
සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව වී සිටි අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කිරීමට එරට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව පවසා සිටියා.
ශ්රී ලංකා රජය විසින් දරන ලද අඛණ්ඩ රාජ්යතාන්ත්රික හා නීතිමය ප්රයත්නවල ප්රතිඵලයක් ලෙස මෙය සිදු වූ බවයි නියෝජ්ය අමාත්යවරයා මෙහිදී පවසා සිටියේ.
සෞදි අරාබි රජය දැක්වූ සහයෝගය වෙනුවෙන් ද, අපගේ තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් සහ නිලධාරීන්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ සාමාජිකයින් මෙන්ම ශ්රී ලාංකික සහ සෞදි නීති කණ්ඩායම් දැක්වූ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බවත් නියෝජ්ය අමාත්යවරයා සිය සටහන මගින් පවසා තිබෙනවා.
කල්මුණේ ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් බලා පිටත්ව ගොස් ඇත්තේ, 2025 වසරේ සැප්තැම්බර් මස 04 වැනිදායිපසුගිය ජූලි මස 27 වැනිදා මුහුණුපොත ඔස්සේ ඔහු පළ කමෙන්ටුවකින් ආගමික අපහාසයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වුණා.ඒ අනුව ඔහු සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර කෙරුණා.
අනෝජන් පළමුව අල්-අහ්සා අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබූ අතර මුල් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ දඬුවමක් බවට සංශෝධනය කළ බවයි වාර්තා වුණේ.
පසුව ඔහු සෞදි අරාබියේ දම්මාම් මධ්යම බන්ධනාගාරයේ රඳවා සිටියා.
මෙවැනි පසුබිමකයි සෞදි අභියාචනාධිකරණය මගින් සිවරාසා අනෝජන් වෙත පනවන ලද මරණ දඬුවමට එරෙහිව සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණේ.
සෞදි නීතිඥ කණ්ඩායම විසින් මෙම අභියාචනය සෞදි ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ ශ්රී ලාංකික නීතිඥ කණ්ඩායම සහ සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපතිවරයා (අමීර් අජ්වාඩ්) සමඟ සාකච්ඡා කර අදාළ නීතිමය කරුණු අවසන් කිරීමෙන් අනතුරුවයි.
මෙම සිදුවීමට අදාළ අභියාචනය සූදානම් කිරීම සහ නීතිමය සහාය ලබා දීම සඳහා ජනාධිපති නීතිඥ අසාද් නාවාවි, ජනාධිපති නීතිඥ ෆායිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන අයගෙන් සමන්විත ශ්රී ලාංකික නීතිඥ නියෝජිත පිරිසක් පසුගියදා සෞදි අරාබිය බලා පිටත්ව ගියා.
මේ අතර සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සෞදි ශ්රේෂ්ඨාධිකරණය ගත් මෙම තීරණය අගය කරමින් ජනාධිපතිවරයා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේය.
මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්රී ලාංකිකයන්ටම විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බවද ජනාධිපතිවරයා එහි දක්වා තිබේ.
මෙම යහපත් ප්රතිඵලය ලබාගැනීමට හැකිවූයේ මිත්රශීලී රාජ්යයක නීතිමය ක්රියාවලියට ගරුකරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්ය තාන්ත්රික මැදිහත්වීම් සහ විදේශගත ශ්රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා බව හෙතෙම පෙන්වා දී ඇත.
මේ අතර සෞදි අරාබියාවේ රැකියාවක නිරතව සිටි ඉංජිනේරු අනෝජන් සිවරාසා මහතාට එරට අධිකරණය පැනවූ මරණ දඬුවම අහෝසි කිරීමට සෞදි අරාබි රජය ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු වන බවත් ඒ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
මෙම සිදුවීමේදී අනෝජන් සිවරාසා මහතාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට කැපවූ ෆයිසර් මුස්තාෆා මහතා, උපුල් කුමරප්පෙරුම මහතා ප්රමුඛ නීතීඥයන් සියලු දෙනාට සහ ශ්රී ලංකාවේ සෞදි තානාපතිවරයා ප්රමුඛ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිමය තමා ඇතුළු පිරිස ද ඉටුකළ බවත් මොහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම ගැන අතිශය සතුටු වන බවත් සෞදි අරාබියාවේ ශ්රේෂ්ඨාධිකරණයට සහ රජතුමාට ද මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.


