මහ ඇතා අහිමි වූ අලි පර­පුරේ අනාගතය

මහ ඇතා, කාව­න්තිස්ස අවා­ස­නා­වන්ත ලෙස මිය­ගි­යේය. ඒ සමඟ මේ රටේ වන අලින් පිළි­බඳ විශාල සංවාද ගණ­නා­වක් නිර්මා­ණය වී තිබේ. එයින් සම­හ­රක් නිසි පශු වෛද්‍ය ප්‍රති­කාර නොකි­රීම හෝ නොසැ­ල­කිල්ල පිළි­බඳ චෝද­නා­ව­න්ගෙන් ගහ­නය. එය වන ජීවි සංර­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු­වට සීමා නොවී පරි­සර අමා­ත්‍ය­ව­රයා දක්වාද, සම­හර තැනක සමස්ත රජය දක්වාද දිගුව තිබේ.

කාව­න්ති­ස්සගේ මර­ණ­යට අම­ත­රව, ඊට පෙර නොසැ­ල­කිල්ල හා වැරදි තීරණ හේතු­වෙන් මිය­ගිය සිය­ඹ­ල­න්ග­මුවේ මහ ඇතා, මහේ­ශාඛ්‍ය, දසේ, භාතිය ඇතුළු අලි­ඇ­තුන් පිළි­බඳ සිදු­වීම් රැසක් පව­තින තත්ත්ව­යක් යටතේ දෙපා­ර්ත­මේ­න්තුව වෙත චෝදනා එල්ල වීම අපේක්ෂා කළ හැක්කකි. අනෙක් අතට අති­ශය දුෂ්කර තත්ත්ව­යන් යටතේ, සීමිත මානව හා භෞතික සම්පත් මැද, වන අලි­න්ගෙන් සිදු වන සිය ජීවිත හා දේපළ හානි නිසා වේද­නා­වට හා කෝප­යට පත්ව සිටින ජනයා වෙතින් එල්ල වන පීඩ­න­යන් මැද, විවිධ ජාවා­ර­ම්වල නිරත වන අප­රා­ධ­ක­රු­වන් වෙතින් එල්ල වන අභි­යෝග මධ්‍යයේ එම දෙපා­ර්ත­මේ­න්තුව මුහුණ දෙන අභි­යෝ­ග­යද සුළු­පටු නොවේ. මේ කෙටි ලිපියේ අර­මුණ මේ චෝදනා සහ පිළි­තුරු බැඳී­ම්ව­ලට එහා ගොස් මෙරට අලි – මිනිස් ගැටුම සම්බ­න්ධ­යෙන් අව­ධා­න­යට ලක් විය යුතු කාරණා කිහි­ප­යක් කෙටි­යෙන් සාකච්ඡා කිරී­මයි.

අද බොහෝ විට අප අතර පවත්නා රොමා­න්තික අද­හ­සක් වන්නේ මෙරට අලි-මිනිස් ගැටුම අලුත් හෝ මෑත­කා­ලීන සංසි­ද්ධි­යක් බවයි. එහෙත් සැබ­වින්ම එය එසේ නොවේ. නොක්ස්, බල්දි­යස්, රොබෙ­යිරෝ වැන්නන් විසින්17 සහ 18 සිය­ව­ස්වල රචිත ලේඛ­න­වල වන­අ­ලින් හා ගම්වැ­සි­යන් අතර වූ ගැටුම් පිළි­බඳ පැහැ­දි­ලිව දක්වා ඇති අතර, අලි­ඇ­තු­න්ගෙන් වගා­ ආ­රක්ෂා කිරී­මට ගොවීන් විඳින දුක ගැන කිය­වෙන ජන කවි රාශි­යක් ජන­ව­හරේ පවතී. නිද­හ­සින් පසු යුගය දෙස බැලී­මේ­දීද අලි-මිනිස් ගැටුම් හා එයින් දෙපා­ර්ශ්ව­ය­ටම වූ හානි පිළි­බඳ වාර්තා සුල­භය. එකී සංඛ්‍යා­ලේ­ඛන වඩාත් නිවැ­ර­දිව වාර්තා වීම ඇර­ඹුණු 1980-90 දශක දෙස බැලී­මේදී පෙනී යන්නේ මේ ගැටු­මින් වාර්ෂි­කව දෙපා­ර්ශ්ව­යට වූ හානි (වාර්ෂික අලි මරණ 80-90ක් පමණ හා මිනිස් මරණ 30-40ක් පමණ) යම් තාක් දුර­කට ස්ථිති­කව පැවති බවයි. එහෙත් 2009න් පසු මේ සංඛ්‍යා­වල ශීඝ්‍ර වර්ධ­න­යක් හඳු­නා­ගත හැකිය. 2010දී මේ අග­යන් දෙකම එක්ව­රම ඊට පෙර නොවූ-විරූ අගය­කට පත් විය. එතැන් සිට එය වස­රින් වසර වැඩි වෙමින් 2023 වන විට වන අලි මරණ 480 හා මිනිස් මරණ 170 ඉක්මවා යමින් ලෝකයේ අලි-මිනිස් ගැටු­මින් වැඩි­යෙන්ම අලි මිය යන රට හා දෙවැ­නි­යට වැඩි­යෙන්ම මිනි­සුන් මිය­යන රට බවට ශ්‍රී ලංකාව පත් විය. මේ අනුව ඵෙති­හා­සි­ක­වම පැවති අලි-මිනිස් ගැටුමේ නව පරි­ච්ඡේ­ද­යක් 2009න් පසු ඇර­ඹුණු බව අපට පිළි­ගැ­නී­මට සිදු වේ.

මේ නව වර්ධ­නය සල­කුණු වන්නේ යුද්ධය අව­සන් වීම හා හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ මහා පරි­මාණ අවි­ධි­මත් සංව­ර්ධන ව්‍යාපෘති ආරම්භ වීම මඟිනි. යුද ගැටු­ම්වල බල­පෑම එල්ල වී තිබුණු උතුරු, නැඟෙ­න­හිර, උතු­රු­මැද හා වයඹ පළා­ත්වල එතෙක් නිද­හස් ප්‍රවේ­ශ­යට සීමා පැනවී තිබූ ඉඩම් මහා පරි­මා­ණ­යෙන් කිසිදු සැල­සු­ම්ස­හ­ගත බව­කින් තොරව විවිධ මිනිස් ක්‍රියා­කා­ර­කම් සඳහා නිද­හස් කිරීම සිදු වූ අතර, හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ වන ගහ­න­යෙන් 15%ක පමණ ප්‍රමා­ණ­යක් කිසිදු පාරි­ස­රික බල­පෑ­මක් නොස­ලකා විනාශ කර දමනු ලැබිණි. වනා­න්තර, ගොවි­බිම්, සංව­ර්ධන ව්‍යාපෘති මේ සියල්ල සඳහා තීර­ණා­ත්මක වන්නේ සීමිත සම්ප­තක් වන භූමි­යයි. නිසි ඉඩම් පරි­හ­රණ ප්‍රති­පත්ති හා පාරි­ස­රික බල­පෑම් පිළි­බඳ නිසි අධ්‍ය­න­ය­කින් තොරව එකී භූමිය හිතු­මතේ භාවිත කිරී­මට යෑමේ එක් ප්‍රති­ඵ­ලය වූයේ අලි-මිනිස් ගැටුමේ ශීඝ්‍ර වර්ධ­න­යයි.

ශ්‍රී ලංකාවේ සමස්ත භූමි­යෙන් 82%කම මිනිස්සු වෙසෙති. මිනිස් වාස­යක් නැති බිම් පව­තින්නේ 18%ක් පමණි. මෙරට සමස්ත භූමි­යෙන් 62%කම වන අලින් වාසය කරන අතර, වන අලි නැති භූමිය 38%කි. එහෙත් දීර්ඝ කාල­යක් තිස්සේ අපගේ ප්‍රති­ප­ත්තිය වී ඇත්තේ වන­අ­ලින් මිනි­සුන් ජීවත් නොවන පෙදෙ­ස්ව­ලට සීමා කිරී­මයි. එහෙත් මෙරට භූමි­යෙන් 62%ක පැතිරී සිටින සත්ත්ව ගහ­න­යක් 18%ක භූමි­ය­කට සීමා කිරීම කළ නොහැ­ක්කක් බව මේ ප්‍රති­ශත දෙස බලන ඕනෑ කෙන­කුට පෙනී යනු ඇත.

අද මෙරට භූමි­යෙන් 44%ක් මිනිසා හා වන­අලි හවුලේ භුක්ති විඳිති. අලි-මිනිස් ගැටුම උග්‍ර­තම බිම බවට පත්ව ඇත්තේ මේ භූමි­යයි. මෙකී උභ­තෝ­කෝ­ටි­කයේ සැබෑ ස්වරූ­පය අව­බෝධ කර­ගැ­නී­මට නම් මෙරට වන අලින් හා මිනිසා අතර භූමි පරි­හ­ර­ණයේ සැබෑ ස්වරූ­පය කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුය.

ඉති­හා­සය පුරා මෙරට ජනයා සිය භූමිය අලින් හා හවුලේ බෙදා­හ­දා­ගෙන තිබේ. කන්න දෙකක් අතර කාලයේ වගා­බිම අලින් විසින් භුක්ති විඳීම මෙරට ජනයා ගැට­ලු­වක් ලෙස සැල­කුවේ නැත. වනා­න්ත­රය සහ ජනා­වාස හා ගොවි­බිම් අතර පැවති විවෘත තණ­බිම් මේ දෙපි­රිස විසින්ම තම-තමන්ගේ පරි­භෝ­ජ­නය සඳහා හවුලේ භාවිත කළහ. එනිසා දෙපි­රිස අතර ගැටුම් අවම මට්ට­මක පවත්වා ගැනී­මට හැකි විය. එහෙත් ගැටුම් තීව්‍ර වූයේ මිනිස් ක්‍රියා­කා­ර­කම් වනා­න්ත­රය තුළට පැති­ර­වී­මට අම­ත­රව විවිධ ව්‍යාපෘති සදහා තණ­බිම් ලෙස පැවති ඉඩම් අත්පත් කර­ගැ­නී­මත් සම­ඟය. අද වන විට තණ­බිම් අහි­මිවූ ගව පාල­නයේ යෙදෙන පිරිස් සිය ගව­යින් වනා­න්ත­රය තුළට යොමු කරන අතර වනා­න්ත­රය තුළ පිහිටි සීමිත තෘණ­භූමි පවා වනඅලින්ට අහි­මිව තිබේ. මිනිසා විසින් කලින් පැවති සහ­යෝගි පැවැත්ම බිඳ­දැ­මී­මත් සමඟ උග්‍ර ආහාර හා ජල හිඟ­යට මුහු­ණ­දෙන වන අලින් ගොවි­බිම් හා ගම්මාන වෙත වඩ වඩා පැමි­ණෙ­මින් දෙපා­ර්ශ්වය ගැටුම තීව්‍ර­වීම වැළැ­ක්විය හැක්කක් නොවේ.

අනෙක් අතට වනා­න්ත­රයේ මිනිස් ක්‍රියා­කා­ර­කම් මෙප­ම­ණ­කින් හෝ සීමා වී වනා­න්ත­රය ආරක්ෂා වී ඇත්තේ වන­අ­ලින් හේතු­වෙනි. (මෙරට වනා­න්තර ආශ්‍රි­තව විවිධ ජාවා­ර­ම්වල නිරත වන සිය­ල්ලන්ගේ ප්‍රධා­න­තම සතුරා වන­අ­ලින් බවට පත්ව ඇත්තේ එබැ­විනි). මේ අනුව වනා­න්ත­රයේ ප්‍රධා­න­තම ආර­ක්ෂ­කයා වී ඇත්තේ වන­අ­ලින්ය. එමෙන්ම වන­අලි මෙරට වනා­න්ත­ර­වල ජෛව විවි­ධ­ත්වය ආරක්ෂා කරන ප්‍රධා­න­තම සාධ­ක­යකි. පරි­සර විද්‍යාවේ මෙවැනි ජීවී විශේෂ හඳුන්වන්නේ මුල්ගල් විශේ­ෂ­යක් යනු­වෙනි. එවැ­න්නකු නැති වුව හොත් සමස්ත පද්ධ­තිය බිඳ­වැ­ටෙයි.

කාල­යක් තිස්සේ අප විසින් විශ්වාස කළ (අදද සම­හරු විශ්වාස කරන) කරු­ණක් වන්නේ ස්වභා­ව­ධ­ර්මය මිනිසා විසින් ජය ගත යුතු බවයි. අපගේ බට­හිර යට­ත්වි­ජිත උරු­ම­යක් ලෙස මෙරට මුල්බැ­ස­ගත් මේ අද­හස 18 වැනි සිය­වසේ සිට 20 වැනි සිය­වස මැද­භා­ගය වන තුරුම ස්වභා­ව­ධ­ර්මය සමඟ ගනු­දෙනු කළ ආකා­රය තීර­ණය කරන ලදි. වන අලියා පලි­බෝ­ධ­ක­යකු ලෙස සලකා විනාශ කිරීම සිදු කරනු ලැබූයේ මේ අනු­වය. වනා­න්ත­රය යනු මුදා නොගත් කලා­ප­යක් ලෙස සල­ක­මින්, එය මිනිස් ක්‍රියා­කා­ර­ක­මින් යට­පත් කිරීම මිනි­සාගේ ප්‍රග­ම­නයේ මූලික කොන්දේ­සි­යක් ලෙස දකින ලදි. එහෙත් 20 වැනි සිය­වසේ දෙවැනි භාගය වන විට මේ අද­හස් පද්ධ­තිය අභි­යෝ­ග­යට ලක් වූ අතර, අද වන විට යථා­ර්ථ­යක් ලෙස අප ඉදි­රියේ දිග­හැ­රෙ­මින් ඇති දේශ­ගුණ විප­ර්යාස හා පාරි­ස­රික ඛේද­වා­චක ඉදි­රියේ මිනි­සාගේ සීමාව සල­කු­ණුව තිබේ. ඒ අනුව ස්වභා­ව­ධ­ර්මයේ තීර­කයා හා එය පාල­නය කර­න්නාගේ සිට මිනිසා ස්වභා­ව­ධ­ර්මයේ කොට­සක් ලෙස පිළි­ග­නි­මින් සමස්ත ජෛව පද්ධ­ති­මය පැවැත්ම සුර­ක්ෂිත කිරීමේ හා ස්වභා­ව­ධ­ර්මය සමඟ සහ­යෝගි පැවැ­ත්මක් වෙත මාරු වීම තවත් එක් වික­ල්ප­යක් නොව මිනිස් වර්ගයා ඉදි­රියේ ඇති එකම මඟ බවට පත්ව තිබේ.

අලි-ඇතුන් යනු මෙරට ජන­යාගේ සංස්කෘ­තික හර පද්ධ­තියේ අංග­යක්ද වෙයි. මෙරට බෞද්ධ විශ්වාස පද්ධ­තිය තුළ අලි-ඇතුන් අන් සියලු සතුන්ට වඩා විශේෂ වෙයි. එහි සම­හර තැනක සම­හර අලි-ඇතුන් ස්ථාන­ග­තව ඇත්තේ මිනි­සා­ටත් ඉහළ තැන­කය. බුද්ධ­ත්ව­යට පාර­මිතා පුරන දස බෝස­තුන් අතර (තිස්ස හා සුමං­ගල නමින් බුදු වන) පාරි­ලෙය්‍ය ඇතා සහ නාලා­ගිරි ඇතා සිටිති. ඇද වැටී පණ අදි­මින් සිටින අලි අස­ලට වී ගිනි මද්දහනේ පිරිත් කියන ගැමි­යන් අදද අපි දකිමු. “මගෙ පුතේ උඹ බුදු වෙනවා” යනු­වෙන් අලි-ඇතුන්ට පව­සන අම්මලා අප දැක තිබේ. මිය­ගිය විට පාංශු­කූ­ලය දී මතක වස්ත්‍ර පූජා කරනු ලබන එකම සත්ත්වයා හස්ති­යාය. දුටු­ගැ­මුණු රජු සිය අව­සන් සට­නේදී කඩොල් ඇතු අමතා ලංකා රාජ්‍ය­යෙන් ඔහු පුදන බවට පැවසූ බව මහා­වං­සය, චූල­වං­සය මෙන්ම සද්ධ­ර්මා­ලං­කා­ර­යද පව­සයි. මේ ප්‍රකා­ශයේ තීව්‍ර­තාව අපට දැනෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය­යෙන් පුදනු ලැබූ අන් වස්තූන් වන්නේ දන්ත ධාතුව සහ ශ්‍රී මහා බෝධිය යන්න සමඟ සලකා බැලී­මේ­දීය. එනිසා අලි-ඇතුන් යනු මෙරට බෞද්ධ හෘද­ය­සා­ක්ෂියේ ගැඹු­රින් තැන්පත් වූ වස්තු­වකි.

මෙලෙස බලන කල අලි-ඇතුන් යනු මෙරට තුළ සංකීර්ණ ප්‍රපං­ච­යකි. ඔහු තවත් එක් වන සතෙක් නොවේ. විටෙක ඔහු අප සමඟ එකම භුමි­යක් හා සම්පත් සඳහා සටන් වදි­න්නෙකි. තවත් විටෙක ඔහු වනා­න්තර පද්ධ­තියේ සහ එහි සමස්ත ජෛව විවි­ධ­ත්වයේ ආර­ක්ෂ­ක­යාය. තවත් විටෙක ඔහු මතු බුදු වන බෝසත් කෙනෙකි. එබැ­වින් මේ සංකීර්ණ ප්‍රපං­චය හා ගනුදෙනු කිරී­මේදී මේ සංකී­ර්ණ­ත්වය අපට මඟ­හැර යා නොහැ­කිය. අද ඉති­රිව සිටින අග්බෝ, වාසල, මහා­නාම, කාශ්‍යප, සුර­නි­මල, සුමේධ, සූර්යා, මහා­සේන, දීඝා­භය, ගජ­බාහු, වන්නි­යාන් වැනි ඇතුන් ඇතුළු සමස්ත අලි-ඇත් පර­පුර ආරක්ෂා කර­ගැ­නීමේ මඟ වැටී ඇත්තේ මේ සංකී­ර්ණ­ත්වය මත පද­නම්වූ දැනු­වත් මැදි­හත් වීමක් ඇසුරේ පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …