හක්කෙ ලෙනින් බොක්කෙ රනිල් අයවැයක්.

නිදහස් ශ්‍රී ලංකාවේ අසූ එක්වන අයවැයැය මෙන්ම මාලිමා රජයේ තුන්වන අයවැය පිළිබඳ විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද හරි හරියට අයවැයට තම අදහස් ඉදිරිපත් කරද්දී ආණ්ඩුව කියන්නේ මෙවර අයවැයෙන් ස්ථාවර වූ ආර්ථිකය තුළින් වේගවත් සංවර්ධනයක පිම්මක ආරම්භයක් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් ලබාදුන් සහන ප්‍රමාණවත් නොවන බවට විපක්ෂය චෝදනා කරද්දී මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ගෙන් පිරිසකට පමණක් දීමනා ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට යම් ගැටළුවක් මතුව තිබෙනවා. අයවැය විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ රජය විසින් මෙවර ගෙනවිත් ඇත්තේ හක්කෙ ලෙනින් බොක්කෙ රනිල් පන්නයේ අයවැයක් බවයි

මැදපෙරදිග අර්බුදයේ රළ වේගයෙන් ශ්‍රී ලංකාවේ වෙරළට වදිමින් තිබේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පසුගිය දෙසැම්බරයේ 2.1% ක්ව පැවති වාර්ෂික උද්ධමනය ඔක්තෝබර් වන විට 8.3% දක්වා ඉහළ ගොස් ඇත.

2025 වසරේදී 5% කින් වර්ධනය වූ ආර්ථිකය මේ වසරේ පළමු කාර්තුවේ පැවති 5.1% සිට දෙවන කාර්තුව වන විට 4.2% දක්වා මන්දගාමී වී ඇති පසුබිමක් තුළ, ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2027 වසර සඳහා වූ දැවැන්ත සහන සහ ප්‍රතිසංස්කරණ යෝජනාවලියකි.


“ආර්ථික ස්ථාවරත්වය, වඩා හොඳ රැකියා, සාධාරණ ආදායම්, ගුණාත්මක රාජ්‍ය සේවයක්, ආරක්ෂිත සමාජ පරිසරයක් සහ අනාගත පරපුර වෙනුවෙන් තිරසාර අනාගතයක් ගොඩනැගීම අපගේ යුතුකමයි,” යනුවෙන් ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී අවධාරණය කළේය. එම යුතුකම ඉටු කිරීමේ අභියෝගය මෙවර අයවැය ලේඛනය පුරාම දක්නට ලැබේ.

මෙහි ඍජු සහ කඩිනම් බලපෑම එල්ල වන්නේ සාමාන්‍ය ජනතාවගේ මුළුතැන්ගෙයටයි. සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි හාල්මැස්සන් සඳහා පැවති රුපියල් 100 ක ආනයනික බද්ද සහ උම්බලකඩ සඳහා පැවති රුපියල් 302 ක බද්ද රුපියල් 10 ක් දක්වා විශාල වශයෙන් පහත හෙළා තිබේ. කුඩු කළ මිරිස් ඇතුළු වියළි මිරිස් කිලෝග්‍රෑමයක බද්දද රුපියල් 50 කින් අඩු කර ඇත. කෙසේ වෙතත්, දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීමේ අරමුණින් ආනයනික සීනි කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 10 කින් ඉහළ නංවා තිබීම විශේෂත්වයකි.

මධ්‍යම පාන්තික වෘත්තිකයින්ටද මෙම අයවැයෙන් සැලකිය යුතු සහනයක් හිමිව ඇත. එළඹෙන අප්‍රේල් මාසයේ සිට මාසික ආදායම් බදු සීමාව රුපියල් 150,000 සිට 162,500 දක්වා ඉහළ නැංවෙනු ඇත. මේ අනුව රුපියල් 160,000 ක මාසික වැටුපක් ලබන සේවකයෙකු මුළුමනින්ම බදු දැලෙන් නිදහස් වන අතර, 36% උපරිම බදු අනුපාතය ක්‍රියාත්මක වන සීමාවද රුපියල් 358,000 සිට රුපියල් 433,000 දක්වා ඉහළ යයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන පරිදි, ආදායම් මට්ටම් අනුව බදු ගෙවන්නෙකුට මාසිකව රුපියල් 750 ත් 15,750 ත් අතර මූල්‍යමය සහනයක් මින් අත්වනු ඇත.

රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහය ද මෙහිදී දැඩි අවධානයකට ලක්ව තිබේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සංශෝධනයේ අවසන් අදියර 2027 දී ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කර ඇති අතර, ඉන් අවම මාසික මූලික වැටුප රුපියල් 15,750 කින් ඉහළ යයි. හෙද, අතුරු වෛද්‍ය සහ පරිපූරක වෛද්‍ය කාර්යමණ්ඩලවල

මාසික විශේෂ රාජකාරි දීමනාව රුපියල් 12,000 දක්වා දෙගුණ කිරීමටත්, තෝරාගත් රාජ්‍ය සේවකයින්ට ඉහළ දීමනා ලබාදීමටත් අයවැය යෝජනා කරයි.

පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කෙරුණු අයවැය කතාවෙන් අනතුරුව රජය විසින් සංවිධානය කර තිබූ සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ කැපී පෙනෙන නොපැමිණීමක් මධ්‍යයේ පැවැත්විණි.

මෙම නොපැමිණීමට මූලික වූ හේතුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ශවයෙන් අදහස් කිහිපයක්ම මතුව තිබේ. නම හෙළි කිරීමට අකමැති වූ එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ, රජයේ තේ පැන් සංග්‍රහයට සහභාගී වීමෙන් වළකින ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අදහස් දක්වමින් මීට පැහැදිලි කිරීමක් ලබා දුන්නේය. ඔහු සඳහන් කළේ අයවැය ඉදිරිපත් කිරීමෙන් වහාම අනතුරුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ බවයි. “අපට මෙම රැස්වීමට සහභාගී වීමට සිදුවනු ඇති අතර එම නිසා තේ පැන් සංග්‍රහය කෙරෙහි අවධානය යොමු කිරීමට අපට නොහැකි වනු ඇතැයි” කරුණාතිලක මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

තේ පැන් සංග්‍රහය පැවැත්වෙන අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක නිරත වෙමින් සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද තහවුරු කළේය.

මෙම අභ්‍යන්තර සාකච්ඡා සහ දැනුම්දීම් මධ්‍යයේ වුවද, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රජයේ තේ පැන් සංග්‍රහයට එක්ව සිටිනු දැකගත හැකි වූ බව ඇසින් දුටුවෝ පවසති. ඒ අතර රාවුෆ් හකීම් සහ ශානකියන් රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් ද වූ බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

ආණ්ඩුවට අලවන්න යන බෞද්ධ විරෝධි ලේබලය

ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධි කියලා ලේබල් ගහන්න විපක්ෂයේ සියලු දෙනා එක මිටටට එකතු වෙලා මේ දවස්වල හරි හරියට වැඩ. ඒ ලේබලය ටිකක් තදින් එල්ල කර ගන්න පුළුවන් විදිහට මහානායක හිමිවරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නත් ඒ අය උත්සාහ කළා. ඒත් සාර්ථක වුණේ නැහැ. ඒ වෙනුවට සිද්ධ වුණේ මහා සංඝරත්නය ආණ්ඩුවත් එක්ක තව තවත් සම්බන්ධ වීමයි. ඉදිරිපත් වන චෝදනා ගැන විමසන්න හරි ගමේ පන්සලේ හාමුදුරුවොත් ගමේ ඉන්න මහජන නියෝජිතයන්ට කතා කරන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්න කිරිම්වලට දෙන උත්තර නිසා කලින් තිබුණ යම් යම් වැරදි අවබෝධත් නැති වෙලා තවත් දේශපාලන කාරණාත් කතා කරගෙන සමහර භික්ෂූන් වහන්සේලා ආණ්ඩුව ගැන ප්‍රසාද ජනක හැඟීමක් ඇති කරගත් බවයි ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා බිමල් රත්නායක ඇමැතිවරයා එක්ක කිවුවේ.

“ඒක ඇත්ත ලක්ෂ්මන් සහෝදරයා මටත් සමහර හාමුරුවරු කතා කරලා ඔය සමහර කතා ගැන ඇහුවා. ඒ අයට අපි පැහැදිලි කළාම ගොඩාක් හොඳට තේරුම් අරගෙන විපක්ෂයටම බැනපු එකයි කළේ. අන්තිමට අපට එරෙහිව හදන්න ගිය බෞද්ධ විරෝධයට එරෙහි රැල්ල එයාලටම පාරා වළල්ලක් වෙන පාටයි” කියලා බිමල් ඇමැතිවරයාත් කිව්වා.

“ඒ විතරක් නෙවෙයි; ‘රටම එකට’ වැඩසටහන ගැන හාමුදුරුවරුන්ගේ ලොකු පැහැදීමක් තියෙන්නේ. හාමුදුරුවරු විතරක් නෙවෙයි; ව්‍යාපාරිකයෝ, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගුරුවරු වගේ වෘත්තිකයෝ දැනඋගත් සමාජයේ ගොඩක් දෙනා ‘රටම එකට’ වැඩසටහනට කැමැතියි. ගොඩක් ප්‍රශංසා කරනවා.”

“දැන උගත් සමාජය විතරක් නෙවෙයි, ගම්වල සාමාන්‍ය මිනිස්සුත් කැමතියි. අපි කැස්බෑවේ ටිකක් ඇතුළට වෙන්න තියෙන ගමක වසම් සභාවක් හදන්න ගිය වෙලාවේ එක සහෝදරියක් ඇවිත් කියනවා අනේ මන්ත්‍රීතුමා අපේ එකෙක් ඉන්නවා. හැමදාම ඌ කූඩුවේ. ඒත් හදන්න බැහැ. ගෙදර ගෙනාවත් වැඩක් නැහැ මෙහේ ඉන්න එවුන් ආයේම පොවනවා. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඔබතුමන්ලා මේ කුඩු නැති කරලා දෙන්න කියලා. එහෙම තමයි. මේකෙන් බැට කන මිනිස්සු, මේකේ ආදීනව දන්න මිනිස්සු කුඩු ජාවාරම නැති කරන්න එක පයින් කැමතියි.”

මත්ද්‍රව්‍ය මඬින සටනට විරුද්ධ ඇයි?

මේ අතර ‘ඉවත් වෙනු – රටම එකට’ ජාතික වැඩසටහනට වසරක් පිරීම නිමිත්තෙන් සැමරුමක් සංවිධානය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය කටයුතු සංවිධානය කළා. එය සියලු ආගම් නියෝජනය කරන ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබුණා. ඒ අනුව භික්ෂූන් වහන්සේලා දෙදහස්නමක් සමඟින් අනෙකුත් ආගමික නායකයන් දහසකගේ පමණ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ උත්සවයක් පැවැත්වීමට තීරණය වුණා. මීට අදාළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්ටද ආරාධනය කිරීමට තීරණ වුණා. ජනාධිපති ලේකම් කාර්යාලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කරනු ලද අතර, දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා මඟින් සියලු දිස්ත්‍රික්කවල පන්සල් ඇතුළු ආගමික ස්ථානවලට සම්බන්ධීකරණය කිරීමට යෝජනා වුණා. මෙහි අරමුණ වන්නේ මෙතෙක් වසරක් ඇතුළත ලබාගත් ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීම හා ආගමික නායකයන් මඟින් ගම් මට්ටමින් මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනයට ජනතාව සහභාගි කරවා ගැනීමයි.

කෙසේ වෙතත් මේ වැඩපිළිවෙළට ඇතැම් ස්වාමින් වහන්සේලා පිරිසක් විරෝධය පළ කර තිබුණා. මේ ආගමික සමුළුව වර්ජනය කළ යුතු බවට මතයක් ගොඩනැඟීමට උත්සහ කළා. එහෙත් එය සංවිධානය කරන නිලධාරීන්ට නැඟුණ ප්‍රශ්නය වූයේ මත්ද්‍රව්‍ය මැඬලීම ප්‍රවර්ධනය කරන රැස්වීමක් වර්ජනය කිරීමට පෙලඹෙන්නේ කුමක් අරමුණු කරගෙනදැයි යන්නය.

පැලවත්තේ අයවැය කතා

අස්වැසුම අලුත් සංගණනයෙන් පසුව ප්‍රසිද්ධ කළ නාමලේඛනය සම්බන්ධයෙන් මේ වන විට විශාල කසුකුසුවක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මහජන දිනයේදී උත්තර දෙන්න බැරි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබෙන බවද වාර්තා වනවා. එහෙත් මේ වැඩසටහන විධිමත් කිරීමේ අරමුණෙන් අස්වැසුම ප්‍රතිලාභීන් අලුත් සංගණනයකට ලක් කොට තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජන ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු සමඟ පැවති සාකච්ඡාවකදී මාලිමා මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබුණා. පැලවත්ත කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී මෙම සාකච්ඡාව මතු වුණා.

“මේ දවස්වල අපිට මහජන දිනයට යන්න බැහැ. අස්වැසුම කපලා කියලා ප්‍රශ්න ගොඩයි,” කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි අනිල් ජයන්ත ඇමැතිවරයාට ප්‍රශ්නය යොමු කළා.

“ඔව් ඔව් අපිටත් මේ දවස්වල මහජන දිනයේ එන ප්‍රශ්නවලින් ගොඩක් එන්නේ අස්වැසුම ගැන,” ගාල්ලේ නිශාන්ත සමරවීර මන්ත්‍රීවරයාත් ඒකට හවුල් වුණා.

“මම මේක හරියට පැහැදිලි කරන්නම්. අපිට චෝදනාවක් තිබුණා අස්වැසුම ලැබෙන්න ඕන අයට ලැබෙන්නේ නෑ. නොලැබිය යුතු අයට ලැබෙනවා කියලා. ඒ නිසා අපට මේකේ අලුත් සමීක්ෂණයකට යන්න අවශ්‍යතාව තිබුණා. ඒ නිසා දැනට ලැබෙන අයගේ ලේඛනය එහෙමම තියෙන්න දීලා අලුතෙන් ඇප්ලිකේෂන් කැඳෙව්වා. ඒකට ජනතාව ඇප්ලයි කළා. ලක්ෂ 32ක් විතර ඉල්ලීම් ලැබිලා තියෙනවා. අපි ඒක සමීක්ෂණයක් කළා. මුලදී ලක්ෂ 24ක් පමණ සැලකිල්ලට ලක් කරලා ඒකෙන් අන්ත දුගී සහ දුගී කියන කාණ්ඩ දෙකෙන් නවලක්ෂ අනූදහසක් පමණ ප්‍රතිලාභීන් තෝරාගත්තා. තවත් ප්‍රමාණයක් සමීක්ෂණය කරන්න තියෙනවා,” ඇමැතිවරයා පැහැදිලි කළා.

“ඇයි ඉතිං අපි ලක්ෂ 32කම අවසන් නොකර ලක්ෂ 24ක ඇප්ලිකේෂන් විතරක් සමීක්ෂණය කළේ. ඉතිරි ඒවට මොකද වෙන්නේ?” රුවන් මාපලගම මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

“අලුත් සමීපක්ෂණයෙන් පස්සේ අලුත් ලිස්ට් එක නොවැම්බර් මුලදී පබ්ලිෂ් කළ යුතුව තිබෙනවා. මොකද, මේකට කාල රාමුවක් තිබෙනවා. ඒ නිසා අපට සමීක්ෂණය කරලා ඉවර කරපු ටික පළමු වටයේ පබ්ලිෂ් කරන්න සිදු වුණා. ඉතිං අපි ඒක කළා. දෙවැනි පියවරේ ලිස්ට් එක ලබන දෙසැම්බර් මාසයේ පබ්ලිෂ් කරනවා. එතකොට ලැබෙන්න ඕනෑ සියලු දෙනා ඒ වෙන කොට තෝරාගෙන ඉවරයි. ඉතිරි අයට අභියාචනා කරන්න කාලයක් දීලා තියෙනවා. අපි මුලින් ගහපු ගැසට් එකකට අනුව ප්‍රතිලාභීන් ප්‍රමාණය සීමාවක් තිබෙනවා. එහෙත් අපිට සුදුසුම අය තෝරාගෙන අස්වැසුම ලබාදීමට හැකි නම් ඒක හොඳ තත්ත්වයක්. තෝරාගැනීමේ නිර්දේශවල යම් යම් ගැටලු තියෙනව නම් ඒ ඉදිරියේදී සංශෝධනයට ලක් කළ හැකියි. දැනට තියෙන කරුණු අනුව ලැබෙන්න ඕන අය අලුතෙන් ලිස්ට් එකට ඇතුළු වෙලා තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්,” ඇමැතිවරයා පැහැදිලි කළා.

ටින් ගැන හර්ෂ කට අරියි

පසුගියදා ක්‍රේම්බ්‍රිජ් ටෙරස්වල නම්බර් 30 ඔෆිස් එකේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීම තිබුණා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පටන් ගන්න සතියේ සඳුදා, සජිත් ඔය රැස්වීම තියනවා. සිකුරාදට පක්ෂ නායක හමුව කැඳවලා මේ සතියේ පාර්ලිමේන්තු න්‍යායපත්‍රය මොකක්ද කියලා කතා කරනවා වගේ සජබෙ කට්ටියත් ප්‍රධාන විපක්ෂය හැටියට සඳුදා රැස් වෙලා “කොහොමද අපි මේ සතියෙ ආණ්ඩුවට ප්‍රතිචාර දක්වන්නේ” කියලා කතාබහ කරලා තීන්දු තීරණ ගන්නවා. ඒකට තමයි හැමෝම එදා එතැනට ආවේ. එතැන පාරේ මීඩියාවල කාණ්ඩෙකුත් රැකගෙන ඉන්නවා විස්තර දැනගන්න. ඔන්න ඔය මාධ්‍ය පිරිසට හර්ෂ කීවේ, පහුගිය සතිය පුරාම කතා වුණු ටින් නම්බරේ දැම්මට පස්සේ බදුවලට වංගු ගහලා කට්ටි පැනලා හිටපු ඔක්කොමලා අහු වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි; මේ ගැන හර්ෂ මීටීමට ගිහිනුත් මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා.

අංක 30 විහිළු

අංක 30 ඉස්සරහා එළියේ මාධ්‍යවලට කතා කරපු කට්ටිය ගොඩ දෙනෙක් ඇතුළට ගිහිල්ලත් කතාව. මුජිබර්, හර්ෂ, දයාසිරි, සුජිත් සංජය, කිංග්ස් නෙල්සන් ඇතුළු පිරිසක් කතා කර කර එළියෙ හිටියේ. ඒ වෙලාවේ හර්ෂ හිටියේ බයිසිකලයක් උඩ වාඩි වෙලා. මුජීබර් මාධ්‍යවලට කතා කර කර ඉන්න අතරේ මාධ්‍ය කට්ටිය හර්ෂ බයිසිකලය උඩ වාඩි වෙලා ඉන්න එක පෙන්නලාත් එක එක ප්‍රශ්න ඇහුවා.

මුජිබර් කිවුවේ “ආර්ථික විද්‍යාඥයෙක් හැටියට මේ ඉන්ධන මිල වැඩි වෙන හැටියට ඒක ගළපගන්න බයිසිකලයට බැස්ස එක හොඳයි” කියලා.

“මේ සතියෙ මොනවද කරන්නේ?” කියලා මාධ්‍ය අහපු වෙලාවේ මුජිබර් කථානායකට එරෙහි විශ්වාසභංගය ගැනත් කියමින් කීවේ “මේ සතියෙ ඒ ගැන කතා කරනවා” කියලා.

මාධ්‍ය ඇහුවේ “මේ සතියෙ කතා කළාට වැඩක් නෑ නේ, ඒක ගන්නේ නෑ නේ?” කියලා.මුජිබර් හිනා වෙවී කිවුවේ, “ඒක තමයි. ආණ්ඩුවට එකසිය පනස් නවයක් මන්ත්‍රීවරු ඉන්නවා. ඔක්කොම ඡන්දෙ දුන්න නම් උඩින් දිනනවා. එහෙම තියාගෙනත් මේ යෝජනාව පාර්ලිමේන්තුවට දාන්න ආණ්ඩුව බයයි,” කියලා.

ජනාධිපති අරමුදල සබරගමුවට යයි

පහුගිය වසර කීපයක උසස් පෙළ විභාගවලින් මුළු ලංකාවෙන්ම විෂය නිර්දේශ කැටගරිවලින් වැඩිම ලකුණු ගත්ත විසිදෙනාට රුපියල් ලක්ෂය බැගින් මුදල් පරිත්‍යාගයක් කරන්න ජනාධිපති අරමුදලෙන් යෝජනාවක් ආවා. ඕක ජනාධිපතිගේත් අගමැතිතුමියගේත් යෝජනාවක්.

ඔය වැඩපිළිවෙළ අරගෙන පළාතෙන් පළාතට නගරෙන් නගරෙට ගිහිල්ලා ජනතාව හමු වන වැඩේ භාර ගත්ත කෙනා තමයි කථානායක ජගත් වික්‍රමරත්න.

ඒ අනුව පළවෙනිදා ගියේ සබරගමුවට. ඒ ගිහිල්ලා කෑගල්ල දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඔය විෂය නිර්දේශවලින් උඩටම ආපු දරුවෝ ටිකට ශිෂ්‍යත්ව ප්‍රදානය ඉවර කළා.

ජනාධිපති අරමුදලේ වැඩකටයුතු ඇත්තටම දැන් කෙරෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නේ. ජනාධිපති අරමුදල ඊළඟට තේරුවේ ඒ ඒ පළාතේ ඒ ඒ දිස්ත්‍රික්කවල ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ ලබාදීමේ වැඩකටයුතු කාර්යක්ෂමව හා කැප වීමෙන් යුතුව හොඳටම ඉටු කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන. ඒ අනුව රත්තපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ඇඹිලිපිටියට. දෙවැනි ස්ථානය රත්නපුර ප්‍රාදේශීය ලේකම් එකට. තුන ගියේ පැල්මඬුල්ලට. කෑගල්ලේ පළමු තැන කෑගල්ලේ ප්‍රාදේශීය ලේකම්ට, දෙවැනි තැන මාවනැල්ලට, තුන වරකාපොළට.

කාටවත් ඇඹරෙන්නෙ නැති ආණ්ඩුව

නාරාහෙන්පිට, පොල්හේන්ගොඩ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ පහුගිය සතියේ තිබුණු ආණ්ඩුවේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නයකට උත්තර දීපු රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස කිවුවේ “මේ ආණ්ඩුව යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න රජය කිසිම ජගතෙක් ඉස්සරහ ඇඹරෙන්නේ නෑ” කියලා. “රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කරපු ආණ්ඩුව ටිරාන් අලස් ඉස්සරහ ඇඹරෙයිද?” කියලත් ඇහුවා. “සිලෝන් ටුඩේ, මව්බිම පත්තර වැහිලා. ආයතනය වන්දි නැතුව, වැටුප් නැතුව සේවකයෝ ටික සද්ද නැතුව එළියට දාලා. මාධ්‍යවේදීන්, සේවකයන් ඔක්කොම මහ පාරේ. ආණ්ඩුව මේ ගැන සද්ද නැත්තේ ඔය කියන දේශපාලනඥයෙකුත් වෙච්ච ව්‍යාපාරිකයාට වෙනම සැලකිල්ලක්ද?” කියලයි මාධ්‍යවේදීන් ඇහුවේ. ඔය වෙලාවේ තමයි නලින්ද රනිල්ගෙයි ටිරන්ගෙයි කතාව දක්වලා ඔය ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ.

මල් පාරට සරත් නන්ද සිල්වා

ජනතාවාදි ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවත් සුපුරුදු පරිදි කොළඹ, මල් පාරේදී පැවැත්වුණා.

ජීඑල්ට අමතරව ඕකට ප්‍රධාන සම්පත් දායකයා විදියට ඇවිල්ලා හිටියේ හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් නන්ද සිල්වා. සරත් නන්ද සිල්වා එදා තනිකරම කතා කළේ පීඑස්ටී පනත ගැන.

පීඑස්ටී පනත ගැන පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් කීවේ, “ආණ්ඩුව ඇතුළෙ ඉන්න ඔක්කොම ටික 88/ 89 කාලේ ත්‍රස්තවාදීන්” කියලා. “අන්න ඒ අයගෙන් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න ඕන නිසා තමයිලු ආණ්ඩුව මේ විදියට නම් කරලා පනතක් ගෙනල්ල තියෙන්නේ,” කියලා ඔහු කිවුවා.

ක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප

පසුගිය සිකුරාදා නාමල්ගේ ක්‍රිෂ් නඩුවට පෙනී සිටියේ ජනාධිපති නීතීඥ අලි සබ්රි. අලි සබ්රි නාමල්ට ඇප ගැනීමට විනිසුරුතුමාට සුවිශේෂ කරුණු ඉදිරිපත් කළා. එදින ඇප හිමි නොවූ අතර, සඳුදා දක්වා ඇප නියෝගය දීම කල් තැබුණා.

සඳුදා නාමල් කොහෙ හිටියත් හැමදා බලන්න එන කට්ටිය – ඒ කියන්නේ ඩී.වී. චානක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ, ජානක වක්කුඹුර, යූ.කේ. සුමිත්, චානක මාදුගොඩ, සංජීව එදිරිමාන්න, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් අධිකරණයට ආවා.

ජොනී මෙතනදී කට්ටිය එක්ක කීවේ “අලි සබ්රි සුවිශේෂ කාරණා ලෙස ඉදිරිපත් කළේ මේ වෙලාවෙ නාමල් ශිරන්ති සහ මහින්ද රාජපක්ෂ එක්ක ඉන්න ඕනෙ කියලා, ඒ දෙන්නාටම හොඳටම අසනීපයි කියලයි.”

සඳුදා හවස නාමල්ට ක්‍රිෂ් නඩුවට ඇප හම්බ වුණා. ඒත් එයාබස් ගනුදෙනුව සම්බන්ධ තවත් නඩුවකට ඇප ලැබී නැති නිසා නාමල්ට යළිත් බන්ධනාගාරයට යන්න වුණා.

කාටවත් කියවන්න බැරි අකුරු

නාමල් අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණි අතර, මෙහිදී නාමල් කතාවක් කරන්නත් දාගෙන හිටියා.

පාර්ලිමේන්තුවේ ඇති පක්ෂ කාර්යාලයට පැමිණි නාමල් බැලීමට ඩී.වී. චානක, චානක මාදුගොඩ හා ජොනීත් ඇවිත් හිටියෙ.

නාමල් තමාගේ කතාව තමන් විසින්ම ලියා ගන්නවා දුටු චානක මාදුගොඩ එය ලියා දෙන්නම් කීවා.

“මමම ලියා ගන්නම්. මොකද මගේ අකුරුවලින්ම ලියාගන්න ඕන. මගෙ අකුරු සෙනරත් පරණවිතාන මහත්තයටවත් කියවන්න බෑ.”

රත්නපුර මාලිමාවේ මන්ත්‍රීවරයකුගේ ගංජා හේනක් ගැනත් නාමල් පාර්ලිමේන්තුවෙදි කීවා.

“ඔයා එතකොට බෝ පැළයක්ද?” නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා නාමල්ගෙන් ඇහුවා.

“ඔව් මම එහෙම තමයි. මම ඔබතුමාට උත්තර දෙන්නෙ නැත්තෙ ඔබතුමා මගෙ තාත්තගෙ වයස නිසා.”

“මගෙ ගංජාහේන කොහෙද කියලා කියන්න,” රත්නපුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නාමල්ට කිවුවා.

“මම තැන කිවුවොත් ඔබතුමාටත් බන්ධනාගාරයේ මම ඉන්න වාට්ටුවටම එන්න පුළුවන්.”

“මොකක්ද වාට්ටුව?” රත්නපුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නැවත් අහද්දි “මම ඉන්නෙ එන් වාට්ටුවේ, කැමති නම් එන්න,” නාමල් කිවුවා.

චාමරට නඩුවලට හරි වියදම්

පසුවදාද නාමල් පාර්ලිමේන්තුවට පැමිණි අතර, දිවා ආහාරය ගැනීමේදී චාමර සම්පත්ද නාමල් අසලට ආවා.

“ඔබතුමාට නම් ඇප ලබුණා නේද?” නාමල් අහද්දි,

“ඔව්. ඒත් එළියට ආවට වඩා හොඳයි ඇතුළෙ හිටිය නම්. නඩුවලට ලොකු ගණන් වියදම් වෙනවා…” චාමර සිනාසෙමින් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …