කැනඩාවෙන් නව බදු පැනවීමත් සමඟ ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රතිප්‍රහාර: කැනඩා භාණ්ඩ ඇමරිකානු රජයේ කොන්ත්‍රාත්වලින් තහනම් කෙරේ.

කැනඩාව විසින් ඇමරිකාවට එරෙහිව නව ආනයනික බදු පැනවීමත් සමඟම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවට එරෙහිව දැඩි වෙළඳ ප්‍රතිප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර තිබේ. මේ යටතේ, කැනඩා භාණ්ඩ ඇමරිකානු ෆෙඩරල් රජයේ කොන්ත්‍රාත් ක්‍රමවේදවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත්, ඇතැම් කැනඩා භාණ්ඩ ආනයනය තහනම් කිරීමටත් නව විධායක නියෝග අත්සන් කර ඇත.

මෙම මස අගදී ක්‍රියාත්මක වීමට නියමිත නව විධායක නියෝග පහක් හරහා මෝටර් රථ, යතුරුපැදි, ඇතැම් කිරි නිෂ්පාදන සහ මත්පැන් ඇතුළු කැනේඩියානු භාණ්ඩ කිහිපයක් ඇමරිකාවට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබේ.

වොෂින්ටන් රජය මීට පෙර කැනඩාවට එරෙහිව පනවන ලද සියයට 50 ක තීරුබදු වලට ප්‍රතිචාර වශයෙන් ඔටාවා රජය විසින් නව බදු මාලාවක් ක්‍රියාත්මක කළ අතර, ට්‍රම්ප්ගේ මෙම නව නියෝග නිකුත් වූයේ එම ප්‍රතිප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසිනි. අඟහරුවාදා මධ්‍යම රාත්‍රියෙන් පසු කැනඩාවේ නව බදු ක්‍රියාත්මක වීමත් සමඟ දෙරට අතර වෙළඳ යුද්ධය තවත් උග්‍ර අතට හැරුණි.

ඇමරිකාව සමඟ පවතින වෙළඳ ගැටලු හමුවේ කැනඩාව ඇමරිකාවෙන් බැහැරව වෙනත් විකල්ප වෙත යොමුවීම යම් පරිත්‍යාගයකින් සිදුවනු ඇති බව කැනඩා අගමැති මාර්ක් කාර්නි අනතුරු ඇඟවීය. සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, “පසුගිය වසරේ වසන්තයේ දී මම අනතුරු ඇඟවූවා ඇමරිකාව අපව හිමිකර ගැනීම සඳහා අපව බිඳ දැමීමට උත්සාහ කරන බව. මම පොරොන්දු වුණා එය කිසිම දිනක සිදු වීමට ඉඩ නොදෙන බවට,” යනුවෙනි.

පසුගිය මාසයේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ට්‍රම්ප් නිරන්තරයෙන් කැනඩාව ඉලක්ක කරමින් ප්‍රකාශ නිකුත් කරමින් සිටී. 1930 ටැරිෆ් පනතේ 338 වන වගන්තිය භාවිතා කරමින් කැනඩාවට සියයට 50 ක තීරුබදු පැනවූ ට්‍රම්ප්, කැනඩාව ඇමරිකාවට අසාධාරණ ලෙස සලකන බවට චෝදනා කළේය. ඇමරිකානු මත්පැන් ආනයනය කිරීම පළාත් මට්ටමින් තහනම් කිරීම සහ වාහන සඳහා කෝටා පැනවීම මෙන්ම කැනඩාවේ කිරි නිෂ්පාදන කළමනාකරණ පද්ධතිය ද ඔහු මෙහිදී මතු කර දැක්වීය.

කැනඩා-ඇමරිකානු වෙළඳ අමාත්‍ය ඩොමිනික් ලෙබ්ලාං පැවසුවේ ෆෙඩරල් රජය නව ඇමරිකානු තීරුබදු පියවරයන් දැඩි ලෙස සමාලෝචනය කරමින් සිටින බවයි. කැනේඩියානු ස්වෛරීභාවයට සම්පූර්ණයෙන්ම ගරු කරන, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ සබඳතාවක් සඳහා ඇමරිකාව සමඟ constructively කටයුතු කිරීමට සූදානම් බව ඔහු ‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේය.

මේ අතර, ඇල්බටා ප්‍රාන්ත අගමැතිනි ඩැනියෙල් ස්මිත් කියා සිටියේ බදු හේතුවෙන් පීඩාවට පත් වන ජනතාවට සහ ව්‍යාපාරවලට සහයෝගය දැක්වීමට තම ප්‍රාන්තය ෆෙඩරල් රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, විපක්ෂ නායක පිය‌රේ  පොයිලිව්ර් ඉල්ලා සිටියේ අගමැතිවරයා මෙම බදු නිසා සිදුවන සම්පූර්ණ පිරිවැය සහ විස්තර විනිවිදභාවයකින් යුතුව ජනතාවට හෙළි කළ යුතු බවයි.

ට්‍රම්ප් අඟහරුවාදා සමාජ මාධ්‍ය හරහා තවදුරටත් කියා සිටියේ, රජයේ ප්‍රසම්පාදන (Government Procurement) කටයුතු අධීක්ෂණය කරන ෆෙඩරල් ආයතනයට නියෝග කර ඇති බවයි. ඒ අනුව, කැනඩා සම්භවයක් ඇති සියලුම නිෂ්පාදන ඇමරිකානු රජයේ ‘awards schedules’ (කොන්ත්‍රාත්තු කාලසටහන්) වලින් ඉවත් කරන ලෙස ඔහු නියෝග කර තිබේ.

“කැනේඩියානු රජය සහ කැනේඩියානු පළාත් ඇමරිකානු කුඩා ව්‍යාපාරවලට සහ සමාගම්වලට ඔවුන්ගේ රජයේ ප්‍රසම්පාදන වෙළඳපොළට භාණ්ඩ අලෙවි කිරීම තහනම් කර ඇත,” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කළේය. මෙය කැනඩාවේ ‘Buy Canadian’ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිචාරයකි. ඇමරිකාව ද දේශීය මිලදී ගැනීම් ප්‍රමුඛස්ථානයේ ලන ‘Buy America’ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මෙහිදී කැපී පෙනේ.

මෙම කොන්ත්‍රාත්තු කාලසටහන් හරහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 50 කට අධික වටිනාකමකින් යුත් දිගුකාලීන රජයේ ගිවිසුම් ක්‍රියාත්මක වේ. කැනේඩියානු භාණ්ඩ මෙම ක්‍රමයෙන් ඉවත් කිරීම කැනේඩියානු අපනයනකරුවන්ට දැඩි බලපෑමක් වනු ඇත.

දෙරට අතර දේශපාලන සහ ආර්ථික උණුසුම අඛණ්ඩව ඉහළ යමින් පවතී. ට්‍රම්ප් පසුගිය දිනවල ඔන්ටාරෝ විල ‘Lake America’ ලෙස නම් කිරීමට නියෝගයක් අත්සන් කිරීම මෙන්ම කැනේඩියානු ඩොලරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් තැබීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබේ. එපමණක් නොව, කියුබෙක්හි බෝම්බාඩියර් (Bombardier) සමාගමට ඇමරිකාව තුළ ගුවන්යානා අලෙවි කිරීමට නොහැකි වන සේ තහංචි පනවණ බවට ද ඔහු අනතුරු අඟවා ඇත.

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ප්‍රකාශ කළේ ට්‍රම්ප් කැනඩාවට හොඳම වෙළඳ ගිවිසුම පිරිනැමූ බවත්, අගමැති මාර්ක් කාර්නි එය ප්‍රතික්ෂේප කළේ මන්දැයි තමාට පැහැදිලි නැති බවයි . කෙසේ වෙතත්, ඉදිරියේදී දෙපාර්ශ්වය අතර පවතින මෙම ආර්ථික අර්බුදය කෙසේ විසඳී යනු ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් යුතුව බලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today