විශ්වාසයක් දිනාගෙන සිටියේය.
නිවසේ මකුළු දැල් කඩා අතු පතු ගා සෝදා පවිත්‍ර කොට මෙම ශාන්ති කර්මය සඳහා පේ වෙන අතර ශාන්ති කර්මය සඳහා ගොක්කොල, කෙසෙල් පතුරු, කෙසෙල් කොළ , පොල්මල්, පුවක් මල්, බුලත්, හඳුන් කිරිපැන් ආදියෙන් යුත් අලංකාර මණ්ඩපයක් සකස් කරයි. ආතුරයා වාඩි කරන ස්ථානයෙහි සෝදා පිරිසිදු කරන ලද පංපැදුරක් අතුරා එහි ඉදිරිපස පිලිමෝල් ගහක්, දෙපස පුන්කලස් දෙකක්, කහ වතුරෙන් සෝදන ලද පොල් ගෙඩි දෙකක්, පන්මල්ලක් මත ඇතිරූ හාල් ප්‍රමාණයක්, ජපකර වස් දොස් කැපීම පිරිසිදු කරන ලද දෙහි හා අහුගෙඩි විසි එක බැගින් තබන අතර ආතුරයාගේ දෙපස යම් වතුර ප්‍රමාණයක් පුරවන ලද ඇතිලි දෙකක් තබයි.
සුදු වතින් සැරසුණු ආතුරයා දල්වන ලද පිරිසිදු කළ කොත්තිලක්කු පහන දකුණතින් ගෙන පැමිණ එය මල් යහන මත තබා පැදුරේ ඉඳගැනීමෙන් පසු යකැදුරා මැතිරීම ආරම්භ කරයි. චාරිත්‍රයක් ලෙස පිරිමි දරුවන් දෙදෙනකු හෝ කන්‍යාවියන් දෙදෙනෙකු ආතුරයාගේ දෙපස වාඩිවී සිට පොල්මල් ඇට අතින් ගෙන යකදුරාගේ මැතිරුම් විධි අනුව “අයිබෝ” (ආයු බොහෝ වේවා) කියමින් එම පොල්මල් ඇට ජලයේ පිරි ඇතිලි තුළට දමමින් ආවැඩීම සිදුකරයි. සවස් යාමේ ශාන්ති කර්මය අවසන් කිරීමට ආසන්නයේ පොල්මල් ඇට වෙනුවට දල්වන ලද පහන් තිරා ආතුරයාගේ හිස ආසන්නයේ සිට “අයිබෝ” කියමින් ජලය පිරී ඇතිලි වෙතට දමමින් ආ වැඩීම සිදුකරති.
එදා දන්දිනා සමරසිංහ දිසානායක මහත්මියට සෙත්පතා සිදුකළ අත්තගහ මැතිරීමේ චාරීත්‍රයේදී මෙම ආවැඩීමේ කාර්යය සඳහා තෝරාගෙන සිටියේ ගමේ සිටි ගුණ යහපත් දරුවෙකු වූ හින්නි පුතා හෙවත් සිරිසුමන සහ ඔහුගේ ඥාති සහෝදරයකු වූ රුප්පවත්තේ විසූ ඩැනී ගොඩගේ ය. දන්දිනා සමරසිංහ දිසානායක මහත්මියගේ කුසයේ සිටි මහින්ද රාජපක්ෂගේ උප්පත්තියට ආශිර්වාද පතා දිනක් පුරා ආවැඩීම සිදු කිරීම සිරිසුමනගේ ජීවිතයේ විශේෂ මතකයකි.
පවුලේ ජීවන බරට උරදෙමින් සිටි සිරිසුමනට කිසිදා අමතක නොවන තවත් සුවිශේෂී සිදුවීමක් වූයේය. එනම් දිනක් තණකොළ වෙළදා මේ යෙදී සිට ගෙදර ආසිරිසුමන එළිපත්තේ තිබූ වැල් ඇඳ මත මහන්සේ වී ගිමන් හරිමින් සිටියදී ඔහුට හොඳටම නින්ද ගිය අතර සවස් ඇහැරී බලද්දි අම්මා සහ අක්කලා තණකොළ කපන්නට ගොස් සිටි අතර නංගිලා සහ මල්ලී ද සෙල්ලම් කිරීමට ගොස්සිටියහ. සවස් යාමේ ඇහැරුණු සිරිසුමන ඇඳටම වී මඳ වේලාවක් සිට ගේ පිටුපසට ගියේ වතුර ටිකක් බීමටය. එහිදී ගේ පිළිකන්නේ තෙලිජ්ජ මුට්ටියක් තිබෙනු දැක පැණි හකුරු සෑදීම සඳහා තාත්තා තෙලිජ්ජ ටික ගෙන එන්නට ඇතැයි සිතා කාලෙකින් තෙලිජ්ජ ටිකක් බොන්න බැරිවූවා නොවේදැයි සිතා ප්ලාස්ටික් කෝප්පයක් ගෙන ඉන් ටිකක් බිව් අතර වෙනදා මෙන් පැණි රස වෙනුවට ඇඹුල් රසක් දැනුණි. එම රසයට ප්‍රිය කළ සිරිසුමන කෝප්පයට වත්කරමින් එහි තිබූ සියලු තෙලිජ්ජ බිව්වේය. එහෙත් එය තාත්තා ගෙනත් තබන ලද හොඳට පැසුණු රා බව සිරි සුමන දැන සිටියේ නැත. රා බී වෙරි වූ සිරිසුමන ගෙයි පිළිකන්නේ ඇද වැටුණු අතර අම්මා සහ අක්කා ගෙදර පැමිණ ඔහු උස්සාගෙන ගොස් වැල් ඇඳේ තැබුවේ තාත්තාගේ රා මුට්ටිය තෙලිජ්ජ යැයි සිතා බී ඇතිි මාව තේරුම් ගැනීමෙනි. වෙරි මත නිසා කුසගින්නේම නිදියා ගත් සිරිසුමන පසු දිනට එලි වෙනත්ක්ම අවදිවූයේ නැත. තාත්තා කුඹුරේ වැඩකර මහන්සිවීී සවස ගෙදර පැමිණ රා බීමට බලද්දි රා මුට්ටිය හිස්ව තිබෙනු දුටුවද සිදුව ඇත්තේ අත් වැරදීමක් බව තේරුම් ගත් නිසා තාත්තාද සිනහ සී නිහඬව සිටියේය.
ගමේ හොද හිත දිනා ගනිමින්, පාසල් අධ්‍යාපනයද ගෙදර කටයුතුවලට උදව් උපකාර කිරීමද සිදුකරමින් සිටි සිරිසුමන යහළුවන් නිසා හදිසි අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවූයේය. එය සිරිසුමනගේ ජීවිතය වෙනස් කරන්නට බලපෑ සිදුවීමක් විය.
එම අහඹු සිදුවීම වූයේ සිරිසුමනගේ තාත්තාගේ කුඹුරු කපා පෑගෙන දවසේය. එදින අනිවාර්යෙන්ම ඒ වැඩේට සම්බන්ධ වන ලෙස තාත්තා විසින් සිරිසුමට කියා තිබුණ ද ඒ වගක් අමතක වූ සිරිසුමන යහළුවන් සමග කිරල කැලේට ගොස් එහි කෙළවර ඇති නිල්වලා ගඟේ නා වතුර වේලෙනකම් සිට එන අතරතුර පොද්දුව මහ ඇලෙන් මාළු අල්ලාගෙන කොරටුවෙන් මඤ්ඤොක්කාද ගලවා කොරටුවේ පැලේ තියා මාළු හා මඤ්ඤොක්කා තම්බා හොඳට කෑවේය. ඒ අතර කුඹුරේ ගොයම් කැපීම සිහියට නැගී සිරිසුමන ඉක්මනින් කුඹුරුයාය දෙසට දිව ගියේය. සිදුවූයේ වෙනකකි. ඔහු කුඹුරට එනු දුටු තාත්තා සිරිසුමන යහළුවන් හා එක්වී සිදුකර ඇති දේ දැනගෙන කෝටුවක් ගෙන සිරිසුමනට පන්න පන්නා පහර දුන්නේය. එම පහර වලින් ඔහුගේ ඇඟ පුරාම තැලී රිදුන් දෙන්නට පටන් ගත් අතර අයියලාගේ මෙන්ම ඇතැම් යහළුවන්ගේද නෝක්කාඩු වචන පහරට වඩා හිතට රිදුම් දෙන අවස්ථාවක් විය.
පෝයට පන්සලේ සිල් ගන්නා පුද්ගලයා මාළු අල්ලාගෙන කෑ බව පවසමින් එම පිරිස ඔච්චම් කිරීම තාත්තාගේ පහරදීම් වලටත් වඩා හිතට රිදුනු සිරිසුමන සිදුවූ දේ ගැන සිතමින් දුක් වූයේය.
අම්මා නිවසට පැමිණ තාත්තාගේ පහරදීම් වලින් තුවාල වී තිබූ සිරිසුමනගේ ඇඟ පුරා තුවාල තෙල් තවරන ලද අතර රාත්‍රී කාලයේ නිවසට පැමිණි තාත්තාද සිදු වූ දේ ගැන අම්මා සමග කතා කරමින් දුක් වූවේය.
එදින රාත්‍රිය පුරා කල්පනා කළ සිරිසුමන රැකියාවක් සොයා නිවසින් පිටවිය යුතු බවට තීරණය කළ අතර ඔහුට රැකියා අවස්ථාවක් සොයා ගැනීම සඳහා උදව් කලේ ගමේ හොඳම යාළුවෙකුවූ සරණපාලය.
සරණපාලගේ උදව්වෙන් ඔහු හඳුනන ව්‍යාපාරිකයකු හමුවූ සිරිසුමන කළුතර ප්‍රදේශයේ කඩයක වේටර් කෙනෙකු ලෙස වැඩ කිරීමට ගියේ ගෙදර කිසිවෙකුටත් දැනුම් දීමකින් තොරවය.
කළුතර කටුකුරුන්ද ගුරු විදුහල අසල හෝටලයක වේටර් රස්සාවක් ලබා ගත් ඔහු එහි දී, බොහෝ දුක් ගැහැට වලට මුහුණ පැවේය. මුළු දවස ම වැඩ වලින් පිරිණි. කෙතරම් වැඩ කළද පඩිය ලෙස ලැබුණේ සොච්චමකි. අම්මා තාත්තා සේම සහෝදර සහෝදරියන්ද සිරිසුමනට නිතර සිහි විය. මසක් වේටර් රස්සාව කළ ඔහු යළි ගමට ආවේය.
සිරිසුමන යළිත් පවුලේ අග හිඟකම් දුරුකරගන්නට සහාය වන්නට විය. පවුලේ වැඩ නිසා වෙහෙස මහන්සි වන තාත්තා දවසින් දවස දුර්වල වෙමින් ඇත. තාත්තා හා අම්මා පවුල ගැන වෙහෙස වුවද අයියලාගෙන් ඒ සඳහා ලොකු සහායක් නොලැබීමත් පවුලේ වැය බර එන්න එන්න වැඩිවීමත් සිරිසුමනගේ හිතට මහත් වේදනාවක් ගෙන දුන්නේය.
වසර දෙකක් පමණ නැවත ගමේ රැඳී සිටි හින්නි පුතා යලිත් වතාවක් සරණපාලගේ මග පෙන්වීම මත ගමේ සමකාලීන සහෝදරයන් වූ චන්දරේ හා කළුවා සමග නැවත රහසේම ගෙදරින් ගොස් රත්මලානේ ගොවිපොළක රැකියාව කළේය.
විසිතුරු මසුන්, කුරුල්ලන් සහ කිරි ගවයන් සමග හින්නි පුතා රත්මලානේ ගොවි පොලේ වසරක් පමණ රැකියාව කරමින් ගත කළේ ය. ඒ අතර දිනක සිරිසුමන වරායේ වැඩ කළ පුංචි අම්මාගේ පුතාවූ සුවාරිස් අයියා හමුවන්නට ගියේය. එම හමුවේදී සුවාරිස් සිරිසුමනට කීවේ තැන් තැන්වල සිට දුක් නොවිඳ තමන්ගේ නිවසට පැමිණ නතර වන ලෙසයි. ඒ අනුව සිරිසුමන කලුබෝවිල පිහිටි සුවාරිස් අයියාගේ නිවසේ නැවතීමට පැමිණියේ මහත් බලාපොරොත්තු සමගය.
සුවාරිස් අයියාගේ නිවසට නැවතීමට පැමිණි සිරිසුමනට පසුව තේරුම් ගියේ කුලී නිවසක් වූ එහි ගතකිරීම ඔවුනට කරදරයක් බවයි.
පසුව සිරිසුමන එතෙක් වැඩ කළ ගොවි පොළෙන් ඉවත්ව සුවාරිස් අයියාගේ මග පෙන්වීම මත දර මඩුවක වැඩට ගියේය. දර පැලීම, කරත්තයක දර පටවාගෙන ගොස් අලෙවි කිරීම සිරිසුමනගේ වගකීම විය. ඔහු එය අකුරට ඉටු කළේය. අත් කරත්තයේ දරපටවාගෙන විකුණමින් යන අතර කරත්තයකින් පොල් ගෙනැවිත් විකුණමින් සිටි බාප්පා අහම්බයෙන් මුණගැසුණේය. ඉන්පසු සිරිසුමනට සිදුවූයේ බාප්පාගේ නිවසේ නතරවීමටයි.
පිළියන්දල බෝකුංදර බාප්පාගේ ගෙදර නැවතීමට ගියපසු බාප්පා විසින් සිරිසුමනට විජේසේකර නැමැති මුද්‍රණාල හිමියකු හඳුන්වා දුන්නේ ය. විජේසේකර විසින්මේ සිරිසුමන මරදානේ එන්. ජේ. කුරේ සමාගමට භාර දුන්නේය. එය සිරිසුමනගේ කුඩා කල සිට සිතේ තිබූ ආසාව ඉටු කර ගැනීමේ ඉලක්ක වෙත යන්න ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විය. ඔහු එහි දී අච්චු අකුරු තැනීම ඉගෙන ගත්තේ ය.සිරිසුමන ඒ අතර පියදාස සිරිසේනගේ නවකතා කියැවූයේ මහත් ආසාවෙනි. දුසිරිතට එරෙහිව කතා කරමින් සුසිරිත වගා කරමින් රට පුරා ඇවිදින කෝංගොඩ වික්‍රමපාලගේ චරිතයට ඔහු ප්‍රිය කෙළේය. ඒ අතර ඔහු බාප්පාගේ මග පෙන්වීමෙන් පොත් ප්‍රකාශක ඩී. පී. දොඩංගොඩ සමාගමට වූවේය. එහි දී ඔහු පොත් බැඳීම ඉගෙන ගත් අතර බඳින්නට ලැබෙන පොත් කියවීමට ඔහුට ඉඩ ලැබිණි. ඒ නිසා පොත් බැඳීම ඔහුට ප්‍රිය මනාප රැකියාවක් විය. රෙක්සින් හම සහිතව පොත් බැඳ අයිතිකරුගේ නම රත්‍රං අකුරින් සටහන් කරන ඔහු ඒවා රාක්කයක තබා හැඩ බැලුවේය.
පොත් බැඳීම කෙරෙහි වැඩි ආදරයක් ඇති කරගත් සිරිසුමන දොඩංගොඩ සමාගමේ සේවය කළ ජයසේන අයියාගේ මග පෙන්වීම මත දොඩංගොඩ සමාගමට අයත් මොරටුවේ පිහිටි පොත් මුද්‍රණය කරන ආයතනයේ සේවයට ගිය අතර එහිදී ඔහු මහත් ආශාවෙන් පොත් මුද්‍රණය පිළිබඳ ඉගෙන ගත්තේය.
මාසයක් තුළ සිරිසුමන පොත් බැඳීම පිළිබඳ ඉගෙන ගත් අතර එම මුද්‍රණාලයේදී හමු වූ සූරතිස්සගේ මග පෙන්වීම මත නිවාඩු දිනවල සහ රාත්‍රී කාලයට පිරිවෙන් වල හා පුස්තකාලවල පොත් බැඳීම සිදුකළ සිරිසුමන ඉන් අමතර ආදායමක් උපයා ගත්තේය. ඊට අමතරව සූරතිස්සගේ මග පෙන්වීමෙන්ම ඡායාරූපාල අලවන පොත් සහ සමරු සටහන්පොත් සකස් කිරීමට සිරිසුමන ඉගෙනගත්තේය. ඔහු ඒවා විවේක වේලාවන්වලදී සකස් අලෙවි කිරීමෙන් ආදායමක් උපයාගත්තේය.
1957 ඔහු මිතුරකු ද සමඟ එක්ව පොත් බැඳුමහලක් මාලිගාකන්දේ ඇරැඹීය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ භික්ෂුන් වහන්සේලාගෙන් ඔහුට බැඳීම සඳහා පොත් ලැබිණි.මේ යුගයේ දී සිරිසුමන බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන්ගේ ඇසුරට වැටිණි. ඔහු ඒ හිමියන්ගෙන් ජ්‍යෝතිෂය සහ සංස්කෘත භාෂාව ඉගෙන ගත්තේය. මේ කඩිසර ප්‍රියමනාප තරුණයාට උසස් අනාගතයක් උරුම බව බලන්ගොඩ හිමියෝ කීහ. නාහිමියන් සිරිසුමනගේ ව්‍යාපාරයේ දියුණුවට කොපින් ප්‍රෙස් එකක් තෑගි කෙළේය. සිරිසුමන තනිවම දෙමටගොඩ පොත් බැඳුම්හලක් ඇරැඹීය. එහි දී ඔහු අලුත් වැඩක් ද පටන් ගති. ඒ විද්‍යෝදය විද්‍යාලංකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සියයට දහයේ වට්ටමකට පොත් සැපයීමය. විද්‍යෝදය විශ්ව විද්‍යාල පුස්තකාලයාධිපති වේරගොඩ අමරමෝලි හිමියෝ සිරිසුමනට පුස්තකාලය සඳහා පොත් සැපයීම ද පැවරූහ. සිරිසුමනගේ ඇඩ නිසා භික්ෂුන් වහන්සේලා අතර ඔහුගේ හොඳ නම කියැවිණි. පොත් බැඳීමෙන් ඔහුට ලොකු ලාභයක් ලැබිණ. වැඩ වැඩි විය. ඔහු වැඩ පොළට තවත් සිව් දෙනෙකු බඳවා ගත්තේය. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ පුස්තකාලයට ද පොත් සැපයීම ඔහුට පැවැරිණ. පුස්තකාලාධිපති හා අනෙකුත් නිලධාරීන්ද ඔහුට උදව් කෙළේය.
මවගේ කුසේ සිටියදී අත්තගහ මැතිරීමට එක්වෙමින් ආශිර්වාද කළ මහින්ද රාජපක්ෂ සිරිසුමනට නැවත හමු වන්නේ විද්‍යෝදය විශ්ව විද්‍යාල පුස්තකාලයේ සේවය කරමින් සිටියදීය. මහින්ද රාජපක්ෂ මහතා සිරිසුමනගේ ගමන් මඟට උපරිම සහාය ලබාදෙමින් උදව් උපකාර කළේය. දිරිගැන්වූයේය.
“අපේ බාප්ප අපිට හරි ආදරෙයි. අපි පුංචි කාලේ ඉදලා කවදාවත් කොටට අඳිනවට කැමති වුණේ නෑ. ඒවාට ඉඩ දුන්නේ නැහැ. පවුලේ ඔක්කොම ගැන බලා ගත්තා. උදව් කළා. බාප්පා පොඩි ළමයින්ට හරි ආදරෙයි. නිතර විහිළු කරමින් දරුවන් සමග ඉන්න එයා හරි කැමතියි” සිරිසුමන ගොඩගෙ මහතා ඉපදී ජීවත් වූ පාලටුව මහ ගෙදර සංවර්ධනය කර ගනිමින් දැනට එහි ජීවත්වන කුසුමා ගොඩගේ (72) මහත්මිය පැවසුවාය.
සිරිසුමන පසුව ළමා පොත් කීපයක් මුද්‍රණය කොට පළ කෙළේය. ඒවා පොත්හල් වලට ගෙන ගියේය. සිරි සුමන පොත් පළ කිරීමට යාම අනෙක් පොත් ප්‍රකාශකයන්ගේ අප්‍රසාදයට හේතු විය. ඔහුගේ පොත් විකිණීමට බාරගත් පොත්හල් හිමියෝ පොත් විකුණූ පසු ද මුදල් නොදුන්හ. එහෙත් ඔහු ඉන් අධෛර්යයට පත් වූයේ නැත.
1970 දී ඔහු මරදානේ ගොඩනැගිල්ලක් බද්දට ගෙන පොත් හලක් විවෘත කෙළේය. පොත් වෙළෙඳාම ද පොත් ප්‍රකාශනය ද පොත් බැඳීම ද ඔහුට එතැන සිට කළ හැකි විය. මහාචාර්ය බන්දුසේන ගුණසේකරයෝ ඔහුගේ පොත් ප්‍රකාශන ව්‍යාපාරයට මුලින් ම උදව් වූ අතර ලේඛකයන් හඳුන්වා දුන්හ. ඔවුනගේ අත් පිටපත් ලබා දුන්හ. සුළු කලෙකින් ඔහුට ඒ ගොඩනැගිල්ල මිලට ගත හැකි විය.
ඒ ආකාරයට බාධක කම්කටොළු මැද සෙමින් සෙමින් දිගු ගමනක් ගිය සිරිසුමන ගොඩගේ හෙවත් පාලටුවේ හින්නි පුතා මෙරට පොත් නිෂ්පාදනේ කිරුළ හිමි හිමිකර ගනිමින් ගොඩගේ පොත් මැදුර ගොඩනඟමින්, ලේඛකයන්ට උදව් උපකාර කරමින් මිය යන තෙක් ම ලෝ පතල ව්‍යාපාරිකයකු බවට පත්ව ඇත.

ජයසිරි පේදුරුආරච්චි

ග්‍රන්ථ ප්‍රකාශනයේ අසිරිමත් මිනිසා


දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතාගේ අභාවය ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ එක් යුගයක අවසානය සනිටුහන් කරයි. වයස අවුරුදු 90 දී ඔහු අපගෙන් සමු ගෙන යන්නේ හුදු ව්‍යාපාරික උරුමයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලා කටයුතු කෙරේ මහත් බලපෑමක් ඇති කළ ගොඩගේ පොත් මැඳුර නම් ආයතනය ද රටට ලබා දෙමිනි.
සිය ප්‍රකාශන ව්‍යාපාරය ඉතා සුළු මට්ට්මකින් ආරම්භ කළ එතුමා රජය සහ බොහෝ පෞද්ගලික ප්‍රකාශන ආයතන සිංහල භාෂාවෙන් ශාස්ත්‍රීය හා වෙනත් කෘති ප්‍රකාශයට පත් කිරීමට පසුබට වූ කාලයක දහස් ගණනක් සිංහල පතපොත පළ කොට කතුවරුන්ට සහාය දෙමින් ලේඛක – පාඨක – විචාරක හැමගේ ආදරය දිනා ගත්තේය; ව්‍යාපාරික ලෝකයේ උසස් තැනකට පත් වූයේය. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ නමින් ගත්කරුවන්ගේ පතපොතේ දැක්වුණත් ‘ ගොඩගේ මහත්තයා’ නමින් සැම දෙනා අතර මෙතුමා ප්‍රකට වූයේ පතපොතට ඔහු දැක්වූ ඉමහත් ආදරය නිසා ය.
මට මුලින්ම සිරිසුමන ගොඩගේ මහතා මුණගැසුණේ 1996 වසරේ දී මගේ පළමු පොත ප්‍රකාශයට පත් කිරීම ගැන සාකච්ඡා කිරීමට මහාචාර්ය ජේ. බී. දිසානායකයන් සමඟ ගොඩගේ පොත් හලට ගිය අවස්ථාවේ දී ය. එකල මරදානේ කුඩා පොත් හලක ඔහු සිනාමුසු මුහුණින් යුතු ව වැඩ කටයුතු කෙළේය. ඉන්පසු ගෙවුණු තිස් වසරක පමණ කාලයේ දී සිංහල භාෂාව, වාග් විද්‍යාව සහ සන්නිවේදනය පිළිබඳ මගේ බොහෝ කෘතිවල ප්‍රකාශකයා බවට පත් වූයේ සිරිසුමන ගොඩගේ මහතා ය.
පොත් අලෙවියෙන් ඔබ්බට ගොස් ශාස්ත්‍රීය වටිනාකමක් ඇති පතපොත පළ කිරිමට එතුමා තුළ පැවති ආසාව ඉහළින් ම කැපී පෙනුණි. ඔහු සැමවිට ම උගතුන්ට කිසියම් අයුරකින් පිහිට වීමට මහත් කැමැත්තක් දැක්වීය. ප්‍රවීණ – ආධුනික ලේඛක සැම කෙරේ ගැඹුරු සෙනෙහසකින් පොත් ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් නොව, තවත් බොහෝ ආකාරවලින් ඔවුන්ට සහාය වීමෙන් ද එතුමා මහත් තෘප්තියක් ලැබුවේය. මා සමඟ සබැඳි එක් සිද්ධියක් මට මෙහි දී මතක් වේ. එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා පිටත් ව යෑමට පෙර මා වෙනුවෙන් විශ්වවිද්‍යාලය සමඟ පැවැති බැඳුම්කරයේ ඇපකරුවෙකු ලෙස අත්සන් කිරීමට 2006 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයට ඔහු පැමිණි අයුරු මට සිහිපත් වේ. ගොඩගේ මහතා එම උපකාරය අප වෙත දැක්වූයේ එකල තරුණ ශාස්ත්‍රවන්තයකුගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් තමාගෙන් ඉටු විය යුතු කාර්‍යයක් ලෙස ය.
ගොඩගේ මහතා ශ්‍රී ලංකා ප්‍රකාශන ලෝකයේ කීර්තිමත් චරිතයකි. ගොඩගේ ජාත්‍යන්තර ප්‍රකාශකයන් සහ සුප්‍රසිද්ධ ගොඩගේ පොත් මැඳුරේ නිර්මාතෘවරයා වූ ඔහු දශක ගණනාවක් එහි මඟ පෙන්වන්නා ලෙස ද කටයුතු කරමින් ගොඩගේ ප්‍රකාශන ආයතනය රටේ වඩාත් ම ප්‍රකට හා බලවත් ම ප්‍රකාශන ආයතනයක් බවට පරිවර්තනය කළේය. බොහෝ පොත් ප්‍රකාශකන්ට නොතිබුණු දුලබ දැක්මක් සහ කැපවීමකින් යුක්තව කටයුතු කරමින් ඔහු තම මුළු ජීවිතය ම පොත් ලෝකයට කැප කළේය. මේ නිසා සිරිසුමන ගොඩගේ නාමය පොත් සමඟ බැඳුණු සන්නාමයක් බවට පත් විය.
මරදානේ ගොඩගේ පොත් මැඳුර දිවයිනේ ප්‍රකට මහාචාර්‍යවරුන්, ආචාර්‍යවරුන් හා ලේඛකයන් හමු වන ස්ථානයක් බවට පත් විය. ඔවුන් වෙත බොහෝ අවස්ථාවල දී හකුරු සමග බෙලි මල් හෝ තේ කහට කෝප්පයකින් සංග්‍රහයක් ද ලැබුණේය. මුදල් ඇවැසි නම් අලෙවිය ගැන නොසිතා කර්තෘ භාග ගෙව්වේය. ඇතැම් කතුවරුන් රෝග පීඩාවන්ට ලක් වූ විට ඔවුන්ට පිහිට වූයේය.
සිරිසුමන ගොඩගේ ග්‍රන්ථ ප්‍රකාශකයකු ලෙස කැපී පෙනුණේ හුදෙක් ව්‍යවසායක දැක්මක් සහිත විශිෂ්ට ව්‍යාපාරිකයකු වශයෙන් පමණක් නොවේ. සිංහල ලේඛක පරම්පරාවක් බිහි කිරීම සඳහා වෙහෙසුණු උතුම් මිනිසෙකු වශයෙනි. බොහෝ කතුවරුන්ට තම කුලුඳුල් පොත පළ කරවා ගැනීමට ප්‍රකාශකයින් සොයා ගැනීමට දුෂ්කර වූ අවස්ථාවල ඔවුන් වෙනුවෙන් නොමසුරුව සහයෝගය ලබා දුන්නේ මූල්‍යමය අවදානම් ගනිමිනි. ගොඩගේ ප්‍රකාශන වශයෙන් පළ වූ ප්‍රබන්ධ කථා, ශාස්ත්‍රීය කෘති හා උපහාර කලාප මේ රටේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි සාහිත්‍ය සංස්කෘතීන් එකසේ පොහොසත් කළේය.
සාහිත්‍ය පෝෂණය වෙනුවෙන් ගොඩගේ සිරිමතුන් කළ මෙහෙවර ග්‍රන්ථ ප්‍රකාශනයට පමණක් සීමා නොවී ය. 1998 දී ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ස්ථාපිත කිරීමත් සමඟ සිංහල, දෙමළ හා ඉංග්‍රීසී භාෂා ත්‍රිත්වයෙන් ම ලාංකේය සාහිත්‍යයේ විශ්ෂ්ටත්වය හඳුනාගැනීමට හා අගය කිරීමට අවශ්‍ය වේදිකාවක් ඔහු නිර්මාණය කර දුන්නේය.
1936 මැයි මස 18 වන දා මාතර දී උපත ලැබූ සිරිසුමන ගොඩගේ මහතා තුළ පැවැති මහත් කැපවීම, තැනට සුදුසු නුවණ සහ පොත් කෙරෙහි ඇති ගැඹුරු ඇල්ම නිසා ව්‍යාපාරික ලෝකයේ ඉහළට තැනකට පත් වුවත් පොදු යහපත වෙනුවෙන් සැමවිට ම ඔහු සංවේදී විය. එතුමාගේ පොත් ප්‍රකාශන ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකාවේ කියවීමේ සංස්කෘතිය ශක්තිමත් වූ අතර ස්වභාෂාවෙන් නව දැනුම සමාජගත කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු විය.
පසුගිය දශක හතරක පමණ කාලයේ දී සිංහල කියවීමේ සංස්කෘතියේ පුනර්ජීවනයක් බොහෝ දුරට සිදු වූයේ කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ වෙනත් ආයතනයක් නිසා නොව ගොඩගේ මැතිඳුන්ගේ උත්සාහය නිසා ය. මෙලෙස රාජ්‍ය ආයතනයකින් සිදු කළ යුතු කටයුත්තක් තනිව ම කළ ඔහු දේශබන්ධු යන රාජ්‍ය ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේය.
පසුගිය දශක හතරක පමණ කාලයේ මෙරට ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසය ලියන කවරෙකුට වුවත් සිරිසුමන ගොඩගේ භූමිකාව ඉහළින් ම පෙනෙනු ඇත. ගොඩගේ ප්‍රකාශන ආයතනය විසින් සිංහල ප්‍රකාශන ලෝකයේ ඇති කරන ලද පුනරුදයේ පදනම මත ගොඩනැගුණු සිංහල ලේඛක – පාඨක ප්‍රජාව වෙත ළඟා වීමට පසුකාලීනව වෙනත් බොහෝ ප්‍රකාශකයන්ට හැකි විය.
අද අපි සිරිසුමන ගොඩගේ සිරිමතුන්ගේ අභාවය ගැන සොව පළ කරමු. පතපොතට කැප වූ ජීවිතයක නිමාව දකිමු. එතුමාගේ අනුග්‍රහයෙන් පළ වූ දහස් ගණනක් පතපොත, රටට හඳුන්වා දුන් කර්තෘ ප්‍රජාව හා ගොඩගේ පොත් මැඳුර ගොඩගේ මහතාණන්ගේ නාමය සදා අමරණීය කරනු ඇත.

මාහාචාර්‍ය සදගෝමි කෝපරහේවා

මාතර අභිමානය Proud of Matara මුහුණු පොත් පිටුවෙන්

https://www.facebook.com/profile.php?id=100080085251491

Leave a Reply

Your email address will not be published. Required fields are marked *