
කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ හි නගරාධිපතිනිය ලෙස ඔලිවියා චව් (Olivia Chow) නැවතත් තේරී පත්වී තිබේ. ඔක්තෝබර් 26 වන දින පැවැත්වූ නගර සභා මැතිවරණයේදී ඡන්ද සියයට 54 ක් ලබා ගනිමින්, ඇගේ ප්රධාන ප්රතිවාදියා වූ බ්රැඩ් බ්රැඩ්ෆර්ඩ් (Brad Bradford) පරාජය කිරීමට ඇය සමත් වූවාය.
පසුගිය සඳුදා රාත්රියේ නිකුත් වූ නිල නොවන ඡන්ද ප්රකාශනයට අනුව, රාත්රී 11 වන විට චව් ඡන්ද සියයට 54 ක් ලබා සිටි අතර, ඇගේ ප්රධාන තරඟකරු වූ බ්රැඩ්ෆර්ඩ් ලබාගත්තේ ඡන්ද සියයට 41 කි. මෙම මැතිවරණය සඳහා චව් සහ බ්රැඩ්ෆර්ඩ් ඇතුළු නගරාධිපති ධුර අපේක්ෂකයින් 52 දෙනෙකු (ප්රධාන අපේක්ෂකයින්ට අමතරව තවත් අපේක්ෂකයින් 50 දෙනෙකු) තරඟ කළහ. 2023 වසරේ පැවැති අතුරු මැතිවරණයෙන් ජයග්රහණය කිරීමෙන් පසුව, චව් හට නගරාධිපතිනිය ලෙස පූර්ණ කාලීන ධුර කාලයක් හිමිවන ප්රථම අවස්ථාව මෙය වේ.
මෙම නිල නොවන ප්රතිඵල සඳහා කල්තියා ප්රකාශ කරන ලද ඡන්ද (advance voting), තැපැල් ඡන්ද (voting by mail) සහ මැතිවරණ දින ප්රකාශිත ඡන්ද ඇතුළත් වේ. නගර සභා ලේකම්වරයා (City Clerk) විසින් ඉදිරි සතියේදී නිල මැතිවරණ ප්රතිඵල සහතික කිරීමට නියමිතව ඇත.
ජයග්රහණයෙන් පසු සිය ප්රධාන කාර්යාලයේදී රැස්ව සිටි ආධාරකරුවන් අමතමින් ඔලිවියා චව් ප්රකාශ කළේ, ටොරොන්ටෝ නගරය නිවස කරගත් සෑම අයෙකුටම තමා සවන් දෙන බවයි.
“ඔබේ පසුබිම කුමක් වුවත්, ඔබ කුමක් විශ්වාස කළත්, ඔබ කාට ආදරය කළත්, ඔබ කොතැන ජීවත් වුවත් මම ඔබට සවන් දෙන්නෙමි. මම ඔබ වෙනුවෙන් පෙනී සිටින අතර ඔබේ විශ්වාසය දිනා ගැනීමට දිනපතා වැඩ කරන්නෙමි. මට නගරාධිපති ධුරය යනු සැමට සේවය කිරීමයි,” යැයි ඇය පැවසුවාය.
එසේම, ටොරොන්ටෝ නගරය සිය පවුලට ලබා දුන් දේ කිසිදා අමතක නොකරන බවත්, ඇගේ මුළු ජීවිතයම නගරයට නැවත යමක් ලබා දීමට කැප කළ බවත් ඇය සඳහන් කළාය. ටොරොන්ටෝ යනු මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, ප්රගතිශීලී, කරුණාවන්ත සහ අලුතින් පැමිණෙන්නන් සාදරයෙන් පිළිගන්නා නගරයක් බව ඇය අවධාරණය කළාය.
“අපි වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින, අපගේ වෙනස්කම් සමරන සහ සැමට සාධාරණ අවස්ථාවක් හිමිවිය යුතු බව විශ්වාස කරන නගරයක්. අපි සෑම විටම එකඟ වන නිසා නොවේ, නමුත් එකිනෙකා ගැන සැලකිලිමත් වන විට අපි වඩාත් ශක්තිමත් වන බව අපට වටහාගෙන ඇති නිසා. මැතිවරණ ජයග්රහණයක් යනු අවසාන රේඛාව නොවේ; එය වගකීමක්. හෙට අපි නැවතත් වැඩට බසිමු. සෑම අසල්වැසි ප්රදේශයක්, සෑම ප්රජාවක් සහ සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම අපි එකට ඉදිරියට යමු,” යැයි ඇය වැඩිදුරටත් ප්රකාශ කළාය.
ඔලිවියා චව් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ නගර සභා සේවාවන් ආරක්ෂා කිරීම, TTC වාහන සඳහා පූර්ව සංඥා ප්රමුඛතාව (transit-signal priority) ව්යාප්ත කිරීම සහ තරුණ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ වැඩසටහන් සඳහා ප්රතිපාදන වැඩි කිරීම යන කරුණු පදනම් කරගනිමින්ය. ඇගේ ප්රධාන පොරොන්දු අතරට බෝග ද්රව්ය (grocery) මිල අඩු කිරීමේ පියවර, පාසල් ළමුන් සඳහා නොමිලේ දිවා ආහාරය ලබා දීම සහ දැරිය හැකි පිරිවැයකින් යුත් නිවාස වැඩි වැඩියෙන් ඉදිකිරීම ඇතුළත් විය.
ඇගේ පළමු නගරාධිපති ධුර කාලය තුළ, ඇය දේපළ බදු (property tax) වැඩි කිරීමට සහාය දැක්වූවාය. ඒ අනුව 2024 දී සියයට 9.5 කින්ද, 2025 දී සියයට 6.9 කින්ද සහ 2026 දී සියයට 2.2 කින්ද බදු ඉහළ නැංවිණි. එමෙන්ම TTC ගමන් ගාස්තු ඉහළ නැංවීම අත්හිටුවීමට (TTC fare freeze) කටයුතු කළ ඇය, ගාඩිනර් අධිවේගී මාර්ගය (Gardiner Expressway) සහ ඩොන් වැලි පාක්වේ (Don Valley Parkway) හි අයිතිය ඔන්ටේරියෝ ප්රාන්ත රජයට (Queen’s Park) පවරන ගිවිසුමකට ද එළැඹුණාය.
69 වියැති චව් දශක ගණනාවක් තිස්සේ දේශපාලනයේ නිරත වූ වාමාංශික ප්රමුඛ දේශපාලන චරිතයකි. හොංකොං හි උපත ලද ඇය වයස අවුරුදු 13 දී සිය පවුල සමඟ කැනඩාවට සංක්රමණය වී සෙන්ට් ජේම්ස් ටවුන් හි මහල් නිවාසයක ජීවත් වූවාය. එන්ඩීපී (NDP) පාර්ලිමේන්තු මන්ත්රී ඩෑන් හිප් (Dan Heap) යටතේ සේවය කිරීමෙන් දේශපාලනයට පිවිසි ඇය, 1985 දී ටොරොන්ටෝ පාසල් මණ්ඩලයේ (TDSB) භාරකාරිනියක ලෙස තේරී පත්වී වසර හයක් සේවය කළාය.
1991 දී ටොරොන්ටෝ නගර සභාවට තේරී පත් වූ ඇය, පසුව ෆෙඩරල් එන්ඩීපී නායකයා වූ ඇගේ නැසීගිය සැමියා වන ජැක් ලේටන් (Jack Layton) සමඟ සේවය කළාය. 2006 දී ට්රිනිටි-ස්පැඩිනා ආසනයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරියක ලෙස තේරී පත් වූ ඇය, 2014 නගරාධිපති මැතිවරණයේදී ජෝන් ටෝරි සහ ඩග් ෆෝඩ් හමුවේ තෙවන ස්ථානයට පත්වූවාය. 2015 දී පාර්ලිමේන්තුවට පැමිණීමට දැරූ උත්සාහය ව්යර්ථ වීමෙන් පසු, ඇය 2023 අතුරු මැතිවරණය තෙක් දේශපාලනයෙන් බැහැරව සිටියාය. 1998 ජනවාරි 1 වන දින සිදු වූ ටොරොන්ටෝ නගර ඒකාබද්ධතාවයෙන් (amalgamation) පසුව පත්වූ පස්වන නගරාධිපතිවරයා වන්නේ චව් ය.
40 වියැති බ්රැඩ් බ්රැඩ්ෆර්ඩ් යනු බීචස් ඊස්ට්-යෝර්ක් (Beaches East-York) කොට්ඨාසයේ දෙවරක් තේරී පත් වූ නගර සභා මන්ත්රීවරයෙකි. 2023 අතුරු මැතිවරණයේදී 8 වන ස්ථානයට පත් වූ ඔහු, චව්ගේ පාලන කාලය තුළ ඇගේ දැඩි විවේචකයෙකු බවට පත් විය. ඔහු මෙවර මැතිවරණයේදී අපරාධ මර්ධනය, මාර්ග තදබදය, ජීවන වියදම, නගරයේ පිරිසිදුකම සහ ආර්ථික තරඟකාරීත්වය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළේය.
මැතිවරණ ව්යාපාරයේ අවසන් සතියේදී අපේක්ෂකයින් දෙදෙනාම ප්රචාරණ කටයුතුවල නිරත වූහ. ප්රචාරණ සමයේදී චව්, බ්රැඩ්ෆර්ඩ් හට චෝදනා කළේ ඔහු සිය කොට්ඨාසයේ ජනතාව නොසලකා හැර ඇති බවයි. එමෙන්ම චව් නගරයේ ගමනාගමන සහ ප්රවාහන ගැටලු විසඳීමට අසමත් වූ බවට බ්රැඩ්ෆර්ඩ් චෝදනා කළේය.
පරාජයෙන් පසුව අදහස් දැක්වූ බ්රැඩ්ෆර්ඩ්, චව්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්රාර්ථනා කළේය. “නගරාධිපතිවරයා ජයග්රහණය කරන විට, ටොරොන්ටෝ නගරය ජයග්රහණය කරයි. ඉදිරි දිනවලදී නගරය එක්සත් කිරීමටත්, ආරක්ෂිත ටොරොන්ටෝ නගරයක් ගොඩනැගීමටත් සියලු දෙනා කටයුතු කළ යුතුයි,” යැයි ඔහු පැවසීය.
බ්රැඩ්ෆර්ඩ් අලුත් ශක්තියක් සහ අදහස් තරඟයට ගෙන ආ බව පැවසූ චව්, ඔහුට ස්තූතිය පුද කළ අතර ඇගේ පොරොන්දු ඉටු කිරීම සඳහා හැකි ඉක්මනින් වැඩ ආරම්භ කරන බව පැවසුවාය.

GTHA පළාත් පාලන මැතිවරණ ප්රතිඵල නිකුත් කෙරේ – ප්රධාන නගරවල ජයග්රාහකයින් මෙන්න
සඳුදා රාත්රියේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයෙන් පසුව ටොරොන්ටෝ (Toronto) සහ GTHA කලාපය පුරා නගරාධිපති ධුර සඳහා පැවැති තරගවල ජයග්රාහකයින්ගේ ප්රතිඵල ප්රකාශයට පත් කර ඇත.
ටොරොන්ටෝ සහ පීල් කලාපය (Toronto and Peel Region)
ටොරොන්ටෝ නගරාධිපති ධුරය සඳහා පැවැති කරට කර තරගයකින් පසුව, බ්රැඩ් බ්රැඩ්ෆෝර්ඩ් (Brad Bradford) පරාජයට පත් කරමින් ඔලිවියා චව් (Olivia Chow) නැවතත් නගරාධිපතිනිය ලෙස තේරී පත් වූවාය. අඟහරුවාදා උදෑසන වන විට ඔලිවියා චව් ඡන්ද 532,201 ක් ලබා සිටි අතර බ්රැඩ්ෆෝර්ඩ් ඡන්ද 404,013 ක් ලබා ගත්තාය.
පීල් කලාපයේ මිසිසාගා (Mississauga) හි ඇල්වින් ටෙඩ්ජෝ (Alvin Tedjo) ඡන්ද 39% ක් පමණ ලබා ගනිමින් නගරාධිපති ලෙස තේරී පත් වූ අතර, කැරොලින් පැරිෂ් (Carolyn Parrish) ඡන්ද 27% ක් ලබා පරාජයට පත් විය. බ්රැම්ප්ටන් (Brampton) හි පැට්රික් බ්රවුන් (Patrick Brown) ඡන්ද 55% ක් ලබා ගනිමින් නැවත තේරී පත් වූ අතර, කැලඩන් (Caledon) හි ක්රිස්ටිනා අර්ලි (Christina Early) ඡන්ද 59% ක් ලබා ජයග්රහණය කළාය.
යෝර්ක් සහ හැල්ටන් කලාප (York and Halton Regions)
යෝර්ක් කලාපයේ වෝන් (Vaughan) නගරයෙන් ස්ටීවන් ඩෙල් ඩුකා (Steven Del Duca) ඡන්ද 81.5% ක් ලබා ගනිමින් නැවත තේරී පත් විය. මාර්ක්හැම් (Markham) හි ෆ්රෑන්ක් ස්කාපිටි (Frank Scarpitti) 71% ක ඡන්ද ප්රතිශතයක් ලබමින් ජය ලැබූ අතර, රිච්මන්ඩ් හිල් (Richmond Hill) හි ඩේවිඩ් වෙස්ට් (David West) 83.5% ක ඡන්ද ප්රතිශතයක් ලැබීය. නිව්මාකට් (Newmarket) හි ජෝන් ටේලර් (John Taylor) සහ වයිට්චර්ච්-ස්ටෝෆ්විල් (Whitchurch-Stouffville) හි ඉයන් ලොවැට් (Ian Lovatt) නගරාධිපති ධුර සඳහා නිතරගයෙන් තේරී පත් වූහ.
හැල්ටන් කලාපයේ ඕක්විල් (Oakville) හි ජෙෆ් නොල් (Jeff Knoll) ඡන්ද 36% ක් ලබා ගනිමින්, ධුරයේ සිටි රොබ් බර්ටන් පරාජය කරමින් නගරාධිපති ලෙස තේරී පත් විය. මිල්ටන් (Milton) හි ජෝර්ජ් මිනාකාකිස් (George Minakakis) ඡන්ද 45% ක් ලබා ගනිමින් ජයග්රහණය කළ අතර, බර්ලින්ටන් (Burlington) හි මේරියන් මීඩ් වෝර්ඩ් (Marianne Meed Ward) නැවතත් තේරී පත් වූවාය. හැල්ටන් හිල්ස් (Halton Hills) හි ජේසන් බ්රාස් (Jason Brass) ඡන්ද 55% ක් ලබා ගනිමින් ජයග්රහණය කළේය.
හැමිල්ටන් සහ ඩරම් කලාපය (Hamilton and Durham Region)
හැමිල්ටන් (Hamilton) නගරයේ කීනින් ලූමිස් (Keanin Loomis) ඡන්ද 41% ක් ලබා ගනිමින් නගරාධිපති ලෙස තේරී පත් වූ අතර, ඇන්ඩ්රියා හෝවැත් ඡන්ද 14% ක් ලබා තෙවැනි ස්ථානයට පත් වූවාය.
ඩරම් කලාපයේ ඔෂාවා (Oshawa) හි ටිටෝ-ඩැන්ටේ මාරිම්පියෙට්රි (Tito-Dante Marimpietri) ඡන්ද 38% ක් ලබා ජයගත් අතර, විට්බි (Whitby) හි එලිසබෙත් රෝයි (Elizabeth Roy) 51% ක ඡන්ද ප්රතිශතයක් ලබා නැවත තේරී පත්වූවාය. පිකරින් (Pickering) හි කෙවින් ඇෂ් (Kevin Ashe) ඡන්ද 36% ක් ලබා ගනිමින් නැවත තේරී පත් වූ අතර, ක්ලැරින්ටන් (Clarington) හි ටොම් ඩිංවෝල් (Tom Dingwall) ඡන්ද 53% ක් ලබා ගනිමින් ජයග්රහණය කළේය. ඇජැක්ස් (Ajax) හි මැරිලින් ක්රෝෆර්ඩ් (Marilyn Crawford) ඡන්ද 61% ක් ලබා ගනිමින් නැවත තේරී පත් වූ අතර, බ්රොක් ටවුන්ෂිප් (Brock Township) හි මයිකල් ජබ් (Michael Jubb) ඡන්ද 90.9% ක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් ලැබීය.


