හිටවන කවි
සතියේ දිනවල බස්සා
සරල අනුවර්තී චලිතයක
ජීවිතේට කිසිම අලුත්
ගැම්මක් නෑ බං
යංතං ඇති,අද ඉරිදා
වැඩට යන්නෙ හෙට සඳුදා
කඩල කකා දෙකක් නැමුවෙ
ඒක නිසයි බං
බොරු කියන්නෙ මොකටෑ බං
හිටු කියලා මරාගත්ත
සුනාමි කාලෙත් ඉඳහිට
මතක් වෙනව දැං
වලියක් නැති ජීවිතයත්
පරිප්පු නැති හෝටලයක්
කියල කව්ද ගල් ඉබ්බෙක්
කිව්ව නේද බං
පල්ලම ඉවරයි දැන්නම්
නිශ්චිත නෑ ඉදිරියෙ මග
ඇන්ජිම නැවතිලා වගෙයි
ගෑසුත් නෑ බං
හොඳ වෑයින් පයින් එකක්
දෙන්න ඕනෙ මයෙ පස්සට
ඇංජිම කික් ස්ටාර්ට් වෙන්නෙ
එතකොට නෙව බං
කිව්වා වගේ නෙවෙයි බොලේ
වැඩේ අමාරුයි කරන්න
බස්සට පොඩි හැලුප් එකක්
දෙන්න බැයිද බං
බකමූණු කතා
https://frozenlazyowl.blogspot.com
සීත අඳුරෙ පලයන් මා නොකර මුලා…..

පිදු සෙනෙහසක අරුමය සිත තුළට ගලා
සුදු පරවියන් යුවළක් මුතු කඳුළු සලා
කඳු මායිමේ මීදුමකට මුවා වෙලා
මධු මාලතිය දුර ඇදුණා අහක බලා
පොතට වද දිදී කුරුටුව ලිව්වාට
නෙතට කඳුළු උණුහුමකින් රැව්වාට
ගතට හිරිගඩුව සරදම් මැව්වාට
හිතට දුකයි හැර යන බව කිව්වාට
ඈත මීදුමේ මැලවුණු මේඝ බලා
පීත පාට මල් සුවඳද නිමා කලා
ගීත බෙදන සියොතුනි අමනාප වෙලා
සීත අඳුරෙ පලයන් මා නොකර මුලා
දුමින්ද අබේසේකර
https://dumindasanchare.blogspot.com
අශෝකමාලා

වනේ වන කුසුම් පරයන පැහැ වත කමලේ
බාලේ ඉඳන් රැහැ බබලපු නෙත් සඟලේ
කොමළ සිනා කැන් වගුරපු දසන් පෙලේ
මිහිර කෙලෙස මකවන්න ද පපු මඩලේ
උක්දඬු බටනලා සර රස හිඟ උනාදෝ
මොර පලු කෝන් දිව තෙත් නොකලාදෝ
තුන් ගල් ලිපේ ඉදෙනා බත් රස නොවුනාදෝ
පුලා යදින්නට හිත දිරි මදි උනාදෝ
ඇත් අස් සෙනග පිරිවර නැත රැකවල් යන්න
රන්වන් දුහුල් සළු නැත සතපන්න
තන්තිරි මාල නැත ගෙල පටලා රදවන්න
ආල පිරුණු හිත ඇත මදි නොකියන්න
රන්මසු උයන් කෙළි කැප නැත රොඩි දනන් හට
අඩ මස්සටත් වේ මහජන වැද යදින්නට
සාලිය නාමේ ළඟකින් බෑ තබන්නට
ඒත් හිතේ ආලේ බෑ වහන්නට
රජ කුමරෙකු රවටපු මායම්කාරි
චණ්ඩාලියකැ වාසල අවමන්දාරි
රන්මසු උයනේ මල් නෙලනා කටකාරි
ඔබමයි තවත් මගේ හිත දිනු හැඩකාරි
නාඩියා නාඩිරත්න
https://naadiyaonline.blogspot.com
සෘතු

සුසූම් ඇහැරුණ සෘතු
හුස්ම නැවතුන සෘතු
අපේ ප්‍රේමයට තිබුණේ
ඒවැනි වු දිග සෘතු
වරක් දෙවරක් මතක හැටියට
ඔබේ පපුවේ හිස තියා ඇති
ඒ තමයි අපේ ප්‍රේමයේ
උදා වු කෙටිම කෙටි සෘතු
හුදකලාවේ ලියු කවි


