
ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා පැතිර යන රුදුරු ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් යුරෝපා මහද්වීපය වර්තමානය වන විට දැවැන්ත මානුෂීය සහ පාරිසරික අර්බුදයකට මුහුණ දී සිටී. දශක ගණනාවකට පසු යුරෝපයේ අත්විඳින දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය ලෙස සැලකෙන අතර, මේ හේතුවෙන් ලක්ෂ තුනකට අධික ජනතාවකට සිය නිවාස සහ වටිනා දේපළ අතහැර ආරක්ෂිත ස්ථාන කරා පලා යාමට සිදුව තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පෙන්වා දෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප්‍රංශය මුහුණ දෙන දරුණුතම ලැව්ගිනි ව්‍යසනය මෙය බවයි. ප්‍රංශයේ සාමකාමී සමයක සිදුකළ දැවැන්තම සිවිල් ජනතා ඉවත් කිරීමේ මෙහෙයුම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, පුද්ගලයන් 220,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.
විශේෂයෙන්ම නිරිතදිග ප්‍රංශයේ ජිරොන්ඩ් (Gironde) කලාපය මෙම ගින්නෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. ලැව්ගින්න එරට ප්‍රධාන නගරයක් වන බෝර්ඩෝ (Bordeaux) නගරයට කිලෝමීටර් 15ක් තරම් ආසන්නයට පැමිණ ඇති බව වාර්තා වේ. බෝර්ඩෝ නගරාධිපති තෝමස් කැසනව් ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට සහ අවශ්‍ය වුවහොත් තවත් ජනතාව ඉවත් කිරීමට සියලු පහසුකම් සූදානම් කර ඇති බවයි.
මේ වන විට ප්‍රංශය පුරා හෙක්ටයාර 98,000කට ආසන්න භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇති අතර, නිරිතදිග ප්‍රංශයේ පමණක් ගොඩනැගිලි 100කට වඩා විනාශ වී තිබේ. දරුණු සුළං තත්ත්වයන් සහ පවතින වියළි කාලගුණය හේතුවෙන් ගින්න පාලනය කිරීම අතිශයින් දුෂ්කර වී ඇත.
ස්පාඤ්ඤය ද ලැව්ගිනි හේතුවෙන් දරුණු විනාශයකට මුහුණ පා සිටින අතර එරට බලධාරීන් විසින් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ. අගනුවර වන මැඩ්රිඩ් නගරය අවට සහ ටොලිඩෝ (Toledo) ප්‍රදේශවලින් ද ජනතාව විශාල වශයෙන් ඉවත් කරමින් පවතී. ස්පාඤ්ඤයේ පමණක් පුද්ගලයන් ලක්ෂයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර තවත් 75,000 ක් පමණ ඉවත් කිරීමේ ක්‍රියාවලියට යටත් කර ඇත.
මෙම ව්‍යසනය හුදෙක් දේපළ හානියකට පමණක් සීමා නොවී මිනිස් ජීවිත ද බිලිගෙන තිබේ. ස්පාඤ්ඤයේ ලොස් ගැලාර්ඩෝස් ප්‍රදේශයේ හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇත. ඇතැම් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගිනිගත් මෝටර් රථ තුළ තිබී හමුවූ බව සහන කණ්ඩායම් වාර්තා කරයි. ප්‍රංශයේ ද ගින්න නිවීමට ගිය ගිනි නිවන භටයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ලැව්ගිනිවල ඇති භයානකම තත්ත්වය වන්නේ පයිරොකුමුලෝනිම්බස් (Pyrocumulonimbus) ලෙස හැඳින්වෙන යෝධ ගිනි වලාකුළු නිර්මාණය වීමයි. ප්‍රංශයේ ජිරොන්ඩ් ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නෙන් මෙම අසාමාන්‍ය වලාකුළු නිර්මාණය වී ඇති අතර, ඒවා හරහා හටගන්නා ප්‍රබල සුළං සහ ගිනි පුපුරු නිසා ගින්න පැතිරෙන ආකාරය අනුමාන කිරීම පවා අපහසු වී තිබේ. මෙය ගින්න තවදුරටත් වර්ධනය කිරීමට සහ පාලනයෙන් තොර වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.
ස්පාඤ්ඤ බලධාරීන් පෙන්වා දෙන්නේ ප්‍රධාන ලැව්ගිනි දෙකක් එකට එක්වීමේ අවදානමක් පවතින බවයි. එරට ස්වභාවික උරුමයට සිදුවී ඇති හානිය ගණන් කළ නොහැකි තරම් අතිමහත් බව විද්‍යාඥයෝ පවසති.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපය පුරා මෙවැනි දරුණු වියළි කාලගුණික තත්ත්වයන් ඇතිවන බවයි. දකුණු දිග යුරෝපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති අතර, දැඩි උෂ්ණත්වය සහ වර්ෂාව නොමැති වීම නිසා වනාන්තර වියළී යාම ලැව්ගිනි ශීඝ්‍රයෙන් පැතිරීමට මූලික හේතුව වී තිබේ.
කෙසේ වෙතත්, මෙම ගිනි ගැනීම්වලට මිනිස් ක්‍රියාකාරකම් ද සෘජුවම බලපා ඇත. ප්‍රංශ බලධාරීන් පවසන පරිදි වාර්තා වන ලැව්ගිනි 10කින් 9ක්ම මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා හටගත් ඒවා වේ. විශේෂයෙන්ම නොසැලකිලිමත් ලෙස සිගරට් කොට අතහැරීම සහ එළිමහන් ආහාර පිසීම් මෙයට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ. ඇතැම් ප්‍රදේශවල ගින්න ආරම්භ වී ඇත්තේ විදුලි රැහැන් කඩා වැටීමත් සමඟ බව ඇසින් දුටුවෝ පවසති.
ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ප්‍රංශය සිය සෙබළුන් 1,500ක් පමණ යොදවා ඇති අතර යුරෝපා සංගමයේ අනෙකුත් රටවලින් ද සහාය ලැබෙමින් පවතී. අවතැන් වූ පවුල් සඳහා ප්‍රදර්ශන ශාලා සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ තුළ තාවකාලික කඳවුරු පිහිටුවා ඇති අතර ඔවුන් එහි දැඩි පීඩාවකින් කල් ගෙවන අයුරු දැකගත හැකිය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි තවදුරටත් අවදානම් සහගත වනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවයි. ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ ඉදිරි දිනවලදී තත්ත්වය තවත් නරක අතට හැරිය හැකි බවයි. යුරෝපය පුරා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් සිය ගණනක් අඛණ්ඩව මෙහෙයුම්වල නිරතව සිටියද, ස්වභාවධර්මයේ මෙම රුදුරු බලපෑම පාලනය කිරීම තවමත් විශාල අභියෝගයක්ව පවතී.


