ඔබ නිසාවෙන්

සුපිපි කුසුමන් පිරුණු උයන්වතු පිස එන
වසත් කල ඉමිහිරි සුගන්ධය
වේදනාවක්මයි මට ඔබ නිසාවෙන්
අමතකව ඇත ඔබ වත මඬල
සුකොමළ දෑත මා හට
මතකයේ රැඳී නැත මගේ
ඔබ දෙඅදර මා සිපගත් අයුරුවත්
උයන්වතුවල සැතපෙන
අඳ ගොලු බිහිරි ධවල ප්‍රතිමාවන්ට
ආදරය කරමි මම ඔබ නිසාවෙන්
අමතකව ඇත මට ඔබ මියුරු කටහඬ
ඔබේ දෙනුවන්ද සමගින්
මලකට සුවඳ මෙන් බැඳී ඇත
මා නොපැහැදිලි මතකය ඔබ කෙරේ
දිවි ගෙවන්නෙමි වේදනාවත් සමග
නොඅල්ලනු මැන, මියනු ඇත මා ඒ වේදනාවෙන්
මලානික බිත්ති මත වැඩෙන
ලතාවක් පරිද්දෙන්
තුරුළු කර ගනියි මා ඔබේ ආලිංගනයන්
අමතකව ගොස් ඇත මට ඔබේ ආලය
එනමුදු පෙනේ ඔබ රුව දකින හැම කවුළුවෙන්
ගිම්හානයේ සුගන්ධය
වේදනාවක්මයි මට ඔබ නිසාවෙන්
සොයා යමි මම නොහිම් ආශා,
පතිත වන තාරකා ඔබ නිසාවෙන්

පැබ්ලෝ නෙරුදා (1904-1973)
පරිවර්තනය නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් .
http://nilukakadurugamuwa.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි.
*************************************************
දෘෂ්ටි මායා

අවදිවීමෙන් පසු
සිහිය එළඹෙන්නට පෙර ඇති
සුළු මොහොත තුළ,
මට අහිමි වූ දේ අමතක
නිමේෂය තුළ,
මට ජීවත් වන්නට ඉඩ දෙන්න
දුනුවායන් රැසකගේ ඉලක්කය
මා බව දැනී
රිදුම් එළඹෙන්න පෙර
කිණිසි දමා ගසන්නන්
සිය ක්‍රීඩා පුහුණුවට
මා තෝරාගෙන යැයි
දැනෙන්නට පෙර
කුණාටුවකට හසුව
දිය යට
මා හුස්ම සිරවෙමින්යැයි
දැනෙන්නට පෙර
නින්දත් නොනින්දත්
අතර ඒ ඉඩ තුළ
ජීවත් වන්නට ඉඩදෙන්න
අප තවමත් අපගේම බව
මටම කියාගන්නට ඉඩදෙන්න
Translation of the poem ‘Hallucinate’ by Marianne David

ශ්‍රී ලංකික කිවිඳියක් වන Marianne David දශක දෙකක අත්දැකීම් ඇති ජනමාධ්‍යවේදිනියකි. දැනට ලංකාවේ ප්‍රධාන පුවත්පතක උප කතුවරිය ලෙස සේවය කරන ඇය, විවිධ සමාජීය කරුණු ගැන නිදහස් මාධ්‍යවේදිනියක් ලෙසද ලේඛනයේ යෙදෙන්නීය. ඇගේ ‘All of the Oranges’ කාව්‍ය එකතුව 2021 ග්‍රේෂන් සම්මාන උළෙලේ දීර්ඝ ලැයිස්තුගත විය.
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි


