
චීන ජනාධිපති ෂී ජින්පිං රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග චීන – රුසියා – අමෙරිකා රාජ්‍ය නායක හමුව පසුගිය(19 වැනිදා) පස්වරුවේ Shenzhen නගරයේදී පැවැත්විණ.
චීනය, රුසියාව සහ අමෙරිකාව යන රටවල් තුනේ උත්තරීතර නායකයින්ගේ ඉතිහාසගත ප්‍රථම හමුවීම අතිශය වැදගත්, පෙරළිකාර සිදුවීමක් බව ෂී ජින්පිං එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
ප්‍රධාන බලවතුන් අතර සමගිය, ලෝකයට සාමය උදා කරන බවත්, ප්‍රධාන බලවතුන් අතර ගැටුම්, ලෝකය අස්ථාවර කරන බවත් ඉතිහාසය අපට උගන්වා තිබෙන බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වසර 80කට පෙර, ලෝක ෆැසිස්ට් විරෝධී අරගලයේ ප්‍රධාන බලවේගයක් ලෙස, චීනය, රුසියාව සහ ඇමරිකාව ඒකාබඳව සටන් කර විශිෂ්ට ජයග්‍රහණයක් ලබා, ලෝකයට සාමය සහ සන්සුන් භාවය දිනා දී තිබේ. ඉතිහාසය වැදගත්ම පෙළපොත බවත්, ඉතිහාසය සිහිතබා ගනිමින්, එයින් ඉගෙන, වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කළ යුතු බවත් ඔහු පැවසීය.
ලෝකයේ දැවැන්ත රටවල් ලෙස, එකිනෙකා අතර ධනාත්මක අන්තර්ක්රියාකරීත්වයක් පවත්වාගෙන යාම තේරීමක් නොව අනිවාර්ය අවශ්‍යතාවක් බව ෂී ජින්පිං පෙන්වා දුන්නේය.
නව යුගයේ චීන – රුසියානු විස්තීර්ණ උපායමාර්ගික සම්බන්ධීකරණ හවුල්කාරිත්වය සහ චීන-ඇමරිකා ස්ථාවර, සංවර්ධනාත්මක උපායමාර්ගික සබඳතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය මෑත වසරවල අඛණ්ඩව සක්‍රිය ලෙස කටයුතු කර ඇත. ඉන් බිහි වූ සාමකාමී සහජීවනය, සමස්ත ස්ථාවරත්වය සහ සමතුලිත සංවර්ධනය මත පදනම් වූ සබඳතා රටාව, එකිනෙකාටත් ලෝකයටත් උපකාරී වන බව ඔහු පැවසීය. ලොව ප්‍රධාන රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයන් ලෙස, චීනය, රුසියාව සහ අමෙරිකාව සහයෝගයෙන් ගෝලීය අභියෝගවලට මුහුණ දෙමින්, ලෝක සාමය හා ස්ථාවරත්වය ඒකාබද්ධව ආරක්ෂා කර, මානව වර්ගයාගේ ප්‍රගතියට දායක විය යුතු බව ෂී ජින්පිං අවධාරණය කළේය.
මේ අතර, “ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම” සම්බන්ධයෙන් රුසියාව, චීනය සහ එක්සත් ජනපදය යන රටවල් තුනටම “ඒකාබද්ධ වගකීමක්” ඇති බව පුටින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
“ඉරානයට න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට අපි ඉඩ නොතබන්නෙමු” යැයි මෙම සාකච්ඡාවේ දී ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇතැයිද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ජනාධිපති ෂී ජින්පිං සමඟ විනාඩි 90ක ඓතිහාසික සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් පිටත්ව ගියේය.


