වෙනස්කම් රැසක් සහිතව ඔන්ටාරියෝහි නව කුලී නීති ලබන සතියේ සිට ක්‍රියාත්මකයි

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ කුලී වෙළඳපොළට බලපාන නව නීති මාලාවක දෙවන අදියර ලබන සතියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම නව නීති පද්ධතිය හරහා පද්ධතිය තුළ සමතුලිතතාවයක් ඇති කිරීමට උත්සාහ කරන බව ඉඩම් හිමියන් පවසන අතර, කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව එය දැඩි ලෙස විවේචනය කරමින් කියා සිටින්නේ මෙය “වැරදි දිශාවකට ගමන් කිරීමක්” බවයි.


මෙම නව විධිවිධාන ඇතුළත් කර ඇත්තේ නේවාසික කුලී පනතට (Residential Tenancies Act) සිදු කරන ලද සංශෝධන යටතේය. ඉන් එක් ප්‍රධාන පනත් කෙටුම්පතක් (Bill 60) පසුගිය වසරේ සම්මත වූ අතර, අනෙක (Bill 97) අප්‍රේල් මාසයේදී රාජකීය අනුමැතිය ලබා ගත්තේය.

මෙහි වඩාත්ම කතාබහට ලක්වන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පහත පරිදි වේ:


වාර්ෂිකව හෝ මාසිකව කුලී ගෙවන අයෙකු කුලී මුදල ගෙවීම පැහැර හැරියහොත්, ඉඩම් හිමියෙකුට ‘N4’ නම් නිල පෝරමය ලබා දිය හැකිය. මෙතෙක් පැවති දින 14 ක කාලය දින 7 දක්වා කෙටි කර ඇත. නියමිත දින 7 තුළ මුදල් ගෙවා නොමැති නම්, ඉඩම් හිමියාට කුලී නිවැසියා ඉවත් කිරීම සඳහා ඉඩම් හිමියා සහ කුලී නිවැසියා මණ්ඩලයට (Landlord and Tenant Board – LTB) ‘L1’ පෝරමයක් ඉදිරිපත් කළ හැකිය.

මාස 6 ක් ඇතුළත අවම වශයෙන් තුන් වතාවක්වත් නියමිත දින සිට දින 7ක් ඇතුළත කුලිය ගෙවීමට අපොහොසත් වීම “නිතර කුලී ගෙවීම ප්‍රමාද කිරීම” ලෙස නව නීතිය මගින් අර්ථ දක්වා ඇත. මෙය ඉඩම් හිමියන්ට ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පහසුකම් සපයයි.

‘Bill 60’ යටතේ, ඉඩම් හිමියෙකුට දින 120 කට පෙර ‘N12’ දැන්වීමක් ලබා දීමෙන් පසු, කිසිදු වන්දි මුදලක් ගෙවීමකින් තොරව තමන් හෝ තම පවුලේ සාමාජිකයෙකු එම දේපළට පදිංචියට පැමිණීමේ අයිතිය හිමිවේ.

කුලී ගෙවීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් LTB විභාගයකදී කුලී නිවැසියෙකුට නඩුවට අදාළව විමසීම් හෝ හිමිකම් (ප්‍රමාද වූ නඩත්තු කටයුතු, නීති විරෝධී ලෙස ඇතුළු වීම් හෝ හිරිහැර කිරීම් ආදී දේ) මතු කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ට එරෙහිව පවතින හිඟ කුලියෙන් සියයට 50 ක මුදලක් මුලින් ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවා ඇත.

ඔන්ටාරියෝ හි කුලී-නිවාස සපයන්නන්ගේ සම්මේලනයේ (FRPO) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි ඉර්වින් (Tony Irwin) පවසන්නේ මෙම නීති මගින් සමස්ත පද්ධතිය තුළ සාධාරණත්වය සහ සමතුලිතතාවයක් ඇති කිරීමට උත්සාහ කරන බවයි. කෙසේ වෙතත්, ක්‍රියාවලිය වේගවත් කිරීමට උත්සාහ කළද, ඉඩම් හිමියා සහ කුලී නිවැසියා මණ්ඩලය (LTB) තුළ පවතින පෝලිම් සහ ප්‍රමාදයන් නිසා නඩු විභාගය අවසන් වීමට තවමත් මාස කිහිපයක් ගත විය හැකි බව ඔහු පෙන්වා දෙයි. L1 අයදුම්පතක් සඳහා මාස 3 සිට 5 දක්වා කාලයක් ගත විය හැකි අතර, නිතර කුලී පැහැර හැරීම් සඳහා මාස 5 සිට 8 දක්වා කාලයක් ගත විය හැක.

මෙහිදී නිවාස හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඩැනියෙල් ටකර්-සිමන්ස් (Daniel Tucker-Simmons) මෙම නව නීති දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කරයි. කුලී මිල ඉහළ මට්ටමක පවතින (සාමාන්‍යයෙන් මහල් නිවාසයක මාසික කුලිය ඩොලර් 2,248 ක් පමණ වන) වර්තමාන ආර්ථික පසුබිම තුළ, ජනතාවට ජීවන වියදම දරාගත නොහැකිව කුලී ගෙවීමට අසමත්ව සිටින අවස්ථාවක ඔවුන්ව පහසුවෙන් නිවෙස්වලින් නෙරපා හැරීමට මෙම නීති මගින් මග සලසා දී ඇති බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, LTB හිදී තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නම් හිඟ කුලියෙන් අඩක් ගෙවිය යුතුය යන කොන්දේසිය දැඩි ලෙස විවේචනය කරමින් ඔහු සඳහන් කළේ, එය ජනතාවට තම නීත්‍යානුකූල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇති අවස්ථාවට මිලක් නියම කිරීමක් වන බවත්, එය කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්ය.

මෙම නව නීති සංශෝධන සමඟින් ඔන්ටාරියෝ ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ ඉඩම් හිමියන් අතර සබඳතාවල ඉදිරියේදී විශාල වෙනස්කම් රැසක් සිදුවනු ඇති බව පුරෝකථනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today