
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් CNN, MS NOW සහ Politico මාධ්ය ආයතනවල මාධ්යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට ගත් උත්සාහය නීතියට පටහැනි විය හැකි බව තීරණය කරමින්, එම මාධ්යවේදීන්ට ප්රවේශය ලබාදීමේ නියෝගය ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් දීර්ඝ කර තිබෙනවා.
අමෙරිකානු දිස්ත්රික් විනිසුරු තිමති කෙලී මෙම තීරණය ලබාදී ඇති අතර, අදාළ මාධ්ය ආයතන විසින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් මෙම නියෝගය බලාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණයක් මගින් එම නියෝගය අත්හිටුවීමට හැකියාව පවතිනවා.
පසුගිය සැප්තැම්බර් 24 වැනිදා ලබාදුන් හදිසි නියෝගයකින් ද විනිසුරුවරයා අදාළ මාධ්යවේදීන්ට ධවල මන්දිරයට ප්රවේශය යළි ලබාදීමට නියෝග කර තිබුණා.එම තීරණය මගින් ට්රම්ප්ගේ ක්රියාමාර්ගය ඔවුන්ගේ ව්යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පෙනී යන බවයි විනිසුරුවරයා සඳහන් කර තිබුණේ.
ට්රම්ප් විසින් සැප්තැම්බර් මාසයේදී සිය සමාජ මාධ්ය ගිණුම ඔස්සේ මෙම මාධ්ය ආයතනවලට එරෙහිව ප්රවේශ තහනම ප්රකාශයට පත්කර තිබුණා.එහිදී ඔහු චෝදනා කළේ, තමන් පිළිබඳ වාර්තා කිරීමේදී අසත්ය තොරතුරු ප්රචාරය කරන මාධ්ය ආයතනවලට එවැනි ප්රවේශයක් හිමි නොවිය යුතු බවයි.
කෙසේ වෙතත්, අදාළ මාධ්ය ආයතන සහ මාධ්ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසන්නේ, තමන්ට අකමැති ප්රවෘත්ති වාර්තා කිරීම හේතුවෙන් මාධ්යවේදීන්ට එරෙහිව පළිගැනීමේ අරමුණින් මෙම තහනම පනවා ඇති බවයි.
එම මාධ්ය ආයතන අධිකරණයට ගොනුකළ නඩුවෙන් පෙන්වා දී ඇත්තේ, මෙම තහනම අමෙරිකානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු සංශෝධනයෙන් තහවුරු කර ඇති අදහස් ප්රකාශ කිරීමේ නිදහස සහ මාධ්ය නිදහස උල්ලංඝනය කරන බවයි.
එමෙන්ම, රජය විසින් සාධාරණ ක්රියාපටිපාටියක් අනුගමනය කිරීමේ අයිතිය ද මෙයින් උල්ලංඝනය වන බවට ඔවුන් චෝදනා කර තිබෙනවා.
ට්රම්ප් විසින් 2017 වසරේදී පත්කරන ලද විනිසුරු තිමති කෙලී, මාධ්යවේදීන්ට ප්රවේශය තහනම් කිරීම සාධාරණීකරණය කිරීමට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ක සම්බන්ධයෙන් ද සැක පළ කර ඇති බව සඳහන්.කෙසේ වෙතත්, අදාළ මාධ්ය ආයතන රහසිගත තොරතුරු ප්රසිද්ධ කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති කර ඇති බවට අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥයන් චෝදනා කරනවා.


