කථානායකට එරෙහි විශ්වාසභංගය නිසා මැතිසබය උණුසුම්.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීමෙන් විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් කඩ වූ බවට පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය මැදට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ආසන ආසන්නයට පැමිණ විරෝධතාවක නිරත වීමත් සමඟ පසුගිය (03)වැනිදා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගැනිණි. එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සෙංකෝලය රැගෙන යෑමට උත්සාහ දරන අයුරු දක්නට ලැබුණු අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් එය වළක්වා ගනු ලැබීය.

ඒ ආසන්නයේ දයාසිරි ජයසේකර, සුජිත් සංජය පෙරේරා, එස්.එම්. මරික්කාර්, කිංස් නෙල්සන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් රැඳී සිටිනු දක්නට ලැබුණි.

විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ දෑ සඳහන් පුවරුද රැගෙන සභා ගර්භය මැද සටන් පාඨ කියමින් කලහකාරී අයුරින් හැසිරුණු අයුරු දක්නට ලැබිණි. මේ නිසා සභාවේ කටයුතු පවත්වාගෙන යෑම අසීරු විය.

එදිනට නියමිත සභාවේ කටයුතු ආරම්භ වී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් විමසන ප්‍රශ්න වටය අවසන් වූ පසුව ප්‍රථමයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැඟී සිටිමින් සිය මන්ත්‍රී වරප්‍රසාද කඩ වී ඇති බවත් ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බවත් පැවසීය.

මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා කියා සිටියේ එම ප්‍රකාශය ඇතුළත් ලිපිය තමාට සභාව ආරම්භ කිරීමට මොහොතකට පෙර ලැබුණු බැවින් එම ලිපිය තමාට කියවීමට නොහැකි වූ බවයි. එබැවින් එය සභාවේ කියවීමට පසුව අවස්ථාව ලබා දිය හැකි බවද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය. ඒ සමඟම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුද රීති ප්‍රශ්න මතු කරමින් කියා සිටියේ එම පිරිසද එවැනි ලිපි භාර දුන් බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදීමෙන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවයි.

ඒ අතරතුර විපක්ෂයේ සිටි සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු එතෙක් සඟවාගෙන සිටි විරෝධතා වැකි සහිත බෝඩ් ඔසවමින් සභාවේ කෑකෝ ගසන්නට වූහ.

“ජනාධිපතිතුමනි, දූෂිත කථානායක නීතියට උඩින්ද, කථානායක රාජ්‍ය දේපළ අවභාවිතයේ, කථානායකට එරෙහි විශ්වාසභංගය විවාද නොකරන්නේ ඇයි, කථානායක විශ්වාසභංගයට බය ඇයි, පාර්ලිමේන්තුවේ ප්‍රධානියා දූෂිතයි” ආදී වැකි එම බෝඩ්වල සටහන් කර තිබිණි.

විවිධ සටන් පාඨ කියමින්, විපක්ෂයේ මන්ත්‍රීවරු පසුව සභාව මැදට පැමිණ පුවරු ඔසවා කෑකෝ ගසමින් විරෝධතාවේ නිරත විණි. ඒ අතරතුර විපක්ෂ නායකවරයා සිය වරප්‍රසාද උල්ලංඝනය කළ බවට සඳහන් ප්‍රකාශය කියවීමට අවස්ථාව ඉල්ලීය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුව මොහොතකට කල් තබා මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කිරීමට පක්ෂ නායක හමුවක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් විපක්ෂයේ දැඩි බාධා කිරීම් සහ ඝෝෂාව මධ්‍යයේ දිනට නියමිත යෝජනාවන්හි සඳහන් කර තිබූ ආණ්ඩු පක්ෂයේ කටයුතු දිගටම කරගෙන යෑමට කටයුතු කළ අතර 1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඉන් පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව සහ මැදපෙරදිග යුදමය වාතාවරණයෙන් මෙරටට සිදුව ඇති බලපෑම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට කටයුතු කළේය.

එම යෝජනා ඉදිරිපත් කිරීම සහ ස්ථිර කිරීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සිදු කළ අතර අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා සිය අදහස් දැක්වීම ආරම්භ කළ විට විපක්ෂයේ මන්ත්‍රීවරු ඔහු ඉදිරියටම ගොස් කෑකෝ ගසමින් ඇමැතිවරයාගේ මුහුණ රූපවාහිනී තිරයට නොපෙනෙන පරිදි පුවරු ප්‍රදර්ශනය කරන්නට වූහ.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා එම එක් පුවරුවක් ඇද දමා පසෙකට වීසි කළ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු තවත් එවැනි පුවරුවක් ඇද ඉන් කෑල්ලක් කඩා ගනු දක්නට ලැබිණි. නලින්ද ජයතිස්ස ඇමැතිවරයා වටා සහ ඔහු අවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැස්ව ඔහුට සහයෝගය පළ කළහ. සුළු වේලාවකින් අනතුරුව පාර්ලිමේන්තුව දිවා ආහාරය පිණිස පැය භාගයකට අත්හිටුවීමෙන් පසුව දෙපක්ෂයම සභාවෙන් පිටව ගියහ.

දිවා විවේකයෙන් පසුව සභාව රැස්වූ පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවිධ අදහස් පළ කරමින් කතා කරනු දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …