කැනේඩියානු බොක්සිං පුරාවෘත්තයක්වූ ජෝර්ජ් චුවාලෝ (George Chuvalo) දිවි සැරියට සමුදෙයි.

මුහම්මද් අලි සමඟ පැවැති ඓතිහාසික සටන් දෙකකින් සහ කිසිදු දිනක ලෝක ශූරයෙකු හමුවේ බිම නොවැටුණු (never knocked down) දැඩි සටන්කාමී හෙවිවෙයිට් බොක්සිං ක්‍රීඩකයෙකු වූ කැනේඩියානු බොක්සිං පුරාවෘත්ත ජෝර්ජ් චුවාලෝ (George Chuvalo) අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 89 වන වියෙහි පසුවූ අතර, ඔහුගේ මරණය සිදුව ඇත්තේ ඔහුගේ උපන් දිනයේදීම වීම විශේෂත්වයකි.

චුවාලෝ සිය ක්‍රීඩා දිවිය තුළ පුහුණුවීම් කළ ටොරොන්ටෝ හි පිහිටි ‘සලීස් බොක්සිං ජිම්’ (Sully’s Boxing Gym) ආයතනය විසින් සෙනසුරාදා සමාජ මාධ්‍ය සටහනක් තබමින් මෙම දුක්බර පුවත තහවුරු කළේය. “අද දින සලීස් ආයතනයට එහි ඉතිහාසයෙන් වැදගත් කොටසක් අහිමි වී තිබේ” යනුවෙන් එම ජිම් එක ප්‍රකාශ කර තිබුණි.

ඔන්ටාරියෝ ප්‍රාන්තයේ අගමැති ඩග් ෆෝඩ් (Doug Ford) ද චුවාලෝගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් ඔහුව හැඳින්වූයේ “හෙවිවෙයිට් බොක්සිං පුරාවෘත්තයක්, පවුලේ මිතුරෙකු සහ කැනේඩියානු සංකේතයක්” ලෙසිනි.

වයස අවුරුදු 17 දී කැනේඩියානු ආධුනික ශූරයා බවට පත් වූ චුවාලෝ, වෘත්තීය මට්ටමින් වසර 20 කට ආසන්න කාලයක් ජාතික ශූරතාව රඳවා ගත් අතර, ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. 1956 සිට 1978 දක්වා පැවති ඔහුගේ වෘත්තීය ක්‍රීඩා දිවිය තුළ ඔහු තරග 73 ක් ජයගෙන, පරාජයන් 18 ක් සහ ජය පරාජයෙන් තොරව නිම වූ තරග 2 ක් වාර්තා කර ඇත. ඉන් පහරදී බිම හෙළීමේ (knockouts) ජයග්‍රහණ 64 කි.

ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ වඩාත්ම කතාබහට ලක් වූ අවස්ථාවන් වූයේ යුගයේ දක්ෂතම හා ආකර්ශනීයම බොක්සිං ක්‍රීඩකයා වූ මුහම්මද් අලි (Muhammad Ali) සමඟ පැවැති දැවැන්ත සටන් දෙකයි. පළමු සටන 1966 දී ටොරොන්ටෝ හි මේපල් ලීෆ් ගාර්ඩ්න්ස්හිදීත්, දෙවන සටන 1972 දී වැන්කුවර් හි පැසිෆික් කොලිසියම්හිදීත් පැවැත්විණි. අලිගේ දරුණු ප්‍රහාර හමුවේ වුවද, චුවාලෝ කිසිදු දිනක වෘත්තීය දිවිය තුළ මුදුපටිය මත බිම නොවැටීම ලෝක බොක්සිං ඉතිහාසයේ විස්මයජනක වාර්තාවකි.

ප්‍රසිද්ධ තීරු ලිපි රචක මිල් ඩනෙල් එකල සඳහන් කළේ, “ප්‍රේක්ෂකයෝ ඊයේ රාත්‍රියේ මේපල් ලීෆ් ගාර්ඩ්න්ස්හිදී ගොනෙකු සහ බඹරෙකු අතර සටනක් දුටහ” යනුවෙනි. වට 15 ක් පුරා පැවති එම දරුණු සටනින් පසු අලිට අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් රෝහල්ගත වීමට සිදු වූ අතර, චුවාලෝ සටනින් පසු ප්‍රකාශ කළේ තමන් “මගේ බිරිඳ සමඟ නැටීමට ගිය බවයි.”

රින්ගය තුළ නොසැලී සිටි දැඩි මිනිසෙකු වුවද, චුවාලෝගේ පෞද්ගලික ජීවිතය අතිශයින්ම වේදනාකාරී විය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ සියදිවි නසාගැනීම් හේතුවෙන් ඔහුට සිය පුතුන් තිදෙනා සහ පළමු බිරිඳ වන ලින් අහිමි විය. “මම මුහුණ දුන් සියලුම බොක්සිං පහරු එකතු කර 10,000 කින් වැඩි කළත්, මත්ද්‍රව්‍ය හා සියදිවි නසාගැනීම් නිසා පුතුන් තිදෙනෙකු සහ බිරිඳක් අහිමි වීමේ වේදනාවට එය සමාන කළ නොහැක” යනුවෙන් ඔහු සිය ස්වයංචිතරීය කතාවේ ලියා ඇත.

පසුව ඔහු ජොආන් ඕ’හාරා සමඟ යළි විවාහ වී, කැනඩාව පුරා පාසල් වෙත යමින් තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලින් මුදාගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළේය.ජෝර්ජ් චුවාලෝ යනු ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් කැනේඩියානු ජනතාවගේ හදවත් දිනාගත් සැබෑ සටන්කාමී පුරාවෘත්තයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today