අලුත් ලෝක සිතියම, ඔපෙක් සංවිධානයේ දෙදරීමක්!, හැකරුන්ට කප්පමක්!

අලුත් ලෝක සිතියම

ඊයේ දිනයේ (2026 සැප්තැම්බර් 4) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය සියවස් හතරකට වැඩි කාලයක් පුරා ලෝකයේ වඩාත් ප්‍රචලිත සිතියම් ප්‍රක්ෂේපණයක් ලෙස භාවිතා වූ මර්කේටර් ලෝක සිතියම වෙනුවට, රටවල් හා මහාද්වීපවල සාපේක්ෂ භූමි ප්‍රමාණය වඩා නිවැරදිව නිරූපණය කරන Equal Earth වැනි සිතියම් ප්‍රක්ෂේපණ භාවිතය ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම පිණිස යෝජනාවක් සම්මත කරගනු ලැබුවා.

අප්‍රිකානු රටවල් විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 164ක් ඡන්දය ලබා දුන් අතර, විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය පමණයි. පැරණි සෝවියට් සමූහාණ්ඩු පහක් වූ ලිතුවේනියාව, එස්ටෝනියාව, යුක්‍රේනය, මෝල්දෝවා සහ ජෝජියාවත්, පැරණි යුගෝස්ලාවියාවේ කොටසක් වූ සර්බියාවත් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මෙම යෝජනාවේ මුඛ්‍ය පරමාර්ථය වූයේ වත්මන් ලෝක සිතියම තුළ ලෝකයේ රටවල් ඒවායේ නියම ප්‍රමාණයෙන් නිරූපණය නොවීමේ ඓතිහාසික වරද නිවැරදි කිරීමයි. මර්කේටර් ලෝක සිතියම තුළ කැනඩාව, රුසියාව හා ග්‍රීන්ලන්තය වැනි රටවල් ඕනෑවට වඩා ලොකුවට පෙනෙන අතර අප්‍රිකාවේ සාපේක්ෂ විශාලත්වය පෙනෙන්නේ නැහැ. 

යෝජනාවට විරුද්ධ වූ එකම රට වූ ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික අරමුණු වලින් බැහැර වීමක් ලෙසත්, යෝජනාව වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ පුළුල් මතවාදී ව්‍යාපෘතියක කොටසක් ලෙසත් හඳුන්වා තිබුණා. ඡන්දය දීමෙන් වැළකී සිටි යුක්‍රේනය, අප්‍රිකානු රටවල යෝජනාවේ මූලික අරමුණට තමන් විරුද්ධ නොවන බව සඳහන් කළත්, Equal Earth සිතියමෙහි රුසියාව විසින් අත්පත් කරගෙන ඇති යුක්‍රේන භූමි ප්‍රදේශ නිරූපණය කර ඇති ආකාරය පිළිගත නොහැකි බව සඳහන් කළා. 

මීට සතියකට පමණ පෙර, 2026 අගෝස්තු 27 දින, ඇමරිකන් ජනාධිපතිවරයා විසින් පංච මහා විල් වලින් එකක් වූ ඔන්ටාරියෝ විල ඇමරිකානු ෆෙඩරල් රජයේ භාවිතය සඳහා ඇමරිකා විල ලෙස නම් කළ අතර, ඊටත් පෙර මෙක්සිකන් බොක්ක ඇමරිකන් බොක්ක ලෙස නම් කරනු ලැබුවා. 

මේ වන විට මෙට්‍රික් මිනුම් ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන මිනුම් ක්‍රමය බවට පත්ව ඇතත්, ඇමරිකා එක්සත් ජනපදය තුළ දෛනික භාවිතයේ ප්‍රධාන මිනුම් ක්‍රමය ලෙස තවමත් මෙට්‍රික් මිනුම් ක්‍රමය භාවිතා වන්නේ නැහැ. මෙම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කළ ඇමරිකාව විසින් අලුත් ලෝක සිතියම ප්‍රවර්ධනය කිරීමට සහයෝගය දීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ගූගල් හා ඇපල් වැනි ඇමරිකානු සමාගම් විසින් පිළියෙළ කෙරෙන ලෝක සිතියම් මේ වන විට ඇමරිකාවෙන් පිටත ලෝකය පුරාම භාවිතා වෙනවා. එබැවින් අනෙකුත් රටවල අලුත් ලෝක සිතියම ප්‍රචලිත වුවද, පැරණි සිතියම ඉක්මණින් භාවිතයෙන් ඉවත් වීමේ ඉඩක් නැහැ. 

https://economatta.blogspot.com/2026/09/blog-post_05.html

ඔපෙක් සංවිධානයේ දෙදරීමක්!

FILE PHOTO: A 3D-printed oil pump jack is seen in front of displayed OPEC logo in this illustration picture, April 14, 2020. REUTERS/Dado Ruvic/File Photo

සතියකට පමණ පෙර සිදු වූ ඉතා වැදගත් සිදු වීමක් වූයේ මැයි 1 දින සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීමයි. මෙය ඔපෙක් සංවිධානයේ දෙදරීමක් හා ලෝක තෙල් වෙළඳපොළේ සුක්කානම තව දුරටත් ඇමරිකානු අක්ෂය වෙත විතැන් වීමක් ලෙස මෙන්ම මැද පෙරදිග කලාපයේ අනාගත බල තුලනයේ සිදු විය හැකි වෙනස්කම් පිළිබඳව ඉඟි කරන්නක් ලෙසද සැලකිය හැකියි. 

ඔපෙක් සංවිධානය තුළ සිටි විශාලතම තෙල් නිෂ්පාදකයන් වූයේ, සවුදි අරාබිය, ඉරාකය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේටයයි. වසර හැටක පමණ කාලයක් ඔපෙක් සාමාජිකයෙකුව සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම සංවිධානයෙන් ඉවත් වීමෙන් පසුව, ඔපෙක් සාමාජික රටවල් ගණන එකොළහක් දක්වා අඩු වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් මෙන්ම වඩා පුළුල් සංවිධානයක් වන ඔපෙක් ප්ලස් සංවිධානයෙන්ද ඉවත් වී තිබෙනවා. 

ලෝකයේ දැනට හඳුනාගත් තෙල් සංචිත වලින් 79.2%ක්ම ඔපෙක් සංවිධානයේ පාලනය යටතේ පැවති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉවත් වීමෙන් පසුවද මෙම ප්‍රතිශතය 72.0%ක්ව පවතිනවා. මෙම හඳුනාගත් සංචිත වල ඇති ඉන්ධන පවතින වෙළඳපොළ මිලට වඩා බොහෝ අඩුවෙන් නිපදවිය හැකි වුවද, ඔපෙක් සංවිධානය පිහිටුවීමෙන් පසුව එම සංවිධානයේ උපාය මාර්ගය වූයේ ඉන්ධන නිෂ්පාදනය සීමා කිරීම මගින් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි. 

කෙසේ වුවද, ශල්ක තෙල් නිෂ්පාදනය හරහා ඇමරිකාව ලෝකයේ විශාලතම තෙල් නිෂ්පාදකයා බවට පත් වීමෙන් පසුව ඔපෙක් සංවිධානයේ උපාය මාර්ගය අභියෝගයට ලක් වී තිබෙනවා. ඔපෙක් සංවිධානයට නිෂ්පාදනය සීමා කිරීම මගින් ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදන පිරිවැය ඉක්මවා වැඩි කාලයක් මිල ඉහළින් තබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා, තෙල් මිල පහත වැටෙන්නට ඉඩ හැරීම මගින් වරින් වර ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය අඩාල කරන්නට සිදු වෙනවා. 

දේශපාලනික නිදහස අතින් මැද පෙරදිග අනෙකුත් මුස්ලිම් රටවලින් ලොකුවට වෙනස් නොවුනත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආර්ථික හා සංස්කෘතික නිදහස අතින් මැද පෙරදිග අනෙකුත් මුස්ලිම් රටවලට වඩා බටහිරට සමීපයි. ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීමෙන් පසුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට කිසිදු බාධාවක් නැහැ. 

ලෝකයේ හඳුනාගත් තෙල් සංචිත වලින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ වෙනිසියුලාව තුළයි. මෙම ප්‍රමාණය ලෝකයේ හඳුනාගත් මුළු තෙල් සංචිත වලින් 19.4%ක්. වෙනිසියුලාව තවමත් ඔපෙක් සංවිධානයේ සාමාජික රටක් වුවත්, මේ වන විට වෙනිසියුලාවේ ඉන්ධන කර්මාන්තය ඇමරිකානු සමාගම් සමඟ ඒකාබද්ධ වෙමින් පවතිනවා. මේ තත්ත්වය තුළ, ලෝක තෙල් සැපයුම පාලනය කිරීම සඳහා ඔපෙක් සංවිධානය සතු වූ හැකියාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින්, දශක ගණනාවකට පසුව තෙල් වෙළඳපොල නැවතත් වෙළඳපොළ බලවේග වල පාලනයට නතු වෙමින් පවතින ආකාරය දකින්න පුළුවන්. 

https://economatta.blogspot.com/2026/05/blog-post_11.html

හැකරුන්ට කප්පමක්!

ගෙවුණු බ්‍රහස්පතින්දා (මැයි 7) දින සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලෝකයේ, විශේෂයෙන්ම ඇමරිකාවේ, අධ්‍යාපන ආයතන දහස් ගණනක අධ්‍යයන කටයුතු අකර්මන්‍ය වුනා. මෙම සයිබර් ප්‍රහාරය එල්ල වූයේ ඉන්ස්ට්‍රක්චර් සමාගම විසින් සපයන කැන්වස් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියටයි.

ඇමරිකාවේ උසස් අධ්‍යයන ආයතන වලින් 41%ක් පමණත්, පාසැල් විශාල ප්‍රමාණයකුත් කැන්වස් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතා කරන අතර එම ආයතන වල උගන්වන පාඨමාලා හා අදාළ සටහන්, පැවරුම් හා විභාග ආදිය සිසුන් වෙත ලබා දෙන්නේ කැන්වස් යෙදුම් මෘදුකාංග වේදිකාව හරහායි. පසු ගිය බ්‍රහස්පතින්දා ෂයිනිහන්ටර්ස් නම් වූ සයිබර් අපරාධකරුවන් කණ්ඩායමක් විසින් මෙම පද්ධතියට අනවසර ප්‍රවේශයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

ලෝකයේ වෙනත් රටවල් ගණනාවක ඉගෙනුම් කළමනාකරණ පද්ධති වෙළඳපොළ තුළ වෙළඳපොළ ප්‍රමුඛයා වන්නේ මූඩල් යෙදුම් මෘදුකාංගය හෝ D2L, බ්ලැක්බෝඩ් වැනි වෙනත් යෙදුම් මෘදුකාංගයක් වුවද, එම අනෙකුත් රට වලටද, වෙළඳපොළ ප්‍රමුඛයා නොවේනම්, කැන්වස් යෙදුම් මෘදුකාංගටද සැලකිය යුතු වෙළඳපොළ පංගුවක් තිබෙනවා. 

සයිබර් ප්‍රහාරකයින්ට අනුව, මෙම සයිබර් ප්‍රහාරය ලොව පුරා අධ්‍යයන ආයතන නව දහසකට පමණ බලපෑමක් සිදු කර තිබෙනවා. මෙම උසස් අධ්‍යාපන ආයතන අතර ඇමරිකාවේ හාවඩ්, MIT, කොලොම්බියා, බර්කලී වැනි විශ්ව විද්‍යාල මෙන්ම ඔක්ස්ෆර්ඩ්, ටොරොන්ටෝ, ඇඩිලේඩ්, ඕක්ලන්ඩ්, හොන්කොන් පොලිටෙක්නික් වැනි ලොව පුරා රටවල් ගණනාවක පිහිටි ප්‍රධාන පෙළේ සරසවි ගණනාවක් තිබෙනවා.

ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල අධ්‍යයන වර්ෂය සාමාන්‍යයෙන් අවසන් වන්නේ මැයි මාසයේදීයි. මෙම ප්‍රහාරය සිදු වූයේ බොහෝ උසස් අධ්‍යාපන ආයතන වල අවසන් විභාග පැවැත්වෙන සතියේදී වන අතර, එම හේතුවෙන් එහි බලපෑම විශාල ලෙස වැඩි වී තිබුණා.

බ්‍රහස්පතින්දා ප්‍රහාරය සිදු වූයේ අදාළ කණ්ඩායම විසින් ඊට පෙර සිදු කර ඇති දත්ත සොරකමක දෙවෙනි පියවරක් ලෙසයි. මෙම පළමු අදියරේදී කැන්වස් යෙදුම් මෘදුකාංගය හරහා සිසුන් මිලියන ගණනකගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට සමත් වූ බව දැනුම් දෙමින් අදාළ කණ්ඩායම විසින් ඉන්ස්රක්චර් සමාගම වෙතින් කප්පම් ලබා ගැනීමට උත්සාහ කළද, එයට ප්‍රතිචාර ලෙස ඉන්ස්රක්චර් සමාගම විසින් කළේ සිය පද්ධතියේ ආරක්ෂාව තර කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමයි. තමන්ගේ මුල් ඉල්ලීම නොසලකා හැරීම පිළිබඳව නොසතුටට පත් වූ හැකර් කණ්ඩායම විසින් ඉන්ස්රක්චර් සමාගමේ පාරිභෝගිකයින් වන ආයතන නව දහසකට ආසන්න ප්‍රමාණයක ලැයිස්තුවක් ප්‍රසිද්ධ කර එම ආයතන වලින් කප්පම් ඉල්ලා සිටියා.

ඉහත ආයතන වලට එම ආයතන වල රහසිගත තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබීම වලක්වා ගැනීම සඳහා හැකරුන් සමඟ එකඟතාවයකට පැමිණීමට ලබා දී තිබුණු අවසන් දිනය අද දිනයයි (මැයි 12). මේ වන විට වාර්තා වන පරිදි, ඉන්ස්ට්‍රක්චර් සමාගම විසින් ෂයිනිහන්ටර්ස් කණ්ඩායම සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, සොරකම් කරන ලද දත්ත මකා දැමීමට ඔවුන් එකඟ වී තිබෙනවා. 

මේ සමස්ත සිදු වීම මෙවැනි තවත් සයිබර් අපරාධ ප්‍රවර්ධනය කෙරෙන පූර්වාදර්ශයක් වෙයිද? 

https://economatta.blogspot.com/2026/05/blog-post_12.html

https://economatta.blogspot.com, ඉකොනොමැට්ටාගේ බොජුන්හල වෙබ් අඩවියෙන්

* අවසර ඇතිව උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today