කැනඩා-ඇමරිකානු තීරුබදු යුද්ධයෙන් කැනේඩියානු පාරිභෝගිකයන්ට සහ වෙළඳපොළට දැඩි බලපෑම්.

ඇමරිකානු භාණ්ඩ මත පනවා ඇති නව ප්‍රති-තීරුබදු (Counter-tariffs) හේතුවෙන් කැනේඩියානු පාරිභෝගිකයන් ඉදිරියේදී දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දීමට සූදානම් වේ. ඩොලර් බිලියන 28ක් පමණ වටිනා ඇමරිකානු අපනයන භාණ්ඩ සිය ගණනක් ඉලක්ක කරමින් සියයට 50ක් දක්වා වූ ඉහළ බදු ප්‍රතිශතයන් ක්‍රියාත්මක කර තිබේ. ආනයනික පිරිවැය ඉහළ යාම නිසා ව්‍යාපාරිකයන් එම බර පාරිභෝගිකයන් මතට පැටවීමට උත්සාහ කිරීම මෙයට මූලික හේතුවයි.

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජෝසෆ් ස්ටේන්බර්ග් පෙන්වා දෙන පරිදි, මෙම තීරුබදු සෘජුවම ඇමරිකානු ආනයනවලට පමණක් සීමා වන්නේ නැත. කැනඩාව තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාරවල මෙහෙයුම් වියදම් ඉහළ යෑම නිසා, අවසානයේදී දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යනු ඇත.


කිරි නිෂ්පාදන සහ විවිධ බීම වර්ග සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය මත මෙම බදු තදින්ම බලපායි.ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු ගෘහපාලන උපකරණවල මිල ඉහළ යා හැකි බව ජාත්‍යන්තර වෙළඳ නීති විශාරද ජෝන් බොස්කාරියෝල් සඳහන් කරයි.ඇඳුම් පැළඳුම්, මේකප් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය, සූර්ය ආවරණ (sunscreen) මෙන්ම ලීවලින් සාදන ලද විවිධ භාණ්ඩවල මිල ඉහළ යනු ඇත.

පාරිභෝගිකයන් සෘජුව මිලදී නොගත්තද, නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා අත්‍යවශ්‍ය වන “මධ්‍යස්ථ” (Intermediate) භාණ්ඩ රැසක් ද මෙම තීරුබදු උගුලට හසුවී ඇත.

ටවර් ක්‍රේන්, ජැක්, ෆෝක්ලිෆ්ට් ට්‍රක්, සහ ලොන් මෝවර් වැනි උපකරණ සඳහා 15%ක හෝ 25%ක බද්දක් පනවා ඇත.ඇමරිකාවෙන් ගෙන්වන වානේ, තහඩු, පාලම්වලට අවශ්‍ය පෙර සැකසූ කොටස් මෙන්ම ඇලුමිනියම් වයර් සහ තීරු සඳහා 50%ක ප්‍රති-තීරුබදු ක්‍රියාත්මක වේ.

මෙම ඉහළ ගිය පිරිවැය දරා ගැනීමට සිදු වීම නිසා කැනේඩියානු නිෂ්පාදකයන්ගේ තරඟකාරීත්වය අඩාල වන අතර, එය සමස්ත ආර්ථිකයටම බලපෑමක් වනු ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවේ කිරි, මත්පැන් සහ මෝටර් රථ කර්මාන්ත ඉලක්ක කරමින් පනවන ලද 50%ක තීරුබදු වලට ප්‍රතිචාර ලෙස කැනඩාව මෙම පියවර ගත්තේය. මේ නිසා කැනේඩියානු ජනතාව තුළ දේශීය නිෂ්පාදන මිලදී ගැනීමේ උනන්දුව (“Buy Canadian”) වැඩි වී තිබුණද, දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යෑම හමුවේ එම අරමුණ තවදුරටත් ක්‍රියාත්මක කිරීම පාරිභෝගිකයන්ට අපහසු වනු ඇත.

කෙසේ වෙතත්, ඇන්ගුස් රීඩ් ආයතනය විසින් කරන ලද ජනමත විමීක්ෂණයකට අනුව, කැනේඩියානු ජනතාවගෙන් 60%ක්ම ප්‍රකාශ කර ඇත්තේ ගෘහස්ථ වියදම් 10කින් හෝ 20කින් ඉහළ ගියද, රටේ වත්මන් ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටීමට තමන් සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today